විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට

පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි

ගිනිබත් වුණු මාතර ප්ලාස්ටික් බඩු කඩේ…

FBC පරීක්ෂණයට වැඩියෙන් සල්ලි ගත්ත රෝහලට දඩ


විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට

(29.07.2026 – hirunews.lk)

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති අදූරදර්ශී යෝජනාවට එරෙහිව විරෝධය පළ කිරීම සඳහාත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සදහාත් අද (29) සවස 05:00 ට අධිකරණ අමාත්‍යවරයා හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පැවසුවා.

සභාපතිවරයා මේ බව පැවසුවේ අද (29) කොළඹ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලයේදී පැවැති විශේෂ මහ සභා රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මෙම මහ සභා රැස්වීම සදහා දිවයින පුරා නීතිඥවරුන් 3,500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සහ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ එක්වූ පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

මෙම පනත් කෙටුම්පත ගෙන ඒමට පෙර නීතිඥ සංගමය සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත්, මෙය අධිකරණයට සිදුකරන බලපෑමක් මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන දැඩි පහරක් බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මාස දෙකක (2) කාලයක් පුරා සංගමය මඟින් මීට විරෝධය පළ කළද, ආණ්ඩුව සාකච්ඡා කිරීමට මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බවද හෙතෙම කියා සිටියා.

කෙසේ වෙතත්, අධිකරණ පද්ධතියේ වසර 20-30 ක් තිස්සේ පවතින ප්‍රශ්නකාරී තත්ත්වයන් විසඳිය හැකි ආකාරය ඇතුළත් ලේඛනයක් සකස් කර ඇති බවත්, අද (29) සවස 5 ට අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් සභාපතිවරයා පැවසුවා.

“එතුමාත් අපේ කෙනෙක්. එතුමා ඇමති කෙනෙක් නොවී නීතිඥ සංගමයේ සභාපති වුණානම් එතුමා මීට වඩා කෑ ගහන්න ඉඩ තිබුණා” යැයිද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ආණ්ඩුව ගෙන ඇති මෙම බුද්ධිමත් නොවන තීරණය වහා නැවැත්විය යුතු අතර, එසේ නොමැති නම් ජනමත විචාරණයකට යායුතු බවත්, මෙයින් අධිකරණ පද්ධතියට එල්ල වන ප්‍රහාරයක දීර්ඝකාලීන ප්‍රතිවිපාක බරපතල විය හැකි බවත් නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශ්‍රී ලංකා සංගමයේ සභාපතිවරයා මෙසේද පැවසුවා :

“ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ මෙම යෝජනාවට විනිසුරුවරුන් පවා විරෝධය දක්වනවා. අද දින පැමිණි සහ සූම් තාක්ෂණය ඔස්සේ එක්වූ සියලු නීතිඥයින් මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව ගෙන ඇත්තේ, බුද්ධිමත් නොවන තීරණයක්. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක්. අපි ඒ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නාවා. මහා සභාවේ එකඟත්වය හිමිවීම තුළ මේ වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමර්ග තිබුණාට වඩා හොඳින් ගන්නවා.

ආණ්ඩුව සිදුකිරීමට යන මෙම යෝජනාව අපරාධයක්. මෙය නැවැත්විය යුතුයි. මෙමගින් අධිකරණ පද්ධතියට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිඵල හිමිවිය හැකියි. ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති මෙම අමුතු යෝජනාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටත් අපහසුතාවයට පත්වීමට සිදුවනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ විනිසුරුවන් අපහසුතාවයට පත්නොකර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් ද සැලකිලිල්ලට ගෙන මෙය නැවැත්විය හැකියි. එසේ නොමැති නම් ජනමත විචාරණයකට යායුතුයි.”

කිසිදු මඩ ප්‍රහාරයකින් හෝ බලපෑමකින් තමන් නොසැලෙන බවත්, නීති ක්ෂේත්‍රයේ සියලු දෙනා අත්වැල් බැඳගෙන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවත් සභාපතිවරයා මෙහිදී කියා සිටියා.

මෙම විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, දයාසිරි ජයසේකර සහ මදුර විතානගේ යන නීතිඥවරුන් ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදාළ යෝජනාවට එරෙහිව සිය අදහස් ප්‍රකාශ කළා.

+++

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු හතක් (7) ඒකමතිකව සම්මත කර ගනියි

(29.07.2026 – 17:43 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන අවස්ථාවල හැර ඉදිරියට ගෙන යාමෙන් වැළැකී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදු කර තිබේ.

ඔවුන් මෙම ඉල්ලීම සිදු කරනු ලබන්නේ, අද (29) දින පැවති සිය විශේෂ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්ය.

එහිදී විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඒකමතකිව කරුණු 7 ක් සම්මත කරගෙන තිබේ.

එම නිවේදනය :

BASL Resolution Retirement Age (S) by poornima

+++

නවතම කැබිනට් පත්‍රිකාව අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් – දිනන දකුණ

(29.07.2026 – 12:32 +0530 – sinhala.adaderana.lk)

‘අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ’ මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පසුගියදා ලැබුණු කැබිනට් අනුමැතිය සම්බන්ධයෙන් ‘දිනන දකුණ’ සාමූහිකය සිය දැඩි විරෝධය සහ සැකය පළ කර සිටී.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, එම සාමුහිකය සඳහන් කර ඇත්තේ, මෙය අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසීමේ මූලාරම්භයක් වන බවය.

  • උපුටාගැනීම –

මෙම තීරණය අධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ පළාත් මට්ටමින් අභියාචනාධිකරණයේ නඩු ඇසීම ව්‍යාප්ත කිරීම සඳහා වන සාමාන්‍ය පරිපාලනමය ක්‍රියාවලියක් ලෙස රජය විසින් නිරූපණය කළද, මෙය විධායකයේ අවශ්‍යතාවලට යටත්ව ඉහළ අධිකරණ වල කටයුතු කරවා ගැනීම පිණිස සහ වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයා එම ධුරයේම තබා ගැනීමේ අරමුණින් ව්‍යවස්ථාපිත විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට පාර කැපීම සඳහා ගන්නා ලද තවත් එක් උපක්‍රමශීලී පියවරක් බවට ‘දිනන දකුණ’ සාමූහිකය මහජනතාවට සහ නීතිඥ ප්‍රජාවට අනතුරු අඟවා සිටියි.

මෙය සැබවින්ම ගත් කළ අධිකරණ ප්‍රතිසංස්කරණ ලෙස වෙස්ගන්වන ලද දේශපාලනික උපායමාර්ගයක් බව අප සාමුහිකයේ මතය වන්නේය.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ කාලසටහන සහ එහි අඩංගු යාන්ත්‍රණය දෙස දැඩි අවධානය යොමු කරන කල්හි පෙනෙන්නට තිබෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය මීට පෙර දැරූ උත්සාහයට නීතිඥ ප්‍රජාවගෙන් සහ සිවිල් සමාජයෙන් එල්ලවු දැඩි විරෝධය මඟහැරීම සඳහා මෙම කැබිනට් තීරණය විධායකය විසින් සම්ප්‍රදායික දේශපාලන උපක්‍රමයක් ලෙස ඉදිරිපත් කොට ඇති බවයි.

එනම්, එමඟින් පෙර තමන් සතුවු අභිප්‍රාය ඒ තුළ වු ආන්දෝලනාත්මකභාවය ඉවත් කොට වඩාත් යහපත් යැයි පෙනී යන පොදු අධිකරණ ප්‍රතිසංස්කරණ පැකේජයක් තුළ බහා ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබේ.

ඒ සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම සහ අභියාචනාධිකරණ පළාත් මට්ටමින් පවත්වාගෙන යාම වැනි ජනප්‍රිය යෝජනාවකි. ඒ සමඟම විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවද එකට අමුණා ඉදිරිපත් කිරීම මගින්, පාර්ලිමේන්තුව සහ මහජනතාව රවටා, ජනතා විරෝධතා අක්‍රීය කිරීමට රජය උත්සාහ කොට තිබේ.

විනිසුරු මඬුල්ල පුළුල් කිරීම සහ නඩු ප්‍රමාදය අවම කිරීම සම්පූර්ණයෙන්ම පරිපාලනමය කරුණු වන අතර, ඒ සඳහා අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිල කාලය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අනුභූතික යථාර්තයක් වන්නේය.

මෙම එකිනෙකට පටහැනි අවශ්‍යතා දෙක එකට සම්බන්ධ කිරීමෙන්ම පැහැදිලි වන්නේ විධායකයේ දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට පූර්වාදර්ශ සැපයීම මෙහි යටි අරමුණ වී ඇති බවයි.

අප සාමුහිකයට අනුව මෙම උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමට සහ බල බෙදීමේ න්‍යායට එල්ල වන තර්ජනයකි.

ධුරයේ සිටින නිලධාරීන්ගේ වාසිය උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත කොන්දේසි වෙනස් කිරීම මඟින් රාජ්‍ය බලතල බෙදීමට හා සංවරණය පදනම් කරගත් මූලධර්මයන්ට දැඩි හානියක් සිදුවන බව ‘දිනන දකුණ’ සාමූහිකය අවධාරණය කරනු ලබයි.

වත්මන් නිලධාරියෙකුගේ ධුර කාලය තුළදී විධායකය විසින් ව්‍යවස්ථාපිත ධුර කාලයන් වෙනස් කිරීමට පෙළඹෙන විට, එය ආයතනික පරාධීනත්වයක් බවට පත්වීමේ ඉඩ කඩ ඉහළ යන්නේය.

නොඑසේනම් අධිකරණය, විධායකය මත යැපෙන තත්ත්වයක් එමඟින් නිර්මාණය කරන බව කිව යුතුව තිබේ.

යම් අග්‍රවිනිශ්චයකාරවරයකුගේ ධුර කාලය පැවතීම හෝ දීර්ඝ වීම පවතින රජයේ දේශපාලන අභිමතය මත රඳා පැවතීම ප්‍රජාතන්ත්‍රයට මෙන්ම නීතියේ බලය පවත්වාගෙන යාමට අහිතකර වන්නේය.

එවැනි තත්වයක් තුළ යම් අග්‍විනිශ්චයකාරවරයකුට හෝ අධිකරණයට සම්පූර්ණයෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට හැකි වෙතැයි විශ්වාස කළ නොහැකි වන්නේය.

ජනතාව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී ජනවරම ඉක්මවා යමින් සහ ව්‍යවස්ථාපිත සීමාවන් මායිම් නොකරමින් වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයා එම ධුරයේ තබා ගැනීමට දරණ මෙම උත්සාහය මගින්, විධායකය විසින් අධිකරණ බලයට අතපෙවීම සහ බලය ඒකාධිකාරී කරගැනීමේ අවදානම මනාව පැහැදිලි වන බව අප අවධාරණය කරයි.

ඒ අනුව ගත් කළ රජයේ චේතනාවේ සද්භාවය වැදගත් වන්නේය.

එවැනි සද්භාවයක් හඳුනාගැනීමේ පරීක්ෂණය වන්නේ එවැනි සංශෝධනයක් අනාගතයට පමණක් බලපැවැත්වීමටත් අතීතයටත් බලපැවැත්වීම අදාළ යෝජනාවේ පදනම් සාර්ථකවීමට හේතුවන්නේය.

මෙම කැබිනට් පත්‍රිකාව සැබෑ පරිපාලනමය අවශ්‍යතාවයක් මත ගෙන ආ එකක්ද, නැතහොත් දේශපාලනික වුවමනාවක් මත ගෙන ආ එකක්ද යන්න තක්සේරු කිරීම සඳහා ‘දිනන දකුණ’ එකමුතුව මූලික නීතිමය මූලධර්මයක් පදනම් කරගනිමින් රජයට අභියෝග කරයි.

රජයේ එකම අරමුණ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ අත්දැකීම් පද්ධතිය තුළ රඳවා ගැනීම පමණක් නම්, විශ්‍රාම යන වයස ඉහළ නංවන යෝජිත පනත් සංශෝධන බලපැවැත්විය යුත්තේ අනාගතයේ පත්වන විනිසුරුවරුන්ට පමණකි.

දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට, විශේෂයෙන්ම වත්මන් අග්‍ර විනිශ්චයකාරවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි කාලදීර්ඝයන් ලබා දෙන්නේ නම්, එයින් තහවුරු වන්නේ මෙහි මූලික අරමුණ පද්ධතිමය ප්‍රතිසංස්කරණයක් නොව, දේශපාලන අභිමතයන් ඉටුකර ගැනීම බවයි.

එම නිසා ජනතාවගෙන් සහ සංවිධානවලින් දිනන සාමුහිකය ලෙස කෙරෙන ඉල්ලීම වන්නේ නීති කෙටුම්පත් සම්පාදකවරයා (Legal Draftsman) විසින් සකස් කිරීමට නියමිත කෙටුම්පත් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසටය.

මෙම අනතුරු ඇඟවීම අප සාමුහිකය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මෙහිලා සිදු කරනු ලබයි.

අධිකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ආරක්ෂණයන් දියකර හැරීමට විධායකය ගන්නා මෙවැනි උත්සාහයන්ට එරෙහිව විපරමින් සිටින ලෙස අපි සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

අධිකරණයේ ස්වාධීනත්වය යනු විධායකයේ හිතුමනාපයට වෙනස් කළ හැක්කක් නොව, එය රාජ්‍ය බලයට එරෙහිව සියලු පුරවැසියන් සුරකින අවසාන පලිහ බව අප සමාජයට නිහතමානීව සිහිපත් කොට සිටියි.

  • උපුටාගැනීම අවසන් –

+++

අධිකරණ ඇමති සමඟ සාකච්ඡාව අවසන් – නීතිඥ සංගමයේ සභාපති සියල්ල හෙළි කරයි (29.07.2026)

+


පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි

(29.07.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් පද්ධතිවලට දැඩි සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව 2025 වසර සඳහා වන පාර්ලිමේන්තු වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් අනාවරණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් අදාළ සමාලෝචිත වර්ෂය තුළ පාර්ලිමේන්තුවේ තොරතුරු සහ සයිබර් ආරක්ෂණ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් සිදුකර ඇති අතර එහිදී පරීක්ෂාවට ලක්කළ තාක්ෂණික හා ආරක්ෂණ කරුණු 56 අතුරින් කරුණු 46 කම අවදානම් මට්ටම ඉහළ අගයක පවතින බවට හඳුනාගෙන ඇති බව සඳහන්.

සංවේදී තොරතුරු සොරකම් කිරීම, වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කරමින් ආයතනවල කීර්තිනාමයට හානි කිරීම වැනි අපරාධ මෙහිදී සිදුවිය හැකි අතර මෙම සයිබර් ආරක්ෂණ දුර්වලතා හේතුවෙන් ආයතනයට සිදුවිය හැකි බලපෑම සලකා බලමින්, මේ පිළිබඳව වහාම අවධානය යොමුකර අවශ්‍ය ආරක්ෂණ පියවර ගත යුතු බව විගණනයේදී ද නිරීක්ෂණය කර ඇති බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


ගිනිබත් වුණු මාතර ප්ලාස්ටික් බඩු කඩේ…

(29.07.2026 – 17:16 +0530 – sinhala.adaderana.lk)

මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිට ප්ලාස්ටික් බඩු අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ගින්නක් හට ගෙන තිබේ.

අද (29) පස්වරුවේ ඇති වු ගින්නෙන් වෙළෙඳසැල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

විදුලිය කාන්දුවීමෙන් මෙම ගින්න ඇතිවන්නට ඇතැයි පොලීසිය සැක කරනු ලබයි.

මාතර ගිණි නිවන හමුදාව, මාතර පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විට සමත්ව තිබේ.

මේ අතර, ගින්නෙන් කිසිදු ජිවිතහානියක් මෙතෙක් වාර්තා නොවන බව පොලීසිය සඳහන් කරයි.

+++

+


FBC පරීක්ෂණයට වැඩියෙන් සල්ලි ගත්ත රෝහලට දඩ

(29.07.2026 – 13:47 +0530 – sinhala.adaderana.lk)

පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් සඳහා පාලන මිල ඉක්මවා මුදලක් අයකළ වව්නියාව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී පූර්ණ රුධිර ගණන පරීක්ෂණයක් සඳහා පාලන මිල ඉක්මවා මුදල් අයකර ඇති බවට අනාවරණය කරගත් බව එම අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෞද්ගලික රෝහලට එරෙහිව වව්නියාව දිස්ත්‍රික් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එහිදී අධිකරණය විසින් අදාළ පෞද්ගලික රෝහලට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් නියම කර තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *