උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
නිල් දිය පොකුණ ළඟ උණුසුම් තත්ත්වයක් : නැවත විවෘත කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් පියවර
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් (4) අත්අඩංගුවට
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ – අවසන් දිනය අගෝස්තු 17
කොළඹ (07) හතේ රු. කෝටි ගණනක් වටිනා ඉඩමක් කුණු කොල්ලයට ලියාපදිංචි කිරීමේ ජාවාරමක් අධිකරණයේදී හෙළිවෙයි
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
(24.07.2026 – hirunews.lk)
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රවල (Admission) යම් සංශෝධනයක් සිදු කිරීමට ඇත්නම්, ඒ සඳහා මාර්ගගතව පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම, පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති බවත්, සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන්ට තැපැල් මාර්ගයෙන් යොමු කර තිබෙනවා.
ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට තිබේ නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස පහත පරිදි සංශෝධන සිදු කළ හැකියි.
- පාසල් අයදුම්කරුවන් සඳහා : විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය හා මුරපදය (User name & Password) භාවිත කර ගිණුමට ප්‍රවේශ වී අදාළ සංශෝධන සිදු කළ යුතුය.
- පෞද්ගලික අයදුම්කරුවන් සඳහා : වෙබ් අඩවියට පිවිස තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් සංශෝධන සිදු කර ගත හැක.
මෙම සංශෝධන සිදු කිරීම 2026 අගෝස්තු මස 03 වන දින මධ්‍යම රාත්‍රී 12:00 න් අවසන් වන අතර, සංශෝධන සඳහා ලබාදෙන කාලය නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බව එම නිවේදනයේ සඳහන්.
විභාගය සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම් පහත අංක හෝ මාධ්‍ය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතීමට හැකියාව පවතිනවා.
ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංක : 011 278 4208 / 011 278 4537
ෆැක්ස් අංකය : 011 278 4422
විද්‍යුත් තැපෑල (Email): gcealexamsl@gmail.com
නිල් දිය පොකුණ ළඟ උණුසුම් තත්ත්වයක් : නැවත විවෘත කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් පියවර
(24.07.2026 – hirunews.lk)
‘බණ්ඩාරවෙල නිල් දිය පොකුණේ’ භූගත ජලය පරීක්ෂා කිරීමට පැමිණි ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී මඟපෙන්වන්නන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ, වසර එකහමාරකට (1½) වැඩි කාලයක සිට නිල් දිය පොකුණ වසා දමා ඇති පසුබිමකයි.
මෙලෙස පොකුණ වසා දැමීම හේතුවෙන් සිය ජීවනෝපායට බලපෑම් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.
බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි භූගත ජලාශයක් වන නිල් දිය පොකුණ සොබාදහමේ අපූරු නිර්මාණයක් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් ගවේෂණයට උනන්දුවක් දක්වන කුතුහලය දනවන සංචාරක ස්ථානයක්.
2015 වර්ෂයේ සිට මෙම ප්‍රදේශයේ ජනතාව එහි පැමිණෙන සංචාරකයින්ට මඟ පෙන්වමින් නිල් දිය පොකුණේ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව සලසා දුන්නා.
වනජීවි කාර්යාලය මඟින් එම මඟ පෙන්වන්නන්ට ජීවිතාරක්ෂක සහ ප්‍රථමාධාර සම්බන්ධ පුහුණුවීම් ද ලබා දීමට පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් 2024 දෙසැම්බර් මස 26 වැනිදා සිට නිල් දිය පොකුණ සංචාරකයින් සඳහා වසා දැමීමට රාවණාඇල්ල වනජීවි කාර්යාලය විසින් පියවර ගත් අතර, මෙවැනි සංචාරක ස්ථානයක් වසා දැමීම සම්බන්ධයෙන් එම මඟ පෙන්වන්නන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
එවැනි පසුබිමක නිල්දිය පොකුණේ භූගත ජලය පරීක්ෂා කිරීමට ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවි කාර්යාල නිලධාරින් ඊයේ එම ස්ථානයට පැමිණියා.
එහිදී පොකුණට යාමට මගපෙන්වන්නන් ලෙස කටයුතු කල ප්‍රදේශවාසීන්ගේ එම නිලධාරීන් සහය ඉල්ලුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කළා.
එම අවස්ථාවේ නිලධාරීන් සහ පිරිස අතර ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.
අනතුරුව වනජීවි නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරීයේ නිලධාරීන් උමඟ තුළට බැස පොකුණේ ස්ථාන හතරකින් (4) ජල සාම්පල් ගෙන ඒවා පරීක්ෂාවට ලක් කළා.
එහිදී නිල් දිය පොකුණේ මඟ පෙන්වන්නන් පැවසුවේ ඔවුන් නිල්දිය පොකුණ යළි විවෘත කරන බවයි.
ඒ අනුව එම පිරිස අද (24) පුද පූජා පවත්වා නිල් දිය පොකුණ සංචාරකයින් සඳහා යළි විවෘත කළා.
+
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් (4) අත්අඩංගුවට
(24.07.2026 – hirunews.lk)
වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (23) රාත්‍රී කාලයේදී කාර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මරණකරු වයස අවුරුදු 39 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය විසින් සැක පලකරනු ලබන්නේ ෴
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ – අවසන් දිනය අගෝස්තු 17
(24.07.2026 – hirunews.lk)
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළව, තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රසාද් විජේසිංහගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල විසින් අවසාන තේරීම් ලේඛනය අදාළ විශ්වවිද්‍යාල වෙත දැනටමත් යොමු කර ඇති බවයි.
ශිෂ්‍යත්ව සඳහා තේරී පත් වූ සිසුන්, 2026 අගෝස්තු 17 වන දිනට පෙර වෙබ් අඩවියට පිවිසිය යුතුය.
එහිදී සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් මාර්ගගත ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකි බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
නිවේදනයට අනුව, සිසුන් පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය :
- මාර්ගගත ලියාපදිංචියෙන් පසු, අදාළ අයදුම්පත බාගත කර, අත්සන් තබා, බැංකු පොතේ පිටපතක් හෝ බැංකු ගිණුම තහවුරු කිරීමේ ලේඛනයක් ද සමඟ තමන්ගේ විශ්වවිද්‍යාලයට භාර දිය යුතුය.
- ශිෂ්‍යත්ව මුදල් බැර කරනු ලබන්නේ අයදුම්කරුගේ නමින් පවතින ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ඉතිරි කිරීමේ/ජංගම ගිණුමකට පමණි.
- ඒකාබද්ධ බැංකු ගිණුම් පිළිගනු නොලැබේ.
- ලියාපදිංචියේදී ලබා දෙන බැංකු ගිණුම් විස්තර පසුව වෙනස් නොකළ යුතුය. එසේ වෙනස් කිරීම ගෙවීම් ප්‍රමාද වීමට හේතු විය හැක.
- වලංගු ජංගම දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීම අනිවාර්ය වේ.
ශිෂ්‍යත්ව සඳහා මෙවර තේරී පත් නොවූ සිසුන්ගේ අභියාචනා පවතී නම්, ඒවා 2026 ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ විශ්වවිද්‍යාල මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) වෙත යොමු කළ යුතු බව මහපොළ අරමුදල වැඩිදුරටත් දැනුම් දෙනවා ෴
කොළඹ (07) හතේ රු. කෝටි ගණනක් වටිනා ඉඩමක් කුණු කොල්ලයට ලියාපදිංචි කිරීමේ ජාවාරමක් අධිකරණයේදී හෙළිවෙයි
(24.07.2026 – hirunews.lk)
කොළඹ බාන්ස් පෙදෙසේ රු. කෝටි ගණනක් වටිනා ඉඩමක් අඩු වටිනාකමක් යොදා ලියාපදිංචි කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් සිදු කරන ලද මහා පරිමාණ වංචාවක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පවසා සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් කියා සිටියේ මෙම සංවිධානාත්මක අපරාධයට පොලිස් නිලධාරීන් සහ රෙජිස්ට්‍රාර් කාර්යාල නිලධාරීන් සම්බන්ධ වී ඇති බවට හැඟී යන හෙයින් විමර්ශන නිසි පරිදි සිදු කළ යුතු බවය.
එබැවින් අදාල විමර්ශනයන්ට සහාය දැක්වීම වගඋත්තරකාර පාර්ශ්වයේ වගකීමක් බවද පෙන්වා දුන්නා.
අදාල ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවද පැවසුවා.
කොළඹ බාන්ස් පෙදෙසේ නොම්මර 18 ස්ථානයේ පර්චස් 43 ක ඉඩම ප්‍රසිද්ධ වාහන අලෙවි සමාගමක් විසින් මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවු අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළා.
අදාල සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා නීත්‍යනුකූලව අදාල ඉඩම මිලදීගෙන ඇති බවය.
මෙම විමර්ශනය කරන නිලධාරීන් ඉල්ලා සිටින ඉඩම් ඔප්පුවල මුල් පිටපත් අධිකරණයට භාර දීමට අවසර ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.
අදාල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ දිලීප පීරිස් මහතා විමර්ශකයින්ට ඉදිරිපත් කළ යුතු ලේඛන අධිකරණයට භාරදීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි බව පෙන්වා දුන්නා.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ක්‍රියාවලියට අධිකරණයට මැදිහත් විය නොහැකි බැවින් ලේඛන භාර ගැනීමට නොහැකි බව පෙන්වා දුන්නා.
නිසි ක්‍රියාදාමයන් අනුගමනය කර විමර්ශන සිදු කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා.
විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ගොනුව බහා තැබීමටද නියෝග කළා ෴
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21 ක් සම්බන්ධයි : CID ය කියයි
(24.07.2026 – hirunews.lk)
රේගු ආඥා පනත උල්ලංඝනය කර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21 ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වන හෙයින් එය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කරුණු දැක්වූ අපරාධය පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(23) අධිකරණයට දන්වා සිටියා.
භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190 ක අධික වටිනාකමින් යුත් ඩොලර් විදේශගත කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සමාගම් අතරින් සමාගම් 06 ක් දැනට අනාවරණය වී ඇති බවත්, ‘හවුස් ඔෆ් ෆැෂන් මෝල්’ නැමති සමාගමක් ඒ අතර වන බවත් පවසා සිටියා.
ඇමරිකානු ඩොලර් මිලියන 700 කට අධික මුදලක් විදෙස් රටවලට යවා වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත ‘ජෙෆ්‍රි මොහොමඩ්’ නම් සැකකරු මෙම ජාවාරමේ පහසුකම් සලසන්නා ලෙස කටයුතු කර ඇති බවද පැවසුවා.
සැකකාර ‘ජෙෆ්‍රි මොහොමඩ්’ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු දැක්වූ රහස් පොලිසිය සැකකරුට ඇප ලබාදීමට තරයේ විරුද්ධ වන බවත් පැවසුවා.
සැකකරු විසින් මීට සම්බන්ධ වූ සමාගම් හෙළි නොකරන බවත්, විමර්ශනයන්ට සහාය නොදක්වන බවත් පැවසූවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පවසා සිටියා :
“භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරට ඩොලර් පිටරට පටවා මෙම වංචාව සිදු කර තිබෙනවා” ෴
“ආර්ථික වර්ධන වේගයට වඩා බදු ආදායම ශීඝ්‍රයෙන් ඉහළට”
(24.07.2026 – hirunews.lk)
බදු ආදායමේ ශීඝ්‍ර වර්ධනය සහ ආර්ථිකයේ වර්ධනය අතර නොගැලපීමක් නිර්මාණය වී ඇති බවත්, ආර්ථිකයට වඩා වේගයෙන් බදු ආදායම වර්ධනය වන බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
බදු ආදායම් වර්ධන වේගය සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධන වේගය අතර අනුපාතය ලෙස ගණනය කෙරෙන බදු ප්‍රත්‍යස්ථතා අනුපාතය දිගින් දිගටම පරතරය වැඩි වීම හේතුවෙන්, මෙම ප්‍රවණතාවය ක්‍රමයෙන් ආර්ථික මන්දගාමීත්වයකට මගපාදනු හැකි බවයි ආර්ථික විද්‍යාඥයෝ පවසන්නේ.
ඉහළ බදු ප්‍රත්‍යස්ථතා අනුපාතයක් මගින් අදහස් වන්නේ රටක තාත්වික ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයට වඩා වේගවත් දර්ශකයකින් බදු ආදායම වර්ධනය වන බවයි.
2026 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම් එකතු කිරීම ඉහළ ගොස් ඇති අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්තවලට අනුව එකතු කර ඇති බදු මුදල රුපියල් බිලියන 606 ක් ලෙස සටහන් වෙනවා.
මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට වඩා 17.7% ක වර්ධනයක් බව සඳහන්.
මෙලෙස බදු ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වාහන ආනයනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සඳහා හඳුන්වා දුන් අනෙකුත් බදු වැඩි කිරීම් ය.
ලෝක බැංකුව, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් කරගෙන සකස් කරන ලද වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ බදු ප්‍රත්‍යස්ථතා අනුපාතය ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට වඩා අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රජය විසින් බදු ආදායම තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන යෝජනා දැනටමත් ඉදිරිපත් කර ඇති බැවින්, 2026 වසර තුළ සහ ඉන් පසුවද මෙම අනුපාතය ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයෝ සටහන් කරන්නේ.
ආර්ථික විද්‍යාඥයින්ට අනුව, දීර්ඝ කාලයක් පුරා පැවැත්වෙන ඉහළ බදු ප්‍රත්‍යස්ථතා අනුපාතය හේතුවෙන් අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී, ව්‍යාපාර වැසී යාම සහ රැකියා වියුක්තිය ඉහළ යාම සිදුවිය හැකියි.
විශේෂයෙන්ම ඉදිකිරීම් සහ සිල්ලර වෙළඳ ක්ෂේත්‍රවල සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවට හෝ වැසී යන බවට වන පූර්ව ලක්ෂණ මතුවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම, මින් සිදුවන බලපෑමෙන් වැඩි පංගුවක් අඩු ආදායම්ලාභී පවුල්වලට දැරීමට සිදුවනු ඇති බවත්, එමගින් දිළිඳුකම ඉහළ යාමේ අවදානමක් පවතින බවත් විශ්ලේෂකයෝ පවසන්නේ.
රන් උකස් ණය සහ අක්‍රිය ණය ඉහළ යාම, ගෘහස්ථයන් සහ ව්‍යාපාර මුහුණ දෙන මූල්‍ය පීඩනය පිළිබඳ මුල් කාලීන දර්ශක විය හැකි බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලෝක බැංකු සමීක්ෂණයකට අනුව ද පෙනී ගොස් ඇත්තේ 2024 වසරේදී හඳුන්වා දුන් වක්‍ර බදු සංශෝධන හේතුවෙන් රටේ දිළිඳුකමේ අනුපාතය 2.2% කින් ඉහළ ගොස් ඇති බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴