මීගමු හිරගෙදර ගැටුම ගැන දින 04 කට කළින් බුද්ධි තොරතුරු ලැබිලා – පා.ම. හර්ෂණ රාජකරුණා
මීගමු හිරගෙදර ගැටුම ගැන දින 04 කට කළින් බුද්ධි තොරතුරු ලැබිලා – පා.ම. හර්ෂණ රාජකරුණා
(07.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව දින තුන හතරකට (3-4) පෙර සිටම බුද්ධි තොරතුරු ලැබී තිබුණද, ඒ පිළිබඳව නිසි පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
සිද්ධියට අදාලව අද (07) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව පවසා සිටියා.
මෙම සිද්ධිය හදිසියේ සිදු වූවක් නොවන බවත්, ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් වී සිටියද නිසි කළමනාකරණයක් හෝ තීන්දු තීරණ ගැනීමක් සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.
රටේ වර්තමානයේ පවතින නායකත්වයේ සහ කළමනාකරණයේ දුර්වලතාවය මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මනාව පිළිබිඹු වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මීට පෙර ගොවි ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මුහුණ දීමට සිදු වූ ගැටලුවලදී ද රජය මෙලෙසම අකාර්යක්ෂම ලෙස කටයුතු කළ බවද සිහිපත් කළා.
ප්‍රශ්න නිසි ආකාරයෙන් හඳුනා ගැනීමට හෝ ඒවාට මුහුණ දීමට රජයට අත්දැකීම් නොමැති බවත්, බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම බරපතළ පරිපාලනමය අසාර්ථකත්වයක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
+++
+++
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
(07.07.2026 – 22:01 +0530 – sinhala.adaderana.lk)
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ සිය ශෝකය පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූ පවුල්වලට සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් රජයේ සහ මහජනතාවගේ සේවය වෙනුවෙන් මෙන්ම දුෂ්කර කාර්යක් ඉටු කරන බවත් ඔවුන්ගේ අහිමිවීම දැඩි ලෙස දැනෙනු ඇති බවත් එහි සඳහන් කර ඇත.
සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් සිටියේ රජයේ රැකවරණ සහ ආරක්ෂාව යටතේ බැවින් බන්ධනාගාර පද්ධතියට සේවය කරන නිලධාරීන් මෙන්ම එහි රඳවා සිටින අයද වඩාත් ඉහළ ආරක්ෂාවට හිමිකම් කියන බැවින් එම ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික වගකීමක් බවත් අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මෙම සිදුවීම තුළින් මෙරට බන්ධනාගාර පද්ධතිය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කමද පෙන්වා දී ඇති නේවාසික සම්බන්ධීකාරකවරයා රැඳවියන් තදබදය, යල් පැන ගිය ක්‍රමවේදයන් සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින පහසුකම් අඩුවීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා බන්ධනාගාර පද්ධතීන් හී පවතින බරපතළ අභියෝගයක් බවත් පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම සිදුවීම හේතුවෙන් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පිහිටුවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරන බවත් එම කමිටුව මගින් යොමු කරන නිර්දේශ රජය ක්‍රියාත්මක කළ යුතු බවත් නේවාසික සම්බන්ධීකාරකවරයා සිය නිවේදනය මගින් දන්වා තිබේ.
එමෙන්ම බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් පහසුකම් වැඩිදියුණු කිරීම සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික සහයෝගය ඇතුළුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ ෴
+++
බන්ධනාගාර ගැටුමේ සුලමුල එළියට – රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා
(07.07.2026 – 20:11 +0530 – sinhala.adaderana.lk)
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.
ගැටුමට සම්බන්ධ රැඳවියන් ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැර දමා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.
ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන ඇත්තේ ඉරිදා (05) පෙරවරු 11 ට පමණය.
එහිදී බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පිරිසක් ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදෙන පිරිසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.
බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව එම ගැටුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තායි.
එම අවස්ථාවේදී අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ රැඳවියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණි.
ඔවුන් දෙදෙනා (2) බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු සපයා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වුණේ, 29 හැවිරිදි ‘වර්ණකුලසූරිය නිලංක දුල්ෂාන්’ හා 31 හැවිරිදි ‘ගනේගොඩ ආරච්චිලාගේ ගයාන් සම්පත්’ නම් රැඳවියන් ය.
පසුව ආරක්ෂක අංශ මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව රැඳවියන් සියලුදෙනා සාමකාමීව ඔවුන්ගේ සිරිමැදිරිවලට ඇතුළත් කර තිබේ.
ඒ අතරතුරදී ඔවුන් බන්ධනාගාර රෝහල කඩා මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සියල්ල රැගෙන ගොස් තිබූ බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.
තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට පසුදින එනම් ඊයේ (06) උදෑසන රැඳවියන්ට ආහාරපාන ලබාදීමට කටයුතු කර තිබේ.
එම අවස්ථාවේ ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තාගේ පාර්ශ්වයේ අයෙක් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු ලබාදුන් පාර්ශ්වයේ අයෙකුට කම්මුලට පහරදී ඇති බව වාර්තාවෙයි.
අනතුරුව තවත් රැඳවියන් සියයක (100) පමණ පිරිසක් අදාළ රැඳවියාට අමානුෂික ලෙස වටකර පහරදී තිබේ.
එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු (2) එතැනට ගොස් අදාළ රැඳවියා රැගෙන බන්ධනාගාරයේ විහාරස්ථානය පිහිටි ස්ථානයට දිවගොස් ඇතිබව වාර්තා වෙයි.
එවිට ප්‍රහාරය දියත් කළ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල්මුල්වලින් පහරදී තිබේ.
ඒ අතරතුරදී පහරකෑමට ලක්වූ රැඳවියාගේ හිතවත් පිරිස හා ප්‍රහාරය ආරම්භ කළ පිරිස දරුණු ලෙස ගුටිබැට හුවමාරු කරගත් බව සඳහන්ය.
එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයට නව පත්වීමක් ලැබ පැමිණි ප්‍රධාන ජේලර්වරයා ද තත්ත්වය පාලනයට එහි පැමිණ සිට ඇති අතර ඔහුටද රැඳවියන් පහරදීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
පසුව පළමුව පහරකෑමට ලක්වූ රැඳවියා රැගෙන ගිය නිලධාරීන් දෙදෙනා (2) එම ස්ථානයට පැමිණ අදාළ නිලධාරීයාව බේරාගෙන තිබුණි.
ඔහුව පිටවීමේ දොරටුවෙන් පිටතට ඇද දමනවාත් සමගම අදාළ නිලධාරීන් දෙදෙනා (2) ගෙන් අයෙකුට (1) රැඳවියෙකු (1) පැමිණ කටුවක් වැනි දෙයකින් පහරදීමට උත්සහා දැරූවත් එය ව්‍යාර්ථ වී තිබේ.
එය සිදුවී තිබුණේ බන්ධනාගාර භූමියේදීය.
“සර්, ඔයගොල්ලො එන්න එපා. යන්න.” යනුවෙන් බන්ධනාගාර නිලධාරීන්ට හිතවත් රැඳවියන් පවසා ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ ද තවත් රැඳවියන් පිරිසක් ඔවුන්ට ද පහරදී තිබේ.
ඒ අතරතුරදී බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ නිලධාරීන් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතුළු වී තිබුණි.
එහිදී තත්ත්වය පාලනය කරගැනීමට උත්සහ කිරීමත් සමග මෙම ස්ථානයෙන් පැමිණි වෙනත් රැඳවියන් පිරිසක් අදාළ නිලධාරීන් මැදිකරගෙන දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.
ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර දමා ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.
අනතුරුව පිරිස බන්ධනාගාරයෙහි වූ ආරක්ෂිත කුටියකට නැග එහි වූ ගිනිඅවියක් (1) හා ගිනිඅවි මාරුකිරීමට ඇති කාමරයෙහි තිබී තවත් ගිනිඅවියක් (1) ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.
රීපීටර් වර්ගයේ ගිනිඅවියක් (1) හා ටී-56 වර්ගයේ ගිනිඅවියක් (1) එලෙස ඔවුන් ලබාගෙන ඇති බව සඳහන්ය.
රැඳවියන් අදාළ ගිනිඅවිවලින් ඇතැම් නිලධාරීන්ට වෙඩිතබා ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.
පසුව ඔවුනොවුන් ද තම විරුද්ධ පර්ශ්ව සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.
ඔවුන් එලෙස ලබාගත් ගිනිඅවියක් ආරක්ෂක අංශ නිලධාරින් බන්ධනාගාරයට ඇතුළුවන අවස්ථාවේදී රැඳවියෙකු අතෙහි තිබෙණ ආකාරය දැක ගන්නට හැකිවූ බව වාර්තා වෙයි.
පසුව ආරක්ෂක අංශ නිලධාරීන් අදාළ ගිනිඅවි දෙක (2) බන්ධනාගාරය තුළ තිබී සොයාගෙන තිබේ.
එමෙන්ම බන්ධනාගාරයෙහි වූ සියලු දේ රැඳවියන් විනාශ කර ඇති අතර අධිකාරීවරයාගේ නිල කාමරයෙහි වූ වැසිකිළිය පවා ඔවුන් විනශකර ඇති බව වාර්තාවෙයි.
ඔවුන් බන්ධනාගාරයට සිදුකළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියකු (1) අද (07) උදෑසන මියයාමත් සමඟ එහි ගැටුමෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතර එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1033 දෙනකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තා බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කළේය.
මෙවන් වාතාවරනයක මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණේ ඉකුත් ඉරිදා (05) පස්වරුවේයි.
ඒ, මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින්ය.
එහිදී දෙපාර්ශවයේම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු (2) මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.
කෙසේ වෙතත්, එදින රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කෙරුණත්, ඊයේ (06) පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී යළිත් ගැටුමක් ආරම්භ කළේය.
එම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඒ අතරින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු මියගොස් සිටියේය.
එසේම, තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණි.
මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ (06) දිනයේදී වරින්වර පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, හමුදා සාමාජිකයින් කැඳවනු ලැබීය.
කෙසේ වෙතත්, මීගමුව බන්ධනාගාරයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ (06) රාත්‍රිය වනවිට පාලනය කර තිබුණත්, ඒ අසලට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් රාත්‍රියේත් එහි රැඳී සිටියේය.
මේ අතර, ගැටුමෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු (1) අද (07) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එමෙන්ම රැඳවියන් අනුරාධපුර, බූස්ස, මහර, යාපනය, මඩකලපුව, අගුණකොලපැලැස්ස සහ බෝගම්බර බන්ධනාගාරවලට මාරු කර යැවුණි.
ඒ අතර මෙම ගැටුම මෙහෙය වූ බවට වාර්තා පළ වූ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තාද වෙයි.
ඔහු මාරු කර යවා තිබුණේ බූස්ස බන්ධනාගාරයටය.
එසේම, මීගමුව බන්ධනාගාරයේ සියලුම රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට යැවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර, ඊට හේතු වී ඇත්තේ සිදුවුණු ඝාතන පිළිබඳ විමර්ශනය කිරීමයි.
කෙසේ වෙතත්, පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මීගමුව බන්ධනාගාරයට සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තු සහ අධිකරණ නිලධාරීන් මේ දක්වා පැමිණ නොමැති බව වාර්තා වෙයි.
මේ අතර අද (07) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සාමකාමී තත්ත්වයක් දැකගත හැකිවුණි.
ඒ අවට දැඩි ආරක්ෂාවක්ද යොදා තිබූ ආකාරයයි.
මෙවන් පසුබිමක අද (07) උදෑසනත් රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසළට පැමිණ සිටියේ බන්ධනාගාරයේ සිටින පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීම සඳහායි.
වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ගේ නාම ලේඛනයක් ද අද (07) බන්ධනාගාරය අසල ප්‍රදර්ශනය කර තිබුණි.
කෙසේවෙතත් ඇතැම් රැඳවියන් සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට නොහැකි වූ ඔවුන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.
මේ අතර අද (07) උදෑසනත් මීගමුව බන්ධනාගාරයේ සිට තවත් රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත රැගෙන යාමට පියවර ගත්තේය.
මේ අතර මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර රැඳවියන්ගේ නාම ලේඛනයක් ද රෝහල් භූමියේ ප්‍රදර්ශනය කර තිබුණි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පිරිසේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (07) පෙරවරුවේ ආරම්භ කෙරුණි.
මේ අතර මීගමුව පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මූලික කරුණු වාර්තා කිරීමක් ඊයේ (06) පස්වරුවේ සිදුකළේය.
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට එහිදී බාර දී ඇති අතර අද (07) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තමන් මෙම විමර්ශනය භාරගත් බවට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ මූලික කරුණු දැක්වීමක් සිදුකර තිබේ.
අනතුරුව අද (07) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළේය.
එමෙන්ම, අද (07) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාද මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ සිදුකෙරෙන විමර්ශන පිළිබඳ අධීක්ෂණය කිරීමට බන්ධනාගාර පරිශ්‍රයට පැමිණියේය.
එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරඇති බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴