2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ


2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

(19.06.2026 – hirunews.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463 දෙනෙකු පෙනී සිටියා.

ඒ අනුව, එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කළ හැකියි.


නානුඔය – බදුල්ල දුම්රිය මග පිලිසකර කර අවසන් (19.06.2026)

+


ඩෙංගු අධි වසංගතයක් වෙනවා – වෛද්‍යවරු වහාම මාධ්‍ය කැඳවයි – මෙන්න දැන් ලැබුණු විශේෂ පුවත (19.06.2026)

+


රන් ආලේපිත ගිනිඅවියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් කෙරේ; අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

(19.06.2026 – hirunews.lk)

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයකින් හමුවූ රන් ආලේපිත T-56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධ නඩුවෙන් මීට පෙර මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි යළි සැකකරුවකු ලෙස නම් කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා අද (19) නියෝග කළා.

ඒ අනුව, ඉදිරි දිනයකදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් හිටපු මන්ත්‍රීවරයා වෙත නොතීසි නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙම රන් ආලේපිත ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව සෘජු හෝ පරිවේෂණීය සාක්ෂි නොමැති බව පවසමින් එවකට සිටි පූර්වගාමී ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා විසින් ඉකුත් වසරේ ජූලි 29 වැනිදා දුමින්ද දිසානායකව නඩුවෙන් මුදා හැරීමට නියෝග කර තිබුණා.

කෙසේ වුවත්, නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් ඔහුව මෙලෙස යළි සැකකරුවකු ලෙස නම් කර ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කරන්නේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී-56 ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාව පසුගිය වසරේ මැයි මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

පසුව ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය, දැඩි ඇප කොන්දේසි මත ඔහුව මුදා හැරීමටයි පියවර ගත්තේ.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් (3) ජුලි 03 දක්වා රිමාන්ඩ්

(19.06.2026 – hirunews.lk)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සහ රජයේ ආයතනවල නිල මුද්‍රා කූඨ ලෙස සකස් කොට සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙක් ජුලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ‘ප්‍රියන්ත රත්නායක’ ඇතුළු ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවකයක් ලෙස කටයුතු කළ ‘විජේවීර පටබැඳිගේ කුෂාන්’ හා ‘සුදත් ඉන්දික’ යන අය මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු (1) සැකකරුගේ නිවස පරීක්ෂා කළ බව සඳහන් කළා.

එහි තිබී ‘මහේස්ත්‍රාත් වෙනුවෙන් රෙජිස්ට්‍රාර් කොළඹ’ ලෙස සකසන ලද මෙම අධිකරණයේ නිළ මුද්‍රාවක් සොයා ගත් බවත්, ඊට අමතරව ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ, නොතාරිස්වරුන්ගේ, වෛද්‍යවරුන්ගේ, විදුහල්පත්වරුන්ගේ, මහ නගර සභා හා ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ ඇතුළු රාජ්‍ය ආයතනවල නිළ මුද්‍රා විශාල සංඛ්‍යාවක් සොයා ගත් බවත්, සඳහන් කර තිබෙනවා.

මෙම සැකකරු සන්තකයේ තිබී සොයා ගත් රජයේ නිළ මුද්‍රා තොගය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පළමු සැකකරුගේ අනුදැනුම මත දෙවන (2) හා තුන්වන (3) සැකකරුවන් විසින් දෙල්කඳ ඉඩම් රෙජ්ස්ට්‍රාර් කාර්යාලයේ තැන්පත් කර ඇති ඉඩම් මුල් ඔප්පු සොරාගෙන පළමු (1) සැකකරුට රුපියල් ලක්ෂයකට (100,000) අධික මුදලකට විකිණීම සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් පැවසුවා.

මෙම සැකකරුවන් මෙසේ සංවිධානාත්මක ආකාරයට කටයුතු කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉඩම් ගණනාවකට ඔප්පු සකසා ඇති බවට විමර්ශනවලදී සැක කළ හැකි කරුණු අනාවරණය වී ඇති බවත්, විමර්ශන අවසන් වී නොමැති බැවින් මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම සැකකරුවන් ජුලි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා ෴


විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ගසා කෑ ඩුබායි සුද්දා අධිකරණයේදී වරද පිළිගනී

(19.06.2026 – 21:48 +0530 – sinhala.adaderana.lk)

සංචාරක වීසා උපයෝගී කර ගනිමින්, ඩුබායි හා මෝල්ඩෝවා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන’ නොහොත් ‘ඩුබායි සුද්දා’ ඔහුට විරුද්ධව ඇති චෝදනාවලට වරද පිළිගෙන තිබේ.

ඒ අදාළ නඩුව ජූනි 16 වනදා කැදවූ අවස්ථාවේදීය.

කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 7 ක් ලබාගෙන පොරොන්දු වූ පරිදි අදාළ රැකියා ලබානොදීම හා විදේශ රැකියා ලබාදීම සඳහා කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැති වීම ඔහුට ඇති චෝදනා වේ.

ඒ අනුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 7 ක මුදලක් අධිකරණයේ තැන්පත් කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

මෙම නඩුව අගෝස්තු 25 වනදා නැවත කැදවීමට නියමිතය.

‘ඩුබායි සුද්දා’ට විරුද්ධව මේ හා සමාන නඩුවක් වැලිසර අධිකරණයේදී ජූනි 26 දින ද කැඳවීමට නියමිතව ඇත.

කෙසේවෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොහු විසින් සිදුකරන ලද මෙවන් විදේශ රැකියා සම්බන්ධ වංචාවන් ඇත්නම් ඒ පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි කරන ලෙසය ෴


භෞත චිකිත්සකවරියගේ මරණයට හේතුව ගෙල සිරවීමක් ද? විමර්ශන නිලධාරින්ට සැකයක්

(19.06.2026 – 19:23 +0530 – sinhala.adaderana.lk)

අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමකින් සිදුවූ මරණයක් බවට විමර්ශන නිලධාරින් සැක පළ කරයි.

මේ අතර මෙම ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන ඇයගේ පෙම්වතා සෙවීම සඳහා පොලිසිය මහජන සහාය පතන අතර තවමත් සැකකරු සොයාගැනීමට නොහැකිවී තිබේ.

කෙසේවෙතත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ කරගැනීමට විමර්ශන නිලධාරින් සමත්ව ඇත.

ඒ අනුව මෙම සැකකරු මෙම තරුණිය ඉදිරියේ ‘දිනෙත් දිසානායක’ නමින් පෙනී සිට ඇතත් ජාතික හැඳුනුම්පතේ සඳහන් ඔහුගේ සත්‍ය නම ‘ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රියාන් ජයසුන්දර’ බවත් ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

එසේම මෙම සැකකරු බොරු කොණ්ඩයක් පැලඳ සිය සත්‍ය පෙනුම වසන් කරගෙන සිට ඇති අතර ඔහුට තරුණියන් රැසක් සමඟ සම්බන්ධතා පැවති බවත් කාන්තාවන් රවටා මුදල් ලබාගැනීමේ සිද්ධි රැසකට මොහු සම්බන්ධ බවට ද තොරතුර වාර්තා වෙයි.

සැකකරුට එරෙහිව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය සහ පාදුක්ක යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත් ඔහු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද කාන්තාවන් රවටා මුදල් ලබාගැනීම් සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව පැවසේ.

43 හැවිරිදි තිදරු පියෙක් වන සැකකරුගේ මෙම අපරාධ සඳහා ඔහුගේ බිරිඳ ද අධාර අනුබල දීම් සිදුකරන බවට පොලිසිය සැක පළ කරයි.

එමෙන්ම මෙම සැකකරු සැබැවින්ම ‘මෘදුකාංග ඉංජිනේරුවරයෙක්’ ද යන්නත් සැක සහිත බවත් තරුණියන් රැවටීම සඳහා එවැන්නක් පවසන්නට ඇතැයි සැකකරන බව විමර්ශන නිලධාරින් කියයි.

සැකකරු සම්බන්ධයෙන් මේවන විට නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කණ්ඩායම් තුනක් (3) මගින් විමර්ශන ක්‍රියාත්මකය.

+++

තෙල්දෙණිය හැඬවූ භෞත චිකිත්සකවරියගේ අවසන් කටයුතු සිදුකෙරේ – ලොකු අයියා කියූ සංවේදී කතාව (19.06.2026)

+


දැරණියගලදී පොලිසිය සහ තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

(19.06.2026 – 19:04 +0530 – sinhala.adaderana.lk)

අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් දැරණියගල නූරිපාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට ගොස් ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු වාර්තා වී තිබේ.

අවිස්සාවේල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස ප්‍රහාරයකට ලක්වී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදීය.

එහිදී පොලිස් නිලධාරීන් සිව්දෙදෙනකු (4) තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර පහරදීම සිදුකළ ජාවාරම්කරුවන් පිරිසද පොලිස් අත්අඩංගුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශය පැවසීය.

අදාළ නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද නිර්නාමික පෙත්සකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී මත්ද්‍රව්‍ය සමග අදාළ නිවසේ සිටි තරුණයන් සිව්දෙනෙකු (4) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් සතුව මත්ද්‍රව්‍ය නොමැති බවත්, පොලිසිය තමන්ට පහරදුන් බවත් පවසමින් එහිදී තරුණයන් පොලිසියට චෝදනා එල්ල කර ඇත.

පසුව, පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකු (2) මුදාහරින ලෙස බලකරමින් අදාළ තරුණයන් පිරිස සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකුට තර්ජන කර තිබුණි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා සැකකරුගේ මාංචු ගලවා ඉවත් කිරීමත් සමග පොලිස් නිලධාරියාට පිරිස පන්න පන්නා පහරදී තිබේ.

පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියක් තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ඇති බව පවසමින් පසුව තරුණයෙකු ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවද වාර්තා වෙයි.

අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස මුදාගෙන තිබූ අතර අදාළ මුදල් පසුම්බිය දැරණියගල පොලිසියට භාරදී තිබුණි.

පසුව තරුණයන් සිව්දෙනෙකු (4) දැරණියගල රෝහලට ඇතුළත්ව ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම තරුණයන්ගෙන් පහරකෑ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) ද ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්ව ඇති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *