පැහැරගත් චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි – රට පනින්න හැදූ චීන්නු දෙන්නෙක් (2) කොටුවෙති

පැහැරගත් චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි – රට පනින්න හැදූ චීන්නු දෙන්නෙක් (2) කොටුවෙති

දෙමටගොඩ වෙඩි තැබීමක්

වත්තල හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා මරුට

ජූනි මාසෙත් පරද්දලා මේ මාසේ ඩෙංගු සැරටම ගේම දීලා… අද (23) එළියට ආපු අලුත්ම අප්ඩේට් එක (23.07.2026)

හිරු ටීවී බලය (සජීව) (23.07.2026)


පැහැරගත් චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩින් හමුවෙයි – රට පනින්න හැදූ චීන්නු දෙන්නෙක් (2) කොටුවෙති

(23.07.2026 – 18:41 +0530 – sinhala.adaderana.lk)

වරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.

අද (23) අලුයම කොළඹ කොටුව, වරාය නගරයේ මාලු ඇල්ලීම සඳහා කැබ් රථයකින් චීන ජාතිකයින් තිදෙනෙකු (3) පැමිණ තිබුණි.

පසුව වාහන දෙකකින් (2) එම ස්ථානයට පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී ඇතැයි පොලීසිය පවසයි.

එහිදී පහරදුන් පිරිස එක් (1) චීන ජාතිකයෙකු පැහැරගෙන, ඔවුන් පැමිණි එක් වෑන් රථයක් ද එහිදමා පළාගොස් තිබුණි.

අදාළ වෑන් රථයේ තිබී වායු පිස්තෝලයක් සොයාගැනුණි.

මේ අතර කරඳන ගේට්ටුකඩේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය ඇහැළියගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් කැළැබද ප්‍රදේශයක සැකකටයුතු ගල් ගොඩක් හමුව තිබුණි.

එහි ඇතුළත මිනිස් අතක කොටසක් තිබෙන ආකාරය දුටු පොලීසිය වහාම එම ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබුණි.

එහිදී අනාවරණය වී තිබුණේ අදාළ ගල්ගොඩෙහි පුද්ගල මළසිරුරක් සඟවා තිබෙන බවය.

එය චීන ජාතිකයෙකුගේ බවට හඳුනාගත් අතර, පසුව තහවුරු වී තිබුණේ අදාළ සිරුර කොළඹ වරාය නගරයේදී පැහැරගත් චීන ජාතිකයාගේ බවටය.

ඒ අනුව සිරුර වැඩිදුර විමර්ශන සඳහා අද (23) පස්වරුවේ අවිස්සාවේල්ල රෝහල වෙත රැගෙන ගියේය.

මළ සිරුර හමුවූ ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක් ද සොයාගෙන ඇති අතර එය සැකකාර චීන ජාතිකයින් පිරිස මෘත දේහය රැගෙන ඒම සඳහා භාවිත කළ එකක් බවට සැකකෙරේ.

මේ අතර සිද්ධියට සම්බන්ධ බවට සැක චීන ජාතිකයන් දෙදෙනෙකු (2) මෙරටින් පළායාමට සඳහා යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසියට රැගෙනවිත් ඇති අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.

චීන ජාතිකයින් අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්විමන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් කරුණු තහවුරුකර ගැනීම සඳහා කඩිනමින් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටින බවය.

චීන තානාපති කාර්යාලය මෙම සිද්ධිය පිළිබඳව සමීපව අවධානයෙන් පසුවන අතර, කරුණු කාරණා තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙසත්, චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා සුරක්ෂිත කරන ලෙසත් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ වෙසෙන චීන පුරවැසියන් තම ආරක්ෂාව පිළිබඳව වඩාත් අවධානයෙන් හා දැනුවත්ව සිටිය යුතු බවත්, හදිසි අවස්ථාවකදී වහාම පොලීසියට දැනුම් දෙන ලෙසත්, සහාය සඳහා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙසත් තානාපති කාර්යාලය ඔවුන්ට මතක් කර දෙයි.

+++

+++

චීනාගේ ඝාතනය : ලේ පැල්ලම් සහිත ජීප් රථයක් පාදුක්කෙන් හමුවෙයි

(23.07.2026 – 21:34 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන සුඛෝපභෝගී ජීප් රථය අද (23) රාත්‍රියේ පාදුක්ක ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පාදුක්ක, පහළ බෝපේ මංසන්ධියේ නවතා තිබූ මෙම රථය සොයාගන්නා අවස්ථාවේදීත් එහි පසුපස ගියරය යොදා, පණගන්වා තිබූ බව පොලීසිය පවසයි.

සොයාගත් ජීප් රථය අභ්‍යන්තරයේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබෙන අතර, මේ වනවිට රථයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ ජීප් රථයෙන් පැමිණි චීන ජාතිකයන් තිදෙනෙකු (3) ත්‍රීරෝද රථයකින් කොල්ලුපිටිය දෙසට පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

අද (23) කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම පලාගිය චීන ජාතිකයන් තිදෙනා (3) අතුරින් දෙදෙනෙකු (2) බව වාර්තා වේ.

සැකකරුවන් කොල්ලුපිටිය දක්වා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයේ රියදුරු ද මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

මෙම ගැටුම සහ පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබියදී අද (23) පොලීසිය විසින් සොයාගනු ලැබීය.

+++

+


දෙමටගොඩ වෙඩි තැබීමක්

(23.07.2026 – 19:09 +0530 – sinhala.adaderana.lk)

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට (2) තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+++

+


වත්තල හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා මරුට

(23.07.2026 – 22:33 +0530 – sinhala.adaderana.lk)

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට අද (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මරණකරු 39 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ජූනි මාසෙත් පරද්දලා මේ මාසේ ඩෙංගු සැරටම ගේම දීලා… අද (23) එළියට ආපු අලුත්ම අප්ඩේට් එක (23.07.2026)

+


හිරු ටීවී බලය (සජීව) (23.07.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *