පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
(25.06.2026 – hirunews.lk)
ජූනි 26 දින සිට ජූලි 02 දින දක්වා අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය රජමහ විහාරය කේන්ද්‍ර කරගනිමින් 2026 රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පහසුව උදෙසා පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 3500 කට අධික සංඛ්‍යාවක් රාජකාරියේ යොදවා ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
එහිදී, සෑම පොලිස් වසමක් තුළම දිවා සහ රාත්‍රී කාලයේ ජංගම, පාමුර, පාපැදි, බීට්ටු සහ යතුරුපැදි සංචාර ක්‍රියාත්මක වන අතර, මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල නිරීක්ෂණ කුළුණු ස්ථාපිත කර ඇති බවත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් සහ ජලාශ 24 ක් ආවරණය වන පරිදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150 ක් යොදවා ඇති බවත් පොලිසිය පවසනවා.
පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක නිලධාරීන් 120 දෙනෙකු ද සක්‍රීය සේවයේ යොදවා ඇති අතර, සුදුසු ස්ථාන හඳුනාගෙන, බෝයා යොදා වෙන් කර බැතිමතුන්ට ආරක්ෂිතව ජලය භාවිතා කිරීමට පහසුකම් සලසා තිබෙනවා.
අනාරක්ෂිත ස්ථානවල අනතුරු ඇඟවීම් පුවරු සවි කර ඇති බවත්, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ජනතාව දැනුවත් කරනු ලබන බවත්, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ස්වේච්ඡා ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්‍ර කරගනිමින් කලාප 10 ක් යටතේ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර, පූජා නගරයට වාහන ඇතුළු කළ යුත්තේ එක් දිශාවකට පමණක් ගමන් කළ හැකි වන පරිදියි.
ඒ අනුව,
- පැමිණෙන දිශාව – පුත්තලම දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය – පණ්ඩුලගම ප්‍රදේශයෙන්
- පැමිණෙන දිශාව – කුරුණෑගල දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය – පොතානේගම ප්‍රදේශයෙන්
- පැමිණෙන දිශාව – දඹුල්ල / පොළොන්නරුව දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය – ජයන්ති වටරවුම අසලින්
- පැමිණෙන දිශාව – විලච්චිය / තන්තිරිමලය දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය – ලෝලුගස්වැව ප්‍රදේශයෙන්
පිටවීම : පූජා නගරයට ඇතුළු වන රථවාහන නැවත පිටවිය යුත්තේ යාපනය හන්දියෙන් හෝ මාකට් හන්දියෙන් පමණයි.
භාවිත කළ හැකි විකල්ප මාර්ග ලෙස,
- පුත්තලම / කුරුණෑගල සිට පැමිණෙන රථවාහන – පොතානේගම හන්දිය, බන්ධනාගාර හන්දිය සහ දහයියාගම හන්දිය හරහා නව බස් නැවතුම්පළ දෙසට
- දඹුල්ල / පොළොන්නරුව සිට වව්නියාව දෙසට – ගල්කුළම, මිහින්තලය, බොංජි පන්සල හන්දියෙන් හැරී, මිහින්තලය දුම්රිය ස්ථාන මාර්ගය හරහා නැවත A09 මාර්ගයට
- වව්නියාව සිට පැමිණෙන රථවාහන – A09 මාර්ගයේ රබෑව, මිහින්තලය ඇඟලුම් කම්හල හන්දියෙන් දුම්රිය ස්ථාන මාර්ගයට පිවිස, බොංජි පන්සල හරහා ගල්කුළම හන්දියට
- විලච්චිය / තන්තිරිමලය සිට පැමිණෙන රථවාහන – තිසාවැව සොරොව්ව අසලින් දකුණට හැරී පණ්ඩුලගම හන්දිය දෙසට
බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීම සඳහා ප්‍රධාන රථගාල් 21 ක් වෙන් කර ඇති බවත්, ඉසුරුමුණිය, සඳහිරු සෑය, ශ්‍රී මහා බෝධිය අවට, මිරිසවැටිය, බසවක්කුලම වැව, රුවන්වැලිසෑය, ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය, ජේතවනාරාමය සහ කුට්ටම් පොකුණ යන ස්ථාන ඒ අතර වන බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එසේම, බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ හදිසි ආපදා තත්ත්වයන් සඳහා ගිලන් රථ පහත ස්ථානවල ස්ථානගත කර තිබෙනවා.
අනුරාධපුර පොලිස් ස්ථානය, ජනාධිපති මන්දිරය, ඉසුරුමුණිය වටරවුම, යාපනය හන්දිය, පණ්ඩුලගම හන්දිය, පොතානේගම හන්දිය
2026 උ.පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ
(26.06.2026 – hirunews.lk)
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කර තිබෙනවා.
එසේම මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 යන ක්ෂණික දුරකථන අංකය ද නැතිනම් 011 278 5922 , 011 278 4537 , 011 278 6616 , 011 278 4208 යන දුරකථන අංක මගින් ද විමසීම් කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කරන්නේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
(26.06.2026 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කිරීමේ චෝදනාව මත ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අද (26) සවස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස වර්තමානයේ සේවය කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ කාලය තුළ මෙම මහා පරිමාණ අපරාධය සිදු කර ඇති බවයි.
සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පලා යාම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කර දී ඇත්තේ එම අවධියේදීයි ෴
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42 කට තුවාල
(27.06.2026 – 06:34 +0530 – sinhala.adaderana.lk)
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42 දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අද (27) අලුයම 01:10 ට පමණ මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඩබ්ලිව්.කේ.එල්.එම්. වීරසේකර මහතා පැවසුවේ අනතුරින් පුද්ගලයින් 42 ක් රෝහල් ගත කර ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතළ බවය.
ඒ අනුව එක් (1) අයෙකු බදුල්ල මහ රෝහල වෙත මාරු කළ බවත් පැවසූ වෛද්‍යවරයා තවත් පුද්ගලයින් 8 දෙනෙකු සුළු තුවාල ලබා ඇතැයිද සෙසු පිරිසගේ තත්ත්වය සාමාන්‍ය බවද සඳහන් කළේය.
+++
+++
+
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
(26.06.2026 – 19:14 +0530 – sinhala.adaderana.lk)
2026 වසර පහ ශ්‍රේණියට අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අයදුම්පත් කැඳවීම අද (26) සිට සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එම අයදුම්පත්‍ර ලබන මස 08 වෙනිදා දක්වා
https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා පැවැත්වීමට සැලැසුම් කර තිබේ.
ඒ අනුව එහි දෙවන (2) ප්‍රශ්න පත්‍රය එදින (09) පෙරවරු 09:30 සිට 10:45 දක්වා පැවැත්වෙනු ඇත.
පළමු (1) ප්‍රශ්න පත්‍රය පෙරවරු 11:15 සිට 12:15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි ෴
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි
(26.06.2026 – 18:11 +0530 – sinhala.adaderana.lk)
ශීඝ්‍රයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ඩෙංගු රෝගයෙන් මේ වන විට පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බවය.
පෙර වසරවලට සාපේක්ෂව ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් ඩෙංගු රෝගය රෝහල් කිහිපයක රෝගී ධාරිතාව ද ඉක්මවමින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට අහිතකර බලපෑම් එල්ලකර තිබේ.
එවන් පසුබිමක දිවයිනේ ඩෙංගු වසංගත අවදානම ඉහළ ග්‍රාම නිලධාරී වසම් 600 ක් ආවරණය කෙරෙන පරිදි ඇරඹි දින 03 ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද (26) තෙවැනි (3) දිනටත් ක්‍රියාත්මක කෙරිණි.
මේ අතර පවතින ඩෙංගු අවදානම පාලනයට මෙවර පොසෝන් දන්සල් සඳහා අනුමැතිය ලබාදීමේදී කොන්දේසි පැනවීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත ෴
‘රතු නිවේදන’ ඇතිව සැඟව සිටින ‘සංවිධානාත්මක අපරාධකරුවන්’ ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
(26.06.2026 – 17:30 +0530 – sinhala.adaderana.lk)
රතු නිවේදන නිකුත් කළ තවත් සැකකරුවන් 232 ක් විවිධ රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ඉන් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවත් ඉන් 37 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බවය.
පසුගිය මාස 20 ක කාලසීමාව තුළදී සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු රතු නිවේදන හරහා මෙරටට රැගෙන විත් ඇති බව පැවසූ අමාත්‍යවරයා රතු නිවේදන නොමැතිව තවත් පුද්ගලයින් 35 ක්ද මෙරටට රැගෙන ආ බවද පැවසීය.
ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 58 ක් මෙරටට රැගෙන විත් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ මෙම පිරිසට අමතරව තවත් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු විදෙස් රටවල සැඟව සිටින බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය, සෞදි අරාබිය ආදී රටවල සිටින බවටද අමාත්‍යවරයා මෙහිදී අනාවරණයක්ද සිදු කළේය.
ඒ අනුව හැකි ඉක්මනින් එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන බවත් පැවසූ අමාත්‍යවරයා මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දෙවැනි (2) පෙළ සහ තුන්වැනි (3) පෙළෙහි සිටින පිරිස් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා :
“මේ වෙනකොට සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙක් රතු නිවේදන හරහා මෙරටට ගෙනවිත් තිබෙනවා. රතු නොමැතිව තවත් 35 ක් ඇතුළුව 58 ක් මාස 20 ක කාලසීමාව තුළ මෙරටට ගෙනවිත් තිබෙනවා. තවත් රතු නිවේදන නිකුත් කරපු 232 ක් ඉන්නවා. ඒ අතුරින් 96 දෙනෙක්ම සංවිධානාත්මක අපරාධකරුවන්. මේ 96 අතුරින් 37 ක් මේ වන විට විවිධ රටවල ඉන්නවා. ඔවුන් හඳුනාගෙන තිබෙනවා. UAE වල 19 ක්, ඉන්දියාවේ 11, මැලේෂියාවල 1 ක්, UK වල 1 ක්, ප්‍රංශය 1, කැනඩාව 1, රුසියාව 1, ඉතාලිය 1, සෞදි අරාබිය 1 ක් ඇතුළුව 37 ක් අඳුනාගෙන රතු නිවේදන නිකුත් කරලා ඉදිරි කාලයේදී ඔවුනුත් මේ රටට ගෙන්වා ගන්නවා. මොවුන් තමයි මැදපෙරදිග කලාපයේ ඉඳගෙන මේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නේ. ඉතිං ඒ මෙහෙයුම්කරුවන් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ වගේම ඔවුන්ගේ දෙවැනි පෙළ, තුන්වැනි පෙළට එරෙහිව අපි මේ වන විට ක්‍රියාමාර්ග අරන් තිබෙනවා. ඒ වගේම රට තුළ ඉන්න ඔවුන්ව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මේ ව්‍යාපාරය හරහා අත්පත් කරගන්නා අනීතික ධනය රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය පියවර අරගනිමින් ඉන්නවා.”
විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
(27.06.2026 – 08:27 +0530 – sinhala.adaderana.lk)
විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හෙරණ විශේෂ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබේ.
සැකකාරිය විසින් මෙලෙස රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 20 ක් වංචා කිරීම සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව ඊයේ (26) දින උදෑසන අළුබෝමුල්ල පොලිස් වසමේදී හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකල විමර්ශනයක් අනුව මෙම සිද්ධියට සැක කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ සැකකාරිය අවුරුදු 41 ක් වූ පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති ෴
දක්ශිණ අධිවේගී මාර්ගයේ වාහන 5 එකිනෙක ගැටීමෙන් දරුණු අනතුරක් (26.06.2026)
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴