පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!

පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!


පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!

(15.07.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පොලිසියේ නාමය අවභාවිත කරමින්, වේග සීමා උල්ලංඝනය කිරීම් වෙනුවෙන් දඩ මුදල් ගෙවන ලෙස පවසමින් මහජනතාව නොමඟ යවන සුළු ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) ලැබෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම වංචනික ක්‍රියාව පසුගිය දින කිහිපය පුරා මෙරට ජංගම දුරකථන පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම සංවිධානාත්මක වංචාකරුවන් කණ්ඩායම විසින් රජයේ නිල ‘GovPay’ වෙබ් අඩවියට බෙහෙවින් සමාන අතුරුමුහුණත් සහිත ව්‍යාජ වෙබ් අඩවි (Phishing Websites) නිර්මාණය කර ඇති අතර, එමගින් මහජනතාව මුලා කර ඔවුන්ගේ බැංකු කාඩ්පත් සහ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරනු ලබනවා.

රජයේ නිල GovPay වෙබ් අඩවියේ නිවැරදි ලිපිනය වන්නේ
https://govpay.lk/ හෝ https://govpay.lk/en/ වන අතර, රජයේ සියලුම නිල වෙබ් අඩවි සැමවිටම රජයේ නිල gov.lk ඩොමේන් නාමය යටතේ ක්‍රියාත්මක වෙනවා.

නමුත් මෙම වංචාකරුවන් විසින් එවනු ලබන කෙටි පණිවිඩ තුළ 998809(dot)help/govpay/lk වැනි සම්පූර්ණයෙන්ම වෙනස් සහ දැඩි ලෙස සැකකටයුතු ව්‍යාජ අන්තර්ජාල ලිපින (Links) අඩංගු වන බව අනාවරණය වී තිබෙනවා.

එවැනි ව්‍යාජ සබැඳි වෙත පිවිසී තම බැංකු කාඩ්පත්වල රහස්‍ය අංක (CVV/CVC), මුදල් ගනුදෙනු සඳහා ලැබෙන එක්වරක් පමණක් භාවිත කරන රහස්‍ය කේත (OTP) හෝ වෙනත් සංවේදී පුද්ගලික දත්ත ඇතුළත් කිරීමෙන් තම බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කිරීමේ දැඩි අවදානමක් පවතින බව තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ පෙන්වා දෙනවා.

එබැවින්, කෙටි පණිවිඩ (SMS) මඟින් ලැබෙන ඕනෑම අන්තර්ජාල සබැඳියක් (Link) මත ක්ලික් කිරීමට පෙර, මොහොතක් නතර වී එහි විශ්වාසනීයත්වය සහ URL ලිපිනය හොඳින් පරීක්ෂා කර බලන ලෙසත්, කිසිදු හේතුවක් මත තහවුරු නොකළ වෙබ් අඩවි වෙත තම බැංකු තොරතුරු හෝ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ෴


ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු

(15.07.2026 – hirunews.lk)

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාලව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය මෙලෙස නියෝග කළා.

සිද්ධියට අදාල දෙවන සැකකාරිය වන ප්‍රියංකා නයෝමාලිට දින වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින් විවෘත වරෙන්තුවක් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ.

මෙම දෙවැනි සැකකාරිය වෙනුවෙන් අධිකරණයට ඇප තබා ඇති ඇපකරුවන් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක එම ඇපකාරිත්වයෙන් ඉවත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ රුපියල් මිලියන 10ක එම ඇප මුදල රාජසන්තක කළ හැකි බවයි.

එම අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා නඩු ගොනුව නිරීක්ෂණය කර දන්වා සිටියේ රුපියල් මිලියන 10 ක් නොව රුපියල් ලක්ෂ 200 ක ඇප මුදලක් අධිකරණයට තැන්පත් කළ යුතු බවත් එම ඇප මුදල රාජසන්තක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්විය යුතු බවත්ය.

එහිදී ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් දෙදෙනාට විදේශ ගත වීමට අවශ්‍යතාවයක් ඇති බැවින් ඔවුන් ඇපකාරීත්වයෙන් ඉවත් කර දෙන ලෙසයි.

ඒ අනුව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට ඇප තැබු ඇපකරුවන් දෙදෙනාගේ ඇප ඉවත් කිරීම සහ එම ඇප මුදල් රාජසන්තක කිරීමට හේතු ලිඛිතව අධිකරණයට දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

නඩුව ලබන 22 යළි කැඳවිමට නියමිතයි.

මෙම සිද්ධියට අදාල පලමු සැකකරු වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ වන විට මිය ගොස් තිබෙනවා ෴


ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් (2) මරුට, කාන්තාවකට (1) බරපතල තුවාල

(15.07.2026 – hirunews.lk)

අනුරාධපුර ඉසුරුමුණිය වටරවුම අසලදී බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (15) උදෑසන 07:00 ට පමණ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අනුරාධපුර නගරය දෙස සිට පූජා නගරය දෙසට ඉසුරුමුණිය වටරවුම හරහා ගමන් කරමින් තිබූ යතුරුපැදියක, ගල්නෑව සිට තඹුත්තේගම හරහා අනුරාධපුර නගරයේ පාසල් කිහිපයක් සඳහා ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ‘සිසු සැරිය’ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථය අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් වටරවුමට ඇතුළු කිරීමේදී මෙම ගැටීම සිදුව ඇති අතර, අනතුර සිදුවන අයුරු අසල තිබූ ව්‍යාපාරික ස්ථානයක සවි කර තිබූ සී.සී.ටී.වී. (CCTV) කැමරාවක ද සටහන්ව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් (2) සහ කාන්තාවක (1) යතුරුපැදියේ ගමන් කරමින් සිට ඇති අතර, එහි සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනාම (2) අනතුර සිදු වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් අනුරාධපුර කාර්මික පෙදෙසේ සහ පොලොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාලකාරිය අනතුරින් මියගිය පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුගේ බිරිඳ බව පොලිසිය පවසනවා.

අපරික්ෂාකාරී ලෙස බස් රථය ධාවනය කළ රියැදුරු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

+++

+


දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමගේ කැණීම් අවසන්

(15.07.2026 – 12:46 +0530 – sinhala.adaderana.lk)

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කැණීම් සිදු කෙරුණු කිලෝමීටර් 27.7 ක දිගින් යුතු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැනීම් කටයුතු අද (15) අවසන් කෙරුණි.

මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය අවසානයේදී උතුරු මැද සහ උතුරු පළාත්වල පානීය, කෘෂි ඇතුළු ජල අවශ්‍යතා සපුරාලීමට නියමිතය.

1968 වසරේ ගෙන ආ මහවැලි මහ සැලැස්මේ ව්‍යාපෘති පසුව 1977 වසරේදී කඩිනම් මහවැලි වැඩසටහන යටතේ වඩා පුළුල්ව සහ වේගවත්ව ක්‍රියාත්මක කරන ලදී.

එහි අවසන් අදියරේ එක් ව්‍යාපෘතියක් වූයේ උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කැණීම් සිදුකෙරුණු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගය.

මෙහි කැනීම් සඳහා TBM යන්ත්‍ර දෙකක් (2) යොදා ගැනුණු අතර පළමු (1) කොටස 2022 වසරේදී අනුරාධපුර – පලුගස්වැව – මහමීගස්වැව ප්‍රදේශයෙන් ද , දෙවන (2) කොටස 2023 වසරේදී පොළොන්නරුව – ඇලහැර – කොදුරුවාවෙන් කැනීම් ආරම්භ කළේය.

එහි කැනීම් කටයුතු අද (15) නිල වශයෙන් අවසන් කෙරුණු අතර එය සැමරීමේ උත්සවය පෙරවරුවේ අනුරාධපුර පලුගස්වැව ප්‍රදේශයේදී පැවැත්විය.

කිලෝමීටර් 27.7 ක දිගින් යුත් මෙම වාරිමාර්ග උමග ඔස්සේ උතුරේ හෙක්ටයාර 74,000 ක වගාබිම් පෝෂණය කිරීමට වාරි ජලය රැගෙන යාම සිදු කෙරේ.

ඒ අනුව සමස්ත වියළි කලාපීය ප්‍රජාවම පීඩා විඳි පානීය ජල ගැටලුවටද මෙමඟින් සාර්ථක විසඳුම් ලැබෙනු ඇත.

එමගින් මිලියන 1.5 ක ජනතාවගේ ජල අවශ්‍යතාව සපිරෙන අතර, රජරට ප්‍රජාව පීඩාවිඳි හඳුනා නොගත් වකුගඩු රෝගයට පිළියමක්ද මෙමඟින් ලැබෙනු ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *