හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී


හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගනී

(17.07.2026 – 07:46 +0530 – sinhala.adaderana.lk)

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන්ය.

වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වසර 30 කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මෙරට 35 වැනි පොලිස්පතිවරයා වේ.

පොලිස්පති ධුරයට පත්වීමට පෙර සී.ඩී. වික්‍රමරත්න දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු සී.ඩී. වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.

ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා කණ්ඩායම් දෙකක් (2) පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, හිටපු පොලිස්පතිවරයා මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අද (17) අලුයම වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි.

අනතුරුව හිටපු පොලිස්පතිවරයාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටියා ෴

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)

+++

+++

+++

+++

+++

පොලීසියේ ඉහළම පුටුවට ආ සී.ඩී. වික්‍රමරත්න

(17.07.2026 – 12:44 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොලිස් සේවයේ දශක තුනකට (3) අධික කාලයක් සේවය කරමින් දක්ෂ නිලධාරීයෙකු ලෙස වෘත්තීය ජීවිතය ගොඩනැගූ නිලධාරියෙකු ලෙස හිටපු පොලිස්පති චන්දන දිපාල් (සී.ඩී.) වික්‍රමරත්න මහතා සැලකෙයි.

වෘත්තීය දක්ෂතාව, බුද්ධි අංශයේ අත්දැකීම් සහ අධ්‍යාපනික සුදුසුකම් රැසක් සමඟ පොලිස් සේවයේ ඉහළම තනතුරට පැමිණි ඔහුගේ ජීවිතය, විශ්‍රාම ගැනීමෙන් වසර කිහිපයකට පසු සිදුවූ අවාසනාවන්ත මරණයත් සමඟ යළිත් රටේ අවධානයට ලක්ව තිබේ.

ආනන්දයෙන් පොලිස් සේවයට

1963 මාර්තු 26 වැනිදා උපත ලැබූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (BSc) උපාධිය ලබාගත් ඔහු, 1986 වසරේදී පරිවාස පොලිස් සහකාර අධිකාරීවරයකු (ASP) ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්විය.

බුද්ධි අංශයේ කැපී පෙනුණු නිලධාරියෙක්

පොලිස් සේවයේ වසර 30 කට අධික කාලයක් සේවය කර ඇති ඔහු ඉන් වැඩි කාලයක් සේවය කර ඇත්තේ, පොලිස් බුද්ධි අංශයේය.

පසුව ඔහු විවිධ තනතුරු හොබවමින් පොලිස්පති ලෙස පත්වීමට ප්‍රථම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

සී.ඩී. වික්‍රමරත්නගේ අධ්‍යාපනය ගමන

සිය වෘත්තීය ජීවිතය සමඟම අධ්‍යාපනයටද මුල් තැන දුන් සී.ඩී. වික්‍රමරත්න මහතා, ජාතික හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල තුළින් උසස් අධ්‍යාපනය හරදා තිබේ.

2006 වසරේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, බ්‍රිතාන්‍යයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ගැටුම් නිරාකරණය සහ ආරක්ෂක අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබාගෙන ඇත.

මීට අමතරව 2016 වසරේදී ඇමෙරිකාවේ හාර්වඩ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද ගැටලු මුල් කරගත් ප්‍රත්‍යාවර්තී අනුවර්තනය (PDIA) – රාජ්‍ය හැකියාව ගොඩනැගීම වැඩසටහනද සාර්ථකව සම්පූර්ණ කර තිබේ.

එය රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිරිනමන ජාත්‍යන්තර වෘත්තීය සුදුසුකමකි.

මෙම අධ්‍යාපනික ජයග්‍රහණ ඔහුගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන ලෙස සැලකේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ලැබුණු වගකීම

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව, 2019 අප්‍රේල් 28 වැනිදා සී.ඩී. වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

මාස 18 කට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 නොවැම්බර් 25 වැනිදා ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත්විය.

සේවා දිගු කිහිපයක්

සී.ඩී. වික්‍රමරත්න මහතා 2023 මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියද, රජය විසින් සේවා දිගු කිහිපයක් ලබාදුන්නේය.

පළමු සේවා දිගුව – 2023 මාර්තු 26 සිට ජූනි 26 දක්වා
දෙවන සේවා දිගුව – 2023 ජූනි 27 සිට ඔක්තෝබර් 13 දක්වා
තෙවන සේවා දිගුව – 2023 ඔක්තෝබර් 13 සිට නොවැම්බර් 03 දක්වා
අවසාන සේවා දිගුව – 2023 නොවැම්බර් 03 සිට නොවැම්බර් 25 දක්වා

ඒ අනුව, 2023 නොවැම්බර් 25 වැනිදා ඔහු නිල වශයෙන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය.

විශ්‍රාම දිවිය සහ අවාසනාවන්ත අවසානය

විශ්‍රාම ගැනීමෙන් පසු මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයා, ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියෙන් වෙඩිතබාගෙන අද (17) උදෑසන සියදිවි හානිකරගෙන තිබිණි.

වෙඩිවැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි හිටපු පොලිස්පතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.

විමර්ශන

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති අතර, මරණයට හේතුව සහ සිද්ධියේ සියලු කරුණු අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය පරීක්ෂණ, මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ අපරාධ පරීක්ෂණ මේ වනවිටත් සිදු කෙරෙමින් පවතී ෴

+++

මිනීමරුවන් සැඟවූ පොලිස්පති C.D. : IODPP Police (17.07.2026)

+


අධිකරණ ඇමතිව වහාම තනතුරෙන් අයින් කරන්න – සජබේ අජිත් වහාම මාධ්‍ය කැඳවයි (17.07.2026)

+


සජබයේ අපිට බලය ලැබුණු පසු හිටපු පොලිස්පතිගේ මරණය ගැන හොයනවා (17.07.2026)

+


සලේගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් තබයි

(17.07.2026 – 14:26 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදු විය.

අද (17) දින පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය ෴

+++

රවී – ශානි – දිලීප පීරිස් දේශද්‍රෝහියෝ – සලේට ලොකු හානියක් කරන්න යන්නේ – හිමිවරු කරපු විශේෂ ප්‍රකාශය (17.07.2026)

+


හිටපු පොලිස්පතිගේ මරණය සැක සහිතයි – සර්වජනයේ ප්‍රබලයෝ වහාම මාධ්‍ය කැඳවයි (17.07.2026)

+


නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්

(17.07.2026 – hirunews.lk)

නුවරඑළිය තැපැල් කාර්යාලයේ වහල අලුත්වැඩියාව ආරම්භ කළ බව තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර පවසනවා.

ඒ, ‘හිරු ප්‍රවෘත්ති අංශය’ කළ විමසීමට ප්‍රතිචාර වශයෙන්.

ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාලයේ පහත මහළ තැපැල් කාර්යාලය, මුද්දර අංශය, කෞතුකාගාරයක්, අවන්හලක්, සමරු සටහන් මිලදී ගතහැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

තවද, උඩු මහළ විදේශීය සංචාරකයින්ට නැවතුම්පලක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කළ බවත්, මෙම සියලු සංවර්ධන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සහ සංචාරක මණ්ඩලයේ මගපෙන්වීමෙන් සිදුකරන බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *