ෆේස්බුක් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි

ෆේස්බුක් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි


ෆේස්බුක් වාහන ජාවාරමක සුලමුල හෙළිවෙයි

(15.07.2026 – 11:13 +0530 – sinhala.adaderana.lk)

මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධ කර වාහන විකුණා නැවත එම රථ මංකොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, යක්කල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි.

රුපියල් ලක්ෂ හතලිහක් (40) ගෙවා මිලදී ගත් වෑන් රථයක් ගිනි අවි රැගත් පිරිසක් විසින් මංකොල්ලකෑ බවට ජුලි මස පළමුවෙනිදා (01) පොලිස්පති සහන මැදිරිය වෙතට පුද්ගලයෙකු විසින් පැමිණිල්ලක් සිදු කර තිබුණි.

මේ පිළිබඳව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශන ආරම්භ කළහ.

ඒ අනුව මෙම අපරාධයට බැලුම්මහර, මුදුන්ගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැලක හිමිකරුවෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පමණ සම්බන්ධ බවට අනාවරණය කරගෙන ඇත.

එහිදී අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පසුගිය 13 වෙනිදා යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කළේය.

සැකකරුවන් විසින් වාහන විකිණීම සඳහා මුහුණු පොත ඔස්සේ දැන්වීම් පල කර, වාහන විකිණීමෙන් පසු සංවිධානාත්මකව එම වාහනය පසුපස හඹා ගොස් මං කොල්ලකෑම සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණවී ඇත.

මෙම මංකොල්ලයට සම්බන්ධ බවට සැක කරන වාහන අලෙවිසැලේ හිමිකරු ඇතුලු අනෙක් සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සඳහන්ය.

නිට්ටඹුව පොලිස් වසමේ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැල් හිමිකරුගේ නිවසේ තිබූ කඩු 02 ක්, පිස්තෝල මැගසින් 02 ක්, එම ජීව පතරොම් 03 ක් හා ජිප් රථයක් විමර්ශන නිලධාරින් සිය භාරයට ගෙන තිබේ.

මෙවැනි ආකාරයේම සිදු කරන ලද මංකොල්ලකෑම් දෙකක් (2) සම්බන්ධයෙන්ද මොවුන්ට විරුද්ධව පැමිණිලි ලැබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (14) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (16) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි ෴


ජනාධිපතිතුමනි.. ඇන්ටන් මහානායක ඇරස්ට් කරන්න.. – ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් (15.07.2026)

+


යුද හමුදා පදක්කම් හෑල්ලු කළ දිලීපට එරෙහිව නීතිපතිට පෙත්සමක් භාර දෙයි (15.07.2026)

+


“තාත්තාට ගහන්නෙපා පුතේ කියද්දිත් අතඇරියේ නෑ” – ආනන්තරිය පාපකර්ම 2 ක් කරගත් ඇඹිලිපිටියේ අජාසත් පුතා ! (15.07.2026)

+


විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්

(15.07.2026 – hirunews.lk)

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළා.

ඒ, මෙම සැකකරු මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය විසින් අද (15) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාලව සරත් වීරවංශ යන අය නිතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකරුවකු ලෙස නම් කරන බව මූල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබුණේ ඉකුත් ජුනි මස 10 වැනිදා පැවැති නඩ‍ු‍වේදියි.

ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා ෴


කටුනායක වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකුට තුවාල

(15.07.2026 – 17:03 +0530 – sinhala.adaderana.lk)

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පොලිස් නිලධාරියාගේම රාජකාරි ගිනිඅවිය පැහැරගෙන මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව වාර්තා වේ.

ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2), යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලුහුබැඳ ගොස් ඇත.

එහිදී දැවමොට්ටාව ප්‍රදේශයේදී සැකකරු නතර කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අතරතුර, එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒම සඳහා ගොස් ඇත.

එම අවස්ථාවේදී අනෙක් නිලධාරියා සමග සිටි සැකකරු, වහා ක්‍රියාත්මක වී එම නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තබා වෙනත් යතුරුපැදියකින් පළාගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ ෴


මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න : ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග

(15.07.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාලව, රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කළා.

මෙම වංචනික සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු එම දත්ත පිටපත් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනයට අදාලව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16 ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බව පෙර නඩු දිනයේ දී අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම විමර්ශනයට අදාලව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කළ තිබෙන තාක්ෂණික කමිටුවට ලබා දෙන ලෙසයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) අධිකරණයට මෝෂමක් ගොනු කරමින් කරුණු දක්වමින් කියා සිටියේ, අදාල මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශන කටයුතු සඳහා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියට අදාළ දත්ත පිටපත් මෙලෙස තාක්ෂණික කමිටුව වෙත ලබා දීමට නියෝගයක් නිකුත් කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු සඳහා අදාළ දත්ත පිටපත් තාක්ෂණික කමිටුව වෙත ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත නියෝග නිකුත් කිරීමට පියවර ගනු ලැබුවා ෴


“චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු” – සිරිල් ගාමිණී

(15.07.2026 – hirunews.lk ඇසුරෙන්)

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් පසුගියදා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කාදිනල්ගේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, චාමර සම්පත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් හමුදාපතිතුමා ජූලි මස 02 වැනිදා පලතුරු වට්ටියක් රැගෙන කාදිනල් බැහැදැකීමට ගිය බවත්, එදිනම ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන ලද බවත් ය.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු සිය නිවේදනය මගින් අවධාරණය කරන්නේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බවයි.

නිවේදනයේ සඳහන් වන පරිදි, කාදිනල් රෝමයේ වතිකානය බලා ගොස් යළි දිවයිනට පැමිණ ඇත්තේ ජූලි මස 03 වැනිදායි.

එබැවින් මන්ත්‍රීවරයා පවසන පරිදි ජූලි 02 වනදා යුද හමුදාපතිතුමා සහ කාදිනල් අතර කිසිදු හමුවීමක් සිදුවිය නොහැකි බවත්, එවැනි හමුවීමක් කිසිසේත්ම සිදු නොවූ බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පැහැදිලි කරනවා.

“මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව අවධාරණය කරන අතර, එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. ඔහුගේ මෙම ප්‍රකාශය තුළ ඇත්තේ ආගම්වාදය පදනම් කරගෙන මේ රටේ ආගමික සංහිඳියාව විනාශ කිරීම මගින් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ නින්දිත අරමුණක් බව පැහැදිලිය.” යනුවෙන් එම දැනුම්දීමේ සඳහන්.

මෙම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් චාමර සම්පත් මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය මාර්ගයෙන් කටයුතු කිරීම පිළිබඳව කාදිනල්ගේ නීතිඥයින් මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට (28) එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට

(15.07.2026 – hirunews.lk)

පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රු. ලක්ෂ 250 ක් වංචා කිරීමේ සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට (28) එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරියා විසින් මේ බව දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ බැංකුවේ ලේඛන අත්සන් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් අත්අකුරු පරීක්ෂාවකට ලක් කළ බවයි.

සිද්ධියට අදාලව අද (15) අධිකරණයේ සැකකරුවන් පෙනී සිටි අතර අධිකරණයේ පෙනී නොසිටි 13 සහ 17 වන සැකකරුවන්ට වරෙන්තු නිකුත් කළා.

මෙම සිද්ධිය මේ වන විට නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාළ නඩුව දෙසැම්බර් 09 නැවත කැඳවීමට නියමිතයි ෴


හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට (6) අධිචෝදනා

(15.07.2026 – hirunews.lk)

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමකට කූඨලේඛන සකස් කර එය විකිණීමට තැත් කළැයි කියන චෝදනාවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට (6) එරෙහිව නිතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (15) අධිචෝදනා භාරදුන්නා.

ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න ඉදිරියේ.

විත්තිකරුවන් හය දෙනාගේ (6) විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසට මෙහිදී අධිකරණය නියම කළා.

අනතුරුව විත්තිකරුවන් අමතර රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමයි අධිකරණය නියම කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බවට ඔවුන් සඳහන් කළ අතර, නඩුවේ පළමු කැඳවීම ලබන සැප්තැම්බර් මස 01 වැනිදාට කල් තැබුණා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, ජයන්ත කබ්රාල්, මෙල්රෝයි පෙරේරා සහ සරත් කුමාර එදිරිසිංහ යන අයවලුන්.

රජයේ නිතීඥ සමදරී පියසේන නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා ෴


ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න : ගුවන් හමුදාවෙන් හදිසි ඉල්ලීමක්

(15.07.2026 – hirunews.lk)

‍සරුංගල් සමයත් සමඟ දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් ඇති අතර, එමඟින් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක් බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට මෙලෙස බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතු කර ඇති බව ගුවන් හමුදාව සඳහන් කරනවා.

මෙම අනතුරුදායක තත්ත්වය සනාථ කරමින් අද (15) දින රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගල් නූල් හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දී ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.

ගුවන් හමුදාව පවසන්නේ, පුහුණුවීම්වල නිරතව සිටි මෙම යානය නැවත රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇති අතර, ඉන් අනතුරුව සිදු කළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බවයි.

ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බව ගුවන් හමුදාව පවසනවා.

මෙමඟින් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බවයි ගුවන් හමුදාව සඳහන් කරන්‍නේ.

එබැවින්, ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගී ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට පදිංචි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *