‘රෝගීන්ට තනිව බෙහෙත් කිරීම’ විදෙස් පුහුණුව නැති විශේෂඥ වෛද්‍යවරුන්ට තහනම්

‘රෝගීන්ට තනිව බෙහෙත් කිරීම’ විදෙස් පුහුණුව නැති විශේෂඥ වෛද්‍යවරුන්ට තහනම්

ඩෙංගුවන් ගනන ලක්‍ෂයට කිට්ටු වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශය සද්ද නෑ

සුරේෂ් සලේට හෘද සැත්කමක්

කොල්ලුපිටියේ රු. කෝටි දෙකේ (2) මංකොල්ලය : හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග

පොහෝ දිනවල කරන සංවිධානාත්මක බෝග සොරකම් නිසා වගාකරුවන් දැඩි අර්බුදයක

රුපියල් මිලියන 50 කට අධික අනවසර ජංගම දුරකථන තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට වරෙන්තු

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

05 දෙනෙකුට මරු කැඳවූ හෝමාගම හෙල්මට් ගින්න ගැන කම්කරු කොමසාරිස්ගෙන් වාර්තාවක් ඉල්ලයි


‘රෝගීන්ට තනිව බෙහෙත් කිරීම’ විදෙස් පුහුණුව නැති විශේෂඥ වෛද්‍යවරුන්ට තහනම්

(22.07.2026 – lankacnews.com)

ජුනි මස 26 වන දින පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරයා විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, අධ්‍යක්ෂ මණ්ඩල සහතිකය මෙතෙක් ලබා නොමැති වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන්ට රෝගීන් පරීක්ෂා කර තනිව තීරණ ගැනීම සහ වෛද්‍ය නිර්දේශ ලබාදීම තහනම් කර ඇත.

දැනට දිවයින පුරා පවතින විශේෂඥ වෛද්‍ය හිඟය හමුවේ, බොහෝ මූලික රෝහල් සහ විශේෂ ඒකකවල සේවය පවත්වාගෙන යනු ලබන්නේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ මූලික දේශීය පුහුණුව නිම කළ මෙම වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන් විසිනි.

නව නියෝගයත් සමඟ ඔවුන්ට ස්වාධීනව සේවය කිරීමට ඇති අවස්ථාව අභියෝගයට ලක්ව ඇති අතර, එය සමස්ත රෝහල් පද්ධතියේම කටයුතු අඩාල වීමට හේතු වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, රට තුළ පවතින වෛද්‍ය හිඟය හමුවේ විදේශ පුහුණුව ලබමින් සිටින හෝ එය අපේක්ෂාවෙන් සිටින වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරන සේවය අතිමහත් බවයි.

එවැනි පසුබිමක මෙවැනි තීරණයක් ගැනීම ප්‍රශ්නසහගත බව ඔහු පවසයි.

“මෙම වෛද්‍යවරුන් රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික අංශයේ ද වෛද්‍ය සේවාවන්හි නිරත වෙනවා. මෙම නව චක්‍රලේඛය අනුව ඔවුන් පෞද්ගලික අංශයේ ලබාදෙන වෛද්‍ය නිර්දේශ පවා නීත්‍යානුකූල නොවන තත්ත්වයකට පත්වීමේ අවදානමක් තිබෙනවා. මෙය රෝගී ජීවිතවල සුරක්ෂිතභාවයට මෙන්ම වෛද්‍යවරුන් කෙරෙහි පවතින විශ්වාසයට ද දැඩි බලපෑමක්” යැයි වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින මෙම අවිනිශ්චිත තත්ත්වය සමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම මැදිහත් වී, සියලු විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ පැහැදිලි මාර්ගෝපදේශ කඩිනමින් නිකුත් කළ යුතු බව වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි ෴


ඩෙංගුවන් ගනන ලක්‍ෂයට කිට්ටු වෙද්දී සෞඛ්‍ය අමාත්‍යංශය සද්ද නෑ

(22.07.2026 – lankacnews.com)

2017 වසරෙන් පසුව මෙරට වාර්තා වූ ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට වාර්තා වෙමින් පවතින බවත්, ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වෙද්දීත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා සාමාන්‍ය මට්ටමක පැවති රෝගීන් වාර්තා වීම, අප්‍රේල් මස අවසානයේ සිට දිනකට දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම හදිසි වර්ධනයට හේතුව නව වෛරස් ප්‍රභේදයක් ද නැතහොත් වෙනත් පාරිසරික සාධකයක් ද යන්න පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරයා අවධාරණය කරයි.

පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසළ කළමනාකරණ සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව දුර්වල වීම මෙම රෝග ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ලබන (2027) වසරේදී හෝ මෙම ඩෙංගු අවදානම පාලනය කර ගැනීම සඳහා දේශපාලන භේදයකින් තොරව විෂය ප්‍රවීණයන්ගේ සහාය ලබාගත යුතු බව පවසන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි ෴

+++

ඩෙංගු රෝගීන් ගනන 78,000 පනී

(22.07.2026 – hirunews.lk)

මෙම වසරේ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 78,125 ක් ලෙස දැක්වෙන අතර මරණ සංඛ්‍යාව 56 ක්.

ගත වූ පැය 24 කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1097 වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ මීට සති කිහිපයකට පෙර ඉක්මවා ගිය රෝහල් ධාරිතාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

එසේම, රෝහල්වලට රෝගීන් ඇතුළත් කර නොගන්නා බවට පළ වන පුවත් අසත්‍ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා ෴


සුරේෂ් සලේට හෘද සැත්කමක්

(22.07.2026 – lankacnews.com)

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා හෘද ආශ‍්‍රිත හදිසි සැත්කමකට භාජනය කර ඇතැයි වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 25 වනදාය.

එතැන් සිට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියේය.

රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් අරඹීම හේතුවෙන් ඔහු රෝහල්ගත කරන ලද අතර, ඒ අතරදී මෙම සැත්කම සිදු කර ඇත.

ඔහු තවදුරටත් රෝහලේදී ආරක්ෂක නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ පසුවේ ෴


කොල්ලුපිටියේ රු. කෝටි දෙකේ (2) මංකොල්ලය : හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග

(22.07.2026 – hirunews.lk)

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක (2) මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන ‘අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර’ පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පවරා ඇති බවයි.

එම අවස්ථාවේදි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ 2007 අංක 7 දරන පනත අනුව සැකකරු පැය 24 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන බවත් ඔහු විසින් ‘ක්‍රිප්ටෝ කරන්සි’ යටතේ ද මුදල් වංචා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව මේ වන විට බන්ධනාගාරයේ සිටින චීන ජාතිකයා සහ පැමිණිලිකරු අතර සමීප සම්බන්ධතාවයක් තිබූ බවත් එම පැමිණිලිකරු විසින් මෙම සැකකරුට එම මුදල් ඩොලර්වලට පත් කර ගන්නා ලෙස දන්නවා ඇති බවයි.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලක්මාල් රත්නායක පවසා සිටියේ සිය සේවා දායකයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දැනීමක් නොමැති බවයි.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා :

“ස්වාමීනී මගේ සේවා දායකයා මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු බව නිලධාරින් කිව්වා. ප්‍රධාන සැකකරු නම් ඔහු විසින් කරන ලද වැරදි සම්බන්ධයෙන් සාක්ෂි සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. කොහොමද මගේ සේවා දායකයා මෙම සිද්ධියට සම්බන්ධ වන්නේ කියලා. මගේ සේවා දායකයා මේ කියන පැමිණිලිකරු දන්නෙත් නැහැ. ඔහු දන්නේ ‘ප්‍රමිල්’ කියලා කෙනෙක් විතරයි.

“ඒ තැනැත්තා මගේ සේවා දායකයාගේ මිත්‍රයෙක්. දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින චීන ජාතිකයා සමග තමයි ‘ප්‍රමිල්’ කියන කෙනා සම්බන්ධකම් පවත්වලා තියෙන්නේ. චීන ජාතිකයන් සම්බන්ධයෙන් මගේ සේවා දායකයා කිසිම දැනුවත් භාවයක් නැහැ. ඉතින් කොහොමද ප්‍රධාන සැකකරු කියලා කියන්නේ.”

“ස්වාමීනී, සමාජ ශාලාවක ආරක්ෂකයෙක් ලෙස ‘අජිත්’ කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. මගේ සේවාදායකයාගේ මිතුරා කියලා තියෙනවා චීන ජාතිකයන්ට ආරක්ෂිතව ඉන්න හොඳ තැනක් හොයලා දෙන්න කියලා. කොල්ලුපිටිය පොලිසිය කියනවා මෙම වංචාව වුණ තැන මගේ සේවාදායකයා සිටියා කියලා. නමුත් ඔහු ඒ ස්ථානයේ ඉඳලා නෑ. මේවා ඔක්කොම සාවද්‍ය ප්‍රකාශ, තවද ස්වාමීනී මගේ සේවා දායකයට තිබෙන වරදවල් මොනවද යන්න නිසි පරිදි ඉදිරිපත් කරලා නැහැ.”

“මොහු මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබීමට ලියාපදිංචි වෙලා තියෙන ශිෂ්‍යයෙක්. නීතියෙන් පැනලා ගියේ නැහැ. මේ සම්බන්ධයෙන් මොනවද උනේ කියලා බලන්න තමයි පොලිසියට ගියේ ප්‍රකාශයක් දෙන්න. ‘ක්‍රිප්ටෝ කරන්සි’ ගැනත් කියනවා. ඒ කිසිදු දෙයක් සම්බන්ධයෙන් මගේ සේවා දායකයා දන්නේ නැහැ. ඒ නිසා සුදුසු ඇපයක් මත මුදා හරින්න.”

එම අවස්ථාවේදි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කර සිටියේ මෙම වංචාව සිදුවන ස්ථානයේ මිටර් 50 කට වගේ දුරින් ඉඳ සියලු කටයුතු එම සැකකරු විසින් මෙහෙයවා ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරු පැය 24 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. ඒ අනුව සිද්ධියට අදාළ නඩුව හෙට (23) පස්වරු 02:30 ට නැවත කැඳවීමට නියමිතයි ෴


පොහෝ දිනවල කරන සංවිධානාත්මක බෝග සොරකම් නිසා වගාකරුවන් දැඩි අර්බුදයක

(22.07.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ වැඩි වටිනාකමකින් යුත් වාණිජ බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම හේතුවෙන් වගාකරුවන් සහ ප්‍රාදේශීය වතු සමාගම් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මෙය රටේ ආර්ථිකයට එල්ල වී ඇති තර්ජනයක් ලෙස සලකා වහාම පියවර ගන්නා ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

ගම්මිරිස්, ඉඟුරු, කරදමුංගු, කුරුඳු, වැනිලා, අලිගැටපේර ඇතුළු වටිනා බෝග මෙලෙස සංවිධානාත්මක කණ්ඩායම් විසින් සොරකම් කරනු ලබනවා.

විශේෂයෙන්ම පසළොස්වක පොහොය දින ආශ්‍රිතව සඳ එළිය පවතින රාත්‍රීන්හිදී විදුලි පන්දම් පවා භාවිත නොකර පැය කිහිපයක් ඇතුළත විශාල වගා භූමි ප්‍රමාණයක් ශුද්ධ කිරීමට මෙම සොරුන් කටයුතු කරන බවත්, සොරකම් කළ අස්වැන්න නීති විරෝධී වෙළඳ ජාලයන් වෙත යොමු කිරීමෙන් පසු සෙවීම අපහසු වන බවත් සඳහන්.

මෙම සොරකම් හේතුවෙන් ඇතැම් වතු සමාගම් සිය වගාවන් සුරක්ෂිත කරගැනීම සඳහා මාස 3 ක කාලයක් තුළ එක් බෝගයක් උදෙසා පමණක් රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන අතර අධික පිරිවැය සහ සොරකම් හමුවේ ඇතැම් වගාකරුවන් නව වගා ව්‍යාපෘති පවා අතහැර දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

වත්මන් නීතිය යටතේ කෘෂිකාර්මික සොරකම් සඳහා පවතින දඬුවම් සහ දඩ මුදල් ඉතා අවම මට්ටමක පැවතීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන වැවිලිකරුවන්ගේ සංගමය, නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත්, සොරකම් කෙරෙන බෝග අලෙවි වන ජාලයන් නියාමනය කිරීමට පියවර ගන්නා ලෙසත් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴


රුපියල් මිලියන 50 කට අධික අනවසර ජංගම දුරකථන තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(22.07.2026 – hirunews.lk)

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් ‘ස්මාර්ට් ජංගම’ දුරකථන 300 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය සමත්ව තිබෙනවා.

‘කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ’ පිහිටි වෙළඳසැලක සිදුකළ විශේෂ වැටලීමකදී මෙම ජංගම දුරකථන තොගය සොයාගෙන ඇති බව සඳහන්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට වරෙන්තු

(22.07.2026 – hirunews.lk)

තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අධිකරණයේ පෙනී නොසිටි අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද (22) වරෙන්තු නිකුත් කළා.

ඒ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ සිද්ධියට අදාල නඩුව මේවනවිට නිතීපති උපදෙස්වලට යවා ඇති බවයි.

තවද මෙම සිද්ධියට අදාල ඇපකරුවන්ට පෙර නඩු දිනයේදී ඇප නොතීසි යැවු බවයි.

ඒ අනුව ඇපකරුවන් අද (22) අධිකරණයේ පෙනී සිටි අතර මහේස්ත්‍රාත්වරයා විසින් ඇපකරුවන්ට අවවාද කළා.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල නඩුව නිතීපති උපදෙස් සදහා දෙසැම්බර් 09 වන දින කැඳවිමට නියෝග කළා.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජාලිය වික්‍රමසූරිය තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමේදී අමෙරිකානු ඩොලර් 332,000 ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

සිද්ධියට අදාල සැකකරු මේ වන විට ඇමරිකාවේ සිටින බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මේ වනවිට මෙම සැකකරු අධිකරණය මගහැර සිටින බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

ඒ අනුව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කළා.

මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස 09 අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එහිදී නියෝග කළා ෴


හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

(22.07.2026 – hirunews.lk)

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළා.

රු. ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළව පෙර නඩු දිනයේදී මොහු සැකකරුවෙක් ලෙස නම් කර අද (22) දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා ෴


05 දෙනෙකුට මරු කැඳවූ හෝමාගම හෙල්මට් ගින්න ගැන කම්කරු කොමසාරිස්ගෙන් වාර්තාවක් ඉල්ලයි

(22.07.2026 – hirunews.lk)

පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැඳවමින් ගිනිගෙන විනාශ වූ හෝමාගම – කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරියට උපදෙස් ලබාදී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (21) පෙරවරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට පත්වුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි.

අදාළ සිරුරු මේ වනවිට හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ. එමෙන්ම, එහි දුම ආඝ්‍රහනය වූ කාන්තාවක් ද එම රෝහලට ඇතුළත් කෙරුණා.

ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර සිටි එක් (1) අයෙකු වසර 20 ක පමණ කාලයක් එම කර්මාන්තශාලාවේ වැඩ පරීක්ෂකවරයකු ලෙස සේවය කර ඇති අතර මියගිය අනෙක් හතර දෙනා (4) මීට මාස කිහිපයකට පෙර එහි රැකියාවට පැමිණ ඇති බවයි අනාවරණය වුණේ.

හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි ඊයේ (21) පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *