දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී
දෙහිවල – ගල්කිස්ස වෙඩි තැබීම්වල යතුරුපැදිකරු අත්අඩංගුවට
ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයා තවදුරටත් රිමාන්ඩ්
වඳින්න ගිය දේවාලයේදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
ඇහැළියගොඩ කැලෑවකින් හමුවූ චීන ජාතිකයාගේ මරණයේ තවත් තොරතුරු
දුප්පත් ගොවි පවුලක පිරිමි තුන්නිවුන් දරු උපතක් – පුළුවන් විදිහට අපිට පිහිට වෙන්න ! (27.07.2026)
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
(27.07.2026 – 18:01 +0530 – sinhala.adaderana.lk)
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර තිබේ.
ඒ මාතර දිසාපති කාර්යාලයේ අද (27) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණය මතය.
මෙම සාකච්ඡාව අද (27) පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව වල සහභාගීත්වයෙනි.
මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ හෙට (28) පැවැත්වෙන පෙරහැරට අතිරේක පොලිස් විශේෂ කාර්යය බළකාය සහ පොලීසිය ආරක්ෂාව සඳහා යෙදවීමටය.
++++
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසනවා.
අද (27) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පවතින ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා අද පස්වරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි.
මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් එක්වනු ඇති.
මීට වසර 35-40කට පමණ පෙර සිට දෙවිනුවර ඇසළ පෙරහැරට කාවඩි නර්තනය ඇතුළත්ව තිබුණද, පසුගිය වසර කිහිපය තුළ එහි බරපතළ විනය පිරිහීමක් දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.
එහිදී, සමහරක් නර්තන ශිල්පීන් අඩ නිරුවතින් හෝ රහස් ප්‍රදේශ පෙනෙන අයුරින් අශෝභන ලෙස නර්තනයේ යෙදීම, නර්තන ශිල්පීන් බහුතරයක් අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම යන කරුණු ඉන් ප්‍රධාන වූ බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව, විනය විරෝධී ලෙස හැසිරුණු කණ්ඩායම් කිහිපයක් ඉවත් කර, බස්නායක නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සංගමයක් හරහා යම් පිරිසකට පමණක් අවස්ථාව දීමට තීරණය කිරීමත් සමඟ ඊට සම්බන්ධ පාතාල කණ්ඩායම් අතර නොසන්සුන්තා ඇතිවූ බවත් ඒ හේතුවෙන් පෙරහැරේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇති අතර, 1896 අංක 13 දරන වන්දනාගමන් ආඥා පනත අනුව පෙරහැරේ පරිපාලන බලතල පැවරී ඇත්තේ දිසාපතිවරයාට බවත්, පොලිසියේ වගකීම වන්නේ ආරක්ෂාව සැපයීම පමණක් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
+++
+
මත්ද්‍රව්‍ය සමග කොටු වූ ප්‍රසිද්ධ උපකාරක පංති හිමිකරුට වැඩ වරදී
(27.07.2026 – hirunews.lk)
හොරණ නගරයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ස්ථානයක හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 250 ක් සමගින් හොරණ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 250 ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්, එම දුරකථනයට අදාළ සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට භාවිත කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වන අතර, දෛනිකව සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබන ප්‍රධාන පෙළේ උපකාරක පන්තියක හිමිකරු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
හොරණ පොලිසියට අනුයුක්ත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර නිලධාරීන් සැකකරුගේ නර්තනගල පිහිටි නිවසට ගිය අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ දරා ඇති අතර, සිදු කළ පරීක්ෂාවේදී ඔහු ඇඳ සිටි කලිසමේ දකුණු සාක්කුවේ විනිවිද පෙනෙන පොලිතින් කවරයක බහා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.
සැකකරුට මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා කිහිපයක් එල්ල වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.
එමෙන්ම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියේද, ඔහු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න සහ උපකාරක පන්තිවලටට පැමිණෙන දරුවන්ට ‘අයිස් මත්ද්‍රව්‍ය’ අලෙවි කළා ද යන්න පිළිබඳවද සොයා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴
දෙහිවල – ගල්කිස්ස වෙඩි තැබීම්වල යතුරුපැදිකරු අත්අඩංගුවට
(27.07.2026 – hirunews.lk)
දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩි තබා තුවාල සිදුකිරීම සහ ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් දෙහිවල සුසාන භූමියේ මුරකරුට වෙඩි තබා තිබුණේ පසුගිය 19 වැනිදායි.
වෙඩි වැදීමෙන් මුරකරු තුවාල ලැබූ අතර පසුව අනාවරණ වුණේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘සැන්ඩෝ’ නමැත්තාගේ පියා බවටයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස්මල්ලි’ගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට ද පොලිසිය කරුණු අනාවරණ කර ගත්තා.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව සුසාන භූමියේ මුරකරුට වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා එම කොට්ඨාසය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගත්තා.
පසුගිය 21 වැනිදා ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේ ද මෙම පුද්ගලයායි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බඩෝවිට අවිශ්ක’ නමැත්තා විසින් තමන්ව මෙහෙයවූ බවයි.
එමෙන්ම අපරාධය සඳහා වෙඩික්කරුවන් රැගෙන යාමට තමන්ට රුපියල් ලක්ෂ 2 ක මුදලක් ‘බඩෝවිට අවිශ්ක’ විසින් ලබාදුන් බවට ද සැකකරු විසින් පාපොච්චාරණය කර තිබෙනවා.
අදාළ වෙඩි තැබීම් සිද්ධි දෙකේම (2) තමන් පැදිකරු ලෙස කටයුතු කළ ද වෙඩි තැබීම කළේ පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් බවයි සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය 19 වනදා උදෑසන, ‘බඩෝවිට අවිශ්ක’ නමැත්තා විසින් දුරකථන ඇමතුමක් ලබාදී ‘සැන්ඩෝ’ නමැත්තාගේ පියාට වෙඩි තැබීමට සූදානම්වන ලෙස පැවසු බවත් ඒ අනුව තමන් බෙල්ලන්විල, ඇවිදින මංතීරුව අසලින් යතුරුපැදිය සහ වෙඩික්කරු ද රැගෙන අපරාධය සිදුකිරීමට කටයුතු කළ බවත් ඔහු පවසා තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් බස්සවා යතුරුපැදිය 120 කැස්බෑව මාර්ගයේ දමා යන ලෙසට උපදෙස් ලැබුණු බව ද සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම පසුගිය 21 වනදා රාත්‍රියේ ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේ හුලුදාගොඩ මාර්ගය ආසන්නයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු උනා. එම වෙඩි තැබීම සඳහා, අදාළ වෙඩික්කරු, මෙම සැකකරු විසින් එදින පස්වරුවේ රැගෙන එනු ලැබ ඇත්තේ පිල්ලෑව, පන්සල අසළින් බව පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු බොරලැස්ගමුව ප්‍රදේශයෙන් බස්සවා යන ලෙසට ‘බඩෝවිට අවිශ්ක’ නමැත්තා වට්ස්ඇප් ඔස්සේ උපදෙස් දුන් බවයි සැකකරු පවසා ඇත්තේ.
වෙඩික්කරුවන්ට ඇමතුම් ලබාදීම සඳහා භාවිත කළ ජංගම දුරකථන 3 ක් සහ අපරාධ සිදු කිරීම සඳහා සැකකරුට ලබාදී තිබූ රුපියල් ලක්ෂ 2 ක මුදලින් රුපියල් 55,000 ක මුදලක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබුණා.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු අපරාධය සඳහා යොදාගත් බවට සැකකෙරෙන ඇඳුම් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි ෴
ප්‍රසිද්ධ ඇඟලුම් ව්‍යාපාරිකයා තවදුරටත් රිමාන්ඩ්
(27.07.2026 – hirunews.lk)
රුපියල් මිලියනයකට අධික භාණ්ඩ ආනයනය කරමින් රේගු ආඥා පනත උල්ලංඝනය කළැයි කියන සිද්ධියට අදාල ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක හිමිකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි එම සැකකරු ලබන 06 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (27) නියෝග කළා.
සැකකරුට එරෙහි පැමිණිල්ල පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත් මෙය නිශ්ප්‍රභ කරන ලෙසත් විත්තිය විසින් මෙහිදී විරෝධතාවක් ද ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී විත්තිය විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතාව පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන ලෙසට කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කළා.
පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු අනුව විමසීමට නඩුකරයක් ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තිය යටතේ සැකකරු මුදා හරින ලෙස කළ ඉල්ලීමද මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි තොරතුරු අගෝස්තු 06 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබුවා ෴
RMV හිටපු නිලධාරිනියට ඇප
(27.07.2026 – hirunews.lk)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල නොවන වාහන පැවරීමකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරිනිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (27) නියෝග කළා.
සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරිනියක වූ ‘විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර’ නමැත්තියයි.
ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව සහ රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා මත සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
අදාල මෝටර් රථයේ පළමු පැවරීම සිදු කිරීම සඳහා කවුළු අංකයක් ලබාදී, එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට මෙම සැකකාරිය කටයුතු කර ඇති බවට හෙළිව ඇතැයි ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදාල සැකකරුවන් පස් දෙනෙකු (5) මේ වන විට ඇප මත මුදා හැර ඇති බවත්, මෙම සැකකාරිය හය වන (6) සැකකාරිය බවත් එම කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
ඒ අනුව, ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කරමින් නඩුව කල් තැබුවා ෴
වඳින්න ගිය දේවාලයේදී මී අත්තක් කඩා වැටී කතක් මරුට
(27.07.2026 – hirunews.lk)
කරන්දෙණිය ප්‍රදේශයේ පෞරාණික දේවාල භූමියක තිබූ මී ගසක අත්තක් කඩා වැටීමෙන් තුවාල ලැබූ කාන්තාවක බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේම පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.
ඇය ඊයේ (26) එම දේවාල භූමියට පැමිණි අවස්ථාවේදී මී ගසේ කඩා වැටුණු අත්තකට යටවී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම මී අත්ත කඩා වැටීම නිසා ඒ අසල නවතා තිබූ ත්‍රීවිල් රථයකටද හානි සිදුවී තිබුණා.
මේ සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴
ඇහැළියගොඩ කැලෑවකින් හමුවූ චීන ජාතිකයාගේ මරණයේ තවත් තොරතුරු
(27.07.2026 – 15:45 +0530 – sinhala.adaderana.lk)
වරාය නගරයේදී පැහැරගෙන ගොස් ඝාතනයට ලක් වූ චීන ජාතිකයා පරිගණක සම්බන්ධ වංචා සිදුකරමින් මුදල් අයතා ලෙස ඉපයූ පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය.
පසුගිය දින කිහිපය තුළ කොළඹ හා බස්නාහිර පළාත තුළ සිදු වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ කරුණුවල සත්‍ය තත්ත්වය ගැන පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් අද (27) ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව පසුගිය 23 වන මධ්‍යම රාත්‍රියේ වරාය නගරය තුළදී චීන ජාතිකයින් පිරිසක් අතර සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.
චීන ජාතිකයින් දෙපිරිසක් අතර පසුගිය 23 වන දා අලුයම 3 ට පමණ ඇතිවූ ගැටුමක් හේතුවෙන් එක් (1) පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු අතර ඔහුගේ මෘත ශරීරය ඇහැලියගොඩ ප්‍රදේශයේදී හමු වී තිබුණි.
එම සිද්ධියට අදාළව සාර්ථක විමර්ශනයක් සිදුවෙමින් පවතින බව පැවසූ කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එම සිදුවීම සිදුවී පැය කිහිපයක් අතරතුර මෙරටින් පලායාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද ඔවුන් එම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් බවට දැනට තහවුරු වී ඇති බවද පැවසීය.
මේ අතර සැකකරුවන් 8 දෙනෙකු එම සිද්ධියට අදාළව හඳුනාගෙන ඇති අතර ඉන් තිදෙනෙකු (3) මේවන විටත් මෙරටින් පලාගොස් ඇති බවද ඔවුන්ව මෙරටට කැඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද පැවසීය.
මෙහිදී වායු පිස්තෝල දෙකක් (2), ජංගම දුරකතනයක් (1), වෝකි ටෝකි එකක් (1) හා වාහන කිහිපයක් මෙම සිද්ධියට යොදාගෙන ඇති බවට හඳුනාගෙන ඇති බවද පැවසීය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ චීන රජයත් සමඟ මනා සම්බන්ධීකරණයෙන් යුතුව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවද කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසීය ෴
දුප්පත් ගොවි පවුලක පිරිමි තුන්නිවුන් දරු උපතක් – පුළුවන් විදිහට අපිට පිහිට වෙන්න ! (27.07.2026)
මට දරුවන්ට කිරි දෙන්න විදිහක් නෑ – පිටි කිරි දෙන්නේ
තුන් දෙනාට දෙන පිටි පැකට් එක දවස් හතරෙන් ඉවරයි
පින්වත් ඔයාලා පුළුවන් විදිහට අපිට පිහිට වෙන්න !
දුරකථන අංක : 076 936 0292 , 077 789 0372
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴