අළු ප‍්‍රතිශතතය 26% පනී.. ගල් අගුරු පරීක්‍ෂණ වාර්තා එලියට.. ප‍්‍රතික්‍ෂෙප මට්ටමේ ඒවා බාර අරන්..

අළු ප‍්‍රතිශතතය 26% පනී.. ගල් අගුරු පරීක්‍ෂණ වාර්තා එලියට.. ප‍්‍රතික්‍ෂෙප මට්ටමේ ඒවා බාර අරන්..


අළු ප‍්‍රතිශතතය 26% පනී.. ගල් අගුරු පරීක්‍ෂණ වාර්තා එලියට.. ප‍්‍රතික්‍ෂෙප මට්ටමේ ඒවා බාර අරන්..

(23.02.2026 – lankacnews.com)

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ගෙන්වන ලද මුල් ගල්අඟුරු නැව් හයේම (6) අඩංගු ගල්අඟුරු, අනුමත ටෙන්ඩර් ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් පහත් මට්ටමක පවතින බව රසායනාගාර වාර්තා මගින් තහවුරු වී ඇතැයි බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා පවසයි.

අදාළ ටෙන්ඩර් කොන්දේසි අනුව ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ (Reject levels) පවතින ගල්අඟුරු මෙලෙස දිගින් දිගටම බලාගාරය වෙත භාරගෙන ඇති බව හෙළිදරව් වී තිබේ.

රලපනාව මහතා පෙන්වා දෙන පරිදි, ගල්අඟුරු ප්‍රමිතිය මැන බලන ප්‍රධාන පරාමිතීන් තුනම (3) මෙම නැව් හයේදී (6) අසමත් වී ඇත.

ටෙන්ඩර් කොන්දේසි අනුව මෙය 5900 kCal/kg ට වඩා වැඩි විය යුතුය. නමුත් වාර්තා වලට අනුව නැව් හයේම (6) වාර්තා වී ඇත්තේ 5078 kCal/kg සිට 5689 kCal/kg දක්වා වූ ඉතා අඩු අගයන්ය.

අවම වශයෙන් 25% ක මට්ටමක පැවතිය යුතු වුවද, පරීක්ෂාවට ලක් කළ නැව් හයේම එම අගය 22% ත් 25.4% ත් අතර පරාසයක පවතී.

උපරිම සීමාව 16% ලෙස නියම කර තිබුණද, මෙම ගල්අඟුරු වල අළු ප්‍රමාණය 21% සිට 26.9% දක්වා ඉතා ඉහළ මට්ටමක පවතී ෴


අකුරේගොඩ වෙඩික්කරුගෙන් තවත් තොරතුරු රැසක් එළියට

(23.02.2026 – 12:30 +0530 – sinhala.adaderana.lk)

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පසුගියදා නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව තවත් කරුණු රැසක් අනාවරණ කරගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම ද්විත්ව ඝාතනයට පෙර වෙඩික්කරුවන් දෙදෙනා (2) ලැඟුම්හල් වෙත රැගෙන ආ කොට්ටාවේ පදිංචි ජනක නැමැත්තෙක්ද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පැවසුවේ විදෙස්ගතව සිටින ‘මල්වානේ ටුටූ’ නැමැති අපරාධකරුගේ උපදෙස් මත වෙඩික්කරුවන් ලැඟුම්හල් වෙත රැගෙනවිත් ඇත්තේ මෙම පුද්ගලයා බවය.

මෙම සැකකරු ව්‍යාජ නම් භාවිත කරමින් වෙඩික්කරුවන්ට ලැඟුම්හල් වෙත නැවතී සිටීමට පහසුකම් සලසා දී ඇත.

‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිත කරන මෙම සැකකරු ‘මල්වානේ ටුටූ’ගේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම සිදුකරන පුද්ගලයෙක් ලෙසටත් හඳුනාගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැනුණු කොට්ටාවේ ජනක සමඟ මේ දක්වා අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළව වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවේ පසු වේ.

එමෙන්ම අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගත් 46 හැවිරිදි ‘සුනිල් රංජිත්’ නම් වෙඩික්කරු ද ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.

තමා යුද හමුදාවේ සිටි අවදියේ ‘කරන්දෙණියේ සුද්දා’ හඳුනාගත් බව ද සැකකරු පවසා ඇත.

එවක ‘කරන්දෙණියේ සුද්දා’ත් යුද හමුදාවේ පාඨමාලාවක් හදාරමින් සිට ඇත.

පසුව යුද හමුදාවෙන් ඉවත් වූ තමා සොරකම්වල නිරත වී ජීවත් වූ බවත්, එක් අවස්ථාවක සොරකමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත වූ බවත් වෙඩික්කරු පවසා තිබේ.

එම කාලයේදීම ‘හිත හොඳ දොස්තර’ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ‘කරන්දෙණියේ සුද්දා’ත් රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති අතර පසුව දෙදෙනා (2) හිතවත් වී ඇති බව ද වාර්තා වේ.

පසුව ඇප ලබා පිටතට පැමිණි පසු සිය දියණිය වැඩිවියට පත්ව සිටීම හේතුවෙන් තමා රුපියල් ලක්ෂ එක හමාරක (1½) මුදලක් ‘කරන්දෙණියේ සුද්දා’ගෙන් ඉල්ලා ගත් බව නීතිඥ ඝාතනයේ සැකකාර වෙඩික්කරු පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අවස්ථා රැසකදීම ‘සුද්දා’ තමාට හෙරොයින් ලබාදුන් බවය.

සති කිහිපයකට පෙර ‘කරන්දෙණියේ සුද්දා’ තමා අමතා “ලෝයර් බුද්ධික මල්ලවආරච්චි දැන් මගේ නඩු කතාකරන්නේ නැහැ. ‘ලොකුපැටී’ගේ නඩු තමයි කතාකරන්නේ. ඒ නිසා එයාට ගහන්න ඕනේ” යැයි පැවසූ බව සැකකාර වෙඩික්කරු පොලිසියට පවසා ඇත.

ඒ අනුව නීතිඥවරයා පමණක් නොව ඔහුගේ බිරිඳත් ඝාතනය කරන ලෙසට ‘කරන්දෙණියේ සුද්දා’ තමාට උපදෙස් දුන් බව ද ඔහු අනාවරණ කර තිබේ.

ඒ අනුව ප්‍රහාරය දියත් කෙරුණු බවත්, වෙඩි තැබීමට යාමට පෙරත් තමා හෙරොයින් පානය කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.

ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා (2) සහ රියදුරු එකිනෙකා නොහඳුනන අතර එබැවින් වෙඩික්කරුවන් පැමිණි සහ පලාගිය මෝටර් රථයේ රියදුරු කවුදැයි මෙතෙක් අනාවරණ වී නොමැත.

ඔවුන් දිවයිනේ ප්‍රදේශ 3 ක සිට පැමිණ ඇති බවට පොලිසිය සැකපළ කරයි.

එමෙන්ම ද්විත්ව ඝාතනයෙන් පසු ඊට යොදාගත් ගිනිඅවි වෙනත් වාහනයට මාරු කර තිබේ.

අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු පොලිසියට පවසා ඇත්තේ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනයෙන් පසු මෝටර් රථයෙන්ම කොට්ටාවට පැමිණි තමා එතැනින් බැස, බස් රථයකින් දෙහිවලට ගොස් පසුව අම්බලන්ගොඩට පැමිණි බවය.

පසුව තමා ‘කරන්දෙණියේ සුද්දා’ අමතා සැඟවී සිටින්නේ කොහේදැයි ඇසූ විට “හරි තැනක් නැහැ. කොහේටහරි වෙලා හිටපන්.” යැයි ‘සුද්දා’ පැවසූ බව වෙඩික්කරු පොලිසියට හෙළි කර තිබේ.

ඔහු අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසට පැමිණ, එම නිවසට යාබඳ කුරුඳු වගාවේ වැඩකරමින් සිට ඇත්තේ ඒ අනුවය.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සැකකාර වෙඩික්කරු දින 90 ක් රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවය.

+++

අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් ‘මහසොහොන් කලූ’ට තවත් ඝාතන 10 ක් ගැන චෝදනා

(23.02.2026 – hirunews.lk)

අකුරේගොඩ සුපිරිවෙළෙදසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘ගෝනපීනුවලගේ සුනිල් රංජිත්’ හෙවත් ‘මහසොහොන් කලූ’ නැමැති වෙඩික්කරු මීට පෙර මනුෂ්‍ය ඝාතන 10 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට දින 90 ක රැඳවුම් නියෝග මත බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේ භාරව සිටින ‘මහසොහොන් කලූ’ නමැති මෙම සැකකරු නීතිඥවරයා ඝාතනය සහ සෙසු ඝාතන සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පෙර දින සැකකරු ගිනි අවි පරීක්‍ෂා කළ බව කියන කොටිකාවත්තේ දෙමහල් නිවස ද, විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරික්ෂා කිරීමට නියමිතයි.

එලෙස කොටිකාවත්තේ දෙමහල් නිවසකදී ගිනි අවි පරීක්‍ෂා කළ සැකකරු පසුව පන්නිපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලකට පැමිණ ඇති බව සඳහන්. එම ස්ථානයේදී ‘කරන්දෙණියේ සුද්දා’ගේ සමීපතමයෙකු මාර්ගයෙන් මොහුට ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහ රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවට ද වැඩිදුරටත් හෙළිවී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ ‘කරන්දෙණිය සුද්දා’ මෙම සැකකරු සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අතර මොහු මීට පෙර කිසියම් අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප නියමවූ අවස්ථාවේ එම ඇප මුදල ද ගෙවා ඇත්තේ ‘කරන්දෙණියේ සුද්දා’ විසින් බව හෙළිවී තිබෙනවා.

ඝාතනය සිදුවූ දිනයේ ද ‘කරන්දෙණිය සුද්දා’ විසින් ‘මහසොහොන් කලූ’ නමැති මෙම සැකකරුට දුරකතන ඇමතුම් කිහිපයක් ලබාදී ඇති බවටයි විශ්ලේෂණ වාර්තා මගින් තහවුරු වී ඇත්තේ.

බද්දේගම පදිංචි 46 හැවිරිදි මෙම සැකකරු හිටපු යුධ හමුදා සෙබළෙකු වන අතර 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙකු වනවා ෴


අතක් කපා යතුරුපැදියක් මංකොල්ලකෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට

(23.02.2026 – 10:21 +0530 – sinhala.adaderana.lk)

හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියකුගේ අත මන්නා පිහියකින් කපා බරපතළ ලෙස තුවාල සිදු කර යතුරුපැදියක් මංකොල්ලකෑම ඇතුළු සොරකම් කිරීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් වයස අවුරුදු 22, 33, 35 සහ 36 යන වයස් කාණ්ඩවල පසුවන තිබ්බටුගොඩ, හොරණ, මොරගහහේන, බුලත්සිංහල ආදී ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් බව පොලීසිය සඳහන් කරයි.

එම පිරිස අතර මංකොල්ලකෑ භාණ්ඩ කොටස්කර විකිණීම සඳහා ඒවා මිලදී ගෙන තමන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද සිටියි.

සැකකරුවන් මංකොල්ලකෑම සඳහා භාවිත කරන ලද සුදු යකඩ මන්න පිහියක් ඇතුළු මංකොල්ල කන ලද සහ සොරකම් කරන ලද යතුරුපැදි තුනක් (3) පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඉන් එක් යතුරුපැදියක් විකුණා කැබලි කර තිබියදී බුලත්සිංහල ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ඊට අමතරව සැකකරුවන් විසින් සොරකම් කරන ලද තවත් භාණ්ඩ පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

රාත්‍රී මුර සංචාරයක් අතරතුර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධ අනාවරණය කර ගත් බව පොලීසිය සඳහන් කරයි.

මොවුන් විසින් හොරණ නවම් මහා පෙරහර දින හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීවරයෙකුගේ අත මන්නා පිහියකින් කපා බරපතළ ලෙස තුවාල කර යතුරුපැදියක් සොරාගෙන තිබේ.

මෙම සැකකරුවන් එම යතුරුපැදියේ අංක තහඩු වෙනස් කර හේනේගම, කහතුඩුව, කුඹුක, ගෝනපල සහ හොරණ ප්‍රදේශයේ යතුරුපැදි, දුරකථන සහ මුදල් මංකොල්ලකා ඇති බවට සඳහන්ය.

මොවුන් තිදෙනා මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වුවන් බව පොලීසිය ප්‍රකාශ කරයි.

සැකකරුවන් අද (23) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ ෴


ත්‍රීරෝද රථ රියදුරු ඝාතනය කර රිය පැහැරගත් 16 හැවිරිදි සැකකරු අල්ලයි

(23.02.2026 – 09:25 +0530 – sinhala.adaderana.lk)

පුත්තලම ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ල කෑ බව කියන සැකකරුවෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය පදිංචි 16 හැවිරිදි අයෙකුය.

ඊයේ (22) දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද ඇමතුමක් මත පොලීසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර තිබුණි.

එහිදි අනාවරණය වි ඇත්තේ මෙලෙස ඝාතනය වී ඇත්තේ පසුගිය 21 වැනි දින සිය ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි අයෙකු බවය.

එදින (21) රාත්‍රි 09:30 ට පමණ සිය නිවසට පැමිණ ඇති මෙම සැකකරු සමග මරණකරු අදාළ කුලී ගමන පිටත්ව ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ ත්‍රීරෝද රථය කොල්ලකෑම සඳහා රියදුරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් සැකකරු විසින් පහරදී රියදුරු ඝාතනය කර ඇති අතර පසුව ඔහුව දමා ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇත.

පසුව පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් ආසන්නයේ සැකකරු විසින් ත්‍රීරෝද රථය අත්හැර දමා ගොස් ඇති අතර පොලීසිය විසින් රථය පොලිස් භාරයට ගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සිද්ධිය සම්බන්ධව සැකකරු පොලීසිය විසින් ඔහුගේ නිවසේ සිටියදී ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු අතර මුදල් සහ ත්‍රීරෝද රථය කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදුකළ බවද සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴


Derana 360 | චාමර සම්පත් – පාර්ලිමේන්තු මන්ත්‍රී | 23.02.2026

+


+


පියාගේ පහරදීමකට ලක්ව රෝහල්ගත වූ සාමාන්‍ය පෙළ සිසුවිය පොලිස් ජීප් රථයෙන් විභාග ශාලාවට

(23.02.2026 – hirunews.lk)

පියාගේ පහරදීමකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය පෙළ සිසුවියක, අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පොලිස් ජීප් රථයකින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් විභාගයට පෙනී සිටීමට සැලැස්වීමේ පුවතක් අලුත්ගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

දර්ගා නගරයේ පදිංචි මෙම සිසුවිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර, පසුගිය සෙනසුරාදා විභාගය නිමවී පැමිණ ඇය 10 වසරේ ඉගෙනුම ලබන සිය නැගණිය ද සමඟ අසල මිතුරියකගේ නිවසට ගොස් ඇති බවට වාර්තා වෙනවා.

ඔවුන් ආපසු නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසා උරණ වූ පියා සිසුවියන් දෙදෙනාටම පහර දී තිබූ බව පොලිසිය පවසනවා.

මවගේ රැකවරණය අහිමි මෙම දැරියන් දෙදෙනා පියා සමඟ ජීවත් වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

පියාගේ ප්‍රහාරය ඉවසාගත නොහැකි වූ අක්කා සහ නංගී ඊයේ (22) උදෑසන අලුත්ගම පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති අතර, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මැදිහත් වී ඔවුන් දෙදෙනා අලුත්ගම රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබුණා.

මේ පිළිබඳව දැනුවත් වූ අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා, රෝහලට ගොස් සිසුවියන්ගේ සුවදුක් විමසා ඇති අතර එහිදී වැඩිමහල් සිසුවිය තමන් විභාගයට පෙනී සිටින බව පවසා තිබේ.

ඒ අනුව අද (23) උදෑසන ස්ථානාධිපතිවරයා විසින් සිය නිල ජීප් රථය කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට ලබා දී, සිසුවියට අවශ්‍ය ආහාර පාන මෙන්ම පෑන්, පැන්සල් සහ කවකටු පෙට්ටි ඇතුළු උපකරණ ද සපයා දී තිබෙනවා.

පසුව රෝහල් බලධාරීන්ගේ ද අවසරය ඇතිව, පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ සිට ජීප් රථයෙන් දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය වෙත ඇයව රැගෙන ගොස් පස්වරු 04:10 ට විභාගය අවසන් වූ පසු නැවතත් ඇයව ආරක්ෂිතව රෝහල වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති සම්පත් සංජීවගේ උපදෙස් මත කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන කල්පනා (11508), වාත්තුහේවා (10282) සහ පොලිස් කොස්තාපල් රියදුරු (99008) යන නිලධාරීන් මෙම දරුවා විභාගය සඳහා රැගෙන ගොස් තිබුණා.

සිසුවියන්ට පහර දී ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින සැකකාර පියා අත්අඩංගුවට ගැනීම සඳහා අලුත්ගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් ෴


ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රේමතිලකට නඩු

(23.02.2026 – hirunews.lk)

2024 – ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් (3) කලින් පිටවීමේ සිද්ධියට අදාළව නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව අදාළ වග උත්තරකරුට ලබන මස 26 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසයි නියෝග කෙරුණේ.

මේ නඩුකරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

අදාළ ප්‍රශ්න කලින් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් විභාග කළ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල 2024 වසරේ දෙසැම්බර් මස 31 වනදා තීන්දුවක් ප්‍රකාශයට පත්කළා.

එහිදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අයි.ජී.එස්. ප්‍රේමතිලකට රුපියල් මිලියන තුනක (3) මුදලක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවයි නියෝග කෙරුණේ.

ඒ අනුව, එය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *