හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට


හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

(03.07.2026 – 11:22 +0530 – sinhala.adaderana.lk)

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම නිවේදනය කළේ, 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බවය.

එම චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (03) පෙරවරු 10:05ට පමණ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභා පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

+

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත “කුමන්ත්‍රණය” නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද (03) නිෂ්ප්‍රභ කළේය.

එම කරුණ අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව දෙමින් අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුනි ෴

+++

+++

කරන්නාගොඩ අද (03) අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය

(03.07.2026 – 19:15 +0530 – sinhala.adaderana.lk)

හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළවය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැරුණු අතර ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

නියමිත සුදුසුකම් සපුරා නොතිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍යභට අංශයට නිලධාරීයෙකු ලෙස බඳවා ගැනීම සහ එතෙක් පැවති ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා යොමුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශනයක් සිදු කරයි.

එහි පළමු සැකකරු ලෙස පසුගිය ජුනි 17 වනදා අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරිණි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසමට අද (03) කැඳවා තිබුණි.

ප්‍රකාශ ලබාගැනීමෙන් පසු එම කොමිසම විසින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළාය.

“ස්වාමිනි, සුදුසුකම් ඇති ඉල්ලුම්කරුවන්ට අවස්ථාව අහිමිකරමින් සුදුසුකම් නොමැතිව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල. නාවික නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පවත්වන පුහුණු පාඨමාලාවක් සඳහා සිවිල් පුරවැසියෙක් විදිහට සිටි යෝෂිත රාජපක්ෂගේ නම යොමු කරලා තියෙන්නේ මේ සැකකරු. ඔහු එවකට නාවික හමුදාපතිවරයා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගන්න ලහිලහියේ කටයුතු සුදානම් වෙද්දි මොහු අවස්ථා දෙකකදී යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට නියමිත අංශය වූ විධායක ශිෂ්‍යභට අංශයේ බඳවාගැනීමේ සුදුසුකම් නිර්ණායක වෙනස් කරලා තියෙනවා. සෙසු අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතිකපත් අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට විභාග දෙපාර්තමේන්තුවට යැව්වාට යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සහතිකපත් එලෙස යවා නැහැ. පළමු අවස්ථා සුදුසුකම් වෙනස් කර පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පසුවද, අවම සුදුසුකමක් වූ සාමාන්‍ය පෙළ සිංහල විෂයට සම්මාන සාමාර්ථයක් තිබිය යුතු වීමේ සුදුසුකම යෝෂිත රාජපක්ෂට තිබී නැහැ. ඔහුට තිබී ඇත්තේ සිංහල විෂයට සාමාන්‍ය සාමාර්ථයක් නැතිනම් S සාමාර්ථයක්. පසුව දෙවන වරටත් මෙම සැකකරු යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට හැකිවන සේ ඔහුගේ සුදුසුකම්වලට සරිලන ලෙස බඳවාගැනීමේ සුදුසුකම් වෙනස්කර තිබෙනවා.”

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පැමිණිල්ලෙන් සැකකරුට අප ලබාදීමට පැමිණිල්ල විරුද්ධදැයි මෙසේ විමසා සිටියේය.

“සිද්ධිමය කරුණු බැලුවාම වරදක් වී ඇති බවට සාධාරණ සැකයක් මතුවන කරුණු ඇතැයි පැහැදිලියි. මේ අවස්ථාවේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ ඇප සම්බන්ධයෙන්. සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධද?”

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරිනිය, විමර්ශන අවසන් අදියරේ පවතින බවත්, ප්‍රකාශ කිහිපයක් සටහන් කිරීමට නියමිත බැවින් එතෙක් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ බවත් සඳහන් කළේය.

එහිදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප අයැද සිටියේය.

“ස්වාමිනි, එවකට යුද්ධය පැවති සමයේ සීමිත පිරිසක් හමුදාවට බැඳුණේ. බඳවාගැනීම් වැඩිකරන්න ආරක්ෂක කවුන්සිලයෙන් තීරණය කළා. යුද හමුදාවට 50,000 ක්, නාවික හමුදාවට 25,000 ක් සහ ගුවන් හමුදාවට 15,000 ක් බඳවාගත්තා. රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳෙන එක අනෙක් දෙමව්පියන්ට තම දරුවන් හමුදාවට බැඳෙන්න උත්තේජනයක් සපයන නිසයි මේ බඳවාගැනීම සිද්ධවුණේ. මේ සැකකරු විවාහකයි. ඔහුට දරුවන් නැහැ. ඔහුගේ බිරිඳ දැඩි ලෙස අසාධ්‍යව රෝගිව ඉන්නේ. මොහු රිමාන්ඩ් කළොත් ඇයව බලාගන්න පවුලේ කවුරුත් නැති වෙනවා. එබැවින් මොහු ඇපමත මුදා හරින්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැරීමට නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණු අතර නීති කෘත්‍ය එළඹෙන අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය ෴


“ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් නරක අධිකරණ පද්ධතියක් රටක් විනාශ කරනවා” – අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන

(03.07.2026 – hirunews.lk)

නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පවසා තිබෙනවා.

අගවිනිසුරුවරයා මේ බව පැවසුවේ, ඊයේ (02) කොළඹ දී පැවති උත්සවයකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගවිනිසුරුවරයා :

“පරමාධිපත්‍යයට ප්‍රධාන කොටස් හතරක් (4) තියනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය සහ ඡන්ද බලයයි. එහිදී අප අයත් වන්නේ තුන්වැන්නටයි (3), එනම් ජනතාවගේ අධිකරණ බලයටයි. එබැවින් විනිසුරුවරයෙකු ලෙස ඔබ විනිශ්චය ආසනයේ සිට ක්‍රියාත්මක කරන්නේ කුමන බලයක්ද? ජනතාවගේ අධිකරණ බලයයි.

ඔබ ඒ බලය ඔබේ නිවසින් රැගෙන එන්නේ නැත. අප ඔබට බලය ලබා දෙන්නේද නැත. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නොවේ.

එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාවයි. ඒ කාගේ යහපත සඳහාද? ජනතාවගේ යහපත සඳහායි. එය සැමවිටම මතකයේ තබා ගත යුතුය. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වයද අයිති වන්නේ ජනතාවටයි.

අධිකරණයේ ස්වාධීනත්වය ඔබ තුළ සුරැකිය යුත්තේ ජනතාව වෙනුවෙනි, ඔබ කේන්ද්‍ර කරගත් ඔබේම පටු ප්‍රයෝජනය සඳහා පමණක් අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට නොවේ.

සමහර අය සිතනවා, ‘මම විනිසුරුවරයෙක්, මම ස්වාධීනයි. අධිකරණයේ ස්වාධීනත්වය කියලා දෙයක් තියෙනවා. මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්’ කියා. නැත, ඔබේ කාර්යය කොතරම් දුෂ්කරද කියා බලන්න.

රටක් විනාශ වී යා හැක්කේ ස්වභාවික විපත්වලින් පමණක් නොවේ. නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකියි.

නරක අධිකරණ පද්ධතියක් ඉතා කෙටි කාලයකින් රටක් විනාශ කර දමනු ඇත. එය එසේ වුවහොත්, කිසිදු ජාත්‍යන්තර ආධාරකරුවෙකුට හෝ ජාත්‍යන්තර උපකාරයකට මේ රට නැවත ගොඩනැඟිය නොහැකි වනු ඇති” ෴


‘නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී’ ආයතනයේ බලපත්‍රය අවලංගු කරයි

(03.07.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී’ සමාගමේ මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය 2026 ජූලි 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ඒ අනුව 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත යටතේ එම සමාගම ඈවර කිරීමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යනු ඇති.

විවිධ නියාමන මැදිහත්වීම් සිදු කළද, මූල්‍ය ව්‍යාපාර පනත අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් 2025 ජූලි 04 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම සමාගම පාලන අධිකාරියක් යටතට පත් කර තිබූ බවයි මහ බැංකුව පවසන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලැබුවා.

ඒ අනුව, 2025.07.04 දින සිටම බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු වත්කම්, මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහාත්, සමාගමේ නමින් සහ සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහාත්, පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රොද්‍රිගු අද්මිනිස්ත්‍රාසිකරු ලෙස පත් කළා.

නිරාකරණ අධිකාරිය වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ ස්ථාවරත්වය සහ පැවැත්ම තහවුරු කිරීම අරමුණු කරගනිමින් අඛණ්ඩව උපායමාර්ගික ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව ද මහජනතාව වෙත දැනුම් දෙනු ලබනවා.

අද්මිනිස්ත්‍රාසිකරු සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලද, ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් නිරාකරණ ක්‍රියාමාර්ග වලට අනුව, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමෙහි පැවැත්ම තහවුරු කිරීම සඳහා විවිධ ව්‍යුහමය විකල්ප සලකා බැලීම යටතේ, ශක්‍ය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම හා දැනට ස්ථාපිත සහ ස්ථාවර බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ මුදල් සමාගම් වෙත උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් විවෘත ආරාධනයක් නිල වශයෙන් නිකුත් කිරීම ද සිදු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම පුළුල් හා අඛණ්ඩ ප්‍රයත්නයන් සියල්ල මධ්‍යයේ වුවද, ශක්‍ය සහ දිගුකාලීනව තිරසාර විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.

එබැවින් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි මූල්‍ය තත්ත්වයෙහි අඛණ්ඩ පිරිහීම සහ තවදුරටත් එම තත්වය පැවතීම, තැන්පත්කරුවන් සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට අහිතකර වන බව සලකා බලමින්, නිරාකරණ ක්‍රියාවලියේ අවසන් පියවර ලෙස, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි බලපත්‍රය 2026.07.03 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමටත්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ V වන කොටස අනුව සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින්, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත අනුව නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි රක්ෂණය කර ඇති තැන්පත්කරුවන් වෙත එක් තැන්පත්කරුවෙකු සඳහා උපරිමය රුපියල් 1,100,000/- දක්වා වන්දි ගෙවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.

එමඟින් සමාගමේ සමස්ත තැන්පත්කරුවන්ගෙන් 99.1% ක් සම්පූර්ණයෙන් පියවීමට හැකි වන අතර, ඉතිරි 0.9% ක් වන තැන්පත්කරුවන්ට ද ඔවුන්ගේ තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 1,100,000/- ලබාදෙනු ඇති.

බලපත්‍රය අවලංගු කරන දිනට එක් එක් තැන්පත්කරු වෙනුවෙන් සුදුසුකම් ලත් සියලුම තැන්පතු සහ නොගෙවූ උපචිත පොලී ඒකාබද්ධ කිරීමෙන් පසුව, ගෙවිය යුතු වන්දි මුදල ගණනය කරනු ලැබේ.

ඉතිරි වන ශේෂයක් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතෙහි දක්වා ඇති හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත්ව, ඈවර කිරීමේ ක්‍රියාවලියේදී තැන්පත්කරුවන්ට අය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

බලපත්‍රය අවලංගු කළ දිනයේ සිට වසර 6 ක උපරිම කාලයක් තුළ, එනම් 2032.07.02 දිනැතිව හෝ ඊට පෙර, නිසි ලෙස පිරවූ අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, තැන්පතු රක්ෂණ වන්දි ලබා ගත හැකියි.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පතු සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන්දි ඉල්ලා අයදුම් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ වැඩිදුර තොරතුරු, පුවත්පත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා ඉදිරියේදී සන්නිවේදනය කරන බව සඳහන්.

එතෙක්, තැන්පත්කරුවන් විසින් තම මුල් තැන්පතු සහතික හා අදාළ අනන්‍යතා සනාථ කිරීමේ ලේඛන (ජාතික හැඳුනුම්පත, අනෙකුත් ලියාපදිංචි සහතික ආදිය) සූදානම්ව තබා ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී හි සියලු ණයගැතියන්ට තමන්ගේ ණය මුදල් නියමිත කාලය තුළ, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී නමින් පවත්වාගෙන යන බැංකු ගිණුමක් හරහා පමණක් ගෙවන ලෙසත්, එකී ගෙවීම් සම්බන්ධයෙන් නිසි වාර්තා පවත්වාගෙන යන ලෙසයි මහ බැංකුව පවසන්නේ.

නියමිත පරිදි ණය ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීමට ඉඩ ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියේ ෴


ආදිවාසී නායකයාගේ ජීවිතය 99න් බේරෙයි – ජීවිතය බේරාගත් හැටි නායකතුමා හෙළි කරයි (03.07.2026)

+


රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුලු තිදෙනා (3) ලබන 17 දක්වා රිමාන්ඩ් – ඔවුන් තිදෙනා සමග විජේදාසත් ඩුබායිවල ඉඳලා

(03.07.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12 ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය ලබන 17 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (03) දින නියම කළා.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මෙම අල්ලස් මුදල ලබා ගැනීම සදහා මෙම සැකකරුවන් ඩුබායිවල ගිය අවස්ථාවේදි හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂද ඩුබායිවල සිටි ඇති බව විමර්ශනවලින් අනාවරණය වු බව අල්ලස් කොමිස අධිකරණයට දැන්වුවා.

= තිදෙනා =

ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා මෙම සිද්ධියට අදාලව කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇති බවයි අල්ලස් කොමිස වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂක නිතී අනුෂා සම්බන්ධප්පෙරුම දැන්වුයේ.

විජේදාස රාජපක්ෂ 1923/03/21 සිට 1923/03/28 දක්වා ඩුබායි රටේ රැඳි සිට තිබෙන බව ආගමන විගමන තොරතුරු වලින් තහවුරු වුණ බවයි අල්ලස් කොමිසම පවසා සිටියේ.

සිද්ධිය සම්බන්ධයක් වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂකවරිය මෙලෙස සඳහන් කළා :

“ස්වාමීනි සිද්ධියට අදාල පළවෙනි (1) සැකකරු ලබාගත් රු. ලක්‍ෂ 200 ක මුදල නැවත ‘හර්බි’ හෙවත් ‘නිර්මල බණ්ඩාර’ යන තැනැත්තාගේ යහළුවකු වන ‘ලසන්ත මංජුල ද සිල්වා’ හරහා මෙම සිද්ධියේ පළමු (1) පැමිණිලිකාරිය වන ‘හරක්කටා’ගේ බිරිඳ වන ‘මහේෂිකා මධුවන්ති’ යන අයට ලබා දී තිබෙනවා. තවද එම මුදල ලබා දී තිබෙන තැන පිළිබදවද අනාවරණය වුණා. එනම් නුගේගොඩ, නාවල පාර, විජයබා මාවත නැමති ස්ථානයේදි. එම නිවස අයිති විජේදාස රාජපක්ෂට බවයි අනාවරණය වන්නේ.

තවද මෙලෙස මෙම සැකකරුවන් ලබා ගන්නා ලද මෙම මුදල් ‘උණ්ඩියල් ක්‍රමය’ ඔස්සේ ගෙනා බවයි සඳහන් වන්නේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වනවා. තවද මෙම සැකකරුවන් තිදෙනා (3) දුරකථන සම්බන්ධතා පවත්වනු ලැබු ජංගම දුරකථන සහ වට්සැප් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. තවද මෙම සැකකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට කටයුතු කරනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *