මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය නිලධාරීන්ගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කරන්න : බන්ධනාගාර නිලධාරි එකමුතුව ඉල්ලයි
(07.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ කලහකාරී සිදුවීමේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ තම සහෝදර බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ (07) අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කිරීමට පියවර ගන්නා ලෙස ‘බන්ධනාගාර නිලධාරි එකමුතුව’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
මෙම ප්‍රහාරය සියලුම බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් තරයේ හෙළා දකින බව ද සංගමය විශේෂ ලිපියක් යොමු කරමින් පෙන්වා දෙයි.
මෙම අවාසනාවන්ත ප්‍රහාරයෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත තමන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින බවත්, ගැටුමෙන් තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අනෙකුත් නිලධාරීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එම සංගමය වැඩිදුරටත් කියා සිටී.
පවුල් රැකබලා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් රාජකාරිය ඉටු කරමින් සිටියදී දිවි පිදූ තම සහෝදර නිලධාරීන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරි එකමුතුව කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගත ප්‍රධාන ඉල්ලීම් මෙසේය :
ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් සත්දෙනාගේ (7) අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කිරීම.
මියගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අනාගතය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ රජය මැදිහත් වී පූර්ණ ලෙස රැක බලා ගැනීමට කටයුතු කිරීම.
කුඩු සහ පාතාල කල්ලිවල ප්‍රහාර හමුවේ නොසැලී රාජකාරිය ඉටු කරමින් සිටියදී මෙලෙස දිවිදුන් නිලධාරීන් වෙනුවෙන් මෙම සාධාරණ ඉල්ලීම් වහාම ඉටු කිරීම බලධාරීන්ගේ වගකීමක් බව ද එම සංගමය අවධාරණය කර සිටී ෴
+++
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න : අධිකරණයෙන් නියෝග!
(07.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ බන්ධනාගාර සිරකරුවන් 20 දෙනාගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.එස්.ආර්. වික්‍රමරත්නට අද (07) නියෝග කළා.
මෘත දේහවලට අදාලව මරණකරුවන්ගේ පවුලේ භාරකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර පශ්චාත් මරණ පරීක්ෂණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෘතදේහයන් මරණකරුවන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙස ද මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චිට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ.
මෙ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් (53883) බණ්ඩාර බී-වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.
මෙම ගැටුමෙන් මියගිය 27 දෙනා සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මීගමුව මහ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මරණකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කරමින් නඩුව කල් තැබීය ෴
+++
“සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි” – ‘ෆ්‍රී ලෝයර්ස්’
(07.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ වෙඩි තැබීම් සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් ලෙස ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය දැඩි ලෙස හෙළා දකිනවා.
කොළඹ මල් පාරේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මේ බව ප්‍රකාශ කළේ.
ලෝකයේ කිසිදු ශිෂ්ඨ රටක රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන්ට මෙලෙස ‘ඕපන් ෆයර්’ නොකරන බවත්, බහුතරයක් රැඳවියන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරියෙකු කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් බවත්, ඔහු සඳහන් කරනවා.
ලෝකයම විඩියෝ මගින් මේ මිලේච්ඡත්වය දුටු බවත්, නින්දිත වෙඩි තැබීම් දුටු බවත්, හෙතම පැවසුවා.
එසේම මෙම සිද්ධිය අශිෂ්ඨයි, මිලේච්ඡයි සහ නින්දිත බවත්, ‘ෆ්‍රී ලෝයස්’ සංවිධානය මේ සිද්ධිය දැඩිව හෙළා දකින බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එසේම බන්ධනාගාරවල ධාරිතාව 215% කින් ඉක්මවා ගොස් මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති දැඩි තදබදය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, 2026 ජූලි 03 වැනිදා වන විට මෙරට බන්ධනාගාරවල රැඳවියන් 41,250 ක් සිටි බවයි.
බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241 ක් වුව ද, දැනට 215% ක අධික පිරිසක් එහි රඳවා තබා ඇති බව සඳහන්.
ඔහු සඳහන් කරන්නේ, දැනට සිටින රැඳවියන්ගෙන් 73.8% ක්ම රිමාන්ඩ් සිරකරුවන් වන අතර, ඉන් පැහැදිලි වන්නේ ඇප දිය හැකි වැරදිවලටත් මිනිස්සුන්ව බන්ධනාගාරගත කර ඇති බවයි.
එසේම අධිකරණ ඇමතිවරයා මරණ ගණන සොයාගන්නේ සමාජ මාධ්‍ය මගින් බවත්, ඔහුගේ සිහින ව්‍යාපෘතිය විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කරලා, අගවිනිසුරු වැඩිම කාලයක් තනතුරේ තබා ගැනීම බවත්, ඔහු සඳහන් කරනවා.
සිදු වූ විපතේ වගකීම භාරගන්නා බව පවසන ඇමතිවරයාට වගවීමක් ඇත්නම් ඔහු වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු පැවසුවේ.
තත්ත්වය පාලනය කළ හිර ගෙදරයක් ඊයේ (06) උදෑසන පැවති බවත්, බන්ධනාගාර බුද්ධි අංශයට අයත් යැයි කියන 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිවිල් ඇඳුමෙන් එහි ඇතුළු වී කලබලකාරී තත්ත්වයක් නිර්මාණය කළ බවත්, ඔහු අනාවරණය කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් පිරිසක් ඝාතනයට ලක්වූ බවත්, එම පිරිසෙන් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
+++
මීගමු බන්ධනාගාර සිද්ධියේ විමර්ශන සීඅයිඩීයට – ‘කටුවැල්ලේගම සුරේෂ්’ වැලිකඩට
(07.07.2026 – hirunews.lk)
මීගමු බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙහි විමර්ශනය ඊයේ (06) මීගමුව පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ අතර, වැඩ බලන පොලිස්පති සංජීව ධර්මරත්න විසින් කළ නියමයට අනුව එම විමර්ශනය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි පොලිසිය පවසනවා.
මීගමුව බන්ධනාගාරයේදී ඊයේ (06) පෙරවරුවේ ඇතිවූ ගැටුම මෙහෙයවනු ලැබූ බව කියන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නමැත්තාව වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇතැයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවා.
‘කටුවැල්ලේගම සුරේෂ් පුෂ්පකුමාර’ යන අය, ‘කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා’ නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේගේ’ සමීපතමයෙක් වන අතර ‘කලුමිනි රවිඳු සංඛ ද සිල්වා’ නොහොත් ‘බූරු මූණා’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමග සබඳතා පවත්වන අයකු බවටද හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
මෙම සැකකරුට, තියුණු ආයුධවලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවිය ඔහුට එරෙහි චෝදනා වන බවයි පොලිසිය පැවසුවේ.
මොහුට එරෙහිව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලව ඔහු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට හා තවත් පුද්ගලයකුට පහරදී ගස් බැඳ විහාරයේ දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මොහුට එරෙහිව 2016 වසරේදී නාරම්මල අධිකරණයේ නඩුවක්ද පැවැති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුමට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් බවට මේ වන විට තොරතුරු අනාවරණ වෙමින් පවතින අතර, ගැටුම ආරම්භ වූයේ පෙරේදා (05) පස්වරු 01:00 ට පමණයි.
විවිධ අපරාධ කල්ලිවලට සම්බන්ධ පාතාල සාමාජිකයන් 26 දෙනෙක් ඇතුළුව සැකකරුවන් 2,400 කට අධික රැඳවියන් පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බවට තොරතුරු අනාවරණය වෙනවා.
මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) සහ පෙරේදා (05) යන දෙදින තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් නිලධාරීන් 7 දෙනෙක් ඇතුළු 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
තවත් පුද්ගලයින් 100 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ අතර, ඉන් බරපතල තත්ත්වයේ සිටි 20 දෙනෙකු කොළඹ ජාතික රෝහල සහ ගම්පහ මහ රෝහල වෙත මාරු කර යවා තිබුණා.
ඊයේ (06) දිනයේදී මෙම ගැටුම ආරම්භයේදීම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් ද සිදු කර තිබූ අතර, පසුව පොලිස් කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව බන්ධනාගාරය තුළට ගොස් තත්ත්වය සමතයකට පත් කරනු ලැබුවා.
බෙල් 412 හෙලිකොප්ටරයක් හා ඩ්‍රෝන යානාවක් මගින් බන්ධනාගාර පරිශ්‍රයේ තොරතුරු නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබුණා. මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් පැහැරගත් බව කියන රිපීටර් වර්ගයේ ගිනි අවියකින් (1) රැඳවියන් එම ඩ්‍රෝන යානයටද වෙඩි තැබූ බවට වාර්තා වුණා.
ගැටුමෙන් මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව මහේස්ත්‍රාත් සිලනී පෙරේරා විසින් ඊයේ (06) සිදුකරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (06) නිවේදනය කර තිබුණේ.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් අද (07) උදෑසන වනවිට මීගමුව බන්ධනාගාරය තුළ හා ඒ අවට ආරක්ෂාව තහවුරු කරමින් තත්ත්වය පාලනය කර තිබුණා.
කෙසේ වෙතත් අද (07) උදෑසන මිගමුව බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් බැලීමට පැමිණ සිටි ඔවුන්‍ගේ ඥාතීන් පිරිසක් නොසන්සුන් අයුරින් හැසිරුණු අතර, එම තත්ත්වය ද ආරක්ෂක අංශ විසින් පාලනය කර තිබුණා.
ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 700ක් පමණ දුම්බර සහ අනුරාධපුර ඇතුළු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ බවයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළා ෴
+++
මීගමුව බන්ධනාගාර ප්‍රහාරයෙන් දිවිදුන් නිලධාරීන්ගේ දේහයන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට : සිදුවීමේ සංවේදී කතා පෙළක් එළියට !
(07.07.2026 – hirunews.lk)
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරින් හත් දෙනාගේ දේහයන්ට ගෞරව දැක්වීම සදහා එම දේහයන් අද (07) රාත්‍රීයේ සිට හෙට (08) දක්වා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ අවන්හලේ තැන්පත් කර ඇතැයි කොළඹ රිමාන්ඩ් බන්ධානාගාර අධිකාරිවරයා සඳහන් කරනවා.
එම ගැටුමෙන් මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයකු ඇතුළු නියාමකවරුන් හත් දෙනකු (7) ජීවිතක්ෂයට පත්වුණා.

ජේලර් එස්.එච්.එස්. චන්ද්‍රවංශ, නියාමකවරුන් වන එස්.ඩී.එස්. අබේවර්ධන, ඒ.ඩි. තරංග, ටි.එන්.ආර්. තිලකසිරි, බි.එන්.එන්. තරංග, ආර්. පියල් සංජිව සහ ඩී.ඩබ්ලිව්. පුෂ්ප කුමාර එලෙස ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන්.
මෙම ගැටුමෙන් තුවාල ලබා මිගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරින් ගණන 12 ක්.
ඒ අනුව මේ වන විට මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරින් වන්නේ, ඩබ්.පී. සිරිවර්ධන, කේ.එස්. ප්‍රිදර්ශණ, ප්‍රභාත් තාරක, එම්.කේ. රත්නායක, කවීශ, ආර්.ඒ.එස්.පී. රාජපක්ෂ, සචින්ත ගුණවර්ධන, හේරත් තරංග, කේ.බි.ජි. චාමර, අර්.ඒ.කේ. රත්නායක, පි.එම්.ඊ.ඩී. රාජා, එස්.ආර්. විරසිංහ යන අයවලුන්.
මෙම සිද්ධියෙන් කුරුණෑගල , වත්තේගෙදර, කොහිලේගෙදර ලිපිනයේ පදිංචිව සිටි 41 හැවිරිදි ඩිලාන් ශ්‍රී අභයවර්ධන නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු, නාවික හමුදාවේ වසර දොළහක (12) සේවයෙන් පසුව එයින් නිත්‍යනුකූලව ඉවත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳී තිබෙනවා.
හෙතෙම බන්ධනාගාර සේවයට එක්වී ලබන අගෝස්තු මාසයට වසර පහක් (5) සම්පූර්ණ වීමට නියමිතව තිබී බවයි ඔහුගේ ඥාතීන් පැවසුවේ.
දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහුගේ බිරිඳ ගුරුවරියක ලෙස සේවය කරන අතර, වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 10 ක් සහ බාල පුතුගේ වයස මාස 10 ක්.
ඔහු, ඉගෙනුම ලබා ඇත්තේ කොටිකාවන්ත රාජසිංහ මහා විද්‍යාලයෙන්.
“මගේ පුතා නිවාඩු අරන් අද (07) ගෙදර ඉන්න හිටියේ. අනේ එයාට මෙහෙම දෙයක් වුණා. එයා එනකල් දරුවෝ බලාගෙන ඉන්නවා.” යැයි ඔහුගේ මව වන ඒ.එම්.එස්. දමයන්ති පෙරේරා පැවසුවේ ශෝකයෙන් හඬා වැටෙමින්.
මෙම සිද්ධියෙන් මරණයට පත්වූ බුලත්සිංහල දෙල්මෑල්ල අඹගහකන්ද පදිංචි දර්ශන තරංග අතුකෝරල (36) පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කර තිබෙනවා.
ඔහු වැලිකඩ බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී කළ අයෙක් වන අතර, මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු මීගමුව බන්ධනාගාරයට ගොස් තිබෙනවා.
බුලත්සිංහල ජාතික පාසලේ ආදි සිසුවෙකු වන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ අයෙක්. එසේම මෙම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) සහ සහොදරියක් සිටින අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූ තරංග පවුලේ බාලයායි.
මීට වසර තුනකට (3) පමණ පෙර විවාහ පත්ව ඇති ඔහුට දාව වයස මාස හතක (7) කුඩා දියණියක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.
“කතා කළා.. කතා කළා ෆෝන් එක උස්සන්නේ නෑ, අනේ මට කෝල් එකක් තව වෙනකන් දුන්නේ නෑ..” සියල්ලන් අතර මතකය පමණක් ඉතිරි කරමින් මාස 7 ක මල් කැකුළත්, පුංචි පවුලත් හැරදා ඔහු සදහටම දෙනෙත් පියාගත් බව ඔහුගේ මව කීවේ හැඬු කඳුලින්.
මෙම සිද්ධියෙන් මරණයට පත්වූ අනුරාධපුර, රැබෑව, අඹගහවැව, පිහිඹියගොල්ලෑව පදිංචි 42 හැවිරිදි තිලකසිරිගේ නිලක්ෂ රුවන් තිලකසිරි නිලධාරියා ද, නාවික හමුදාවේ සේවය කර වසර 12 ක කාලය අවසන් කර එයින් ඉවත් වී බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවයට එක්ව තිබුණා.
පිරිමි සහෝදරයෙකු සහ ගැහැණු සහෝදරියෙකගෙන් සමන්විත පවුලේ දෙවනියා වූයේ ඔහුයි.
මෙම නිලධාරියා වැලිකඩ, අගුණුකොල පැලස්ස, මහර, මඩකලපුව යන බන්ධනාගාරවල වසර 05 ට ආසන්න කාලයක් සේවය කරමින් සිට තිබූ බවයි සඳහන් වන්නේ.
ගම්මානයේ මෙන්ම මුළු ප්‍රදේශයේ කා අතරත් ආදරයට පාත්‍ර වූ ඔහු, ඉතාමත් නිහතමානී අයකු බවයි ඔහුගේ පුත්‍රයකු වන ජේ. රංජිත් බණ්ඩාර සඳහන් කළේ.
“එයා හිටියේ වැලිසර. ඊට පස්සේ මේ සිද්ධිය නිසා තමයි එයාට මීගමුවට යවලා තියෙන්නේ. ගෙදර එන්න හිටිය එයාගේ දෛවය තමයි ඒ. අපි අද එයාගේ බොඩි එක දකිනකල් විශ්වාස කළේ නෑ. අපි හිතුවේ අපේ පොඩි මාමා එයි කියලා. එයා වැඩ කළේ මිනිස්සු වෙනුවෙන්. එයාගේ උපන් දිනය තිබුණේ මේ මාසේ. එයාට වයස අවුරුදු 40 ලබන්න තිබුණේ. ඊට කලින් එයා ගියා.”
ඔහුගේ මව, තම පුත්‍රයා ගැන කිව්වේ මෙවන් අදහසක් :
“එයාගේ බාප්පා නැති වුණා. එයා මරණෙට ඇවිත් ගියා. දානෙට ආවේ නෑ. අනේ මගේ රත්තරන් පුතා. එදා උදේ දහයට (10) විතර එයාගේ නෝනාට කතා කරලා තියෙනවා. පස්සේ කතා කරාම ෆෝන් එක ඉස්සුවේ නෑ. ඊට පස්සේ අපි පොලිසියට ගියා ඒක අහන්න. ඊට පස්සේ කකුල තුවාල වුණා කියලා විතරයි කිව්වේ. ඊට පස්සේ අපි කොළඹ යන්න ලැස්ති වුණා. අපේ මල්ලි පොලිසියට යද්දි දිග සුසුමක් හෙළුවා. මට ඒක අමුත්තක් වගේ දැනුණා. ඊට පස්සේ එයාලා කොළඹ ගියා. ඊට පස්සේ තමයි අපි දන්නේ.”
මෙම ගැටුමෙන් මරණයට පත්වූ තවත් නියාමකවරයෙක් වූයේ රාජපක්ෂ පතිරණගේ රොෂාන් සංජීව නිලධාරියායි.
අංක 229/B, දියගැල්ම මුගුරුගම්පල, මීරිගම පදිංචි ඔහුට වයස අවුරුදු 45 ක්. ඔහු, දරුවන් දෙදෙනෙකුගේ (2) පියෙක්.
ඔහු, කොළඹ බන්ධනාගාරයේ සිට හදිසි රාජකාරිය ආවරණය මත 06 වැනිදා දහවල් දෙකට (2) පමණ මීගමුව බන්ධනාගාරය වෙත ගොස් තිබූ බවයි ඔහුගේ නිවැසියන් සඳහන් කළේ. ඔහුගේ අවසන් කටයුතු මුගුරුගම්පල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සම්පූර්ණ ගණන 85 ක්. ඒ අතර, පොලිස් නිලධාරින් තිදෙනෙක් (3), පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හය දෙනෙක් (6) මෙන්ම රැඳවියන් 59 දෙනෙක් වෙයි. මෙම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් හත් දෙනා (7) ඇතුළුව 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴