හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මරණ දඬුවම නියමවෙයි
අනුන්ගේ පාර්සල් ගේන්න එපා! – ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
රු. මිලියන 3,811 ක නීතිවිරෝධී දේපළ රජයට පවරා ගැනීමට සැලසුම්
සමාගමක වෙළෙඳ රහස් වෙනත් සමාගමකට දුන් සේවකයෙකුට රුපියල් මිලියන 50 ක් වන්දි ගෙවියමට නියෝග
‘සුව සැරිය’ට 10 යි – හර්ෂ සංවේදී වෙයි – හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කරපු කතාව (31.07.2026)
විනිසුරුවරුන්ට අල්ලස් දෙන්න හදන්නේ – දයාසිරි සහ දොළවත්ත අල්ලස් කොමිසමට (31.07.2026)
කුරුණෑගල ඉන්න හැමෝම පරිස්සම් වෙන්න – පොලිසිය කුරුණෑගල පීරන මෙහෙයුම මෙන්න (31.07.2026)
“වයසට යද්දී ඉක්මණට නඩු අහන්න පුළුවන්” – ඔන්න ඔහොමයි අධිකරණ ඇමති කියන්නේ (31.07.2026)
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මරණ දඬුවම නියමවෙයි
(31.07.2026 – 17:25 +0530 – sinhala.adaderana.lk)
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර වරදකරු කරන බවය.
බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ “පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ඉර්දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා” යනුවෙන් සඳහන් කළ බහුතර විනිසුරු මඩුල්ල විත්තිකරු සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් සඳහන් කළා.
සුළුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
මෙම නඩු තීන්දුව පැය 4 කට අධික කාලයක් පුරාවට ප්‍රකාශයට පත් කිරීම සිදුවූ අතර ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දණ්ඩය නියම කිරීම සිදු විය.
+++
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
(31.07.2026 – 19:41 +0530 – sinhala.adaderana.lk)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.

එම චෝදනාවට අදාළවම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද එම අධිකරණය අද (31) මරණ දඩුවම නියම කළේය.
+++
+
අනුන්ගේ පාර්සල් ගේන්න එපා! – ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
(31.07.2026 – hirunews.lk)
ගුවන් ගමන් හෝ වෙනත් ඕනෑම සංචාරයක නිරත වීමේදී වෙනත් පුද්ගලයන්ට අයත් පාර්සල් හෝ ගමන් බෑග් (Baggage) ලබාගෙන ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රේගුව ගුවන්තොටුපළ මගීන් ඇතුළු මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.
නොදැනුවත්වම මගීන් යොදාගනිමින් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ, තමන් ප්‍රවාහනය කරන්නේ කුමක්දැයි පවා නොදැන සාමාන්‍ය පුද්ගලයින් බරපතල ගණයේ අපරාධවලට හසුවීමේ දැඩි අවදානමක් පවතින බවයි.
ඉතා සමීප ඥාතීන් සහ හිතවතුන් පවා නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙලෙස යොදාගනු ලබන බවත්, මෑතකදී 19 හැවිරිදි තරුණයෙකුගේ නමින් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන්වීමට උත්සාහ කළ සිදුවීමක් ද වාර්තා වූ බවත්, හෙතෙම පෙන්වා දුන්නා.
තමන් විසින්ම ගමන් බෑගය පරීක්ෂා කළ ද පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය සඟවා තැබීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බව පෙන්වා දුන් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා, ‘නොමිලේ ගුවන් ටිකට් පතක් ලබාදී විදේශගත කිරීමට’ යම් අයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ පිටුපස ඇති සැබෑ අරමුණ පිළිබඳව දැඩි ලෙස සිතා බලන ලෙස ද පවසා සිටියා.
ලොව බොහෝ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම ඇතුළු දැඩි දඬුවම් නියම වන බැවින්, කිසිදු අවස්ථාවක තමන්ට අයිති නැති භාණ්ඩ හෝ පාර්සල් ප්‍රවාහනය කිරීමට එකඟ නොවන ලෙස ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් අවධාරණය කරනවා ෴
රු. මිලියන 3,811 ක නීතිවිරෝධී දේපළ රජයට පවරා ගැනීමට සැලසුම්
(31.07.2026 – 17:15 +0530 – sinhala.adaderana.lk)
2024 වර්ෂයේ සිට 2026 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 3,811 ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අදාළ කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි, එෆ්.යූ. වුට්ලර් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා පොලීසියේ දායකත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු දැනුම්දීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට අද (31) එක්වෙමිනි.
ඒ අනුව 2024 වසරේදී රුපියල් මිලියන 1490 ක් වටිනා නීතිවිරෝධී වත්කම් ප්‍රමාණයක් අක්‍රිය කිරීමට කටයුතු කර ඇත.
2025 වර්ෂයේදී රුපියල් මිලියන 1549 ක වටිනාකමින් යුතු නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණ කළේය.
එමෙන්ම 2026 වසරේ මේ වන තෙක් මාස කීපයක කාලය තුළ රුපියල් මිලියන 772 ක් වටිනා නීතිවිරෝධී දේපොළ රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති කටයුතු ආරම්භ කර ඇති බව හෙතෙම කීය.
මේ අතර ‘රටම එකට ජාතික මෙහෙයුම’ යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 239,384 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 995 දෙනෙකුට එරෙහිව නඩුගොනු කර ඇත. පොලිස් භාරයට ගත් සැකකරුවන් 378 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 3287 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ද ලබාගෙන තිබේ.
මේ අතර ‘රටම එකට ජාතික මෙහෙයුම’ ක්‍රියාත්මක කෙරුණු පසුගිය මාස නවය තුළ හෙරෝයින් කිලෝ 2253 යි ග්‍රෑම් 834 ක්, අයිස් කිලෝ 2640 යි ග්‍රෑම් 695 ක් සහ කොකෙන් කිලෝ 293 යි ග්‍රෑම් 732 ක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රු. මිලියන 102,116 ක් බව වැඩිදුරටත් සඳහන්ය ෴
සමාගමක වෙළෙඳ රහස් වෙනත් සමාගමකට දුන් සේවකයෙකුට රුපියල් මිලියන 50 ක් වන්දි ගෙවියමට නියෝග
(31.07.2026 – 11:52 +0530 – sinhala.adaderana.lk)
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සමාගමක් සතු ‘නිෂ්පාදන රහස්’ සහ ‘වෙළෙඳ රහස්’ මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට හෙළිදරව් කළ සේවකයෙකුට, එම සමාගමට රුපියල් මිලියන 50 ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ, අත්වැසුම් නිෂ්පාදන පෞද්ගලික සමාගමක ‘නිෂ්පාදන රහස්’ සහ ‘වෙළෙඳ රහස්’ මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට රහසිගත ලෙස හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් එහි සේවකයෙකුට එම සමාගම කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.
සැකකරු කාර්මික පාලක තනතුරෙහි සේවය කළ අයෙකි.
සමාගම පවසන්නේ රබර් කිරි උපයෝගී කර ගනිමින් ‘කාර්මික අත්වැසුම්’ නිෂ්පාදනය කරන තම සමාගම එම ක්‍රියාවලියට අදාළ තාක්ෂණය හා රහසිගත කරුණු සම්බන්ධයෙන් පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන ඇති බවය.
වගඋත්තරකරු දක්ෂ සහ විශ්වාසවන්ත සේවකයකු ලෙස ක්‍රියාකිරීම නිසා එම තාක්ෂණික මෙන්ම වෙළෙඳ රහස් පිළිබඳ ඔහුට පුහුණුවක් ලබා දී තිබූ බවත් සමාගම සඳහන් කළේය.
දශකයකට වැඩි කලක් සේවය කළ වගඋත්තරකරු 2010 නොවැම්බර් මස සිව්වැනිදා (04) හෝ ඊට ආසන්න දිනකදී දැනුම්දීමකින් පවා තොරව රැකියාවෙන් ඉවත් වූ බවත් එම වසරේම නොවැම්බර් 25 වැනිදා ඒ බව දැනුම් දෙමින් ලිපියක් එවා තිබූ බවයි සමාගම පෙන්වාදෙයි.
තම සමාගමේ සිටියදී ඔහු කොරියානු අත්වැසුම් නිෂ්පාදන සමාගමක් සමඟ සහයෝගයෙන් ක්‍රියාකර ඇති බවත් සිය සමාගමේ නිෂ්පාදන සහ වෙළෙඳ රහස් මූල්‍යමය වාසි මත වගඋත්තරකරු එම සමාගමට හෙළිකර ඇති බවත් පැමිණිලිකාර සමාගම සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
එහෙත් වගඋත්තරකරු වාණිජ මහාධිකරණයට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ පැමිණිලිකාර ආයතනයේ නිෂ්පාදන සහ වෙළෙඳ රහස් කිසිවක් තමා දැන නොසිටි බවත් සිය අධ්‍යාපන සුදුසුකම් සහ තනතුර අනුව එවැනි දියුණු තාක්‍ෂණයක් සහ ක්‍රියාවලි තේරුම්ගැනීමට හෝ අත්පත් කර ගැනීමට තමන්ට හැකියාවක් නොතිබූ බවයි.
එමෙන්ම මෙම සමාගමේ කිසිදු රහසිගත තොරතුරක්, වෙළෙඳ හෝ නිෂ්පාදන තාක්ෂණික රහස් කිසිවක් තමා තෙවන පාර්ශ්වයකට ලබානොදුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර කර තිබුණි.
ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබුණේ අත් වැසුම් නිෂ්පාදන රහස් සහ වෙළෙඳ රහස් වගඋත්තරකරු වෙත ලබා දී තිබූ බවට ඔප්පු කිරීමට පැමිණිලිකාර සමාගම අපොහොසත් වී ඇති බවය.
විත්තිකරුගේ අධ්‍යාපන පසුබිම සැලකිල්ලට ගැනීමේදී එවැනි දියුණු තාක්ෂණය, දැනුම, වෙළෙඳ රහස් පිළිබඳ තොරතුරු අවබෝධ කර ගැනීමට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට වගඋත්තරකරුට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබුණි.
පසුව පැමිණිලිකාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබුණේ වාණිජ මාහාධිකරණ තීන්දුව පිළිබඳ අතෘප්තිමත් බව පවසමින්ය.
එය විභාග කිරීමෙන් පසු ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා, “වාණිජ මහාධිකරණ විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මනා ලෙස විශ්ලේෂණය කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නැහැ. ඉදිරිපත් වූ සාක්ෂි මගින් තහවුරු වන්නේ වගඋත්තරකරු රැකියාව කරන අතරතුර අදාළ සමාගමේ නිෂ්පාදන සහ වෙළෙඳ රහස් මෙන්ම සංවේදී තොරතුරු මූල්‍යමය වාසියක් උදෙසා තෙවැනි පාර්ශ්වයක් වෙත හෙළිදරව් කර ඇති බවයි. ඒ අනුව පෙත්සම්කාර සමාගමට හිමි පේටන්ට් බලපත්‍රය ප්‍රකාරව එවැනි සංවේදී තොරතුරු වෙනත් සමාගමකට විකිණීම හෝ සුරා කෑම වළක්වමින් වගඋත්තරකරු වෙත තහනමක් නිකුත් කිරීමට තීරණය කරමි.” යනුවෙන් නියෝග කර සිටියේය.
අභියාචක සමාගමට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 50 ක් ලෙස තක්සේරු කරන බවත් ඒ අනුව වගඋත්තරකරු රුපියල් මිලියන 50 ක මුදලක් සහ නඩු ගාස්තු අභියාචක සමාගමට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.
ඊට අමතරව 2019.03.29 වනදා කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ඉවත දමන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙයි ෴
‘සුව සැරිය’ට 10 යි – හර්ෂ සංවේදී වෙයි – හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කරපු කතාව (31.07.2026)
+
විනිසුරුවරුන්ට අල්ලස් දෙන්න හදන්නේ – දයාසිරි සහ දොළවත්ත අල්ලස් කොමිසමට (31.07.2026)
+
කුරුණෑගල ඉන්න හැමෝම පරිස්සම් වෙන්න – පොලිසිය කුරුණෑගල පීරන මෙහෙයුම මෙන්න (31.07.2026)
+
“වයසට යද්දී ඉක්මණට නඩු අහන්න පුළුවන්” – ඔන්න ඔහොමයි අධිකරණ ඇමති කියන්නේ (31.07.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴