කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු අත්අඩංගුවට

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු අත්අඩංගුවට


කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු අත්අඩංගුවට

(15.07.2026 – 22:38 +0530 – sinhala.adaderana.lk)

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සැකකරු මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙම සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.

අනතුරුව ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අතරතුර, එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒමට ගොස් ඇත.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ සැකකරු, ඔහු ළඟ සිටි නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තබා වෙනත් යතුරුපැදියකින් පළාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්විය.

+++

+++

+


වහා නිලවරණයක් පවත්වනු.. එතෙක් සියළු රැස්වීම් තහනම්… – ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICC දැනුම් දේ..

(15.07.2026 – lankacnews.com)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ස්ථාපිත කිරීම සඳහා වහාම නිලවරණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දී තිබේ.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මේලනයේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ පිළිබඳ නිල නිවේදනය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇත.

එම නිවේදනය මගින් ICCය අවධාරණය කර ඇත්තේ, නිසි පරිදි නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කර ගන්නා තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන්ට අවසර නොලැබෙන බවයි.

මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් තාවකාලිකව ඉවත් කිරීමක් බඳු ක්‍රියාමාර්ගයකි ෴


ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි : විභාග දෙපාර්තමේන්තුව

(15.07.2026 – hirunews.lk)

මෙවර 2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවන දින වන විටත් ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පෞද්ගලික අයැදුම්කරුවන්ට, තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිතා කර ඔන්ලයින් හරහා ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ජාතික හැඳුනුම්පත් ලබාගෙන නොමැති පාසල් අයැදුම්කරුවන් සඳහා විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු විශේෂ උපදෙස් මාලාවක් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දක්වා ඇත්තේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම 2026 ජූලි මස 03 වන දින සිට 2026 ජූලි මස 23 වන දින දක්වා මාර්ගගතව (Online) සිදු කෙරේ.

ඒ අනුව, මේ වන විටත් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොතිබීම නියමිත දිනට පෙර විභාගය සඳහා අයැදුම් කිරීමට බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

සියලුම අයැදුම්කරුවන් විභාග නිවේදනයේ ලබා දී ඇති උපදෙස් පරිදි 2026.07.23 දිනට පෙර විභාගය සඳහා අයැදුම් කළ යුතු අතර, කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද අධ්‍යාපන දෙපාර්ත‍මේන්තුව සඳහන් කරනවා.

මෙම අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික දුරකථන අංකය මඟින් හෝ 011 278 4537 , 011 278 6616, 011 278 4208 යන දුරකථන අංක සහ 011 278 4422 යන ෆැක්ස් අංකය මඟින් විමසීම් කළ හැකි බවයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ෴


නීතිපති එදිරිසිංහලාගේ සල්ලිවලට යට වෙලා – ඊ.ටී.අයි. තැන්පත්කරුවෝ (15.07.2026)

+


අපේ රට ඉස්සර දෙමළ නිජ භූමියක්ලු – සිංහලයෝ ඉක්මණට එකතු වෙන්න ඕන (15.07.2026)

+


EPF එකටයි ETF එකටයි ආණ්ඩුව ඔළුව අතගාලා අරින්න ද යන්නේ ? (15.07.2026)

+


රුපියල් කෝටි දෙකක (2) මත්ද්‍රව්‍ය තොගයක් එක්ක යුවළක් මාට්ටු

(16.07.2026 – 09:59 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සහ ඇයගේ ස්වාමියා රුපියල් කෝටි දෙකකට (2) අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමක දී මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 6 ක් සහ කාන්තාව සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 149 මිලිග්‍රෑම් 150 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකාර යුවළ විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින තුනක් (3) රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන තිබේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් ‘මෝදර මයුර’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් වන බවය.

එමෙන්ම මෙම අඹු සැමි යුවළ කලක පටන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටත් අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් සැකකාර කාන්තාව ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමා පෞද්ගලික ආයතනයක නීති උපාධිය හදාරන්නියක් වන අතර ඒ වෙනුවෙන් වන වියදම් පියවාගැනීමේ අරමුණෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කළ බවය.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකාර කාන්තාව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි දින 14 කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

+++

+++

+


කටුනායක පොලිස් වසමේදී පොලිස් නිලධාරින් සමඟ පොර බදා, නිලධාරින්ගේ ගිනි අවිය උදුරාගෙන, නිලධාරියාට වෙඩි තබා තුවාල සිදුකර, නිලධාරියා සතුව තිබූ ගිනි අවිය කොල්ලකා, පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට

(16.07.2026 – facebook.com/srilankapoliceofficial/)

2026.07.15 දින සවස් කාලයේ කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන අංශයේ රාජකාරි යෙදී සිටි නිලධාරින් යතුරුපැදියක් පරික්ෂා කිරීම සඳහා සංඥා කර ඇති අතර එම සංඥා වලට අවනත නොවී යතුරුපැදිකරු නොනවත්වා ධාවනය කිරීමක් සිදුකර ඇත. පලායන යතුරුපැදිය යම් අපරාධයකට සම්බන්ධ බවට සැකසිතී මෙම යතුරුපැදිය පසුපස රථවාහන අංශයේ නිලධාරින් දෙදෙදෙනා (2) හඹාගොස් ඇති අතර කටුනායක පොලිස් වසමේ දැවමොට්ටාව ප්‍රදේශයේදී එම යතුරුපැදිකරු හා පසුපැදිකරු යතුරුපැදිය අතහැර පලායාමක් සිදු කර ඇත.

මෙහිදී නිලධාරින් වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් පසුපස හඹාගොස් පලාගිය සැකකරුවන්ගෙන් එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු නිලධාරියෙකුගේ ආරක්ෂාව යටතේ රඳවා අනෙක් නිලධාරියා විසින් සැකකරුවන් පැමිණි යතුරුපැදිය රැගෙන ඒමට කටයුතු කරන අවස්ථාවේදී සැකකරු අවි සහිත පොලිස් නිලධාරියාට බලහත්කාරය පාමින් නිලධාරියා සමඟ පොරබදා පහරදීමක් සිදුකර ඇත.

එම අවස්ථාවේදී මෙම සැකකරු පොලිස් නිලධාරියා සතුව තිබූ ගිනි අවිය පැහැරගැනීමක් සිදුකර ඇත.

මෙම ගැටුම සම්බන්ධව එම ස්ථානයට ආසන්න මාර්ග බාධකයේ පොලිස් නිලධාරින් දැන ගැනීම මත ගැටුම සිදුවන ස්ථානයට මාර්ග බාධකයේ පොලිස් නිලධාරියෙකු පැමිණෙන අවස්ථාවේ සැකකරු විසින් එම නිලධාරියගේ පාදයට වෙඩි තබා ඇත. වෙඩි තැබීම හේතුවෙන් නිලධාරියා තුවාල ලබා ඇත.

සැකකරු එම අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් යතුරුපැදිකාරියක් ගිනි අවිය පෙන්වා බිය ගන්වා එම යතුරුපැදිය රැගෙන පලාගොස් ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබිණි. ඒ අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් දිවුලපිටිය ප්‍රදේශයෙදී වෙඩි තැබීම සිදුකල සැකකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 31 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු භාරයේ තිබූ පොලිස් නිලධාරියාගේ ගිනි අවියද පැහැරගන්නා ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු ‍41 ක් වන දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක නගර ආරක්ෂක කණ්ඩයට අනුයුක්තව 2008 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා සේවය කරන ලද අයෙක් බවට විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මීගමුව රෝහලටත් පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලටත් ඇතුලත් කර ඇති අතර අනෙක් සැකකරු අත්ඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරනු ලබයි ෴


කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා රු. ලක්ෂ 86 ක් වංචාකළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(16.07.2026 – hirunews.lk)

කැනඩාව, ලක්සම්බර්ග් සහ ජපානය යන රටවල විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 86 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු (2) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, පසුගිය අඟහරුවාදා (14) දින අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා (2) ඊයේ (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.

යාපනය, මල්ලක්කම් ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙකුගෙන් (5) කැනඩාවේ සහ ලක්සම්බර්ග් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ අසූවක (රු. 8,000,000) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය, මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) නියම වූ අතර, පැමිණිලිකරුට රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ගෙවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මේ අතර, වලංගු විදේශ රැකියා නියෝජිතායතන බලපත්‍රයක් නොමැතිව, ජපානයේ ‘නොරිකො ඉන්ටනැෂනල්’ ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින බව පවසමින් තමන්ගේම මිතුරෙකු රවටා රුපියල් ලක්ෂ හයක් (6) වංචා කළ අයෙකු ද කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඔහු විසින් ජපන් රැකියා සඳහා මුලින් රුපියල් ලක්ෂ 28 ක් අවශ්‍ය බව පවසා, ඉන් රු. ලක්ෂයක (100,000) මුදලක් තමාගේ ගිණුමට ද, තවත් රු. ලක්ෂ පහක් (500,000) බිරිඳගේ ගිණුමට ද බැර කරවාගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්‍යංශය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (15) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු විසින් වංචා කරන ලද සම්පූර්ණ මුදල (රු. ලක්ෂ හය) නැවත පැමිණිලිකරු වෙත ගෙවා දැමීම හේතුවෙන් රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත නිදහස් කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා ෴


ඩෙංගුවන්ට යළි උපදෙසක්

(16.07.2026 – hirunews.lk)

ඇතැම් රෝගීන් විවිධ ශාකමය පාන වර්ග පානය කිරීමෙන් ඩෙංගු රෝගය නිවැරදිව නිශ්චය කරගෙන රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කායික රෝග විශේඥ වෛද්‍ය නිල්වලා ජයසිංහ පවසනවා.

පසුගිය ජනවාරි මස පළමු (01) වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 ක් වන අතර, මරණ සංඛ්‍යාව 49 ක්.

මේ අතර, අද (16) සිට යළි දිස්ත්‍රික්ක 11 ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි ෴


සලේගේ රිට් පෙත්සමට මැදිහත් වෙමින් කාදිනල් ගෙන් පෙත්සමක්

(16.07.2026 – hirunews.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් මැදිහත් පෙත්සමක් ගොනුකොට තිබෙනවා.

තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිසිය ලබාගෙන ඇති රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සූරේෂ් සලේ විසින් මෙම ප්‍රධාන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, කාදිනල් හිමිපාණන් විසින් ගොනු කරනු ලැබූ මැදිහත් පෙත්සම මඟින් ඉල්ලා සිටින්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන විමර්ශනයන්ට බාධා නොකරන ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *