හෙට (16) දිනයේ රට පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තීරණයක්

හෙට (16) දිනයේ රට පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තීරණයක්


හෙට (16) දිනයේ රට පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තීරණයක්

(15.02.2026 – 17:26 +0530 – sinhala.adaderana.lk)

හෙට (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ.

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මහ සභාව අද (15) කොළඹදී රැස්වුණි.

එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4 ක් ගනු ලැබූ බවය.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ පහතින් දැක්වේ :

  1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.
  2. දිපව්‍යාප්තව සියලු අධිකරණවල වෘත්තීය කටයුතුවලින් හෙට (16) දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.
  3. මෙම කෲර අපරාධය සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.
  4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

වසර 14 කට පසුව අද (15) රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500 ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

රැස්වීමේ දී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

+++

+++

ඝාතනය වූ නීතිඥවරයාගේ සහ බිරිඳගේ දේහයන් පිටිගල නිවසට රැගෙන එයි

(15.02.2026 – 18:02 +0530 – sinhala.adaderana.lk)

තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඔවුන්ගේ පිටිගල ගොඩාමුණ නිවසට රැගෙන ගොස් තිබේ.

අවසන් ගෞරව දැක්වීම සඳහා ඔවුන්ගේ දේහයන් අද (15) උදෑසන සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණි.

ඉන් අනතුරුව මෙලෙස ඔවුන් දෙපළගේ දේහයන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

තලංගම, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ සිකුරාදා (13) පස්වරු 5 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් නීතීඥවරයා සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්විය.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලා ගොස් තිබුණි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලා ය.

මෙම ඝාතන සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් (10) යොදවා පරීක්ෂණ පවත්වයි.

+++

නීතීඥ බුද්ධික මල්ලවආරච්චිගේ සහ බිරිඳගේ දේහයන්ට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක්

(15.02.2026 – 12:40 +0530 – sinhala.adaderana.lk)

තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

තලංගම, අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලේ සිකුරාදා (13) පස්වරු 5 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් නීතීඥයකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්විය.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම කර පලා ගොස් තිබිණි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ 44 හැවිරිදි නීතීඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ 42 හැවිරිදි ඩබ්ලිව්.ඒ. නිසංසලාය.

වෙඩිතැබීමෙන් පසු පලා ගිය වෙඩික්කරුවන් රැගත් මෝටර් රථය කොට්ටාව සිකුරාදා පොළ හන්දිය අසලදී යතුරුපැදියක් ද අනතුරට ලක්කර පලා ගොස් තිබේ.

එම මෝටර් රථයේ සවිකර තිබූ ව්‍යාජ අංක තහඩුවක් ද බිම වැටී තිබී පොලීසිය විසින් සොයාගන්නා ලදී.

අනතුරුව පලා ගිය වෙඩික්කරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් (10) යොදවනු ලැබුවේ පොලිස්පතිවරයාගේ උපදෙස් මතය.

මෙම ඝාතනයට සම්බන්ධවූවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පැතූ අතර වෙඩික්කරුවන් පලා ගිය EP KI-7738 දරන මෝටර් රථය, ඩෑෂ් කැමරාවල සටහන් වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය විසින් ඊයේ (14) දැනුම්දෙන ලදී.

මෙවන් පසුබිමක වෙඩික්කරුවන් පලා ගිය බවට සැකකෙරෙන මෝටර් රථය ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් ඇති බවට පොලිසියට ඊයේ (14) රාත්‍රීයේ තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ඒ වනවිටත් ගිනි ගනිමින් පවතින මෝටර් රථය ගිනි ගනිමින් පවතින මෝටර් රථය හමුවී ඇත.

‘අද දෙරණ වාර්තාකරු’ පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ සිට කිලෝමීටර එකහමාරක (1½) පමණ දුරකින් පිහිටි ස්ථානයක අදාළ මෝටර් රථය ගිනි තබා විනාශ කර තිබුණු බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

+++

අකුරේගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) ගැන තොරතුරු හෙළිවෙයි

(15.02.2026 – 14:35 +0530 – sinhala.adaderana.lk)

අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු (4) සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණවී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට කණ්ඩායම් 12 ක් පත් කර ඇති බව ද පොලිස් මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

“මේ අපරාධකරුවන් ගමන් කළා කියන වාහනය ගිනිගැනීමක් සිදුවුණා. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයේ කොතරම් තොරතුරු පළ වුණත්, අපි මේක තහවුරු කරන්නේ, රසපරීක්ෂක වාර්තාව ලැබුණාට පස්සේ. අපිට එහෙම හිතුණාට, මේක සියයට 100 ක් ඒ වාහනය කියලා කියන්න බැහැ.

මේ සිද්ධියට සම්බන්ධයෙන් වෙඩි තැබූ දෙන්නා (2) පමණක් නෙවෙයි ඉන්නේ. මේක සම්බන්ධ තවත් ගණනාවක් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට සාර්ථක තොරතුරු ලැබිලා තියෙනවා. පුද්ගලයින් සිව් දෙනෙක් (4) සම්බන්ධයෙන්. මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න කලිනුත් තවත් තොරතුරක් ලැබුණා. දවසක් දෙකක් (2) ඇතුළත, මේක විසඳගන්න බොහෝවිට ඉඩකඩ ලැබෙයි කියලා විශ්වාස කරනවා.

මේ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා. නීතිඥවරයා සම්බන්ධයෙන් කිසිම දෙයක් පොලීසියක් විදිහට අපි නිවේදනය කරලා නැහැ. ඇතැම් කරුණු ජනමාධ්‍ය ඔස්සේ හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. අපි 100% ක්ම ඒ කරුණු අනුමත කරන්නේ හෝ බැහැර කරන්නේ නැහැ. මේ විමර්ශන කටයුතු ඉතාමත් සංවේදීයි. දැනට සෑහෙන්න දුරකට මේ කටයුතු සිදු කරලා අවසන්.

මම ප්‍රකාශයට පත් කරන්නේ, ප්‍රකාශ කරන්න පුළුවන් කරුණු පමණයි. ඇතැම් කරුණු ප්‍රකාශ කෙරුණොත්, විමර්ශනයට බාධාවක් වෙන්න පුළුවන්. සමහර කරුණු අපි බැහැර කරන්නේ නැහැ. ඒවා ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්. නීතිඥවරයෙකුට කුමන ආකාරයේ අපරාධකරයෙක් වෙනුවෙන් වුණත්, පෙනී සිටින්න පුළුවන්. මොහු ඉදිරිපත් වුණ නඩු සම්බන්ධයෙන් අපි විමර්ශන කරමින් සිටිනවා. අපිට ඍජුව කියන්න බැහැ, ‘මේ නීතිඥවරයා අහවල් සැකකරු වෙනුවෙන්, අහවල් අපරාධකරු වෙනුවෙන් පෙනී සිටීම’ සම්බන්ධයෙන් පොලිසිය දැනට විමර්ශනය කරන්න නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට අවධානය යොමු කරන්න වෙන්නේ, මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනය අවසන් කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තයින් පස්සේ.”

+++

+


කළුතර වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරුපැදිය බණ්ඩාරගමින් හමුවෙයි

(15.02.2026 – 10:48 +0530 – sinhala.adaderana.lk)

කළුතර – වස්කඩුව වාඩිය මංකඩ ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රීයේ වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදියක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.

මෙම යතුරුපැදිය අද (15) පෙරවරුවේ බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය ආසන්නයේ වෙල්යායක් අසලදී හමුවූ බව පොලීසිය සඳහන් කරයි.

ඒ මත කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් සහ යතුරුපැදිය අසල බිම කළු පාටට හුරු රෙදිවලින් මැසූ නවතම ජැකට්ටුවක් ද පොලීසිය සොයාගෙන ඇත.

ඊට අඩි කීපයක් දුරින් ඇති වෙල්යාය අසල කහ පාටට හුරු හාල් උරයක දමා තිබූ සපත්තු යුගලක් ද හමුවී තිබේ.

අපරාධ ස්ථාන පරිශ්‍රනාගාර නිලධාරීන් සහ ඇඟිලි සටහන් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

යතුරුපැදිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

+


ජින්තුපිටියේ වෙඩික්කරුවන් පලා ගිය ස්කූටරය බසාර් වීදියෙන් හමුවෙයි

(15.02.2026 – hirunews.lk)

කොටහේන ජින්තුපිටිය ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය කොළඹ බසාර් වීදියේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු (4) තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොටහේන – ජින්තුපිටිය වරකාහංදිය ආසන්නයේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක් ඉලක්ක කර ගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ (14) රාත්‍රී 07:20 ට පමණ.

අදාළ කොණ්ඩා කපන ස්ථානයේ පැවති සාදයකට සහභාගී වූ පිරිසක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) වෙඩි තැබීම සිදුකර තිබූ අතර, ඉන් තුවාල ලැබූ 5 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු (1) ජීවිතක්ෂයට පත්වුණා.

පසුව ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පළා යන වෙඩික්කරුවන්ගෙන් එක් අයෙකු (1) අතරමගදී යතුරුපැදියෙන් බැස එම යතුරුපැදිය කොළඹ 12 බසාර් වීදියේ දමා පළා ගොස් ඇති බවටයි මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එම යතුරුපැදිය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර එහි අංක තහඩුව ව්‍යාජ ඒවා බවටයි තහවුරු වී ඇත්තේ.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී T56 වර්ගයේ උණ්ඩ කොපු 17 ක් පමණ සොයා ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර ඇති වූ ගැටුමක ප්‍රතිපලයක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය අලුත්කඩේ අංක 04 වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකරනු ලැබුවා.

+++

ජින්තුපිටියේ වෙඩි තැබීම බ්ලූමැන්ඩල් සංඛගේ වැඩක්දැයි සැක

(15.02.2026 – hirunews.lk)

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීම ‘රණසිංහ ආරච්චිගේ සංඛ ශිරන්ත’ හෙවත් ‘බ්ලූමැන්ඩල් සංඛ’ගේ පාර්ශවය විසින් මෙහෙයවා ඇති බවට සැක මතුව තිබෙනවා.

කොණ්ඩා කපන ස්ථානයකට ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) එල්ලකළ එම වෙඩි තැබීමෙන් අවුරුදු 20 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 4 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.

මියගිය තරුණයා ‘පලනි රිමෝෂන්’ සහ ‘පලනි ශිරාන්’ගේ පාර්ශවය නියෝජනය කරන අයෙකු බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සඳහා ටී-56 ගිනි අවියක් භාවිත කර තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිය කොළඹ 12 බසාර් වීදියේ දමා ගොස් තිබියදී පොලිසිය ඊයේ (14) රාත්‍රියේ සොයාගෙන තිබූ අතර, එහි අංක තහඩු ව්‍යාජ ඒවා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ ෴


අධිආරක්ෂිත කලාපවල සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුව රටට පැහැදිලි කිරීමක් සිදු කළ යුතුයි : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

(15.02.2026 – hirunews.lk)

අධිආරක්ෂිත කලාපවල සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුව රටට පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ සිදුවන මෙම මනුෂ්‍ය ඝාතන හරහා රටේ නීතිය හා සාමය බිඳ වැටී ඇති බවයි.

ආරක්ෂක මූලස්ථානය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් නීතිඥවරයෙක් හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්වීම හරහා රට මේ මොහොතේ මුහුණ දී ඇති බරපතළ ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳව යළිත් අනතුරු ඇගවීමක් සිදුකර ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

වර්තමාන රජය බලයට පැමිණිමට ප්‍රධානතම සටන් පාඨයක් වූයේ නීතිය හා සාමය බිඳවැටීම වුවත්, මෙම කුරිරු ඝාතනය රටේ නීතිය හා සාමය බිඳවැටී ඇති බවට මෙන්ම එය සුරක්ෂිත කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව තවදුරටත් පෙන්නුම් කරන බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග යනු හුදෙක් මාධ්‍ය සංදර්ශන පමණක් බව මේ තුළින් ඉතාමත් පැහැදිලි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ඝාතනය තුළ දකින්නේ නීතියේ අධිපත්‍යයට සහ නීතියේ ක්‍රියාකාරීත්වයට එල්ලවන දරුණු අභියෝගය බවද එම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *