සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක්

සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක්


සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක්

(23.06.2026 – hirunews.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මව වන ක්ලෝඩියා සලේ අද (23), දහහතර වන ලියෝ පාප්වහන්සේ වෙත ලිපියක් යොමු කළා.

ඒ, සුරේෂ් සලේ සම්බන්ධයෙන් යුක්තිය, මානව ගෞරවය සහ දයානුකම්පිත මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලමින්.

ඒ අනුව අදාළ ලිපිය, මෙරට ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාරදීමට කටයුතු කෙරුණා. ඒ, කොළඹ පිහිටි මෙරට වතිකාන තානාපති කාර්යාලයේදීයි.

එම ලිපියෙහි සඳහන් වූ දේ පහතින් :

ශුද්ධෝත්තම ලියෝ XIV පාප් වහන්සේ,
අපෝස්තලික මාලිගය,
00120 වතිකානු නගරය.
2026 ජූනි 23

අතිශුද්ධෝත්තම පියතුමනි,

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සම්බන්ධයෙන් යුක්තිය, මානුෂීය ගෞරවය සහ කාරුණික මැදිහත්වීම පතා කරනු ලබන යටහත් පහත් ආයාචනයයි.

ශුද්ධෝත්තම වතිකානුවේ සතිපතා පවතින සන්නිවේදනය සහ සදාචාරාත්මක නායකත්වය කෙරෙහි පවතින දැඩි විශ්වාසය සහ ගැඹුරු ගෞරවය පෙරදැරිව මම ඔබ වහන්සේ වෙත ලියමි. කිසිදු අධිකරණයකින් වරදකරු හෝ නිවැරදිකරු දැයි තීරණය කිරීමටත් ප්‍රථම, මාගේ පුත්‍රයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි දිගින් දිගටම රඳවා තබා ගැනීම, ඔහුට එල්ල වන වධහිංසා සහ ප්‍රසිද්ධියේ සිදුකරන අපහාස කිරීම් තුළින් ඔහුගේ ජීවිතය, ගෞරවය සහ කීර්ති නාමයට සිදුවන පියවිය නොහැකි හානිය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ කාරුණික මැදිහත්වීම මම යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

මාගේ පුත්‍රයා වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි යනු ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට ලක්වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකි. වසර තිස් පහකට අධික විශිෂ්ට හමුදා සේවය තුළ ඔහු රට වෙනුවෙන් දැක්වූ කැපවීම සහ නායකත්වය අගයමින් රණශූර, දේශසේවා ඇතුළු පදක්කම් රැසක් ලබා ඇත. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා, විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ කාල වකවානුවලදී, ඔහු දේශපාලන අනුබලයන්ගෙන් තොරව, රාජ්‍යයට සහ රටේ ජනතාවට ඇති නොසැලෙන පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් පස්දෙනෙකු යටතේ විශ්වාසවන්තව සේවය කළේය. ඔහු සිය ජීවිතයම කැප කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව උදෙසාය. ඔහුගේ සේවා කාලය තුළ ඔහු කිසිදු විෂමාචාරයකට වැරදිකරු වී හෝ අපරාධ වරදකට දඬුවම් ලබා නැත. ඔහුගේ වෘත්තීය ජීවිතය ගොඩනැගුණේ විනය, අවංකභාවය, ගෞරවය සහ පරාර්ථකාමී සේවය මත වන අතර, වත්මන් තත්ත්වය අපේ පවුලට දැඩි වේදනාවක් ගෙන දෙයි.

කෙසේ වෙතත්, අද වන විට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින්නේ සිදුවෙමින් පවතින පරීක්ෂණයක සැකකරුවෙකු ලෙස පමණි. ඔහු කිසිදු වරදකට වරදකරු කර නැත. කිසිදු අධිකරණයකින් ඔහු වරදකරු කර නැත. අධිකරණ ක්‍රියාවලිය තවමත් ක්‍රියාත්මක වන අතර, ශිෂ්ට සම්පන්න ලෝකය පුරා පිළිගත් සෑම යුක්ති ධර්මයකටම අනුව, දක්ෂ අධිකරණයකින් වරදකරු වන තෙක් ඕනෑම පුද්ගලයෙකු නිවැරදිකරුවෙකු ලෙස උපකල්පනය කරනු ලැබේ.

මෙම මූලික ප්‍රතිපත්තිය පැවතියද, මාගේ පුත්‍රයා මේ වන විටත් ප්‍රසිද්ධියේ හෙළා දැකීමට ලක්ව ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වන ලද බොහෝ පරීක්ෂණවලදී, මාගේ පුත්‍රයා කිසි විටෙකත් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන නොමැත. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ද ඔහුව සැකකරුවෙකු ලෙස හඳුනාගත්තේ නැත. ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ඇතිව කරන ලද පරීක්ෂණවලදී ද ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකළේය. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) හා සම්බන්ධ වාර්තාවල ද ඔහුව සැකකරුවෙකු ලෙස හඳුනාගෙන නැත. දේශීය මෙන්ම ජාත්‍යන්තර බලධාරීන් වසර ගණනාවක් පුරා සිදුකළ පරීක්ෂණවලින් පසුවද, කිසිදු නිල විමර්ශන ආයතනයක් මාගේ පුත්‍රයා එම ඛේදවාචකයට අපරාධමය වශයෙන් වගකිව යුතු බවට නිගමනය කර නොමැත.

එසේ වුවද අද වන විට, අධිකරණයකට ඔහුට එරෙහි සාක්ෂි පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලැබීමටත් පෙර, ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම ඛේදවාචකයක ප්‍රධාන සැලසුම්කරු හෙවත් ‘මහ මොළකරු’ ලෙස ඔහු ප්‍රසිද්ධියේ හුවා දක්වනු ලැබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගරු ජූඩ් රොහාන් සිල්වා පියතුමා සහ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් සිදුකරන ලද අඛණ්ඩ ප්‍රසිද්ධ ප්‍රකාශයන් හරහා මාගේ පුත්‍රයා වටා ගෙතෙන මෙම අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව අපගේ දැඩි කනස්සල්ල මම ගෞරවයෙන් ඔබ වහන්සේගේ අවධානයට යොමු කරන්නේ දැඩි සංවේගයෙනි.

දිගු කලක් තිස්සේ මෙම අඛණ්ඩ ප්‍රසිද්ධ ප්‍රකාශ මඟින් අධිකරණ ක්‍රියාමාර්ග සිදුවෙමින් පවතින පසුබිමක සහ කිසිදු අධිකරණයකින් ඔහු වරදකරු කර නොමැති වුවද, මාගේ පුත්‍රයා පාස්කු ප්‍රහාරයේ ‘මහ මොළකරු’ බවට චෝදනා එල්ල කරමින් සිටී.

අපගේ ගෞරවනීය අදහස නම්, මෙම අඛණ්ඩ ප්‍රකාශයන් මහජන මතයට දැඩි ලෙස බලපා ඇති අතර, අධිකරණය හමුවේ කරුණු තහවුරු වීමට පෙර මගේ පුත්‍රයා වරදකරුවෙකු ලෙස පෙන්වීමේ උත්සාහයක නිරත වන බවයි.

කතෝලික සභාවේ පියතුමන්ලා සතු සදාචාරාත්මක බලය සැලකිල්ලට ගත් විට, මෙවැනි ප්‍රකාශයන් බොහෝ විශ්වාසවන්ත කතෝලිකයන්ගේ අදහස් සහ හැඟීම්වලට අනිවාර්යයෙන්ම බලපානු ඇත. මෙම චෝදනා අඛණ්ඩව පුනරාවර්තනය කිරීම තුළින් කුමන්ත්‍රණ පදනම් කරගත් මතවාදයන් ශක්තිමත් වී ඇති අතර, මගේ පුත්‍රයා කෙරෙහි මහජන වෛරය තීව්‍ර කර තිබේ. එමඟින් අධිකරණ නිගමනයකට එළඹීමට පෙර, මහජන මතය නමැති අධිකරණය තුළ ඔහුව වරදකරු කර අවසන් වන සුළු වාතාවරණයක් නිර්මාණය කර ඇත.

කතෝලික සභාවේ ගරු ජූඩ් රොහාන් සිල්වා පියතුමා විසින් කරන ලද පැමිණිල්ලක් මත වත්මන් විමර්ශන ආරම්භ වූ බවත්, පසුව ගරු බුසෙබාදුගේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විසින් ඉදිරිපත් කරන ලද අසාද් මවුලානා මහතාගේ චෝදනා ඇතුළත් ලිපියක් පදනම් කරගෙන මෙය සිදු වූ බවත් මෙහිදී සඳහන් කළ යුතුය.

මෙවැනි තත්ත්වයක් තුළ, ප්‍රකාශ ලබා දී ඇති සහ මෙම කාරණයේ සාක්ෂිකරුවන් වන ඉහත කී පූජක පක්ෂයේ සාමාජිකයන් දෙදෙනා ඇතුළු පිරිස්, මෙම නඩුව සම්බන්ධයෙන් අඛණ්ඩව ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම සහ ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි. සති දෙකකට වරක් පමණ සිදුකරන මෙම ප්‍රකාශයන් මඟින්, කරුණු විමර්ශනය වෙමින් පවතින පසුබිමක සහ අධිකරණයකින් තීන්දුවක් දී නොමැති තත්ත්වයක් තුළ, මාගේ පුත්‍රයා පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු බවට පෙන්වීමට උත්සාහ දරයි.

අදාළ පූජක පක්ෂයට සහ ඔවුන් නියෝජනය කරන සභාවට දක්වන උපරිම ගෞරවය පෙරදැරිව මම ප්‍රකාශ කර සිටින්නේ, මෙවැනි හැසිරීම් සෑම පුද්ගලයෙකුටම මඟ පෙන්විය යුතු සාධාරණත්වය, අපක්ෂපාතීත්වය සහ යුක්තිය යන මූලධර්මවලට පටහැනි බවයි. විශේෂයෙන්ම අධ්‍යාත්මික සහ සදාචාරාත්මක නායකත්වයක් දරන අයගෙන් මෙවැනි දේ සිදුනොවිය යුතුය. විමර්ශනයට ලක්ව ඇති කරුණට සෘජුවම සම්බන්ධ සාක්ෂිකරුවන් වන පුද්ගලයන්ගෙන් මෙවැනි ප්‍රසිද්ධ අදහස් දැක්වීම් සිදුවීම වඩාත් කනස්සල්ලට කරුණකි.

තවද, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය මඟින්, නීතියට අනුව වරදකරු වන තෙක් සෑම පුද්ගලයෙකුම නිවැරදිකරුවෙකු ලෙස උපකල්පනය කිරීමේ මූලික ප්‍රතිපත්තිය තහවුරු කර ඇත.

සිදුවෙමින් පවතින විමර්ශනයක ප්‍රතිඵලය පිළිබඳව පූර්ව විනිශ්චයන් ලබා දෙන මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයන් මඟින් මෙම ව්‍යවස්ථාපිත ආරක්ෂාව පළුදු වන අතර, මහජන මතයට අයුතු ලෙස බලපෑම් කරමින් අදාළ පුද්ගලයාගේ කීර්ති නාමයට සහ අයිතිවාසිකම්වලට පියවිය නොහැකි හානියක් සිදුකරයි.

ස්වාධීන අධිකරණයකින් තීන්දුවක් ලබා දීමට පෙර, ඔහුට එල්ල වී ඇති චෝදනාවල බරපතලකම නොතකා, කිසිදු පුද්ගලයෙකු ප්‍රසිද්ධියේ හෙළා නොදැකිය යුතු බව මම ගෞරවයෙන් ප්‍රකාශ කරමි.

වත්මන් විමර්ශනය වටා පවතින පැහැදිලි සුදුසුකම් පිළිබඳ ගැටුම (conflict of interest) මගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති තවත් කරුණකි.

මීට පෙර බරපතල චෝදනා එල්ල වී තිබූ සහ පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම, බුද්ධි තොරතුරු හැසිරවීමේදී දැක්වූ නොසැලකිලිමත්කම සහ ඔවුන්ගේ නිල රාජකාරි ඉටුකිරීමේදී සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බැලූ පසුකාලීන පරීක්ෂණවලින් නිගමන සහ නිර්දේශ නිකුත් කර තිබූ පුද්ගලයන්ම, දැන් මගේ පුත්‍රයාට එරෙහිව සිදුවන මෙම විමර්ශනයේ බලධාරීන් ලෙස කටයුතු කරයි ෴

+++

+++

සලේගේ බිරිඳගෙන් CIDයට විරුද්ධව පැමිණිල්ලක් (23.06.2026)

+


කෝරළේඉම සමූපාකාර බැංකුවේ රු. කෝටි ගණනක රන් බඩු කොල්ලකරුවන් අරගෙන ගිහින් – පොලිසිය

(23.06.2026 – hirunews.lk)

සොරුන් විසින් අද (23) අලුයම කොල්ලකන ලද හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ කෝරළේඉම හන්දියේ පිහිටි සමූපාකාර ග්‍රාමීය බැංකුවේ රුපියල් කෝටි ගණනක රත්‍රන් සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය පවසනවා.

මෙම සොරුන් බැංකුවේ ආරක්ෂක නිලධාරියා බැඳ දමා, බැංකුව බිඳ එහි තිබූ රු. කෝටි ගණනක රන් බඩු සහ දේපළ එලෙස සොරාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

විමර්ශන නිලධාරීන් සැක කරන්නේ බැංකුවේ තිබූ රුපියල් කෝටි අටකට (8) අධික වටිනාකමකින් යුත් රන් බඩු අතරින් කොටසක් මෙලෙස මංකොල්ලකරුවන් විසින් රැගෙන යන්නට ඇති බවයි.

පොලිස් විමර්ශනවලට අනුව අද (23) අලුයම 01:00 ත් 05:00 ත් අතර කාලය තුළ පුද්ගලයින් සිව් දෙනෙකු(4) ගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම මංකොල්ලය සිදු කර තිබෙනවා.

බැංකුව පිටුපස මුරකුටියේ සිටි ආරක්ෂක නිලධාරියාගේ අත් පා සහ කට රෙදි පටිවලින් ගැටගසා ඔහුව නාන කාමරයකට දමා සිරකර ඇති සොරුන්, පසුව නාන කාමරයේ වා කවුළුව බිඳ බැංකුව තුළට ඇතුළු වී තිබෙනවා.

මෙම බැංකුව තුළ සේප්පු දෙකක් (2) සහ ලාච්චු විස්සක් (20) පමණ තිබී ඇති අතර, ඉන් එක (1) ලාච්චුවක තිබූ රන් බඩු සම්පූර්ණයෙන්ම සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

බැංකුව සතුව තිබූ රු. කෝටි අටක (8) පමණ සමස්ත රන් බඩු තොගයෙන් අස්ථානගත වූ නිශ්චිත රන් බඩු ප්‍රමාණය සහ දේපළවල වටිනාකම මෙතෙක් නිල වශයෙන් ගණනය කර නොමැති බව ද පොලිසිය සඳහන් කරනවා.

මංකොල්ලකරුවන් විසින් බැංකුවේ ආරක්ෂිත සී.සී.ටී.වී. (CCTV) කැමරා පද්ධතියේ ඩී.වී.ඩී. (DVD) යන්ත්‍ර ද ගලවාගෙන ගොස් ඇති අතර, සේප්පු බිඳීම සඳහා යකඩ කපන ග්‍රයින්ඩරයක් (Grinder) භාවිත කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් පසු සිරකර සිටි ආරක්ෂක නිලධාරියා කෑගැසීමේ ශබ්දය ඇසී, මාර්ගයේ විරුද්ධ පැත්තේ පිහිටි වෙළඳසැලක පුද්ගලයකු පැමිණ සෝදිසි කිරීමේදී මෙම මංකොල්ලය පිළිබඳව පළමුවෙන් හෙළි වී තිබූ බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන අතර, ස්ථානීය අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සලකුණු නිලධාරීන් කැඳවා අදාළ ස්ථානයේ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

+++

+


කොල්ලුපිටියේදී ත්‍රීරෝද රථයකට ගිනි තැබූ තරුණයෙක් දුම්රියට පැන දිවි නසා ගනී

(23.06.2026 – hirunews.lk)

කොල්ලුපිටිය පොලිස් වසමට අයත් පහළ බගතලේ පාර මුහුදු මාවත හංදිය අසලදී අද (23) පෙරවරුවේ ත්‍රීරෝද රථයකට ගිනි තබා, ඉන් අනතුරුව ධාවනය වෙමින් තිබූ දුම්රියකට පැන තරුණයකු සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මුලස්ථානය පවසනවා.

මෙසේ සියදිවි හානිකර ගෙන ඇත්තේ බදුරලිය, හැඳිගල්ල ජනපදය, දික්හේන, අක්කර හැත්තෑව ලිපිනයේ පදිංචිව සිටි එම්.කේ.ටී. රනිෂ්ක නමැති 26 හැවිරිදි තරුණයෙක්.

පොලිසිය පවසන පරිදි අද (23) පෙරවරු 09:30 ට පමණ අදාල තරුණයා විසින් පදවාගෙන පැමිණි රතු පැහැති ත්‍රීරෝද රථය මුහුදු මාර්ගය අසල නවතා ඊට ගිනි තබා තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු ඒ අසලින්ම පිහිටි දුම්රිය මාර්ගයට ගොස්, බම්බලපිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ අංක 59 දරණ මාතර සිට මරදාන බලා ධාවනය වූ දුම්රියට පැන ඇතැයි පොලිසිය පවසනවා.

දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුව ඇති අතර, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ භටයින් පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ත්‍රීරෝද රථය බදුරලිය, හැදිගල්ල ජනපදයේ පදිංචි 34 වියැති කාන්තාවකට අයත් එකක් බවයි.

කෙසේ වෙතත්, මෙම තරුණයා ත්‍රීරෝද රථයට ගිනි තැබීමට සහ සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ත්‍රීරෝද රථයේ හිමිකාරිය සහ මියගිය තරුණයා අතර ඇති සම්බන්ධතාවය කුමක්ද යන්න පිළිබඳවද මෙතෙක් තොරතුරු හෙළි වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.


අගවිනිසුරුට එරෙහිව කැරැල්ලක් | රන්ජන් – එස්.බී. ට මොකද වුණේ? (23.06.2026)

+


හොර ඉංජීනේරුවාගේ අනියම් බිරිඳගේ පැටිකිරියත් එළියට, දෙන්නා රඟපෑවේ අක්කා-මල්ලි වගේ (23.06.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *