පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52 ක්

පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52 ක්


පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර දිවයින පුරා විශේෂ වැටලීම් 52 ක්

(16.07.2026 – hirunews.lk)

= භාවිතයට නුසුදුසු සහ කල් ඉකුත් වූ වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය රැසක් සොයා ගැනේ =

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) මගින් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර ගනිමින් විශේෂ වැටලීම් සහ පරීක්ෂා කිරීම් මාලාවක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසනවා.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වැටලීම් 52 ක් සිදුකර ඇති අතර, පරීක්ෂාවට ලක් වූ ආයතන රැසක රෝගීන්ගේ පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ අනනුකූලතා රැසක් අනාවරණය කරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම විමර්ශනවලදී දිවයිනේ ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ද පරීක්ෂාවට ලක් කෙරුණු අතර, රෝගීන්ගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන ඇතැම් රසායනාගාර ද්‍රව්‍ය සහ උපකරණ කල් ඉකුත්වීම හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතීම, ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු පැවතීම සහ භාවිතයේ පවතින ද්‍රව්‍ය සමඟ කල් ඉකුත් වූ ද්‍රව්‍ය ගබඩා කර තිබීම විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

විමර්ශනවලදී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන මෙවලම් කට්ටල, විවිධ රසායනාගාර රසායනික ද්‍රව්‍ය, ඩෙංගු රෝග විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල, හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග, වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන විවිධ රසායනාගාර ද්‍රව්‍ය සහ වර්ණක ද්‍රාවණ ඇතුළු උපකරණ හා රසායනාගාර ද්‍රව්‍ය රැසක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බව අනාවරණය වී ඇත. එම ද්‍රව්‍ය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

මෙහිදී අනාවරණය වූ වැරදි සම්බන්ධයෙන් අදාල ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිත බවයි අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ.

පාරිභෝගික ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිඳු සහනයක් ලබා නොදෙන අතර, එවැනි ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා මෙවැනි විශේෂ වැටලීම් සහ විමර්ශන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ ෴


ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ

(16.07.2026 – hirunews.lk)

ලකුණු කරන ලද මිල කපා හැර ඖෂධ විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට රුපියල් දසදහසක (10,000) දඩ මුදලක් නියම කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (16) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබූවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර බවයි.

ලකුණු කරන ලද මිල කපා හැර ඖෂධ විකිණීමට ඉදිරිපත් කර තිබියදී මෙම වැටලීම සිදුකළ බවයි පාරිභෝගික අධිකාරියේ අධිකරණයට දන්වා සිටීයේ ෴


වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට (2) රු. ලක්ෂ දෙකක (2) දඩ

(16.07.2026 – hirunews.lk)

දේශීය කිරී සම්බා සහල් වැඩි විමට විකිණීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට (2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (24) රු. ලක්ෂ 2 ක දඩ මුදලක් නියම කළා.

ඇල්පිටිගල මාවත, කොළඹ 8 සහ බොරැල්ල කොළඹ 8 ප්‍රදේශවල වෙළෙඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට (2) මෙසේ දඩ මුදල් නියම කෙරුණා.

එම වෙළඳසැල තුළ වැඩි මිලට සහල් විකුණන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී පාරිභෝගික අධිකාරිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴


වගකීම් සහතික නොමැතිව විදුලි උපාංග විකුණු ආයතන හිමිකරුවෙකුට දඩ

(16.07.2026 – hirunews.lk)

වගකීමේ සහතිකය නිකුත් නොකර විදුලි උපාංග විකිණීමට තිබූ ආයතනයක හිමිකරුවෙකුට රුපියල් පනස්දහස (50,000) දඩ මුදලක් නියම කිරීමට අද (16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළා.

එසේ දඩ මුදල් නියම කරනු ලැබුවේ අංක 1, බේස්ලයින් පාර, පුද්ගලික ආයතනයක හිමිකරු හටයි.

පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද වැටලීමකදී වගකිම් සහතිකයක් නොමැතිව විදුලි උපාංග විකිණීමට තිබූ බවයි සඳහන් කළේ ෴


රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ව්‍යාජ ලෙස අලවා තිබූ මත්පැන් බෝතල් 5,575 ක් මුලතිව්වලදී සොයාගනී

(16.07.2026 – 13:58 +0530 – sinhala.adaderana.lk)

රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ව්‍යාජ ලෙස අලවා තිබූ මත්පැන් බෝතල් 5,575 ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව පසුගිය 14 වැනිදා සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇත.

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී, වයස අවුරුදු 43 ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මත්පැන් බෝතල් 5,575 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එම මත්පැන් බෝතල්වල රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ව්‍යාජ ලෙස අලවා තිබූ බවය.

ඒ අනුව එම ස්ටිකර් නීත්‍යානුකූලව නිකුත් කළ ඒවාද, නැතහොත් නීතිවිරෝධී ලෙස ලබාගත් ඒවාද යන්න පිළිබඳව විමර්ශන අංශ පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිද්ධියට පෙර පසුගිය ජුනි 28 වැනිදා මාළඹේ ප්‍රදේශයේදී අනාවරණය වූ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය සම්බන්ධ විමර්ශනවලදීද, මත්පැන් බෝතල් සඳහා භාවිත කරන ආරක්ෂිත බදු ස්ටිකර් ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ මුද්‍රණය කර මෙරට නියෝජිතයෙකු වෙත ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ එතනෝල් ලබාගැනීමේදී දේශපාලන සම්බන්ධතා තිබිය හැකි බවටද විමර්ශන අංශ සැක පළ කරන අතර, ඒ සම්බන්ධයෙන්ද වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

රජයට හිමි බදු ආදායම ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණින් මත්පැන් බෝතල් සඳහා රජයේ ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය 2016 වසරේ සිට ක්‍රියාත්මක කෙරේ ෴


දිවයිනේ නාගරික සහ ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ඉහළට

(16.07.2026 – 18:20 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පාසල් ළමුන් අත්අඩංගුවට ගැනීම් සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවය.

මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් යොදවා පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාමේ නිරත වන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කරමින් පවතින බවද ඒ මහතා පැවසීය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ වන විට වයස අවුරුදු 21 ට අඩු පුද්ගලයින් 8,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර පාසල් යන සහ නොයන වයස අවුරුදු 21 ට අඩු ගැහැනු දරුවන් 161 දෙනෙකු ද සිටින බවය.

විශේෂයෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන දරුවන්, නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල්වල දරුවන් මෙන්ම දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට හුරු වී සිටීම හෝ විදේශගත වීම වැනි හේතු නිසා ළමුන් විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසුවේ මෙලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින දරුවන් පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා :

“විශාල වශයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන වැඩි වශයෙන්ම පාසල් ළමුන් අත්අඩංගුවට ගැනීම් සහ පාසල් අවට මත්ද්‍රව්‍ය පැතිරීම් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළඳාම, නැත්නම් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙච්චි ප්‍රමාණය ජාත්‍යන්තර පාසල්වල වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෑම දිස්ත්‍රික්කයකම නාගරික පාසල් අවට විශාල වශයෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් ප්‍රජා පොලිස් නිලධාරීන් සහ සිවිල් බුද්ධි නිලධාරීන් දාලා ඒ අවට වෙළඳාම් කරන සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබෙනවා.”

“පාසල් ආශ්‍රිතව ගත්තහම විශාල වශයෙන්ම පාසල් අවුරුදු 21 ට අඩු ළමුන් විශාල ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ළමුන් ගත්තහම 8,459 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.. මේ ඔක්තෝබර් 30 ආරම්භ කරන ලද රටම එකට ජාතික මෙහෙයුමත් එක්කම. මේකෙ කියන්න ඕන ගැහැනු දරුවන් 161 ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා අවුරුදු 21 ට අඩු. සමහරක් වෙලාවට පාසල් යන වෙන්නත් පුළුවන් නැත්නම් පාසල් නොයන වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ, ළමුන් අසමත් වුණොත් විශාල වශයෙන්ම මේ මත්ද්‍රව්‍යවලට පෙළඹීමක් දැකගත හැකියි. නාගරික ප්‍රදේශවල අනාරක්ෂිත පවුල්, ඒත් එක්කම දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට හුරුවෙලා තිබීම, නැත්නම් දෙමව්පියන් විදේශගත වීම වැනි කාරණා හේතු කරගෙන ළමුන් විශාල ප්‍රමාණයක් මේ වන විට මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා තිබෙනවා. ඒ ළමුන් මේ වන විට පුනරුත්ථාපනයට යොමු කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කිරීමට කටයුතු කරගෙන යනවා” ෴


නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග

(16.07.2026 – hirunews.lk)

පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට (4) එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 12 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල අද (16) නියෝග කළා.

පෑලියගොඩ පොලිසිය තුළදී මෙලෙස පහරදීමකට ලක්වුණේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ‘ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න’ගේ කනිෂ්ඨ පුත්‍රයා වන නීති ශිෂ්‍ය ‘මිගාර ගුණරත්න’යි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ‘ආරච්චිගේ ලින්ටන් සිල්වා’, ‘ජයකොඩි ආරච්චිගේ සුමිත් කුමාර සෝමරත්න’, ‘දිසානායක මුදියන්සේලාගේ නදුන් තාරක මධුරංග අබේකෝන්’ සහ ‘අතුල විජේසිංහ’ යන පොලිස් නිලධාරීන්ට ඉකුත් ජුනි 17 වැනිදා නිතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණා.

නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ සහ 1994 අංක 22 දරන අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත (වධහිංසා පනත) යටතේ මෙම නඩුව පවරා තිබුණා.

2021 වසරේ පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩ පොලීසිය විසින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවට ගෙන සිටි ඔහුගේ සේවාදායක ‘ශෂික ජයවීර’ නැමැත්තාට දිවා ආහාරය ලබාදීමට නීති ශිෂ්‍ය ‘මිගාර ගුණරත්න’ උත්සාහ කර තිබුණා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අදාළ සැකකරුගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පොලිස් නිලධාරීන් විසින් මෙම නීති ශිෂ්‍යයාට අමානුෂික ලෙස පහරදී තිබූ බවයි වාර්තා වුණේ.

මෙම සිදුවීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් ‘මිගාර ගුණරත්න’ විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ගොනු කර තිබුණා.

එම පෙත්සම විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීන්දු කර තිබුණේ එවකට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ‘ලින්ටන් සිල්වා’ ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් සහ රජය විසින් ද පෙත්සම්කාර නීති ශිෂ්‍යයාට වන්දි මුදලක් ගෙවිය යුතු බවයි.

මෙම මහාධිකරණ නඩුව ලබන ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවීමට නියමිතයි ෴


කුලී රථ ගමනක් යන බව කියා නිවෙසින් ගිය තරුණ දෙදරු පියාගේ නිසල සිරුර ඇළක

(16.07.2026 – hirunews.lk)

හෝමාගම, පිටිපන, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කරන ලදැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (16) අලුයම සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසනවා.

ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගය අසල පිහිටි වෙන්දේසි ඉඩමක සිට මීටර් 45 ක පමණ දුරකින් පිහිටි ඇළ මාර්ගයක තිබී මෙම සිරුර හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙන්දේසි ඉඩම තුළ තිබී මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන පාවහන් යුගලක් සහ රුපියල් 20 ක මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන, කදනවත්ත, සමගි මාවතේ පදිංචි දෙදරු පියෙක් බවට හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඇඟලුම් ආයතනයක සේවය කරන මෙම මරණකරු, ඊයේ (15) රාත්‍රී 7 ට පමණ යතුරුපැදියකින් කුලී ගමනක් සඳහා පුද්ගලයෙකු ප්‍රවාහනය කිරීමට ඔහුගේ නිවෙසින් පිටත්ව ගොස් තිබූ බවට අනාවරණය වන බව පොලිසිය පවසනවා.

පසුව මෙම පුද්ගලයා අතුරුදන් බවට අද (16) පෙරවරුවේ මීගොඩ පොලිසියට ද පැමිණිල්ලක් ද ලැබී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මළ සිරුර ඇළ මාර්ගයේ තිබීම හේතුවෙන් සතුන් විසින් මුහුණේ කොටස් කා දමනු ලැබීමෙන් එය හඳුනා ගැනීමට නොහැකි වන අයුරින් විකෘති වී ඇති බව ද හෙළිවුණා.

හෝමාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴


‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි – නාමල්ගෙන් ඇරයුමක්

(16.07.2026 – hirunews.lk)

‘ඉන්දියන් සාගර සියවස’ (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික සම්බන්ධක පුරුකක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.

සිංගප්පූරුවේ පැවති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා (GEC) සමුළුව අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉන්දියන් සාගර කලාපය වඩාත් වැදගත් වන දශකයකට පමණක් නොව, කලාපයේ වර්ධනය වන ආර්ථික හා උපායමාර්ගික බලපෑම මගින් හැඩගැසෙන සුවිශේෂී සියවසකට මේ වන විට ගමන් කරමින් සිටින බවයි.

‘මිල්කන් ආයතනයේ’ (Milken Institute) ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු අමෙරිකානු නියෝජිත කර්ටිස් එස්. චින් සමග පැවති සංවාද මණ්ඩපයකට එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ශක්තිමත් සම්බන්ධතාවක් සහ ආර්ථික සහයෝගිතාවක් තුළින් ලොව ප්‍රධාන කලාපයන් අතර විශ්වාසනීය පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන්ගේ දැක්ම බවයි.

එමෙන්ම, ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ පෙළේ භූමිකාවක් ඉටුකිරීම සඳහා මීළඟ පරම්පරාව සූදානම් කරන අතරතුර, නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය මගින් තරුණ පරපුරට වැඩි අවස්ථා නිර්මාණය කරදීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

“ඉන්දියන් සාගරය සියවස් ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාරයන් එකිනෙක යා කළා. දැන්, එමඟින් අනාගතය යා කළ යුතුයි,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.


ජාතික පාසල් ගුරු ස්ථාන මාරු අයදුම්පත් කැඳවයි

(16.07.2026 – 15:05 +0530 – sinhala.adaderana.lk)

2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත්
https://nstt.moe.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) කැඳවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව, ජාතික පාසල් ගුරුවරුන්ට ජූලි 16 වනදා සිට ජූලි 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ස්ථාන මාරුවීම් සඳහා අයදුම් කළ හැකිය.

මාර්ගගතව අයදුම් කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපත ජූලි 31 වනදා හෝ ඊට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාර දිය යුතුය.

ගුරුවරුන් විසින් පෞද්ගලිකව රැගෙන එනු ලබන හෝ තැපැල් මාර්ගයෙන් යොමු කරනු ලබන කිසිදු අයදුම්පතක් අමාත්‍යාංශය විසින් භාර නොගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *