බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මීගමුවේ කැරැල්ල ඇරඹුණු බව හෙළි වෙයි

බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මීගමුවේ කැරැල්ල ඇරඹුණු බව හෙළි වෙයි


බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මීගමුවේ කැරැල්ල ඇරඹුණු බව හෙළි වෙයි

(08.07.2026 – hirunews.lk)

බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු පමණ රැඳවියන් රැගෙන ඒමට බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙමින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කැරැල්ල ආරම්භ කර ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි මීගමුව මූලස්ථාන පොලිසිය පවසනවා.

බන්ධනාගාරගතව සිටින රැඳවියන් විසින් රැඳවියන් 50 දෙනෙකු පමණ තම ඥාතීන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීම පරිදි බන්ධනාගාර අධිකාරී ගජනායක විසින් එම ඉල්ලීමට සවන් දී එම අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී එලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

එහිදී එම නිලධාරීන් මුදවා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව කටයුතු කළ අවස්ථාවේ රැඳවියන් සිටි බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කීපයක් ඇසී ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරින් ප්‍රධාන දොරටුව විවෘත කරමින් බන්ධනාගාරය තුළට ඇතුළුවන අවස්ථාවේදී නිලධාරින් හා රැඳවියන් අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇතැයි ද එහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් තුවාල ලබා ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරනවා.

එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමෙන් පසු තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ ලෙස තුවාල ලබා සිටි බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු හා රැඳවියන් 17 දෙනෙකු එම අවස්ථාවේදීම මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයිද පොලිසිය පවසනවා.

එයින් අනතුරුවද රැඳවියන් දෙදෙනකු (2) මිය ගොස් තිබෙනවා.

තුවාල ලද බන්ධනාගාර නිලධාරීන් 24 දෙනාගෙන් 16 දෙනෙක් මීගමුව රෝහලේත්, බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා 8 දෙනෙක් කොළඹ ජාතික රෝහල වෙතද යොමු කළ බවත්, තුවාල ලද රැඳවියන් 61දෙනාගෙන් 50 දෙනෙක් මීගමුව රෝහලේත් සෙසු 11 දෙනා කොළඹ ජාතික රෝහලෙත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවත් පොලිසිය සඳහන් කරනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත රැඳවියන් භාරයට අවි ලැබීම හා අවිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මීගමුව දිස්ත්‍රික් එක භාර සහකාර පොලිස් අධිකාරී ආර්.එම්.ජි.ජි. රත්නායකගේ මෙහෙයවීමෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴

+++

මීගමුව බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කළ රැඳවියෙකු හදිසියේ අසනීප වීමෙන් මරුට

(08.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.

මොහු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි රෝහල් පොලිසිය සඳහන් කළේ ෴

+++

මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට

(08.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහරකින් රැගෙන එනු ලැබුවා.

අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 06 වැනිදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

+++

+++

උද්දච්ඡ අධිකරණ ඇමති – ඉන්දික අනුරුද්ධ හර්ෂණට හොඳම පදෙන් කියයි (08.07.2026)

+++

මීගමුවෙන් වැලිකඩට මාරු කළ රැඳවියන්ට හොඳටම ගහලා – කටුවැල්ලේගම සුරේෂ්ගේ ඥාති පුතෙකුටත් බඩු හරි (08.07.2026)

+


රු. කෝටි 3 කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු එඩේරමුල්ලේදී අත්අඩංගුවට

(08.07.2026 – hirunews.lk)

රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 325 සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද (08) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වත්තල – එඩේරමුල්ල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 34 ක් වයසැති කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


RMV නිලධාරීන් සමඟ එක්වී අනීතිකව ගෙන්වූ වාහන දෙකක් (2) ලියාපදිංචි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

(07.07.2026 – 22:30 +0530 – sinhala.adaderana.lk)

අනීතික ලෙස මෙරට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් (2) මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්වී දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර වංචාවක් සිදුකළ අයෙකු අල්ලස් කොමිසම විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් රේගු බදු නොගෙවා, රේගු නිශ්කාශනය නොකර අනීතික ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් (2), මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සම්බන්ධ වී එම දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර අනීතික පැවරුමක් මගින් පැවරුම් ලියාපදිංචිය සිදුකර ලියාපදිංචි සහතික නිකුත් කරවා ගැනීම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එළැඹෙන 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කර තිබේ ෴


බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන : කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි

(08.07.2026 – hirunews.lk)

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මහා පරිමාණ කප්පම් ගැනීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.

මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘ඇඹිලිපිටියේ රුවන් ප්‍රසාද්’ නොහොත් ‘ඇඹිලිපිටියේ රුවන්’ නමැත්තා විසින් මෙම කප්පම් ජාවාරම මෙහෙයවා ඇති බවයි හෙළිකරගෙන ඇත්තේ.

කිරිබත්ගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකාර කාන්තාවක් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් පසුවයි ‘ඇඹිලිපිටියේ රුවන් ප්‍රසාද්’ නොහොත් ‘ඇඹිලිපිටියේ රුවන්’ නමැත්තාගේ කප්පම් ජාවාරම අනාවරණය වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි ‘දිල්රුක්ෂි ප්‍රියංගිකා සිල්වා’ නමැත්තියක් වන අතර ඇය මීට පෙර අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි කාන්තාවක්.

ඇය සමඟ ඇයගේ බාල සහෝදරිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් 480,000 ක මුදලක්ද හමුවී තිබෙනවා.

එම මුදල මීට පෙර කප්පම් ලෙස ලබාගත් මුදලක ඉතිරිවූ කොටසක් බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මෙම කාන්තාවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ‘ඇඹිලිපිටියේ රුවන් ප්‍රසාද්’ නොහොත් ‘ඇඹිලිපිටියේ රුවන්’ සමග ඇය සම්බන්ධතාවක් ගොඩනගාගත් බවත් ඔහුගේ උපදෙස් මත ඇය තම ගිණුම් අංකය ලබාදුන් බවයි.

අවස්ථා කිහිපයකදී ‘රුවන්’ නමැත්තා බන්ධනාගාරයේ සිට පිටස්තර මිනිසුන් බියගන්වා කප්පම් මුදල් ලබාගෙන තම බැංකු ගිණුමට බැර කරවන බවත් ඇය පවසා තිබෙනවා.

මේ අතර දුරකථන මාර්ගයෙන් මරණ තර්ජන එල්ලකර අවස්ථා කිහිපයකදී කප්පම් ඉල්ලූ බව කියමින් කිරිබත්ගොඩ ව්‍යාපාරිකයෙකු විසින් කිරිබත්ගොඩ පොලිසියට පසුගිය ජුනි මස 27 වැනිදා පැමිණිල්ලක් යොමුකර තිබුණා.

එම ව්‍යාපාරිකයා පවසා ඇත්තේ අදාළ කප්පම ලබා නොදුනහොත් සංවිධානාත්මක වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) එවා තමන්ව ඝාතනය කරන බවට තර්ජනය කළ බවයි.

ඒ අනුවයි කිරිබත්ගොඩ පොලිසිය විසින් විමර්ශන අරඹා තිබුණේ.

එම තර්ජනාත්මක ඇමතුම සහිත දුරකථන සංවාදය ජංගම දුරකථනයේ සටහන්ව තිබුණේ මෙලෙසින් :

+


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් රු. ලක්ෂ 50 ක වාහන තහනම් කෙරේ

(08.07.2026 – hirunews.lk)

අංගෙඩ කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගනු ලැබූවැයි කියන රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා වාහන තුනක් (3) සම්බන්ධයෙන් ක්‍රියාවිරහිත කිරීමේ (තහනම් කිරීමේ) නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (08) නිකුත් කර තිබෙනවා.

ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

කැලණිමුල්ල උතුර, අංගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එහිදී සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් සැකකාරියගේ සහ ඇගේ සමීපතමයෙකුගේ නමින් රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා ත්‍රීරෝද රථ දෙකක් (2) මිලදී ගෙන ඇති බවයි.

ඊට අමතරව සැකකාරියගේ පුත්‍රයාගේ නමින් රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා බස් රථයක් ද මිලදී ගෙන ඇති බව හෙළි ව ඇතැයි ද පැවසෙනවා.

මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 08 අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, අදාළ දේපළ සම්බන්ධයෙන් ලබන 14 වැනිදා දක්වා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා ෴


මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට

(08.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව එම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූවන් ගණන 28 දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටින්නේ ෴


මීගමුවෙන් අගුණකොළපැලැස්සට මාරුකළ රැඳවියෙක් මරුට

(08.07.2026 – hirunews.lk)

මීගමුව බන්ධනාගාරයේ ඇතිවු කලබලකාරි තත්වයෙන් පසුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරුකර එවන ලද රැඳවියකු ඊයේ (07) රාත්‍රි මියගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

මෙම රැඳවියා අසාධ්‍ය තත්වයෙන් පසුවීම නිසා ප්‍රතිකාර ලබාදිමට බන්ධනාගාර නිලධාරින් විසින් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඊයේ (07) රාත්‍රි 10:15 ට පමණ මිය ගොස් තිබෙනවා.

එම රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණයද අද (08) පැවැත්විමට නියමිත අතර අඟුණකොලපැලැස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් පසු බූස්ස බන්ධනාගාරයට මාරුකරන ලද තවත් රැඳවියකු ඊයේ (07) රාත්‍රියේදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇතැයි ද වාර්තා වුණා ෴


RMV නිලධාරීන් සමග එක්වී අනීතිකව වාහන ලියාපදිංචි කළ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

(08.07.2026 – hirunews.lk)

රේගු බදු නොගෙවා සහ රේගු නිශ්කාශන කටයුතු සිදු නොකර මෙරටට අනීතික ලෙස ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් (2), මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව එම දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි ‘මෝල්පේයාලගේ සංජීව කුමාර’ නමැති ව්‍යාපාරිකයෙක්.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ජුලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ෴


හෙද නිලධාරීන්ට විශේෂ නිවේදනයක්

(08.07.2026 – 17:05 +0530 – sinhala.adaderana.lk)

හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලබාදීම සිදුකරන මුවාවෙන් කූඨ ලෙස මුදල් අයකරමින් සිදු කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දෙන්නේ එවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසයි.

හෙද නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පමණක් බව ද එම නිවේදනයේ දක්වා තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශවල බලයලත් නිලධාරියෙකු විසින් කරන ලිඛිත ඉල්ලීමකට පරිබාහිරව, වෙනත් කිසිදු පාර්ශවයකට හෙද නිලධාරීන් විසින් තොරතුරු ලබා නොදිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

එවැනි වංචා හෝ දූෂණ සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *