‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමෙන් රු. කෝටි ගණනක් ඉපැයූ පුද්ගලයෙක් වලපනේ දී අත්අඩංගුවට

‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමෙන් රු. කෝටි ගණනක් ඉපැයූ පුද්ගලයෙක් වලපනේ දී අත්අඩංගුවට


‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමෙන් රු. කෝටි ගණනක් ඉපැයූ පුද්ගලයෙක් වලපනේ දී අත්අඩංගුවට

(13.07.2026 – 21:04 +0530 – sinhala.adaderana.lk)

‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමෙන් උපයාගත් රුපියල් 24,900,000 ට අධික මුදලක් මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කරමින් සංසරණය කිරීමේ සිද්ධියකට අදාළව, ක්ෂණික මුදල් හුවමාරු කිරීමේ ක්‍රම ජාලය මෙහෙයවූ 24 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලපනේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ඊයේ (12) දින අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (13) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජූලි 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ 2025 දෙසැම්බර් 27 වන දින අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලිනි.

එහිදී මත්ද්‍රව්‍ය මුදල් හුවමාරු කළ හංවැල්ල ප්‍රදේශයේ බැංකු ගිණුමක් සොයාගත් අතර, එම ගිණුම හරහා පමණක් රුපියල් 4,911,100 ක මුදලක් සංසරණය වී ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

එම බැංකු ගිණුම් විමර්ශනවලට අදාළව මීට පෙර අවස්ථාවලදී කහහේන, දොඩංගොඩ සහ කළුඅග්ගල යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැනට ඇප මත මුදාහැර සිටියි.

ඇප මත සිටින සැකකරුවන්ගෙන් තවදුරටත් අනාවරණය කරගත් තොරතුරු මත, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 24,921,537 ක (දෙකෝටි හතළිස් නව ලක්ෂ විසිඑක්දහස් පන්සිය තිස්හතක) දැවැන්ත මුදලක් එක්තරා දුරකථන සිම්පතක් වෙත ක්ෂණික මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයට බැර වී ඇති බව හෙළි වී ඇත.

එම දුරකථන අංකයේ ලියාපදිංචි හිමිකරු සොයා සිදුකළ මෙහෙයුමකදී වලපනේ ප්‍රදේශයේදී මෙම 24 හැවිරිදි සැකකරු කොටුකර ගැනීමට පොලීසිය සමත්ව ඇත.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, දැනට විදේශගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ මෙම සැකකරු සෘජුවම සමීප සබඳතා පවත්වමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය මුදල් විශුද්ධිකරණ ජාලය මෙහෙයවා ඇති බවය.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මෙම ජාලයට සම්බන්ධ සෙසු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9 ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ

(13.07.2026 – hirunews.lk)

රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ක් සහ ආයුධ තොගයක් සමඟ දොම්පේ, ජඹුගහහන්දිය ප්‍රදේශයේදී තරුණයෙක් අද (13) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අද (13) සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 25ක තරුණයෙක්.

සැකකරු යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව දොම්පේ, ජඹුගහහන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදු කළ සෝදිසි කිරීම්වලදී රුපියල් මිලියන ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9 යි ග්‍රෑම් 120 ක්, ‘ජෝනි බට්ටන්’ (පුපුරණ ද්‍රව්‍ය) 3 ක්, ෆියුස් 4 ක්, කඩු 5 ක් සහ එම්-16 (M16) ගිනිඅවියට භාවිතා කරන පතොරම් 20 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාලයක මෙහෙයවන්නෙකු වන ‘වරුණ’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම සහ ඒවා දිවයින පුරා බෙදාහැරීමේ ප්‍රධාන තැරැව්කරු ලෙස කටයුතු කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබෙනවා.

+++

+


ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි : පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ

(13.07.2026 – hirunews.lk)

රුපියල් කෝටි 184 කට අධික රජයේ මුදල් අවදානම් සහගත ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විරෝධතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (13) ඒකමතිකව ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව, විත්ති පාර්ශ්වයේ විරෝධතා හේතුවෙන් කල් තබා තිබූ මෙම නඩුවේ පූර්ණ විභාගය ලබන ජූලි මස 20 වැනිදා ආරම්භ කිරීමටයි අධිකරණය නියම කර ඇත්තේ.

මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුව සභාපති විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

2011 මාර්තු 11 සහ 2012 නොවැම්බර් 19 යන කාලසීමාව තුළ ග්‍රීසියේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටී තිබියදීත්, එරට දැඩි අවදානම් සහගත බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයේ මුදල් ආයෝජනය කිරීමෙන් රුපියල් 1,843,267,595.60 ක (රු. කෝටි 184 කට අධික) පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

මීට පෙර කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට (5) එරෙහිව පැවති නඩුවේදී රජයට වූ පාඩුව මාස තුනක් (3) ඇතුළත ගෙවන ලෙස දුන් කොන්දේසිය විත්තිකරු ඉටු නොකිරීම හේතුවෙන්, නව දූෂණ විරෝධී පනත යටතේ මෙම නව අධිචෝදනා පත්‍රය ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණා ෴


ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10 කදී සජීවී උපත් 120,000 කින් අඩු වෙයි

(13.07.2026 – hirunews.lk)

ගතවූ දශකය තුළ ශ්‍රී ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව 120,000 කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නවතම දත්ත මඟින් අනාවරණය වී තිබෙනවා.

මෙම උපත් අනුපාතය පහළ යාමේ ප්‍රවණතාව හමුවේ, දරු උපත් දිරිගැන්වීම සඳහා රජය විසින් අවශ්‍ය සහයෝගය සහ දිරිගැන්වීම් ලබා දීමට කටයුතු කරන බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2015 සිට 2025 දක්වා කාලය තුළ ලංකාවේ සජීවී උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම 2019 වසරෙන් පසුව මෙම කඩා වැටීම වඩාත් කැපී පෙනෙන ලෙස සිදුව තිබෙනවා.

ගතවූ වසර කිහිපය තුළ සජීවී උපත් වාර්තා වී ඇත්තේ පහත පරිදි යි :

2019 – 319,010
2020 – 301,706
2021 – 284,848
2022 – 275,321

2023 – 247,900
2024 – 220,761
2025 – 214,570

මෙම දත්තවලට අනුව 2019 සහ 2025 වසරවල් අතර කාලය තුළ පමණක් මෙරට සජීවී උපත්වල දළ වශයෙන් 33% ක කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබෙනවා.

මෙරට උපත් සංඛ්‍යාව මෙලෙස ශීඝ්‍රයෙන් පහළ යාම කෙරෙහි කරුණු කිහිපයක් බලපා ඇති බව බලධාරීන් විසින් හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව, විවාහ වීම ප්‍රමාද කිරීම සහ විවාහ වන ප්‍රතිශතය පහළ යාම, ඉහළ යන ජීවන වියදම සහ කුඩා පවුල් සඳහා ඇති කැමැත්ත වැඩි වීම, ප්‍රජනන වයසේ පසුවන තරුණ ප්‍රජාව විදේශගත වීම සහ රැකියා සඳහා කලත්‍රයන් වෙන්ව ජීවත් වීම, කාන්තාවන් උසස් අධ්‍යාපනයට සහ රැකියා වෙළඳපොළට වැඩි වශයෙන් දායක වීම සහ පවුල් සැලසුම් ක්‍රම සහ උපත් පාලන ක්‍රම කෙරෙහි ඇති ආකල්ප වෙනස් වීම මෙන්ම වඳභාවය (Fertility issues) ආශ්‍රිත ගැටලු ඒ අතරට ඇතුළත්.

දිගුකාලීනව රටේ ජනගහන ස්ථාවරත්වය (Population stability) පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව සජීවී උපත් 330,000 ත් 360,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බව නිලධාරීන් පෙන්වා දෙන අතර, කෙසේ වෙතත්, අවසන් වරට (2025 වසරේ) වාර්තා වූ 214,570 ක උපත් සංඛ්‍යාව එම අවශ්‍යතාවයට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතිනවා ෴


විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අනතුරුදායකයි – ජී.එල්. පීරිස්

(13.07.2026 – 22:41 +0530 – sinhala.adaderana.lk)

මෙරට උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යයන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජී.එල්. පීරිස් මහතාද විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් නිකුත් කර තිබේ.

එමගින් ඔහු පෙන්වාදෙන්නේ ජීවිත අපේක්ෂාව ඉහළ යාම හා විනිසුරුවරුන්ගේ දැනුම බෙදාගැනීම වැනි එම පියවර සාධාරණීකරණය කිරීම සඳහා රජය ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවයි.

එමෙන්ම මෙවැනි සංශෝධනයක් සිදුකළ යුත්තේ අතීතයට බලපාන අයුරින් නොව අනාගතයට බලපාන ආකාරයෙන් බවද මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

මේ වසරේ මුල් භාගය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු (3) විශ්‍රාම ගිය බවත් සංශෝධනය වසර මුලදී ඉදිරිපත් කළේනම් ඔවුන්ටද එමගින් ප්‍රතිලාභ හිමිවන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන තවත් කරුණකි.

එබැවින් එය විනිසුරුවරුන් කොටසකට පමණක් ලබාදෙන මුදල් පරිත්‍යාගයක් වැනි කරුණක් බවත් ඔහු පවසා තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි පොරොන්දු ලබා දී බලයට පැමිණි ජාතික ජනබලවේග ආණ්ඩුව මැතිවරණ ක්‍රමයේ සංශෝධන වැනි ප්‍රමුඛ කාර්යයන් රැසක් තිබියදී නීතියට මැදිහත් වීමේ මෙවැනි ක්‍රියාවලියකට ඉහළ ප්‍රමුඛත්වයක් ලබාදීම පිළිබඳවද මහාචාර්යවරයා ප්‍රශ්නකර සිටියි.

ඒ අනුව රජයේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බවත් එමඟින් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය පළුදුවන බවත් මහාචාර්යය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

මේ අතර, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවන බව අධිකරණ සේවා සංගමයද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

මෙරට උපරිමාධිකරණ වන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සූදානම සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

එවන් පසුබිමක මහෙස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව ඉකුත් සෙනසුරාදා රැස්වීමක් පවත්වා තිබුණේ මෙම විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සඳහායි.

එහිදී පැවැත්වූ රහස් ඡන්දයේදී විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එකඟ නොවීමට ඒකමතිකව තීරණය වූ බව අධිකරණ සේවා සංගමය ජනාධිපතිවරයා වෙත ඊයේ (12) ලිඛිතව දැනුම්දී තිබේ.

අධිකරණ සේවා සංගමයේ වැඩබලන සභාපති, මහනුවර මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක හා එහි ලේකම් නුගේගොඩ අතිරේක දිසා විනිසුරු සුරංග මුණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතු එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරිය, කතානායකවරයා, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය සහ අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා වෙත ද යොමුකර තිබුණි ෴


අම්පාරේ කොහු මෝලක ගින්නක්‍

(13.07.2026 – 20:26 +0530 – sinhala.adaderana.lk)

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන කොහු මෝලක් තුළ මේ වන විට ගින්නක් හටගෙන තිබේ.

අම්පාර නගර සභාවේ ගිනි නිවන ඒකකය, උහණ ගුවන් හමුදා ගිනි නිවන ඒකකය, යුද හමුදාව එක්ව පොලීසියේද සහයෝගය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.

+


මරියසෙල් ගුණතිලකගේ අවසන් කටයුතු සිදුකෙරේ

(13.07.2026 – 18:44 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත ගායන ශිල්පණී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 10 වන දින අලුයම අවසන් සුසුම් පොඳ හෙළීය.

මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.

+


රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට දුන් කාලය ජුලි 31 න් අවසන්

(13.07.2026 – 18:37 +0530 – sinhala.adaderana.lk)

සියලුම රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා ලබා දුන් කාලය ජූලි 31 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ.

ඒ අනුව කඩිනමින් තම තොරතුරු යාවත්කාලීන කිරීම සම්පූර්ණ කරන මෙන් ප්‍රතිලාභීන්ගෙන් ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති, ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය ඉල්ලා සිටියාය.

විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂ 09 ක පමණ පිරිසක් මෙම රක්ෂණාවරණයේ සෘජු ප්‍රතිලාභීහු වෙති.

එමෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සමග ලක්ෂ 30 ක පමණ පිරිසක් මේ යටතේ ප්‍රතිලාභ ලබන බව ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය කියා සිටියයා.

අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම 2026 අප්‍රේල් ආරම්භ කළ අතර මේ වන විට ලක්ෂ 06 පමණ රාජ්‍ය සේවකයින් පිරිසක් මේ යටතේ සිය තොරතුරු යාවත්කාලීන කර ඇති බව සඳහන්ය.

රාජ්‍ය ආයතන 1900 ක පමණ අග්‍රහාර සාමාජිකයන් සේවයේ යෙදෙන බව ද එම ආයතනවල අග්‍රහාර සම්බන්ධීකරණ නිලධාරීන් නම් කර එවන ලෙසට එම ආයතනවලට ලිඛිතව දැනුම් දීමක් සිදුකළ බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය සඳහන් කළාය.

මේ දක්වා එලෙස නම් කිරීම් නොකළ ආයතනවලින්ද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය නිලධාරීන් මෙම දත්ත පද්ධතියට එකතු කරන දත්තවල නිවැරදිභාවය අදාළ ආයතනයේ අග්‍රහාර සම්බන්ධ නිලධාරියා සහ ආයතන ප්‍රධානියා විසින් තහවුරු කළ යුතු බව ද එසේ කිරීම මගින් මෙම දත්ත පද්ධතිය සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බව ද පැවසුවාය.

සෑම රාජ්‍ය ආයතනයකටම මේ සදහා සහය වන ලෙස ඉල්ලා සිටි සභාපතිවරිය ඉදිරියේදී මෙම දත්ත පද්ධතිය හරහා පමණක් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියා සිටියාය ෴


ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

(13.07.2026 – 16:55 +0530 – sinhala.adaderana.lk)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 80 ක සියයට 48 ක ජල ධාරිතාවක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු H.M.P.S.D. හේරත් මහතා පවසයි.

ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද ඔහු ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් යල කන්නයේ වගා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බැවින් පවතින ජල පරිමාව ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ඇති බව ද ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මේ අතර ජලාශ හරහා පානීය ජල පහසුකම් ලබාගන්නා පිරිස සඳහා ද ප්‍රමාණවත් පරිදි පවතින බව ද හේරත් මහතා අවධාරණය කළේය.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වැසි අපේක්ෂාව කරන බැවින් පානීය ජල හිඟයක් ඇති නොවනු ඇති බව ද වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු හේරත් මහතා වැඩිදුරටත් කියාසිටියේය.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *