බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
(09.07.2026 – hirunews.lk)
- පැය 14 ක මෙහෙයුමකින් පසු බද්ධ නිවුන් දරුවෝ වෙන් කෙරුණා
- එක් දරුවකුට පමණක් පිහිටා තිබූ වකුගඩු 02 න් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කෙරුණා
ශ්‍රෝණි මේඛලාවෙන් එකට බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
එක් දරුවකුට පමණක් පිහිටා තිබූ වකුගඩු 02 න් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමට මෙහිදී වෛද්‍යවරු කටයුතු කර තිබෙන අතර එවැනි සැත්කමක් ලොව සිදුකර තිබෙන්නේ ප්‍රථම වතාවට බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචර්ය මාතුල හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද කන්දඋඩ ඇතුළු කණ්ඩායමක් විසින් ඉකුත් 2021 වසරේදී සිසේරියන් සැත්කමක් මගින් මාවනැල්ලේ පදිංචි මවකගේ කුසින් පිටතට ගෙන තිබෙන මෙම බද්ධ නිවුන් දරුවන් 2024 දී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්කර තිබුණා.
වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වට පත්වීමෙන් පසු දරුවන් වෙන් කිරිමේ සැත්කම සිදුකර තිබෙන්නේ ඉකුත් ජූනි 10 වැනිදායි.
එදින සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද දරුවන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී සාමාන්‍ය වාට්ටුවකට යොමු කළ හැකි බව මාතුල හෙට්ටිආරච්චි පැවසුවා.
බද්ධ වී සිටි නිවුන් දරුවන් වෙන් කිරීමේ සැත්කම් මේ වනවිට මෙරට සිදු කර තිබෙන්නේ එකක් බවත් එක් දරුවෙකුගේ වකුගඩුවක් ගලවා ඉවත්කර අනෙක් දරුවාට බද්ධ කර ඔවුන් වෙන් කිරීමේ සැත්කමක් මෙතෙක් ලොව කිසිදු රටක සිදුකර නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
සිහි නැති කර මේ ආකාර බරපතල සැත්කමක් සිදු කිරීම සඳහා දරුවන් දෙදෙනාගේ බර ඊට සරිලන තත්ත්වයේ තිබීම වැදගත් බවත් උපතින් පසු වසර 05 ක කාලයක් යනතෙක් ඔවුන් වෙන් කිරීමේ සැත්කම නොකළේ ඒ නිසා බවත් හෙතෙම පැවසුවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බන්දුල සමරසිංහ පැවසුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ළමා වකුගඩු බද්ධ කිරීමේ 200 ක් පමණ මේ වනවිට සිදු කර තිබෙන බවත් මෙම සැත්කම සාර්ථකව සිදු කිරීමට එම අත්දැකීම් ඉතා ප්‍රයෝජනවත් වූ බවත්ය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශානි රත්නායක අදහස් දක්වමින් මෙම දරුවන් සැත්කමට ලක් කිරීම සඳහා පෙරවරු 07:00 සිට රාත්‍රි 09:00 දක්වා දීර්ඝ කාලයක් සිහිනැති කර තබා ගත් බවත් ඔවුන්ගේ හෘද වස්තුව, පෙනහළු, රුධිර සංසරණ පද්ධතිය හා මොළය හොඳින් ක්‍රියා කිරීම සැත්කම සාර්ථක කර ගැනීමට පිටුබලයක් වූ බවත් ය.
යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ළමයෙකු වුවද සිහිනැති කර යළි සිහිය ගැනීම අභියෝගයක් බවත් එවැනි තත්ත්වයක් තිබියදී මෙම දරුවන් දෙදෙනා පැය 14 ක පමණ කාලයක් නිර්වින්දන තත්ත්වයෙන් තබා ගනිමින් සැත්කම සාර්ථකව සිදුකර යළි සිහිය ලබා ගැනීමට හැකිවූයේ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෙසු සියලු පිරිස් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිපලයක් නිසා බවත් ඇය ප්‍රකාශ කළා.
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය අකලංක ජයසිංහ මෙම දරුවන් දෙදෙනා සම්බන්ධ වී තිබුණු ශ්‍රෝණි මේඛලාවේ අසාමාන්‍ය පිහිටීමක් දක්නට ලැබුණු බවත් කකුල් පිහිටා තිබුණේ හරස් අතට බවත් පැවසුවා.
හිසට සාපේක්ෂව පාද අංශක 90 ක ආකාරයට පිහිටා තිබීම නිසා පාදවලට යන ස්නායූ හා රුධිර ගමනාගමනයට හානියක් නොවන අයුරින් දරුවන් වෙන් කිරීම අභියෝගයක් වූ බවද ඔහු පැවසුවා.
මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකු ඇතුළු 30 ක පමණ කණ්ඩායමක් සම්බන්ධ වී තිබෙනවා.
එම දරුවන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඉදිරියේදී ඔවුන්ට තවත් සැත්කම් කිහිපයක් සිදු කිරීමට තිබෙන බවත් මාතුල හෙට්ටිආරච්චි පැවසුවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිර්වින්ද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන් නනායක්කාර, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැලිය, නිර්වින්ද විශේෂඥ වෛද්‍ය කවිෂා දිසානායක මෙහිදී අදහස් දැක්වුවා.
+++
+++
+
බීමතින් රිය පදවා අනතුරක් කිරීම – මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට රු. 2500 ක දඩයක්
(09.07.2026 – hirunews.lk)
මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තමන් වරදකරු බවට අද (09) දින පිළිගත්තා.
ඒ අනුව රුපියල් දෙදහස් පන්සියයක (2500) දඩ මුදලක් ගෙවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (09) නියෝග කළා.

චූදිත වෙනුවෙන් පෙනී සිටි චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහා අජිත් නන්දකුමාර යන නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බවයි.
ඒ අනුව දෙවන සහා තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ නියම කරන ලද දඩ මුදල ගෙවීමට නැවත මෙම නඩුව අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට හා දෙවන සහා තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව අද (09) දින කැඳවනු ලැබුවා ෴
විමල් ගේ “නැත්ත වෙනුවට ඇත්ත” ට එරෙහි වාරණය ඉවතට – පොතේ වාරණය ලේඛනවලට පමණක් සීමා වෙයි – ටිල්වින්ට රු. මිලියනයක වන්දියක්
(09.07.2026 – hirunews.lk)
විමල් වීරවංශ විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” නමැති ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන ඇතැම් ලේඛනවලින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංගණය කිරීම වෙනුවෙන් ඔහුට රුපියල් මිලියනක වන්දියක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයට එරෙහිව විමල් වීරවංශ ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළා.
කෙසේ වෙතත් අදාල ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම, විකිණීම හා බෙදා හැරීම වළක්වාලමින් වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය වෙනස් කිරීම්වලට ලක් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා.
ඒ අනුව අදාල තහනම් නියෝගය එම ග්‍රන්ථයේ ඇතුළත් කර තිබෙන වග උත්තරකාර ටිල්වින් සිල්වාගේ ලේඛනවලට පමණක් පමණක් සීමා කරන බවත් නියෝගයේ ප්‍රකාශ වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන්, යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
අදාල ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමේදී විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ලේඛන ගණනාවක් ඊට ඇතුළත් කරගෙන ඇති බවත් ඒ තුළින් සිය බුද්ධිමය දේපල පිළිබඳ අයිතිය උල්ලංඝණය කර තිබෙන බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා විසින් වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණා.
එම නඩුව විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණය මේ තුළින් පැමිණිලිකාර ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය වී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසත් විමල් වීරවංශට නියෝග කර තිබුණා.
එම තීන්දුවට එරෙහිව විමල් වීරවංශ විසින් මෙම විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා ෴
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික මුදලක් වංචා කළ ‘ජිෆ්රි මොහොමඩ්’ යළිත් රිමාන්ඩ්
(09.07.2026 – hirunews.lk)
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් විදේශ රටවලට යැවු බව කියන සිද්ධියට අදාලව මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු වන ‘ජිෆ්රි මොහොමඩ්’ නමැත්තා ලබන 23 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (09) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
වසර කිහිපයක් තිස්සේ මෙරට ජාතික ධනය විදේශයන්ට ඇද දැමු මෙරට ඉතිහාසයේ විශාලතම සහ ප්‍රධානතම කළු සල්ලි ජාවාරම්කරුවෙකු බව කියන ‘ජිෆ්රි මොහොමඩ්’ නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් 54(ආ) වගන්තිය යටතේ සැකකරුට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන වර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළා.
සිද්ධියට අදාලව අධිකරණයට කරුණු දක්වමින් මූල්‍ය විමර්ශන කොට්ඨාසය සදහන් කර සිටියේ මෙම සැකකරු විසින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ පමණක් නීතිවිරෝධී අයුරින් විදේශ රටවලට යවා ඇති මුදල රුපියල් කෝටි විසි එක්දහසකට (රු. කෝටි 21,000) අධික බවයි.
එය අමෙරිකානු ඩොලර් මිලියන 700 කට වඩා වැඩි දැවැන්ත මුදලක් වන අතර මෙමඟින් මෙරට ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම සුළුපටු නොවන බවයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට පවසා සිටියේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ‘A Y ඉන්වෙස්ට්මන්ට්’ නැමැති ආයතනය වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
එහිදී ‘ජිෆ්රි මොහොමඩ්’ නැමැති පුද්ගලයෙකු අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම සූක්ෂ්ම ජාවාරම මෙහෙයවා ඇති බවයි.
මීගමුවේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී ඉකුත් (19) දින මොහුව අත්අඩංගුවට ගෙන අද (09) දක්වා රැදවුම් නියෝග ලබා ගෙන තිබුණා.
අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී පවා රුපියල් කෝටි ගණනක ඩොලර් නෝට්ටු තොගයක් ඔහු සතුව තිබී ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා සිටියේ.
රටින් බැහැර වන මුදල්වලට භාණ්ඩ මෙරටට ආනයනය නොවීම පිළිබඳව රේගු නිලධාරීන්ට මතු වූ සාධාරණ සැකය මත පොලිස්පතිතුමා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙහි විමර්ශන කටයුතු සිදු කරනු ලබන බවයි විමර්ශන නිලධාරීන් පවසා සිටියේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තමන් උපයාගන්නා කළු සල්ලි විදේශගත කිරීමටත්, කොළඹ ප්‍රධාන පෙළේ භාණ්ඩ ආනයනකරුවන් රජයට බදු පැහැර හරිමින් කූට ලෙස ඩොලර් පිටරට යැවීමටත් මෙම පුද්ගලයාගේ සහය ලබාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.
මෙම ජාවාරම සඟවා ගැනීම සඳහා සැකකරු විසින් සාක්ෂරතාවය අඩු, අසරණ පුද්ගලයන් 36 දෙනෙකුගේ නමින් ව්‍යාජ ලෙස බැංකු ගිණුම් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ඇතැම් බැංකු නිලධාරීන් සහ ඇතැම් ආයතනවලද ආධාර අනුබල ලැබී ඇති බවයි මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ.
මෙම සිද්ධියට අදාලව බැංකු නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් නිතීමය පියවර ගැනීමට කටයුතු කරන බවද මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසා සිටියා ෴
හදිසියේ උපයාගත් දේපළ ගැන දැනුවත් කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්
(09.07.2026 – 17:04 +0530 – sinhala.adaderana.lk)
නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව, හදිසියේ උපයාගත් විශාල දේපළ සහ සුඛෝපභෝගී ජීවන රටාවන් ගත කරන පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රම ඔස්සේ උපයාගත් දේපළ සහ නීති විරෝධි වත්කම් සම්බන්ධයෙන් අදාළ විමර්ශන මේ වන විටත් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක බව ද ඔවුන් සඳහන් කළේය.
සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව තමන් දැනුවත් කරන බවට පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴
හොර පාරෙන් ගෙනා රු. ලක්ෂ 100 කට අධික මත්පෙති හා තවත් භාණ්ඩ තොගයක් මාට්ටු
(09.07.2026 – 16:50 +0530 – sinhala.adaderana.lk)
නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් ලක්ෂ 100 කට අධික මත්පෙති, ෂැම්පු වර්ග සහ මදුරු නාශක ක්‍රීම් වර්ග ඇතුළු ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව හා උඩප්පුව පොලිස් නිළධාරීන් පිරිසක් එක්ව අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ මත්පෙති 1,43,600 ක්, ෂැම්පු පැකට් 2,264 ,මදුරු නාශක ක්‍රීම් 3,816 කි.
මේවා උර 15 ක අසුරා තිබු බවත් ඒවා පල්ලිවාසල්පාඩුව වෙරලට දමා සැකකරුවන් ඒ අසන්නයෙන් පලාගොස් ඇති බවට නාවික හමුදාවට හා පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවගත් මත් පෙති හා අනිකුත් දෑ සම්බන්ධව පුර්ණ විමර්ශණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පැන ගිය සැකකරුවන් හඳුනා ගැනිමට ද කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි ෴
සත්ත්ව කොටස්වලින් ආභරණ සැකසු ව්‍යාපාරිකයාට රු. ලක්ෂ 21 ක දඩයක්
(09.07.2026 – 16:15 +0530 – sinhala.adaderana.lk)
වන සතුන්ගේ ශරීර කොටස් යොදා ගනිමින් ආභරණ සකසා දෙස් විදෙස් සංචාරකයින්ට අලෙවි කිරීමේ රන් භාණ්ඩ අලෙවිසැළක් පවත්වාගෙන ගිය අයෙකුට රුපියල් ලක්ෂ 21 ක දඩ මුදලක් නියම කර තිබේ.
පොල්ගස්ඕවිට කහතුඩුව පදිංචි ව්‍යාපාරිකයෙකුට ඊයේ (08) රුවන්වැල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග ලබා දී තිබේ.
ඔහු විසින් පවත්වාගෙන යනු ලබන රන් ආභරණ අලෙවිකිරීමේ ආයතනය තුළ සත්ත්ව කෙදි හා ශරීර කොටස් යොදා ගනිමින් සුර, මුදු ඇතුළු දෑ සකසා අලෙවි කිරීමේ යෙදි සිටියදී බුලත්කොහුපිටිය බීට්ටු වනජීවි නිළධාරීන් හා කුරුණෑගල වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිළධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබුණි.
මෙම වැටලීම පසුගිය ජූනි 24 දින සිදුකර තිබු අතර වනජීවි නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු රුවන්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නැවත ඊයේ (08) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබුණි.
වනජීවි නිළධාරීන් අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම සැකකරු වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය කරමින් වන සතුන්ගේ ශරීර කොටස් මෙලෙස මුදු හා මාල ඇතුළු දෑ සඳහා භාවිතා කර තිබු බවයි.
එසෙල භාවිතා කල දෑ අතර බැලැක් කොරල්, කොටි දත්, අලි කෙදි, ඇත් දළ, විශේෂීත මුහුදු බෙල්ලන්, අලි හක්ක ඇතුළු දෑ මාල, මුදු ඇතුළු දෑ සකසමින් අපල සඳහා මෙම ආභරණ පැලදිමේන් ඒවා දුරුවෙන බව පවසමින් වංචනික ලෙස කටයුතු කර ඇති බව පවසන්නට විය.
ඒ අනුව, මෙලෙස අධිකරණයේ පෙනි සිටි සැකකරුට වරදකරු ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා මෙලෙස රුපියල් ලක්ෂ 21 ක දඩ මුදලක් නියෝග කර තිබේ.
අදාල දඩ මුදල් වාරික තුනකින් (3) ගෙවීමට නියෝග කල මහෙස්ත්‍රාත්වරයා පලමු වාරියකය වන රු. ලක්ෂ හතක (7) මුදල අගෝස්තු 08 දින ගෙවා නිම කරන ලෙස ද දන්වා තිබේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴