‘කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය’ භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින නිලියන් රැසක් ගැන .. නළු පුතා ඔත්තුව දෙයි..

‘කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය’ භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින නිලියන් රැසක් ගැන .. නළු පුතා ඔත්තුව දෙයි..

මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී

නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී : පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ

රෝහල් පොලිස් සැරයන්ට පහර දී පලාගිය සැකකරු සොයා විමර්ශන

ධම්මරාජ මහා බෝසතානෝ : ලසන්ත බණ්ඩාර මහතා : 28.07.2026

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක (1½) සිර දඬුවම්

දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ

පළාත් 04 කට නියඟයක අවදානමක්


‘කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය’ භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින නිලියන් රැසක් ගැන .. නළු පුතා ඔත්තුව දෙයි..

(27.07.2026 – lankacnews.com)

ප්‍රවීණ නාට්‍යවේදියකු සහ රංගන ශිල්පියකුගේ මෙන්ම ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ’ උසස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙකු (3), රුපියල් ලක්ෂ ගණනක් වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝවකට (1) ආසන්න ප්‍රමාණයක් සමඟ කිරිබත්ගොඩ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මොවුන් කොටු කරගෙන ඇත්තේ මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදීය.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා (2) ප්‍රධාන සැකකරුගේ සමීප මිතුරන් වන අතර, ඉන් එක් (1) අයෙකු ඔහුගේ ඥාතියෙකු බවත් අනෙක් පුද්ගලයා (1) මෑතකදී ජපානයේ සිට මෙරටට පැමිණි අයෙකු බවත් පොලිසිය පවසයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 26 හැවිරිදි ප්‍රධාන සැකකරු කොකේන් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකු බවයි.

මීට වසරකට (1) පමණ පෙර ඩුබායි සංචාරයක නිරතව සිටියදී හමුවූ පුද්ගලයෙකු මාර්ගයෙන් ඔහු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බව හෙළි වී තිබේ.

ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මොහු මෙම ජාවාරම මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති අතර, තායිලන්ත ජාතිකයන් පිරිසක් විසින් මෙරටදී ඔහුට මත්ද්‍රව්‍ය තොග ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු විසින් තවත් ආන්දෝලනාත්මක තොරතුරු කිහිපයක් හෙළි කර තිබේ. ඒ අනුව, මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුම ‘කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය’ භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි ෴


මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී

(27.07.2026 – hirunews.lk)

හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 250 ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 250 ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්, එම දුරකථනයට අදාළ සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට භාවිත කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර, දෛනිකව සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන ප්‍රධාන පෙළේ උපකාරක පන්තියක හිමිකරු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

හොරණ පොලිසියට අනුයුක්ත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර නිලධාරීන් සැකකරුගේ නර්තනගල පිහිටි නිවසට ගිය අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ දරා ඇති අතර, සිදු කළ පරීක්ෂාවේදී ඔහු ඇඳ සිටි කලිසමේ දකුණු සාක්කුවේ විනිවිද පෙනෙන පොලිතින් කවරයක බහා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

සැකකරුට මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කිහිපයක් එල්ල වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.

එමෙන්ම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියේද, ඔහු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න සහ උපකාරක පන්තිවලටට පැමිණෙන දරුවන්ට ‘අයිස් මත්ද්‍රව්‍ය’ අලෙවි කළා ද යන්න පිළිබඳවද සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී : පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ

(27.07.2026 – hirunews.lk)

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් යළිත් මතුවීමට පටන් ගෙන තිබෙනවා.

ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කරන්නේ මේ වන විට ජලාශයේ සමස්ත ජල ධාරිතාව 35.14% දක්වා අඩුවී ඇති අතර, ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 410.78 දක්වා පහත වැටී ඇති බවයි.

වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මීටර් 438.04 ක් වන අතර, එම මට්ටමට ළඟා වූ විට එහි ඇති ස්වයංක්‍රීය වාන් දොරටු අටෙන් (8) පළමු දොරටුව විවෘත වී වාන් දැමීම සිදුවෙනවා.

දැනට ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 256.03 දක්වා පහත වැටී ඇති අතර, ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය මෙන් තුන් ගුණයක (3) ප්‍රමාණයක් දෛනිකව පිටවන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

මෙහිදී ජල මට්ටම පහත යෑමත් සමඟ ජලාශයට යටව තිබූ පැරණි මාර්ග, ගමනාගමනයට භාවිත කළ පැරණි පාලම් ඇතුළු නගරයේ නටබුන් රැසක් මේ දිනවල නැවතත් දැකබලා ගැනීමට හැකියාව පවතිනවා.


රෝහල් පොලිස් සැරයන්ට පහර දී පලාගිය සැකකරු සොයා විමර්ශන

(27.07.2026 – 19:41 +0530 – sinhala.adaderana.lk)

හොරණ මූලික රෝහලේ රෝහල් පොලීසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකුට පහරදී බරපතළ තුවාල සිදුකළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, හොරණ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිය පියා බැලීමට බීමතින් රෝහලට පැමිණි සැකකරු රෝහල් කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැණ වැදී අශෝභන ලෙස හැසිරී ඇති බවයි.

එම අවස්ථාවේ රෝහලේ ආරක්ෂක නිලධාරිණියක විසින් ඔහුට රෝහල් පරිශ්‍රයෙන් පිටතට යන ලෙස දැනුම් දී තිබුණද, එය නොතකා රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

අනතුරුව ආරක්ෂක නිලධාරියෙකු ඔහු පිටතට යැවීමට උත්සාහ කිරීමේදී ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා රෝහල් පොලීසියේ පොලිස් සැරයන්වරයා මැදිහත් වූ අවස්ථාවේ සැකකරු ඔහුට පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට පෙර සැකකරු සහ රෝහලේ වෛද්‍යවරයකු අතර බහින්බස්වීමක් ද ඇතිව තිබූ බවට තොරතුරු වාර්තා වන බව පොලීසිය සඳහන් කළේය.

පහරදීමෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර, ඔහු මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම රෝහලේ ආරක්ෂක නිලධාරියකුට සහ ආරක්ෂක නිලධාරිණියකට ද සැකකරු පහරදී ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව සැකකරු මෝටර් රථයකින් පලාගොස් ඇති අතර, එම අවස්ථාවේ රෝහලේ ආරක්ෂක නිලධාරිණියක විසින් සැකකරු පලාගිය මෝටර් රථයේ අංකය ඡායාරූපගත කර තිබීම හේතුවෙන් විමර්ශන සඳහා වැදගත් තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුගේ පියා සිද්ධිය වන අවස්ථාවේ හොරණ මූලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවද වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර, හොරණ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම ගුණවර්ධන මහතාගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

+++

+


ධම්මරාජ මහා බෝසතානෝ : ලසන්ත බණ්ඩාර මහතා : 28.07.2026

+


පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක (1½) සිර දඬුවම්

(28.07.2026 – hirunews.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක (1½) සිර දඬුවමක් නියමකර තිබෙනවා.

අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි, චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා (2) චෝදනා හතරකටත් (4) ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් (3) වැරදිකරු බවට තීරණය කරනු ලැබුවා.

කෙසේ නමුත් රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති බවටයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා ෴

+++

චමින්ද විජේසිරි ඇතුළට දාපු ගමන් සජිත් බදුල්ලට – චමින්ද එළියට ගන්න හැටි සජිත් කියයි (28.07.2026)

+++

+


දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ

(28.07.2026 – hirunews.lk)

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු (1) මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසනවා.

මීගමුවෙන් පැමිණි කාවඩි නර්තන කණ්ඩායමක ඩ්‍රම්ස් වාදනය කරන සාමාජිකයකු මෙලෙස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි.

‍අද (28) දිනයේදී ද පෙරහ‍රේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා. පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් ‍ආරක්ෂක අංශ සාමාජිකයින් 1500 කට අධික පිරිසක් යොදවා ඇතැයි ද පොලිසිය පවසනවා.

මේ අතර, ඊයේ (27) පැවැති පස්වැනි (5) පේළි පෙරහරේ අලි ඇතුන් දක්නට නොලැබුණු බව වාර්තාකරු සඳහන් කරනවා.

අද (28) පේළි පෙරහර පස්වරු 02:00 ත් 03:00 ත් අතර කාලයේදි විදී සංචාරය සඳහා ආරම්භ වන බවත්, දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික රන්දෝලි පෙරහර හෙට (29) ආරම්භ වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා ෴


පළාත් 04 කට නියඟයක අවදානමක්

(28.07.2026 – hirunews.lk)

‘එල් නිනෝ’ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ, ‘අති ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයක් දක්වා මෙය වර්ධනය වුවහොත් ලබන මාසයේදී දැඩි නියඟයක් ඇතිවිය හැකි බවයි.

වර්ෂාපතනය අඩුවීම, ජල මූලාශ්‍ර සිඳී යාම, උෂ්ණත්වය ඉහළ යාම වැනි පාරිසරික ගැටළු රැසක් ලබන වසර තුළ එල්ලවිය හැකි බව ද ඔහු සඳහන් කළා.

‘අති ප්‍රබල එල් නිනෝ’ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව සියයට 81 ක් ලෙස පවතින බව ගෝලීය වශයෙන් සෞඛ්‍ය අංශයන් නිවේදනය කර තිබෙනවා.

වියළි කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවදානයෙන් සිටීම සහ ජීවනෝපාය මෙන්ම පාරිසරික බලපෑම අවම කර ගැනීම සඳහා කල් වේලා ඇතිව සූදානම් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්කවල අදත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකියි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *