භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ OIC ගැන සැකකාර පෙම්වතා වමාරයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ OIC ගැන සැකකාර පෙම්වතා වමාරයි
(26.06.2026 – hirunews.lk)
නුවරඑළියේ නවාතැන්පොළකදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් දීමේ චෝදනා මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකු අත්අඩංගුවට ගැණුනා.
එසේ අත්අඩංගුවට ගත්තේ, කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයායි.
ඔහු මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙක් වන අතර, පොලිසියේ උසස් නිලධාරියෙකුගේ නිවුන් සහෝදරයෙකු ද වන බවයි පොලිසිය පැවසුවේ.
මෙම පොලිස් නිලධාරියා අදාළ ඝාතනයට ආධාර අනුබල දුන් ආකාරය පිළිබඳව, භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ කරුණු රැසක් පාපොච්චාරණය කර තිබෙනවා.
“සර් මේ කේස් එක වෙලා මම හැංගිලා හිටියේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ රියැදුරුගේ ගෙදර. මම ඒ වෙලාවේ සහය පැතුවේ ඒ ඩ්‍රයිවර්ගෙන්. එයා තමයි සර් මට මේ පොලිස් නිලධාරියාවත් සම්බන්ධ කළේ.
ඩ්‍රයිවර් මගේ ඉස්සරහා ඒ පොලිස් නිලධාරියාට දුරකථන ඇමතුමක් ගත්තා. පසුව එම පොලිස් නිලධාරියා රියැදුරුට කිව්වා ගෙදරට ඇවිල්ලා කතා කරමු කියලා. ඒ අනුව ඔහු ගෙදරට ආවා.
ඒ ඇවිල්ලා පොලිස් නිලධාරියා මට කිව්වා මගේ මල්ලි උසස් පොලිස් නිලධාරියෙක්, කිසි දෙයකට බය වෙන්න එපා, ඔයාගේ මේ ඩ්‍රයිවර් යාලුවාගේ කේස් දෙකකටත් ඔහුගේ මල්ලි කතා කළා කියලා. එහෙම තමයි මට ඒ පොලිස් නිලධාරියාව හම්බ වුණේ.”
මේ අතර මෙම ප්‍රධාන සැකකරු අදාළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරුගෙන්ද රු. ලක්ෂ 05 ක මුදලක් ලබා ගෙන තිබෙන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ ඔහුගේ බිරිඳ විදෙස්ගත කරන බවට පවසමින්.
එමෙන්ම අදාළ රියැදුරුගේ පුතා විසින් රුපියල් 50,000 ක් වටිනා ජංගම දුරකථනයක් සහ සිම් කාඩ්පතක් ද ප්‍රධාන සැකකරු යාපනයට පළාගිය දිනයේදී ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ අත් අඩංගුවට ගත් රියැදුරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර, ඔවුන් තිදෙනා (3) සහ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස අද (26) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
+++
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
(26.06.2026 – hirunews.lk)
නුවරඑළියේ නවාතැන්පොළකදී භෞතචිකිත්සකවරියක් ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද (26) නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන අතර, පොලිසියේ උසස් නිලධාරියෙකුගේ නිවුන් සහෝදරයෙකු ද වන බවඳ සදහන්.
ඝාතනයට ලක් වූ අදාළ භෞතචිකිත්සකවරියගේ සිරුර තෙල්දෙණිය රෝහල අසළ රථගාලක නවතා තිබූ මෝටර් රථයක තිබී සොයා ගත්තේ පසුගිය 17 වනදායි ෴
+++
භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
(26.06.2026 – 20:12 +0530 – sinhala.adaderana.lk)
භෞත චිකිත්සකවරියගේ ඝාතනයට අදාළව, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට වන චෝදනාවටය.
ඒ අනුව ප්‍රධාන සැකකරු ඇතුළු මෙතෙක් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා (4) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
තෙල්දෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 17 වැනිදාය.
මියගොස් ඇත්තේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි තැනැත්තියක් බව පසුව අනාවරණය විය.
ඇගේ පෙම්වතා බව සඳහන් අයෙක් පිළිබඳ ලද තොරතුරු මත විමර්ශන විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර එම ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා දරුවකු සමග යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසිනි.
ඔවුන්ට ආධර අනුබලදුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශනවලදී ලද තොරතුරු අනුවය.
පසුව පිරිස පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.
එහිදී හෙළිවී ඇත්තේ, ප්‍රධාන සැකකරුට සැඟව සිටීම සඳහා කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා සහාය ලබාදී ඇති බවය.
ඒ අනුව සැකකරු නුවරඑළිය පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ප්‍රාදේශිය සභා සේවකයා හරහා ප්‍රධාන සැකකරු මෙම පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති බවය.
ඝාතනය සිදු වූ දාට පසුදින එනම් ඉකුත් අප්‍රේල් 17 වනදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසල ඉදිරිපිටදී අදාළ පොලිස් නිලධාරියා හමු වී තිබේ.
එහිදී ප්‍රාදේශිය සභා සේවකයා පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ “සර් මේ මගේ යාළුවෙක්. මෙයා ළඟ බොඩි එකක් තියෙනවා. ඒ මෙයා යාළුවෙලා හිටපු කෙල්ලගේ බොඩි එක. මේකට මොකක්ද කරන්නේ කියලා අහනවා” යනුවෙනි.
ඊට පිළිතුරු ලබාදෙමින් පොලිස් නිලධාරියා පවසා ඇත්තේ “මොකක් හරි හොස්පිට්ල් එකක් ළඟට ගිහින් දාන්න” ලෙසිනි.
ඒ අනුව ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශිය සභා සේවකයා ඇගේ සිරුර තෙල්දෙණිය රෝහලට අසල දමාගොස් ඇත.
පසුව දිගන ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට ඔවුන් දෙදෙනා (2) පැමිණ ඇති අතර එම ස්ථානයට අදාළ පොලිස් නිලධාරියා ද පොලිස් ජීප් රථයකින් පැමිණ ඇති බව වාර්තා වේ.
එහිදී ඔහු ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ “ලෝයර් කෙනෙක් මම හොයලා දෙන්නම්. බය නැතුව හැංගිලා ඉන්න” යනුවෙනි.
පසුව ඉකුත් 18 වැනිදා උදෑසන ප්‍රධාන සැකකරු හා ප්‍රාදේශීය සභා සේවකයා කුණ්ඩසාලේ පිහිටි පොලිස් පුහුණු පාසලට ගොස් පොලිස් නිලධාරියා හමුවී ඔහු සමග කුණ්ඩසාලේ ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.
එහිදී පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ, “මරණ පරීක්ෂණ වාර්තාවෙන් දිවි නසාගැනීමක් ලෙස සටහන්වෙනකල් හැංගිලා ඉන්න” යනුවෙනි.
ඒ අනුව ඔහු නුවරඑළිය පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය සම්බන්ධයෙන් විමසා තිබේ.
එහිදී පොලිස් සැරයන්වරයා එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවය.
පසුව එම පොලිස් නිලධාරියා ප්‍රධාන සැකකරුගෙන් රුපියල් දස දහසක (10,000) මුදලක් ඉල්ලාගෙන ප්‍රාදේශිය සභා සේවකයා සමග ගොස් මත්පැන් මිලදීගෙන ඇත.
ඒ අනුව පොලිස් නිලධාරියා හා ප්‍රාදේශිය සභා සේවකයා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු ඉතිරි මුදල්වලින් පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත සුපිරි වෙළෙඳසැලකින් මී කිරි හට්ටියක් හා පැණි බෝතලයක් මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ස්ථානයෙන් පිටත් වූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට පත්වන තුරු එනම් දින 7 ක් තුළදී අවස්ථා තුනකදී (3) යාපනයට ගොස් ඇති බවත් තෙවැනි (3) අවස්ථාවේදී අත්අඩංගුවට පත් වූ බවත් පොලිසිය සඳහන් කළේය.
අනතුරුව ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් කාමරයට යනවිට භෞත චිකිත්සකවරිය කමරයෙහි වූ ජනෙල් රෙදි එල්ලන යෂ්ටියක එල්ලී දිවි නසාගෙන සිටි බවය.
නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇගේ මරණය ගෙල සිරකිරීමකින් සිදුවූ බවට තහවුරු වීම සමග විමර්ශන නොමඟ යැවීමේ අරමුණින් සැකකරු අසත්‍ය ප්‍රකාශ කරන බව පොලිසිය සැක පළ කරයි.
ජනෙල් රෙදි එල්ලන එම යෂ්ටිය මිනිසෙකුගේ බර දරාගැනීමට තරම් සවිමත් එකක් නොවන බවත් පොලිසිය සඳහන් කළේය.
මේ අතර ප්‍රධාන සැකකරුගේ බිරිඳ අදාළ මරණය සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවේය.
මෙහිදී ප්‍රධාන සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ මෙහෙයවීමෙන් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.
+++
පොලිස් ලොක්කෙකුත් සම්බන්ධයි, ඕලුගල තාම මෙහෙයුමේ (26.06.2026)
+
චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන
(26.06.2026 – 19:38 +0530 – sinhala.adaderana.lk)
රැඳවුම් භාරයේ සිටි ‘නඳුන් චින්තක’ නොහොත් ‘හරක්කටා’ නමැත්තාට සහන සැලසීමටයැයි පවසා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200 ක මුදලින් ‘චරිත් අබේසිංහ’ සහ ‘රඛිත රාජපක්ෂ’ ඇතුළු සැකකරුවන් තිදෙනා (3) සුඛෝපභෝගී වාහන සහ දේපළ මිලදීගෙන ඇත්දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
මෙහිදී සැකකරුවන්ට දරුණු රෝගී තත්ත්ව ඇති බව පවසමින් ඔවුන්ගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටියද, එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුවන් තිදෙනා ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක්කටා’ 2023 වර්ෂයේ රැඳවුම් භාරයේ සිටියදී ඔහුට සහන සැලසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200 ක අල්ලස් අත්තිකාරමක් ලබාගත්තේ යැයි වූ චෝදනාවක් සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් ‘රඛිත රාජපක්ෂ’, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ‘චරිත් අබේසිංහ’ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ‘අරුණ වරුණහැන්දිගේ’ යන සැකකරුවන් ඊයේ (25) පෙරවරුවේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්විය.
අනතුරුව සැකකරුවන් තිදෙනා (3) ඊයේ (25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු දැක්වූවාය.
“ස්වාමිනි, මේ විමර්ශනය ආරම්භ කළේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට අනුවයි. මේ සිදුවීම ආරම්භ වෙන්නේ මේ පළමු සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා හරක් කටාගේ සමීප හිතවතෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි. මේ සැකකරු හර්බි නැමැත්තාට කියා තිබෙනවා රැඳවුම් භාරයේ සිටින හරක් කටාටත් මදුෂ්ට වුනදේම වෙන්න පුළුවන් එය වළක්වන්න සහ බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න හැකියාව තිබෙනවා කියලා. ඒ නිසා හරක් කටාගේ බිරිඳ සමඟ ඩීල් එකක් දාලා දෙන්න කියලා මොහු හර්බි නැමැත්තාගෙන් ඉල්ලා තිබෙනවා. මේ කෝල් එකෙන් පසුදින ඒ කියන්නේ 2023 මාර්තු 25 චරිත්, රඛිත සහ අරුණ යන මේ සැකකරුවන් තිදෙනාම ඩුබායි රාජ්‍යට යනවා. පසුව හර්බි හරහා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තියව සම්බන්ධ කරගන්නවා. පසුදින හර්බිගේ නිවසේදී මේ තිදෙනා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය හමුවෙනවා. ඒම අවස්ථාවට මිදිගම රුවන් නැමැත්තාත් සම්බන්ධවෙලා තියෙනවා. පළමුව මොවුන් හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 5000 ක් ඉල්ලනවා. ඇය ළඟ එතරම් මුදලක් නැහැ කියූ නිසා එය රුපියල් ලක්ෂ 2000 ට අඩුකරලා ලක්ෂ 1200 ක් අත්තිකාරමක් ලෙස ඉල්ලනවා. ඩුබායි රාජ්‍යයේ මොවුන් රැඳී සිටි තුන්වන දිනයේදී තමයි හරක් කටාගේ බිරිඳ විසින් ලක්ෂ 1000 ක මුදලක් හර්බිගේ නිවසේදී මොවුන්ට ලබාදී තිබෙන්නේ. මොවුන් ඉතුරු ලක්ෂ 200 ඉල්ලපුවාම හරක් කටාගේ බිරිඳ කියලා තියෙනවා රත්තරන් බඩු විකුණලා දින කිහිපයකින් එම මුදල ලබාදෙන්නම් කියලා. පස්සේ දින කිහිපයකින් මිදිගම රුවන් හර්බිට ඒ සල්ලිත් ගිහින් දීලා තියෙනවා. මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි දින කිහිපයේ ඉඳලා තියෙන්නේ මේ සැකකාර රඛිත නැමැත්තාගේ ඥාතී නිවසක. ඒ ඥාතියා තමයි පසුව දුන් මුදල් හර්බිගෙන් අරගෙන තියෙන්නේ. මේ සියලු ගනුදෙනු වෙලා තියෙන්නේ ඩිරාම් මුදල් ඒකකයෙන්. කොහොම නමුත් මේ මුදල් දීලා කෙටි කාලයක් ගතවෙද්දි පොරොන්දු ඉටු නොකිරීම නිසා මදුෂානි නැමැත්තිය හර්බිට කියලා තියෙනවා යළි මුදල් ඉල්ලලා දෙන්න කියලා. හර්බි චරිත්ගෙන් Call කරලා මුදල් ඉල්ලපුවාම චරිත් කියා තිබෙනවා මං ළඟ තියෙන්නේ ලක්ෂ 200 යි, ලක්ෂ 1000 ක් තියෙන්නේ රඛිත ළඟ. අපි සල්ලි ගත්තේ මරණය වළක්වන්න. දැනට ඒකවෙලා නැහැ. ගනුදෙනුව අවසන් කරන්න ඉතුරු ලක්ෂ 800 දෙන්න කියලා. මේ දුරකථන සංවාදය හර්බි පටිගත කර තිබී අල්ලස් කොමිසමට ලබාදුන්නා.
කොහොම නමුත් පසු අවස්ථාවක මේ චරිත් නැමැත්තා ලක්ෂ 200 ක මුදලක් මෑතකදී මියගිය මිදිගම ලසන්ත මාර්ගයෙන් හර්බි හරහා හරක්කටාගේ බිරිඳට යවා තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ හරක් කටාගේ බිරිඳ මදුෂානි නැමැත්තිය ලිඛිතව පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම හර්බි නැමැත්තා දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. විමර්ශන නිලධාරින් රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගෙන් සහ මිදිගම රුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙනත් තියෙනවා. මේ මුදල්වලට කුමක්ද සිදුවූයේ කියා වැඩිදුර විමර්ශන කළ යුතුයි.
දැනට අනාවරණය ඇති ආකාරයට මේ තෙවන සැකකරු තමයි උන්ඩියල් ක්‍රමයට අදාළ මුදල් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. අදාළ කාලයේදී පළමු සහ දෙවන සැකකරුවන් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම් සහ නිවාස ඉදිකිරීම් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳවද විමර්ශකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා.”
මෙහිදී සහකාර නීති අධ්‍යක්ෂවරිය හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන්ද කරුණු අනාවරණයක් සිදු කළාය.
“ස්වාමිනි මේ සිදුවීම ගැන අනුප එරංජිත් නැමැත්තෙක් සයිබර් නිව්ස් කියන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය හරහා මුල්වරට අනාවරණයක් කර තිබෙනවා. නමුත් මේ සැකකාර රඛිත රාජපක්ෂගේ පියා එවකට නීතිපතිවරයාට පැමිණිල්ලක් කරලා තියෙනවා අදාළ පුද්ගලයා අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා කියලා. පසුව ඒ පුද්ගලයාට එරෙහිව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තාවීමකුත් වෙලා තියෙනවා. මේ හරහා ඒ පුද්ගලයාට යම් බලපෑමක් වී ඇති බවයි විමර්ශන නිලධාරින්ගේ මතය.”
අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් සිය සේවාදායකයින් වෙනුවෙන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව සුවිශේෂි කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටියහ.
එහිදී පළමුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පළමුව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දැක්වූවේය :
“ස්වාමිනි, මගේ මේ නඩුවේ කරුණු බලපු ගමන් පේනවා මේ කරුණු බොරු කියලා. අල්ලස් කොමිසම විතරයි මේවා විශ්වාස කරන්නේ. මගේ සේවාදායකයා නිර්දෝෂයි. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුගේ වෘත්තීමය කටයුතුවල නිරතවීමට නොහැකිව සේවාදායකයෝ වෙනුවෙන් නඩුවලට පෙනී සිටිමට නොහැකිවෙනවා. ඒ වගේම මොහු Sleep apnea නැමැති රෝගයෙන් පෙළෙනවා. බන්ධනාගාරය තුළ ඊට ප්‍රතිකාර නොමැති බැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ මරණය හෝ ජීවිත අවදානමක් ඇතිවිය හැකියි. එබැවින් මෙම කරුණු සලකා බලා මගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.”
මෙහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් යැයි පවසමින් කරුණු දැක්වීමක් සිදු කළේය :
“සාමාන්‍යයෙන් පැමිණිල්ලක් ආපුවාම ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න කියලා දැනුම්දීමක් කරනවා. නමුත් මෙතනදී ඒ මුකුත් නැතුව හමුදාවෙන් පනිනවා වගේ පැනලා නීතිඥවරයෙකුව බෙල්ලෙන් අල්ලන් ආවා. ඒකද කළු කෝට් එකට තියෙන වටිනාකම. මේක අපේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. සමස්ත නීතිඥ ප්‍රජාවේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. අපිට වරප්‍රසාද ඕනේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් මම මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ නීතිඥවරු 28,000 ම මේ වෙනුවෙන් හිටගන්නවා.”
අනතුරුව සැකකාර චරිත අබේසිංහ වෙනුවෙන්ද නීතිඥවරයෙක් ඇප අයැද සිටියේය :
“ස්වාමිනි, මගේ සේවාදායකයාට එරෙහිව සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ගේ විශ්වාසනීයභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔවුන් අපරාධවලට සම්බන්ධව රැඳවුම් භාරයේ සිටින්නන්. එක්කෝ ඔවුන් තමන්ගේ රැඳවුම් නියෝගයෙන් මිදෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්, නැතිනම් පොලිසියේ වුවමනාව මත මෙවැනි ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමිනි මගේ සේවාදායකයා දරුණු හෘද රෝගී තත්ත්වකින් පෙලෙනවා. ඔහුට ස්ටෙන්ට් 03 ක් දාලා තව 05 ක් දාන්න තියෙනවා. 60 පැනපු පුද්ගලයෙකුට එන සියලු රෝග අවාසනාවන්ත ලෙස තරුණ වයසේදීම මොහුට තියෙනවා. එබැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම මොහුගේ ජීවිතයට අවදානමක් ඇති කළ හැකියි.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු දැක්වීම් ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් සැකකරුවන් ජුලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ මෙවැනි සිදුවීමකට අදාළව සිය සාමාජිකයෙකු අත්අඩංගුවටගෙන ඇති අවස්ථාවක සංගමයේ කාර්යභාරය වන්නේ අදාළ නෛතික ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම හා ඉදිරි පියවර පිළිබඳ සංගමයට වාර්තා කිරීම පමණක් බවය.
මෙම ක්‍රියාමාර්ගය අතරතුර නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමයේ විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති අතර සැකකාර නීතිඥවරයා වෙනුවෙන් කිසිඳු නියෝජනයක් කිරීමට නීතිඥ සංගමය තීරණය කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්ය.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴