‘හවුස් ඔෆ් ෆැෂන්’ හිමිකරුට ඇප නැති වුණු සිද්ධියේ රහස් රැසක් එළියට
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට රු. ලක්ෂ 5 ක දඩයක්
‘නේෂන් ලංකා ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට (01) සිට
‘හවුස් ඔෆ් ෆැෂන්’ හිමිකරුට ඇප නැති වුණු සිද්ධියේ රහස් රැසක් එළියට
(30.07.2026 – lankacnews.com)
ප්‍රකට නිමි ඇඳුම් ව්‍යාපාරික ආයතනයක් වන ‘හවුස් ඔෆ් ෆැෂන්’ හි හිමිකරු වන ප්‍රීති ජයවර්ධන මහතාට ඇප ලබාදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, මෙම සිද්ධිය පිටුපස පවතින රේගු නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාකලාපයන් පිළිබඳව ‘මී මැස්සෝ’ යූ ටියුබ් නාලිකාව විශේෂ අනාවරණයක් සිදු කර ඇති බවත් වාර්තා වේ.
බදු වංචා කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රීති ජයවර්ධන මහතා ලබන අගෝස්තු මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
රේගු ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුව රුපියල් මිලියනය ඉක්මවන වංචාවන් සම්බන්ධයෙන් ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දී ඇත.
ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල වටිනාකම රුපියල් මිලියන 500 ඉක්මවන බව රේගු දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් රේගුවේ හිටපු විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ‘මී මැස්සෝ’ යූ ටියුබ් නාලිකාව වෙත පවසා සිටියේ, මෙරට රේගු පද්ධතිය තුළ ව්‍යාපාරිකයන් සහ නිලධාරීන් අතර පවතින දූෂිත සම්බන්ධතාවය මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වන බවයි.
භාණ්ඩවල වටිනාකම අඩුවෙන් තක්සේරු කර (Under-invoicing) රජයට ලැබිය යුතු බදු මුදල් වංචා කිරීමේදී, ඉන් ඉතිරි වන මුදලින් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් රේගු නිලධාරීන් වෙත අල්ලස් ලෙස ලබාදීමේ ක්‍රමවේදයක් පවතින බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
විශේෂයෙන්ම, චීන සමාගම් හරහා භාණ්ඩ මෙරටට ගෙන්වීමේ මුවාවෙන් විශාල වශයෙන් ඩොලර් පිටරටට යැවීම සහ එලෙස මුදල් ගෙවූ භාණ්ඩ මෙරටට නොලැබීම වැනි බරපතල මූල්‍ය අපරාධ පිළිබඳවද මෙහිදී කරුණු අනාවරණය විය.
රේගු නිලධාරීන්ගේ අනුදැනුම මත මෙම භාණ්ඩ නිදහස් කරගෙන ඇති පසුබිමක, ව්‍යාපාරිකයා පමණක් අත්අඩංගුවට ගෙන අදාළ නිලධාරීන් නිදහසේ සිටීම රේගු දෙපාර්තමේන්තුවේ පවතින ‘ඩබල් ගේම්’ එකක් බව නාගානන්ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සිද්ධියට අදාළව තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද රේගු දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා කර සිටියි.
+
ඇමැති ධුරයේ වසර 2 තුල හිටපු ඇමැති මර්වින් සිල්වාට රු. මිලියන 600 ක වත්කම් – ස්ථාවර තැන්පතු 10 ක රු. කෝටි 18 ක්
(31.07.2026 – dinamina.lk)
හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600 කට අධික අයථා වත්කම් නඩුව මඟින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිත කර උපයා ගෙන ඇති වත්කම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිදරවු විය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ ලබන අගෝස්තු මස 20 දා විභාගයට ගැනීමට නියමිතය.
එහිදී බැංකු කිහිපයක කළමනාකරුවන් විසින් ඔහු සතු ගිණුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට නියමිත බව වාර්තාවේ.
මර්වින් සිල්වා කම්කරු සහ මහජන සම්බන්ධතා ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා වූ වසර දෙකක් (2) වැනි ඉතා කෙටි කාලසීමාවක් තුළ සිය නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් පැහැදිලි කළ නොහැකි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
ඔහු ‘පෑන් ඒෂියා’ බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ ස්ථාවර තැන්පතු 10 ක පමණක් රුපියල් ලක්ෂ 1823 කට වැඩි මුදලක් තැන්පත් කර ඇත. මෙහි අන්තර්ගත එක් තැන්පතුවක් පමණක් රුපියල් කෝටි 6 ක වටිනාකමකින් යුක්ත වන අතර, රුපියල් ලක්ෂ 366 ක්, ලක්ෂ 365 ක් සහ ලක්ෂ 225 ක් ඉක්මවූ තවත් විශාල තැන්පතු 3 ක් ද එහි තිබී ඇත.
මීට අමතරව ඔහු එම බැංකුවේ රුපියල් ලක්ෂ 33 ඉක්මවූ තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 5 ක් පවත්වාගෙන ගොස් ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
ඔහු සිය බිරිඳ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා’ සහ පුත් ‘මාලක මනෝජිත් සිල්වා’ සමඟ එක්ව බද්ධ ගිණුම් රැසක් පවත්වාගෙන ගොස් තිබේ.
‘පෑන් ඒෂියා’ බැංකුවේ බිරිඳ සමඟ පැවති බද්ධ ගිණුමක රුපියල් 2,140,199.36 ක ශේෂයක් ද, පුතා සමඟ සම්පත් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමක රුපියල් 2,687,852.25 ක ශේෂයක් ද 2010 වසර වන විට පැවතී ඇත.
මීට අමතරව, ‘මාලක සිල්වා’ගේ නමින් පමණක් ‘වැලිබල් ෆිනෑන්ස්’ ආයතනයේ රුපියල් මිලියන 15 සහ 35 බැගින් වූ ගිණුම් දෙකක් (2) තිබී ඇති අතර, දියණිය ‘සන්දීපනී මලිකා සිල්වා’ සහ බෑනනුවන් වන ‘එම්.සී. අගුළුගමුව’ නමින් රුපියල් මිලියන 15 බැගින් වූ තැන්පතු ද එම ආයතනයේම පවත්වාගෙන ගොස් ඇත.
මර්වින් සිල්වාගේ නමින් ද එම ආයතනයේ රුපියල් මිලියන 14 ක තැන්පතු තිබී තිබේ.
බැංකු තුනක (3) පවත්වාගෙන ගිය ජංගම ගිණුම්වල 2012 වසර වන විට රුපියල් ලක්ෂ 47 කට අධික මුදලක් ඉතිරිව තිබූ අතර, ‘හැටන් නැෂනල් බැංකුවේ’ රුපියල් මිලියන 32.5 ක සහ ‘DFCC වර්ධන බැංකුවේ’ රුපියල් මිලියන 6.8 ක තැන්පතු ද ඔහු සතු විය.
විත්තිකරු මිල දී ගෙන ඇති නිශ්චල දේපළ රැසක් සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් මෙම නඩුවේදී අනාවරණය විය. හිටපු ඇමැතිවරයා කොළඹ ඉහළම වටිනාකමක් ඇති ප්‍රදේශවලින් දේපළ මිල දී ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව, කොළඹ 07, කුරුඳුවත්තේ අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3 ක ඉඩමක් ද, රාජගිරිය, නාවල පාරෙන් රුපියල් මිලියන 39.2 ක ඉඩමක් ද ඔහු විසින් මිල දී ගනු ලැබ ඇත. මීට අමතරව කඩවත දලුපිටිය ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13 ක් වටිනා ඉඩමක් ද මිල දී ගෙන තිබේ.
මෙම නඩුවේදී අනාවරණය වූ තවත් කාරණයක් වන්නේ ඔහු විසින් වික්ටෝරියා ව්‍යාපෘතියට අයත් කුණ්ඩසාලේ නිලගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් 1994 වසරේ සිට රුපියල් 1,600 ක වැනි ඉතා සුළු බදු කුලියකට පවරා ගනු ලැබ ඇති බවය.
විත්තිකරු ඇමැතිවරයාව සිටි වසර දෙකක (2) කාලය තුළ වාහන 7 ක් මිල දී ගෙන ඇති බව විමර්ශනවලදී හෙළි විය. මේ වාහන ඉතා අසාමාන්‍ය අයුරින් කෙටි කාලයක් තුළ මිල දී ගෙන ඇත.
ඔහු 2010 වසරේ අප්‍රේල් 10 දා Porsche වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර ඉන් මාස 3 කට පසු ජූලි මාසයේදී සිය පුත් ‘මාලක සිල්වා’ හට රුපියල් මිලියන 28.8 ක් වටිනා Range Rover Sport Petrol V8 රථයක් මිල දී ගෙන දී තිබේ. ඉන් මාස තුනකට (3) පසු තමාගේ භාවිතය සඳහා රුපියල් මිලියන 32.3 ක් වටිනා Mercedes Benz රථයක් මිල දී ගෙන තිබේ. මෙම රථවලට අමතරව රුපියල් ලක්ෂ 20 ක් වටිනාකමට Land Rover රථයක්, රුපියල් මිලියන 9 ක Hyundai ජීප් රථයක් සහ රුපියල් ලක්ෂ 58 ක් වටිනා ලොරි රථ දෙකක් (2) ද වසර දෙකක් (2) තුළදී මිල දී ගෙන තිබේ.
ඔහුගේ දෛනික වියදම් රටාව ද ඉතා ඉහළ මට්ටමක පැවති බව නඩුවට ඉදිරිපත් කර ඇති සාක්ෂි මඟින් පැහැදිලි වන තවත් කරුණකි. විත්තිකරු ‘සම්පත් සහ සෙලාන්’ බැංකුවල ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් (2) භාවිත කරමින් වසර දෙකක් (2) තුළ රුපියල් ලක්ෂ 42 කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා මිල දී ගෙන ඇත. එසේම මූලාශ්‍ර හෙළි නොකළ රුපියල් මිලියන 34.7 ක දැවැන්ත ණය මුදලක් ද ගෙවා දමා තිබේ.
මෙයට අමතරව ‘රිතූ ආකර්ශා’ නම් තැනැත්තිය වෙනුවෙන් රුපියල් 240,000 ක මුදලක් ලබා දී ඇති බව අධිචෝදනා පත්‍රයට අනුව කරුණු අනාවරණය වේ.
විත්තිකරු තමන් වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන නොතිබුණ ද, සිය බිරිඳ සහ දරුවන් වෙනුවෙන් රක්ෂණ ඔප්පු 6 ක් පවත්වාගෙන ගොස් තිබේ.
මේ සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් වාරික ලෙස ගෙවා ඇති අතර, ඉන් රක්ෂණ ඔප්පු 4 ක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ ‘මාලක සිල්වා’ වෙනුවෙනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අමා විජයසිංහ මහත්මිය විසින් පැමිණිල්ල මෙහෙයවනු ලබයි.
වසර දෙකක් (2) වැනි කෙටි කාලයකදී රුපියල් මිලියන 485 ක් වැනි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව ඉදිරි නඩු වාරවලදී වැඩිදුර කරුණු අනාවරණය කරගැනීම පිණිස මෙම නඩුව පවරා ඇත ෴
+++

+
බෝලවලානේදී කන්ටේනරයට ගිනි තැබූ තිදෙනා අගෝස්තු 03 දක්වා රිමාන්ඩ්
(31.07.2026 – hirunews.lk)
මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පසු අදාළ කන්ටේනර් රථයට ගිනි තබා, රියදුරුට සහ සහයකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) ලබන අගෝස්තු 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (31) නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීගමුව, දාගොන්න සහ කිඹුලපිටිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20, 25 සහ 26 යන වයස්වල පසුවන තරුණයින් තිදෙනෙක් (3).
මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදි දෙකක් (2), මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවන් දෙදෙනාම (2) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 29 වැනිදායි.
අනතුරෙන් පසු පිරිසක් එකතු වී කන්ටේනර් රථයට ගිනි තබා අලාභහානි සිදු කර තිබූ අතර, එහි රියදුරුට සහ සහයකයාට ද පහර දී තිබුණා.
අද (31) දින සැකකරුවන් මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී කටාන පොලිසියේ පොලිස් සැරයන් ලලිත් කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් කන්ටේනර් රථයට ගිනි තබා අනර්ථයක් සිදුකිරීම, පොලිස් රාජකාරියට බාධා කිරීම සහ රියදුරු ඇතුළු පිරිසට අමානුෂික ලෙස පහරදීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
කන්ටේනර් රථයේ රියදුරුට සහ සහයකයාට මෙම සැකකරුවන් හඳුනා ගැනීමට හැකි බැවින් ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රීමාල් අමරසිංහ සඳහන් කළේ, මෙම තරුණයින් තිදෙනා (3) සිද්ධිය වූ අවස්ථාවේ එතැන සිටි නමුත් ගිනි තැබීමට හෝ පහරදීමට සහාය නොදැක්වූ බැවින් හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන ලෙසයි.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන් ලබන අගෝස්තු 03 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙසත්, එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළා.
+++
+++
+
වැඩි මිලට වතුර බෝතල් විකුණූ දුම්රිය භෝජනාගාර ආයතනයකට රු. ලක්ෂ 5 ක දඩයක්
(31.07.2026 – hirunews.lk)
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය තුළ පිහිටි භෝජනාගාරයේදී නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ පහක (500,000) දඩයක් නියම කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් පවරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත්තේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් 2026 ජූලි 09 වන දින අනුරාධපුර ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වැටලීමකදී, රුපියල් 120 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ මිලිලීටර් 1000 ක පානීය ජල බෝතලයක් රුපියල් 150 ක මුදලකට පාරිභෝගිකයින් වෙත අලෙවි කර ඇති බව අනාවරණය වුණා.
ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව පිහිටි අදාළ ආයතනයට එරෙහිව මෙලෙස නඩු පවරනු ලැබුවා.
දුම්රිය භෝජනාගාර තුළ මෙලෙස අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබෙනවා.
මෙම ආයතනයට එරෙහිව මීට පෙරද පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී නීත්‍යානුකූලව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ලෙසටත්, නැවත මෙවැනි වැරදි සිදු නොකරන ලෙසටත් අදාළ ආයතනයට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.
පාරිභෝගික නීති උල්ලංඝනය කරන ඕනෑම වෙළෙඳ ආයතනයකට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගන්නා බව පවසන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, දුම්රිය තුළදී හෝ වෙනත් ඕනෑම ස්ථානයකදී උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴
‘නේෂන් ලංකා ෆිනෑන්ස්’ තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම හෙට (01) සිට
(31.07.2026 – hirunews.lk)
‘නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී’ ආයතනයේ රක්ෂිත තැන්පත්කරුවන් සඳහා වන්දි ගෙවීම අගෝස්තු මස 01 වැනිදා එනම් හෙට සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එම වන්දි ගෙවීම් මහජන බැංකුවේ තෝරාගත් ශාඛා හරහා සිදු කිරීමට නියමිත අතර, ‘නේෂන් ලංකා ෆිනෑන්ස්’ ආයතනයේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කිරීමෙන් පසු මෙම ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන තැන්පත්කරුවන්ට ඔවුන්ගේ රක්ෂිත තැන්පතුවල සමස්ත වටිනාකම අනුව උපරිම රුපියල් මිලියන 1.1 ක් දක්වා වන්දි හිමිවන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
මෙම වන්දි මුදල් මහජන බැංකු ගිණුම් වෙත බැර කිරීමෙන්, අලුතින් විවෘත කරන ගිණුම් හරහා හෝ බැංකු කවුන්ටර මගින් මුදල් ගෙවීමේ ක්‍රමය යටතේ ලබාදීමට නියමිතයි.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ලබාදී තිබූ බලපත්‍රය 2026 ජූලි 3 වැනිදා සිට අවලංගු කිරීමට මහ බැංකුව පියවර ගෙන තිබුණේ 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 66(2) වගන්තිය යටතේයි.
රක්ෂිත තැන්පත්කරුවන් සහ නීත්‍යානුකූල හිමිකරුවන්ට 2032 ජූලි 02 වැනිදා දක්වා වන්දි ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවද මහ බැංකුව සඳහන් කරනවා.
මහජන බැංකු ගිණුම් දැනටමත් පවත්වාගෙන යන සහ ‘නේෂන් ලංකා ෆිනෑන්ස්’ ආයතනයේ සමස්ත තැන්පතු වටිනාකම රුපියල් 5,000 ට අඩු තැන්පත්කරුවන්, සම්පූර්ණ කළ ඉල්ලුම්පත් සහ අවශ්‍ය ලේඛන විද්‍යුත් ක්‍රමයෙන් ‘මහජන බැංකුව’ වෙත ඉදිරිපත් කළ යුතුයි.
අනෙකුත් රක්ෂිත තැන්පත්කරුවන් නියමිත ඉල්ලුම්පත් සමග මුල් තැන්පතු සහතික, අනන්‍යතා ලේඛන ඇතුළු අවශ්‍ය ලේඛන ‘මහජන බැංකුවේ’ නම් කරන ලද ශාඛා වෙත ඉදිරිපත් කළ යුතු බව මහ බැංකුව දැනුම් දෙනවා.
ඒකාබද්ධ ගිණුම් හිමියන් වෙන වෙනම වන්දි ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලිකව පැමිණීමට නොහැකි තැන්පත්කරුවන්ට නීත්‍යානුකූලව පත් කළ ඇටෝර්නි බලපත්‍ර හිමියන් මගින් ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි බවද සඳහන්.
වන්දි ක්‍රියාවලියට අදාළ ඉල්ලුම්පත්, උපදෙස් සහ ප්‍රශ්න සඳහා පිළිතුරු ‘මහ බැංකු වෙබ් අඩවියෙන්’ ලබාගත හැකි අතර, ‘මහජන බැංකුවේ’ නම්කරන ලද ශාඛාවලින් මුද්‍රිත පිටපත්ද ලබාගත හැකියි.
තවදුරටත් තොරතුරු අවශ්‍ය තැන්පත්කරුවන්ට ‘මහ බැංකුවේ තැන්පතු රක්ෂණ සහ විසඳුම් දෙපාර්තමේන්තුව’ හරහා සහාය ලබාගත හැකි බවයි ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴