දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ, අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි

දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ, අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි


දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ, අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි

(05.07.2026 – hirunews.lk)

මාස ගණනාවක් පුරාවට අතුරුදන්ව සිටි දෙබරගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ ‘බඹරගල අභයවංශ හිමිපාණන්’ගේ බවට සැකකරන අස්ථි කොටස් සේනාසනයට යාබද ඝණ කැලෑවේ තිබී හමු වී තිබෙනවා.

ඒ සේනාසන භූමියේ සිට කිලෝ මීටර් 02 ක් පමණ දුරක තිබී බවයි වාර්තා වන්නේ.

මී කැඩීමට කැලෑවට ගිය පිරිසක් විසින් මෙම අස්ථි කොටස් මුලින්ම දැක ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඔවුන් විසින් ඒ බව කුච්චවේලි පිච්චමල් විහාරවාසී කැප්පෙටියාවේ අරණ විහාරයේ හිමියන්ට දැනුම් දී තිබුණා.

පසුව ඒ බව උන්වහන්සේ විසින් කුච්චවේලි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව, කුච්චවේලී පොලීසිය පෙරේදා (04) එහි ගොස් කළ පරීක්ෂාවේදී ගසක් පාමුල තිබූ එම අස්ථි කොටස් අතුරුදන්වූ භික්ෂුවගේ බවට හඳුනා‍ගෙන තිබෙනවා.

අභයවංශ හිමියන් භාවිතා කළ උපැස් යුවල, ඖෂධ කිහිපයක් හා චීවරයේ කොටස්ද එහිදී හමුවීම හේතුකොටගෙන මෙම අස්ථි කොටස් අතුරුදන් වූ භික්ෂුවගේ බව පොලීසිය විශ්වාසය පල කරනවා.

අතුරුදන් භික්ෂුව කලක් බටහිර වෛද්‍යවරයෙක් ‍‍ලෙස සේවයේ නිරතව සිට ඇති අතර, අවසන් වරට කොස්ගම සාලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ලෙස සේවයේ නිරතව සිට තිබූ බවයි වාර්තා වන්නේ.

අභයවංශ හිමියන් භාවනානුයෝගීව සිටි සේනාසනය පිහිටා ඇත්තේ වන සතුන් බහුල වනාන්තරය මැදයි.

උන්වහන්සේ අතුරුදන්ව ඇත්තේ වන මැදින් තනිවම වැඩම කරමින් සිටියදී බවයි පැවසෙන්නේ.

පසුව මාසයකට වැඩි කාලයක් තිස්සේ යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය උන්වහන්සේ සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළත් තොරතුරක් නොවූ තැන එම මෙහෙයුම්ද නවතා තිබුණා.

අභයවංශ හිමියන්ගේ බවට කොටස් හමු වූ ස්ථානයට ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම්. සාහිර් පැමිණ පරීක්ෂණ පවත්වා වැඩිදුර වාර්තාවක් කුච්චවේලි සංචාරක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ සහකාර පොලිස් අධිකාරී චරිත ඒ.බී. ජයසුන්දරගේ උපදෙස් මත කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ඩී. පද්මනන්දන ඇතුලු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


කොළඹ ඉදන් අන්තිම බස් එකෙන් ඇවිත් හොරණ කඩ බිඳපු ෆෝන් හොරා කොටු

(05.07.2026 – hirunews.lk)

සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ 23 කට ආසන්න නවීන පන්නයේ ජංගම දුරකථන තොගයක් සමග සැකකරුවෙකු සහ සොරාගත් දේපළ සන්තකයේ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) හොරණ මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු සහ සොර බඩු විකිණීම සඳහා ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙක් (2).

හොරණ නගරයේ පිහිටි ජංගම දුරකථන අලෙවි සැලක් සහ ආපන ශාලාවක් බිද ඉකුත් (24) දා අලුයම් කාලයේ ප්‍රධාන සැකකරු විසින් මෙම සොරකම සිදු කර ඇති බව පොලිසිය පවසනවා.

මෙම සොරකම පිළිබඳව දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ දින දහයක් (10) පුරා සිදුකළ විමර්ශනයේදී මොහු රැදී සිටින ප්‍රදේශය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකරු තනිවම කොළඹ සිට හොරණ දක්වා ධාවනය වන අවසන් බස් රථයෙන් එදින පැමිණ ඇති බවත් එන විට නිවෙස් බිදීම සදහා උපයෝගී කර ගන්නා යකඩ කැබැල්ලක් ද රැගෙන විත් ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඔහු විසින් දුරකථන අලෙවි සලේ වීදුරු දොරේ අගුල පන්නා ඇතුළු වී එහි තිබූ නවීන පන්නයේ දුරකථන තොගය සොරාගෙන ඇති අතර ආපනශාලාවෙහි රෝලිං දොරෙහි ඉබ්බන් දෙදෙනා කඩා ඇතුළු වී රුපියල් හැට හය දහසකට (66,000) අධික මුදල්, බිස්කට්, බීම වර්ග චොකලට්, දුම් වැටි ඇතුළු දේපළ සොරා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා සොරාගත් දේපළ ද රැගෙන හොරණ සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයෙන් ආපසු කොළඹට ගොස් ඇති බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු 1993 සිට 2015 දක්වා අතර වර්ෂවල ගෙවල් බිදුම් ඇතුළු අපරාධ 15 ක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකු බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඉත්තෑවා සුරතල් කරන දියණිය : ‘නැන්දේ, මාමේ…මම බංග්ලාදේශයේ නෙමෙයි. ශ්‍රී ලංකාවේ’| BBC News සිංහල (03.07.2026)

+++

+


PHI සංගමයෙන් අනතුරු ඇඟවීම්

(05.07.2026 – 13:14 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග 7,500 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මෙම පියවර ගනු ලැබුවේ මහජනතාව අපහසුතාවයට පත් කිරීමට නොව, රටේ ඩෙංගු වසංගතය පාලනය කරමින් ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් බැවින්, එම ක්‍රියාවලිය නිසා යම් අපහසුතාවයක් සිදු වූයේ නම් ඒ පිළිබඳව තමන් කනගාටුව පළ කරන බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද, ඉදිරියේදීත් නිවාස, ආයතන ඇතුළු සියලු පරිශ්‍රයන් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කරන බවත්, මදුරුවන් බෝවන ස්ථාන හමු වුවහොත් මින්පසු කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිවේදනයකින් තොරව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු දැඩිව අනතුරු අඟවා සිටී.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා :

“දැනට ලංකාවේ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය ආරම්භ වූ දා සිට මේ මොහොත දක්වා දිවයින පුරා ඉන්න මහජන පරීක්ෂකවරු අධිකරණ ක්‍රියාමාර්ග 7500 කට ආසන්න සංඛ්‍යාවක් අරගෙන තියෙනවා මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව.. විශේෂයෙන්ම මෙම අධිකරණ ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ මහජනතාව අපහසුතාවයට පත් කරන්න නෙමේ.. දැනට රටේ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය පාලනය කරගන්න සහ රටේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින්.. ඒ නිසා මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන ගිහින් පහසුතාවයට පත් වුණා නම් කනගාටුව ප්‍රකාශ කරනවා.. නමුත් ඉදිරියේදීත් අපි නිවාස, ආයතන පරිශ්‍ර සියල්ල පරීක්ෂා කරනවා.. මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන් අය හමුවුණොත් නැවත දැනුම්දීමකින් හා නිවේදන නිකුත් කිරීමකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අපි අනතුරු අඟවනවා..”

+++

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

(05.07.2026 – 11:07 +0530 – sinhala.adaderana.lk)

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධයෙන් මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට නිවැරදි, විශ්වසනීය හා කඩිනම් තොරතුරු ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම්, 011 796 6366 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා – පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වාත් සෙනසුරාදා – පෙ.ව. 8 සිට මධ්‍යහ්න 12 දක්වාත් ක්‍රියාත්මක වන බවද සඳහන්.

මෙම දුරකථන අංකය ඔස්සේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු සහ පැමිණිලි වාර්තා කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය, මර්දනය සහ පාලනය සම්බන්ධ නිල තොරතුරු ලබාගැනීම සිදු කළ හැකිය.

එමෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මර්දනයට අදාළ අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීම සහ වාර්තා කිරීම ද මෙම මෙහෙයුම් මැදිරිය හරහා සිදු කළ හැකි වේ.

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැත්වුණි.

දැනට වසංගතය පාලනය කිරීම සඳහා සිදු කර ඇති කාර්යයන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කාර්යයන් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.

ජාතික සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මාධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය අසංක වෙදමුල්ල මහතා, ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂතුමා, Clean Sri Lanka කාර්යාලයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය.

ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු අධිඅවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද (05) සිට ක්‍රියාත්මක වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභාව යන ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මිගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර යන ප්‍රදේශවලත් මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කරනු ඇත.

මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා :

“විශේෂයෙන්ම ඩෙංගු සම්බන්ධයෙන් තමන්ට තියෙන තොරතුරක් හෝ රජයට දැන්විය යුතු තොරතුරක් පවතිනවා නම් තමන්ගේ ගෙදර හෝ තමන් දන්න ස්ථානයක ඩෙංගු වසංගතය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක දන්නවා නම්, ඒ සඳහා තොරතුරු තියෙනවා නම්, මහජනතාවට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.. නිලධාරීන් සූදානම් වෙලා ඉන්නවා ඔබේ තොරතුරු ලබාගන්න. මේ ඔබ ලබාදෙන තොරතුරු සඳහා ක්‍රියාමාර්ග ගන්න මෙහෙයුම් මැදිරිය සූදානමින් ඉන්නවා. ඊට අමතරව මහජනතාවට විශේෂයෙන් දැන්විය යුතු කාරණයක් තියෙනවා.. ඔබේ නිවස, ඔබට ඔබට අයිතිය තියෙන පරිශ්‍රයන් ඒවා ඉතාම පරිස්සමෙන් ඉතාම වුවමනාවෙන් නඩත්තු කරගන්න ඩෙංගු බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල, ඩෙංගු කීටයන් බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදෙන්න එපා.. එවැනි ස්ථාන ගොඩනැගිලා තියෙනවා නම් ඒවා පිරිසිදු කරන්න. තවත් කාරණයක් කිව යුතුයි. එසේ නොකරනවා නම් ඒ සඳහා පවතින නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ සියලු අංශ සූදානමින් ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිඳු කෙනෙකුගේ තත්වය, තරාතිරම බලන්නේ නැහැ. අනතුරු ඇඟවීමක් හැටියට නෙවෙයි සඳහන් කරන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න රජය ඉතා තදින් තීරණය කරලා තියෙනවා”.

+


11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය හෙට (06) සිට

(05.07.2026 – 12:19 +0530 – sinhala.adaderana.lk)

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අහිමි වීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයට පත්වීම සැලකිල්ලට ගනිමින් ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය හෙට (06) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව හෙට සිට එළැඹෙන 10 වැනි දින දක්වා මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මෙරට රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානක් ගන්නා අතර සෞඛ්‍ය සේවාවට මෙන්ම රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට ද අනතුරු මගින් ඇතිවන බලපෑම අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමටද නියමිතව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, ජාතික අනතුරු වැළැක්වීම පිළිබඳ උපදේශක කමිටුවේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන මෙම වැඩසටහන යටතේ සෑම දිනකම විශේෂ තේමාවක් යටතේ ක්‍රියාත්මක කිරීමටද නියමිතය. ඒ අනුව,

  • ජූලි 06 මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්,
  • ජූලි 07 සේවා ස්ථානවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්,
  • ජූලි 08 නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්,
  • ජූලි 09 දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්,
  • ජූලි 10 පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්

නම් කර තිබේ.

මෙම සතිය තුළ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, අවදානම් ස්ථාන හඳුනාගැනීමේ ක්‍රියාකාරකම්, ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සඳහා ප්‍රායෝගික වැඩසටහන් සහ අනතුරු අවම කිරීම සඳහා කෙටි, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

රාජ්‍ය ආයතන, සෞඛ්‍ය ආයතන, අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් මෙම වැඩසටන ක්‍රියාත්මක කෙරෙනු ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *