අකුරේගොඩ ද්විත්ව ඝාතනයට හේතුව හෙළිවෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට හේතුව හෙළිවෙයි


අකුරේගොඩ ද්විත්ව ඝාතනයට හේතුව හෙළිවෙයි

(22.02.2026 – hirunews.lk)

අකුරේගොඩ සුපිරිවෙළෙදසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අකුරේගොඩ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා (2) ගෙන් ටී-56 වර්ගයේ ගිනි අවියෙන් නීතිඥවරයාට වෙඩි තැබූ පුද්ගලයායි.

එමෙන්ම මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ද්විත්ව ඝාතනය අදාළව කරුණු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

ඝාතනයට පෙර ‘කරන්දෙණිය සුද්දා’ විසින් බද්දේගම පදිංචි 46 හැවිරිදි මෙම හිටපු යුධ හමදා සෙබළාට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

එහිදී ‘කරන්දෙණිය සුද්දා’ විසින් සැකකරුට දුරකථනයෙන් අමතා ප්‍රකාශ කර ඇත්තේ “ගහන්න තියෙන්නේ ලෝයර් කෙනෙකුට. මගේ පාස්පෝට් විස්තර ලෝයර් ගාව තියෙනවා. එයා ‘ලොකු පැටී’ එක්කත් සම්බන්ධයි. මගේ තොරතුරු ලොකු පැටීට දෙනවා. ලෝයර් ට විතරක් නෙවේ වයිෆ්ටත් තියන්න ඕන” යනුවෙන්.

මීට අමතරව තමන්ව ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ තොරතුරු නීතිඥවරයා සන්තකයේ පවතින බවටද ‘කරන්දෙණිය සුද්දා’ විසින් සැකකරුට ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.

මෙම වෙඩික්කරු 2009 වර්ෂයේ ලබාදුන් පොදුසමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙක් වන අතර, සක්‍රීය සේවයේ සිටින කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘කරන්දෙණිය සුද්දා’ හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ඝාතනය සිදුවූ පසුගිය 13 වනදාට පෙර දින මෙම සැකකරු විසින් කුලී ත්‍රිරෝද රථයක් මගින් කොටිකාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට පැමිණ වෙඩි තැබීමට යොදාගත් ටී-56 සහ රිවෝල්වරය පරීක්ෂා කර තිබෙනවා.

ඒ කරන්දෙණිය සුද්දා කළ දැනුම්දීමක් මත යි.

අනතුරුව ඔහු පැමිණ ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකට යි.

ඔහුට එහි සිටින අවස්ථාවේ ඝාතනය සදහා රුපියල් ලක්ෂයක මුදලක් සමග ‘අයිස් මත්ද්‍රව්‍ය’ ද ලබාදුන් බවට පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධික ලෙස ‘අයිස් මත්ද්‍රව්‍ය’ සදහා ඇබ්බැහිවූවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු අම්බලන්ගොඩ කුරුඳු කැළයට යාබද කුකුළු ගොවිපළක සිටියදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (21) පස්වරුවේයි.

ඒ ඝාතනයට පසුදින සිට සැකකරු සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි ඔහුගේ වැඩිමහල් සොහොයුරිය සමග සිදුකළ දුරකථන දත්ත විශ්ලේෂණය ඔස්සේ ලබාගත් තොරතුරු අනුවයි.

ඒ අනුව බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් පළමුව සැකකරුගේ සහෝදරිය සැකපිට පොලිස් භාරයට ගනු ලැබුවා.

එහිදී සිදුකළ දුරකථන දත්ත විශ්ලේෂණ ඔස්සේ සෙයාගැනීමට හැකිවී ඇත්තේ සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටයි.

අනතුරුව වහාම ක්‍රියාත්මක වූ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් සැකකරු සැඟව සිටි අම්බලන්ගොඩ කුරුඳු කැළයට යාබද කුකුළු ගොවිපළට ගොස් තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී අපරාධය සදහා භාවිත කරන ලද ජංගම දුරකථනයද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුට කුරුඳු කැළයට යාබද කුකුළු ගොවිපළේ නවාතැන් ලබාදුන් අම්බලන්ගොඩ – දෙල්දුවේ පදිංචි පුද්ගලයෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු භාවිත කරන ලද යතුරුපැදිය අම්බලන්ගොඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දින 08 කට පසුව මෙලෙස එක් (1) වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඝාතනයට පැමිණි අනෙක් වෙඩික්කරු වන ‘ජින්තුපිටියේ වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු’ මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව මොහු සහ අනෙක් වෙඩික්කරු කොට්ටාව ප්‍රදේශයෙන් මෝටර් රථයෙන් බැස තිබෙනවා.

අනතුරුව මෙම සැකකරු කොට්ටාව ප්‍රදේශයෙන් බස් රථයකට නැග දෙහිවල දක්වා ගමන් කර ඇති අතර, පසුව දෙහිවලින් බැස ගාලූ‍ පාර ඔස්සේ අම්බලන්ගොඩට තවත් බස් රථයකින් ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ.

මෙම සැකකරු වෙනත් වරදක් සඳහා මීට පෙර වසරක කාලයක් රිමාන්ඞ් භාරයේ සිට ඇති අතර, ‘කරන්දෙණිය සුද්දා’ විසින් ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දීමෙන් පසු ඇප ලබා පැමිණ තිබෙනවා.

ඒ අනුව සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් බවයි පොලිසිය සැක පළ කරන්නේ.

එමෙන්ම සැකකරු විසින් නීතිඥවරයාට ටී-56 ගිනි අවියෙන් උණ්ඩ ප්‍රහාර 08 ක් එල්ල කළ බවද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඝාතනයට පෙර සැකකරුවන් අකුරේගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කළ මෝටර් රථය පැදවූ රියැදුරු මීට පෙර එකිනෙකා හමුවී නොමැති බවටයි හෙළිව ඇත්තේ.

ඒ අනුව ඔවුන් මුල් වරට හමු වී ඇත්තේ මෙම ඝාතනය සිදුකිරීමටයි.

කෙසේ වෙතත් වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ මෝටර් රථයේ රියදුරු වෙනත් රටකට පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

+++

+++

ගනේමුල්ල ඝාතන සිද්ධියට අදාලව විදේශගතව සිටින සැකකරුවන් 7 කට ඉංග්‍රීසි භාෂාවෙන් රතු නිවේදන

(22.02.2026 – hirunews.lk)

‘ගනේමුල්ල සංජීව’ නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ප්‍රකට පාතාල කල්ලි නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් බව පැවසෙන මේ වන විට විදේශගතව සිටින සැකකරුවන් හත් දෙනෙකුට (7) ඉංග්‍රීසි භාෂාවෙන් රතු නිවේදන ගැනීමට පියවර ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පසුගිය (20) දා පැවසුවා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ බව අධිකරණයට දැන්වූවා.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට සඳහන් කර සිටියේ, ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව මේ වනවිට විදෙස් ගතව සැකකරුවන් හත් දෙනෙකු (7) සිටින බවයි.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට අදාලව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සියලු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකරුවන් මාර්තු 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී එක් (1) සැකකාරියක් පමණක් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් ‘සූම් තාක්ෂණය’ ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴


බූවැලිකඩ ප්‍රදේශවාසීන්ට පීඩා කළ හෝටල් හිමිකරු සොයා මෙහෙයුම්

(22.02.2026 – hirunews.lk)

ගිනි අවි පෙන්වා මරණීය තර්ජන එල්ල කිරීම සහ පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බව කියන මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ අවන්හල් හිමිකරුවෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අප කළ සොයා බැලීමකදී හෝටලය ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහන් කළේ, මෙම හෝටලයේ හිමිකරුවන් විසින් කලක් තිස්සේ ජනතාවට පීඩාකාරී වන අයුරින් කටයුතු කරමින් සිටින බවයි.

මහනුවර – බූවැලිකඩ අනගාරික ධර්මපාල මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවන් විසින් දිගින් දිගටම ප්‍රදේශවාසීන්ට පීඩාකාරී ලෙස හැසිරෙන බවට මහනුවර පොලිසියට පැමිණිලි ලැබී තිබුණා.

අදාළ හෝටලය ආසන්නයේ පදිංචි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ පසුගිය 15 වැනිදා රාත්‍රියේ කට්ටඩියෙකු ඇතුළු පිරිසක් ගෙන්වා යාතුකර්මයක් සිදු කර තිබුණා.

එම අවස්ථාවේ අදාළ අවන්හලේ හිමිකරු ඇතුළු පිරිසක් එම ස්ථානයට කඩා වැදී ගිනි අවියක් පෙන්වා පිරිස බියවද්දමින් එළවා දමා තිබුණේ යාතුකර්මයට ගෙනැවිත් තිබූ පුජා භාණ්ඩවලින්ම පහර දෙමින්.

මෙහි සිදුවන අනීතික ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලූ ‘හිරු ප්‍රවෘත්ති’ වෙත ගම්වාසීන් ප්‍රකාශ කළේ, අළුයම් කාලය දක්වා මහජන පීඩා ඇතිවන පරිදි අධික ඝෝෂාකාරී ශබ්ද නිකුත් කරමින් මෙම අවන්හලේ මත්පැන් සාද පවත්වන බවයි.

අප කළ විමසීමකදී පොලිසිය ප්‍රකාශ කළේ යාතුකර්මය සිදුකළ පුද්ගලයාට කළ පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ගිනි අවිය ඇතැතිව මරණීය තර්ජනය එල්ල කළ අවන්හලේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු (3) සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

+


බාල ගල්අඟුරු පාඩුව වසර 40 ක මන්ත්‍රී විශ්‍රාම වැටුප්වලට සමානයි – පුබුදු ජයගොඩ

(22.02.2026 – hirunews.lk)

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමෙන් සිදුව ඇති පාඩුව වසර 40 ක් පුරා මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගෙවීමට වැයවන මුදලට සමාන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙම ගල්අඟුරුවල ප්‍රමිතිය දැනගැනීම වැළැක්වීම සඳහා රසායනාගාර වාර්තා පවා නැවැත්වීමට ආණ්ඩුව උත්සාහ දැරූ බවයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ඉන්දීය සමාගමක් හරහා ආනයනය කළ ගල්අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් උද්ගතව තිබෙනවා.

එවැනි පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට පසුගියදා ලිපියක් යොමු කර තිබුණා.

දැනට ආනයනය කරන ලද ගල්අඟුරු නැව් 8 හි ගල්අඟුරු මගින් විදුලිය ජනනය කිරීමේදී ඇස්තමේන්තු කරන ලද සෘජු අලාභය එමගින් වෙන් වෙන් වශයෙන් දක්වා තිබෙනවා ෴


‘අයිස්’ සමග කොටුවූ නීතිඥයා රිමාන්ඩ්

(22.02.2026 – hirunews.lk)

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාළුවට ගිය ගොඩනැගිල්ලක අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වූ නීතිඥවරයා ලබන පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.

කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.වී.ඩී.පී. අනුරුද්ධ ඇතුළු කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

පොලිසිය එහි යන විටත්, සාංචි ආරච්චි වත්ත ප්‍රදේශයේ පිහිටි අඳුරු ගොඩනැගිල්ලක් තුළ කුප්පි ලාම්පුවක් දල්වාගෙන අදාළ නීතිඥවරයා සහ තවත් අයෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ පානය කරමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


රුවන්වැලි සෑය රථ ගාලේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු දින 6 ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

(22.02.2026 – hirunews.lk)

අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලි සෑය රථ ගාලේදී හෙරොයින් ග්‍රෑම් 255 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ලබන 27 වැනිදා දක්වා දින හයක (6) කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (22) පොලිසියට අවසර ලබා දුන්නා.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය බී-වාර්තාවක් මඟින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

සැකකරු දීර්ඝ කාලයක සිට අනුරාධපුර පූජා නගරය තුළ සැරිසරමින් ඉතා සූක්ෂම ලෙස හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවට විමර්ශන නිලධාරීන් සැක කරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය සහ ඊට සම්බන්ධ සෙසු පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ යුතු බැවින් ඔහු රඳවා තබා ගැනීමට අවශ්‍ය බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

මෙසේ රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර නිකුත් වූයේ මැදවච්චිය, ගොවිජන සේවා පාරේ පදිංචි ජී. ලක්ෂාන් ගුණසේකර නමැත්තා.

මීට පෙර හෙරොයින් සමඟ මැදවච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත උතුරු මැද පළාත් අපරාධ විමර්ශන වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීරගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කරුණානන්ද වන්නිනායක සහ කොස්තාපල් (105293) යාපා අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා ෴


පුත්තලමේදී රියදුරු ඝාතනය කොට ත්‍රිරෝද රථය පැහැරගනී

(22.02.2026 – hirunews.lk)

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කොට ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ තිල්අඩිය ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පස්දරු පියෙක්.

මොහු ඊයේ (21) රාත්‍රියේ නිවසේ රැඳී සිටි අවස්ථාවේ කිසියම් අයෙකු නිවසට පැමිණ ඔහු කැඳවාගෙන ගොස් ඇත්තේ කිසියම් ගමනක් යාමට අවශ්‍ය බවට පවසමින්.

කෙසේ වෙතත්, ඔහු අද (22) උදෑසන වනවිටත් නොපැමිණීම හේතුවෙන් නිවැසියන් විසින් ඒ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව සිදුකළ විමර්ශනවලින් අදාළ ත්‍රිරෝද රථ රියදුරුගේ සිරුර නිවසට ආසන්නයේ අතුරු මාර්ගයක තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා ෴


මග්ගොනදී ‘ගාලු කුමාරි’ දුම්රියේ ගැටුණු මෝටර් රියේ සිටි දෙදෙනෙක් (2) මරුට

(22.02.2026 – hirunews.lk)

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පයාගල සහ මග්ගොන අතර පිහිටි පැලපොල්ගහවත්ත දුම්රිය හරස් මාර්ගයේදී, ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ‘ගාලු කුමාරි’ සීඝ්‍රගාමී දුම්රියේ අද (22) ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් (2) මියගොස් ඇතැයි ‍පයාගල පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ මහියංගනයේ පදිංචි කරුණාරත්න මුදියන්සේලාගේ විහඟ රුක්ෂාන් බණ්ඩාර කරුණාරත්න (22) සහ රඹුක්කන, බෝලගම, ඇල්දෙනියවත්තේ පදිංචි රණසිංහ ආරච්චිගේ පසිඳු සුපුන් රණසිංහ (22) යන දෙදෙනායි.

රථයේ රියැදුරු වූ බුලත්සිංහල, පරගොඩ පදිංචි දැදිගමුවගේ කුෂාන් ප්‍රදීප් (39) යන අය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ අංක 8057 දරණ ‘ගාලු කුමාරි’ සීඝ්‍රගාමී දුම්රිය, මග්ගොන පැලපොල්ගහවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා බෝට්ටු අංගනය දෙසට ධාවනය වූ රතු පැහැති මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 200 ක් පමණ දුරකට ඇදී ගොස් තිබූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු (3) ගමන් කර ඇති අතර, ඔවුන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙක් (2) මියගොස් ඇති බවත්, තවත් අයෙක් (1) තුවාල ලබා ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසනවා.

මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පයාගල ප්‍රදේශයෙන් පැය කිහිපයකට අවහිර වී තිබු අතර, පසුව දුම්රිය බලධාරීන් සහ පොලිසිය එක්ව මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

+++

+


නාමල් රාජපක්ෂ බ්‍රිතාන්‍ය සංචාරය අරඹයි : මුලින්ම ලන්ඩන් බෞද්ධ විහාරයට

(22.02.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය එක්සත් රාජධානියෙහි සංචාරය අරඹමින් ලන්ඩන් බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.

මෙම වසරේදී එම විහාරස්ථානය සිය 100 වන සංවත්සරය සමරන බැවින්, ඒ වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ද ඔහු එහිදී පියවර ගෙන ඇති අතර, මහා සංඝරත්නයේ ආශිර්වාදය ද ලබාගත් බවයි වාර්තා වන්නේ.

+++

+


අරණායක තවත් බිහිසුණු අවදානමක් – කාපට් මාර්ගය දෙකට කැඩෙයි

(22.02.2026 – 17:22 +0530 – sinhala.adaderana.lk)

ඊයේ (21) ඇති වූ වැසි තත්ත්වය සමඟ දිට්වා සුළි කුණාටුවෙන් නායයෑමට ලක්වූ අරණායක ප්‍රදේශය යළි නාය අවදානමක් මතුව තිබේ.

ඒ අනුව අරණායක අම්බලකන්ද, දෝතල්ඔය, ගංතුන යන ප්‍රදේශවලට අවදානම් තත්ත්වයක් මතුව ඇත.

අරණායක නගරයේ සිට දෝතල්ඔය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරණය, අම්බලකන්ද ප්‍රදේශයේ දී ඊයේ (21) දිනයේ දී දෙකට මැදින් ඉතා භයානක ලෙස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති අයුරු ‘අද දෙරණ’ කැමරාවේ මෙලෙස සටහන් වුණි.

ජනතාව පවසන්නේ, පසුගිය දිනවල නාය යෑමට ලක්වුණු මෙම ස්ථානයෙහි පැවති ප්‍රධාන ඇළ මාර්ගයේ බෝක්කුව නිසි ලෙස පිළිසකර නොකිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය ඔස්සේ ජලය ගලා ගෙන ගොස් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවය.

මේ හේතුවෙන් දෝතල්ඔය ගම්මානයට වාහනවලින් පිවිසීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර, විකල්ප මාර්ගයක්වන පුවක්වත්ත මාර්ගය ද පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබේ.

කෙසේවෙතත් අරණායක ප්‍රදේශයේ දිට්වා සුළි කුණාව හේතුවෙන් සිදුවු බිහිසුණු නායයෑමෙන් ජීවිත 13 ක් අහිමි වූ අතර, නිවාස 100 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානි වී අධි අවදානම් තත්ත්වයට තවත් නිවාස 500 ක් පමණ පත්ව තිබුණි.

+


මාර්තු 03 ග්‍රාම නිලධාරීන් ගොළුවෙයි

(21.02.2026 – 18:34 +0530 – sinhala.adaderana.lk)

2009/2010 වර්ෂවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

ඔවුන් බඳවා ගැනීමේ සිට මේ දක්වාම සිදු කරන ලද අසාධාරණකම්, නොසලකා හැරීම් හා ග්‍රාම නිලධාරී සේවයට හඳුන්වා දුන් නව සේවා ව්‍යවස්ථාවෙන් සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව එළැඹෙන මාර්තු 03 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී මෙම පිරිස නිහඬ විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් මෙන්ම පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් ද සහාය දැක්වීමට තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යතුමා හා එම අමාත්‍යංශ ලේකම්වරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් සිදු කළ ද නිශ්චිත හා සාධනීය පිළිතුරක් ලබා නොදුන් බවට ද ඔවුහු චෝදනා කරති.

2026 මාර්තු 02 වන දින වන විට ග්‍රාම නිලධාරී සේවයේ වසර 17 ක් සම්පූර්ණ කර ඇති, දැනට සක්‍රීය සේවයේ සිටින ග්‍රාම නිලධාරීන්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් එනම් 2300 කට අධික නිලධාරීන් සංඛ්‍යාවක් මෙමගින් අසාධාරණයට ලක්ව ඇති බවද වාර්තා වේ.

එමෙන්ම මෙම නිශ්චිත, සාධාරණ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළැඹීමට ද 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම තීරණය කර තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *