කළුතර වාඩියමංකඩ හන්දියේ සහ ජින්තුපිටියේ වෙඩි තැබීම් : දෙදෙනෙක් (2) මරුට, තුනක් (3) රෝහලේ
කළුතර වාඩියමංකඩ හන්දියේ සහ ජින්තුපිටියේ වෙඩි තැබීම් : දෙදෙනෙක් (2) මරුට, තුනක් (3) රෝහලේ
(14.02.2026 – hirunews.lk)
කළුතර වාඩියමංකඩ හන්දියේ වෙළඳසැලක් අසල සහ ජින්තුපිටිය ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් (2) පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙහිදී ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙක් (3) ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, මෙම වෙඩි තැබීම වරකාහන්දිය අසන්නයේ බාබර් සාප්පුවක් (සැලූන්) තුල සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු ඉලක්ක කර ටී-56 ගිනි අවියකින් සිදුකර තිබෙනවා.
එමෙන්ම, අද (14) පස්වරුවේම කළුතර උතුර පොලිස් වසමේ නොම්මර 01 දුම්රිය නැවතුම්පොල මාර්ගයේදී පුද්ගලයෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදු කල වෙඩි තැබීමකින් එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ අවුරුදු 32 ක් වන වාඩියමංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
+++
කළුතර වෙඩි තැබීමෙන් රෝහලේ ගත කරපු පුද්ගලයා ජීවිතක්ෂයට (14.02.2026)
+
ජින්තුපිටියේ තත්ත්වය තවත් උණුසුම් වෙයි – මහ රෑ මිනිස්සුත් පණ බයේ ඉන්න හැටි (14.02.2026)
+
අකුරේගොඩ ඝාතකයන් ගැන කොට්ටාවෙන් සීසීටීවී සාක්කියක්
(14.02.2026 – hirunews.lk)
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී ඊයේ (13) පස්වරුවේ යුවළකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් පලා යන අයුරු කොට්ටාව ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක සවිකර ඇති CCTV කැමරාවල පටිගත වී තිබෙනවා.
එහිදී එක් මංසන්ධියක යතුරුපැදියක්ද අනතුරට ලක් කර වෙඩික්කරුවන් පලායන අයුරුද කැමරාවන්හි පටිගත වී තිබෙනවා.
අපරාධකරුවන් පැමිණි බවට සැක කෙරෙනුයේ EP KI-7738 දරන මෝටර් රථයෙන් වන අතර, දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව, අපරාධකරුවන් හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා පලාගොස් ඇති බව අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඊයේ (13) දින සවස තලංගම පොලිස් වසමේ, අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසලක රථගාලේ නවතා තිබූ මෝටර් රථයක සිටි යුවළකට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා පලායනු ලැබූ අතර, පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් මේ වනවිටත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහයද අපේක්ෂා කරන අතර, ඊයේ (13) සවස් කාලයේ ඉහත සඳහන් කළ මාර්ගවල ගමන් ගත් වාහනවල සවිකර ඇති ඩෑෂ් කැමරාවල (Dash Camera) අදාළ සැකකටයුතු වාහනය ගමන් කරන ආකාරය සටහන් වී තිබිය හැකි බව පොලීසිය පවසන්නේ.
ඒ අනුව, එදින සවස් කාලයේ අදාළ ප්‍රදේශවල ගමන් කළ වාහන හිමිකරුවන් සහ රියදුරන් තම වාහනවල කැමරා පරීක්ෂා කර බලා, අදාළ වාහනයේ දර්ශන පටිගත වී ඇත්නම් වහාම පොලිසිය දැනුම්වත් කරන ලෙසත්, තොරතුරු සපයන්නන්ගේ රහසිගතභාවය පූර්ණ ලෙස සුරකින බවටද පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරනු ලබනවා.
+
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වහාම අධිකරණයට යා යුතුයි : හිටපු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත
(14.02.2026 – hirunews.lk)
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා නීතිගරුක පුරවැසියෙකු නම් වහාම කළ යුත්තේ තමන් අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනයට වගකිවයුතු පුද්ගලයෙක් යනුවෙන් දිව්රුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත ප්‍රකාශ කරනවා.

අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතන නඩුවේදී සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ගොනු කිරීමට සූදානම් වන නිසා එම අභියාචනා ගොනුකරන අවස්ථාවේදීම නිර්මාල් රංජිත් දේවසිරි මහතාට තමා ද මෙම ඝාතනයට වගකිවයුතු පුද්ගලයෙක් වශයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවද දොළවත්ත හිටපු මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
අමරකීර්ති මන්ත්‍රීතුමාගේ ඝාතන නඩුව පසුගිය කාලය පුරා ගම්පහ මහාධිකරණයේ විභාග වන විට මෙම ඝාතනයන්ට අවශ්‍ය මතවාදය ගොඩනැගූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඒ අවස්ථාවේදී තමා ද මීට වගකිවයුතු බව අධිකරණයට දැනුම් නොදී නඩු විභාගය අවසාන වූ පසු තමා ද මීට වගකිවයුතු බව ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද කියා තමා ප්‍රශ්න කරන බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
මෙම ඝාතන නඩු විභාගයේදී අත්වන්නේ මරණ දඬුවම හෝ නිදහස්වීම කියන කාරණා දැන දැනම නිර්මාල් රංජිත් දේවසිරි මහතා නිහඬව සිටීම කණගාටුවට කරුණක් බවත් ඔහු සමාජයේ නීතිගරුක පුද්ගලයකු නම් කළ යුත්තේ ‘මා ද මීට වගකිවයුතු’ බව ඒ අවස්ථාවේදී ප්‍රකාශ කිරීම බවත් පසුව ඔහු සිදුකළ මෙම ප්‍රකාශයෙන් හෙළිවන්නේ ඔහු නීතිගරුක නොවන පුද්ගලයෙකු බවත් දොළවත්ත හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලබනවා.
මුළු රටක් බලා සිටි එම නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය සංදර්ශන බොරුවට පවත්වමින් තවදුරටත් විපක්ෂයට මඩ ගහන්නේ නැතුව නිර්මාල් රංජිත් දේවසිරි මහතා නීතිගරුක පුද්ගලයකු නම් දැන්වත් අධිකරණයට ගොස් තමාද මීට වගකිවයුතු බව ප්‍රකාශ කළ යුතු බවත් තමා ඇතුළුව තවත් මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටි පිරිස් ඉන්නවා නම් ඔවුන් පිළිබඳව ද අධිකරණයේදී කරුණු හෙළි කිරීම නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ වගකීම බවද ප්‍රේමනාත් සී. දොළවත්ව හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
ගල් අඟුරු නැව් පමා වීමෙන් විදුලි අර්බුදයක් : උදය ගම්මන්පිල
(14.02.2026 – hirunews.lk)
ගල් අඟුරු නෞකා ප්‍රමාද වීමෙන් ජූලි අග සිට සැප්තැම්බර් මැද දක්වා විදුලි සැපයීමේ අර්බුදයක් ඇතිවීමේ අනතුරක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.
අද (14) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ ගල් අඟුරු නැව් ප්‍රමාද වීම හේතුවෙන් අංශ කිහිපයකින්ම අර්බුද ඇතිවීමේ අවස්ථාවන් මතුවිය හැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේ ද පැවසුවා :
ගල් අඟුරු වංචාව පිළිබඳ කතා කරන බොහෝ අවස්ථාවල කතා කරන්නේ අළු ප්‍රතිශතය වැඩිවීම සහ අඩු ශක්ති ජනන අගයක් (low calorific value) පැවතීම වැනි ප්‍රශ්න.
නමුත් කවුරුත් කතා නොකරන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි ගල් අඟුරු සැපයුම ප්‍රමාද වීමෙන් ජූලි මාසයේ අග සිට සැප්තැම්බර් මැද දක්වා දැවැන්ත විදුලි අර්බූදයක් එන එක. එක්කෝ රට අඳුරේ; නැතිනම් විදුලි ඒකකයක් රුපියල් 90 ටත් වඩා ඉහළ මිලකට මිල දී ගන්න වෙන එක.
රටේ දැවැන්තම විදුලි සැපයුම්කරුවා, 40% ක විදුලි සම්පාදනයක් කරන නොරොච්චෝලේ අක්‍රියවීම ගැන දැන්ම සැලසුමක් හැදුවේ නැතිනම් වැඩි මිලට විදුලිය ගැනීමට වඩා සිදුවීමට ඉඩ තිබෙන්නේ රට අඳුරේ තබන එකයි. අපේ පැතුම එසේ සිදු නොවේවා කියන එකයි. ආණ්ඩුව මාලිමාවේ වුණත් රට අපේනෙ. ඒකයි මේ භයානක තත්ත්වය ගැන කළින්ම කියන්නේ ආණ්ඩුව විසඳුමක් සොයා ගනීවි කියන බලාපොරොත්තුවෙන්.
ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයට සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න වාර්ෂිකව ඕනෑ ගල් අඟුරු ටොන් 60,000 ක් හෙවත් නැව් 46 ක්. නමුත් අළුත්වැඩියා, නඩත්තු සහ දවල් කාලයට අඩුවෙන් නිෂ්පාදනය කිරීම වැනි විවිධ හේතු මත බලාගාරය ක්‍රියාත්මක වෙන්නේ ධාරිතාවයෙන් 80% ක්. ඒ මට්ටමට දුවන්න වසරකට ඕනෑ නැව් 38 ක ගල් අඟුරු. මේ බලාගාරයේ පිහිටීම නිසා වසර පුරාම ගල් අඟුරු ගේන්න බෑ. සාමාන්‍යයෙන් නිරිතදිග මෝසම් සුළං සක්‍රිය වන අප්‍රේල් 15 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සුළං සැර නිසා ගල්අඟුරු බාන්න බෑ. ඒ නිසා සෑම ආණ්ඩුවක්ම කල් ඇතිව සැලසුම් කරලා ගල් අඟුරු නැව් 38 ම සැප්තැම්බර් 15 සහ අප්‍රේල් 15 අතර කාලය තුළ දී ගේනවා.
2025 සැප්තැම්බර් පළමු ගල් අඟුරු නැව ගේන්න නම් මිල දී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න ඕනි 2025 අප්‍රේල් මාසයේ. වර්තමාන ආණ්ඩුව මාස 4 ක් කල් මරලා මිල දී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ අගෝස්තු මාසයේ. ඒ නිසා නැව් 38 ක් වෙනුවට නැව් 25 ක ගල් අඟුරු මිල දී ගන්නයි මිල ගණන් කැඳෙව්වේ. ටෙන්ඩර් පටිපාටිය අනුව සති හයක් (6) ටෙන්ඩරය විවෘත තියන්න ඕන වුණත් දැන් හොඳටම ප්‍රමාද නිසා සති තුනක් (3) විතරක් ටෙන්ඩරය විවෘතව තියන්න ආණ්ඩුව කටයුතු කළා.
තවත් කල් මරලා මේ ටෙන්ඩරය ප්‍රදානය කලේ නොවැම්බර් 04. සැපයුම්කරු බැඳුම්කරයට අත්සන් කළේ එතැන් සිට තවත් දවස් 17 කට පස්සේ. සැපයුම් ගිවිසුම අනුව පළමු (1) නැව එන්න ඕනෙ දෙසැම්බර් 15. ඒ කියන්නේ වෙනදා එනවාට වඩා මාස තුනකට (3) පස්සේ. නමුත් එතරම් ප්‍රමාද වෙලාත් සැපයුම්කරු වෙලාවට ගල්අඟුරු ගෙනාවේ නෑ. පළමු (1) නැව ආවේ දෙසැම්බර් 30. සැපයුම් සැලැස්ම අනුව දෙසැම්බර් මාසයේ නැව් තුනක් (3) එන්න ඕනෑ වුණත් ආවේ 1 යි. ජනවාරි මාසයේ නැව් 6 ක් එන්න ඕනෑ වුණත් ආවේ 4 යි. ඒ කියන්නේ ජනවාරි මාසයේ අවසන් වන විට නැව් 9 ක් එන්න ඕනෑ වුණත් ඇත්තටම ආවේ 5 යි.
පෙබරවාරි මාසය තුල නැව් 6 ක් ගොඩ බාන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් ඊයේ (13) දවසට, ඒ කියන්නේ පෙබරවාරි 13 වන විට නැව් 2 යි බාන්න පුළුවන් වුණේ. ඉතිරි දවස් 15 ට තව නැව් තුනක් (3) බෑවත් පෙබරවාරි මාසයේ ගල් අඟුරු නැව් 5 යි බාන්න පුළුවන්.
පෙබරවාරි මාසයට වඩා මාර්තු මාසයේ මුහුද රළුයි. මාර්තු මාසයට වඩා අප්‍රේල් මාසයේ මුහුද රළුයි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ නැව් දෙකයි (2) බාන්න පුළුවන්. නමුත් අපි ඉතාම ශුභවාදි වෙලා මාර්තු මාසයේ නැව් 5 ක් සහ අප්‍රේල් මාසයේ නැව් 4 ක් බානවා කියලා සැලසුම් කළොත් අප්‍රේල් අග වන විට ගොඩ බාන්න පුළුවන් උපරිම නැව් ගණන 19 යි. මේ ප්‍රමාදය නිසා කවදා වෙන විට ගල් අඟුරු ඉවර වේවි ද කියා අපි දැන් ගණන් හදමු.
අපි 2026 වසර පටන් ගන්න විට ගල්අඟුරු ටොන් 450,000 ක තොගයක් තිබුණා. දැන් ජනවාරි සිට අප්‍රේල් දක්වා ගේන්න පුළුවන් උපරිම නැව් ගණන 19 යිනෙ. ඒ කියන්නේ ගල් අඟුරු ටොන් 11,40,000 යි. නැතිනම් මිලියන 1,140,000 යි. එතකොට අපට මේ වසරේ භාවිතා කරන්න තිබෙන්නේ ටොන් 1,590,000 යි. නැතිනම් මිලියන 15,90,000 යි.
දැන් උපරිම ධාරිතාවයෙන් බලාගාරය කටයුතු කරන කොට දවසකට ගල් අඟුරු ටොන් 7,500 ක් අවශ්‍යයි. මේ බාල ගල් අඟුරු නොවේ. ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු. දවසකට ටොන් 7,500 ගණනේ භාවිතා කරන කොට මේ ගල් අඟුරු තොගය අවසන් වෙන්නේ වසරේ කීවෙනි දවසේද? හතරේ පන්තියේ දරුවෙකුට හදන්න පුළුවන් ගණනක්. වසරේ 212 වන දිනයේ මේ ගල්අඟුරු තොගය අවසන් වෙනවා. ඒ කියන්නේ ජූලි 31 දා විදුලි නිෂ්පාදනයට ගල්අඟුරු නැති වෙනවා.
නිරිතදිග මෝසම් සුළං අවසන් වෙන්නේ ඔක්තෝම්බර් මැද වුණාට සැප්තැම්බර් මැද ඉඳන් නැවත ගල්අඟුරු ගේන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 40% ක් සපයන නොරොච්චෝලේ විදුලි බලාගාරය මාස එකහමාරකට (1½) අධික කාලයක් අක්‍රීය වීමට නියමිතයි. ඒ කියන්නේ රට අඳුරට යෑමේ අවධානමක් මතු වෙනවා කියන එකයි.
සාමාන්‍යයෙන් නොරොච්චෝලේ එක් බලාගාරයක් පැයකට (1) ගල් අඟුරු ටොන් 105 ක් පුච්චනවා කියන පදනමින් තමයි දවස පුරා වැඩ කරන්න ටොන් 7,500 ක් ඕනේ. මේ ගල්අඟුරු බාල නිසා තත්ත්වය ඊට වෙනස්.
ඒ අනුව පළමු (1) නැවෙන් මෙගවොට් 715 යි. දෙවන (2) නැවෙන් මෙගවොට් 740 යි. තුන්වන (3) නැවෙන් මෙගවොට් 662 යි. හතරවන (4) නැවෙන් මෙගවොට් 740 යි. පස්වන (5) නැවෙන් මෙගවොට් 747 යි. හයවන (6) නැවෙන් මෙගවොට් 690 යි.
මේ ඉලක්කම් වලින් පේන්නේ කිසිම නැවක ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ඇවිත් නැති බවයි. ගල් අඟුරු සැපයුම් ගිවිසුමේ 3.11 වගන්තිය අනුව ගල්අඟුරු නැව් දෙකක් (2) ප්‍රමිතියෙන් තොර නම් ගිවිසුම අවලංගු කළ හැකියි. ප්‍රමිති නිර්ණායක අනුව අළු ප්‍රමාණය 16% ට අඩු විය යුතුයි. නමුත් පරීක්ෂණ වාර්තා අනුව යොමු අංක 455 සිට 457 දක්වා තිබෙන නැව්වල අළු ප්‍රමාණය තිබෙන්නේ 20% සහ 25.5% අතර. ඒ වගේම ‘කැලොරෆික් වැලියුව්’ හෙවත් ‘ශක්ති ජනක අගය’ තිබෙන්න ඕනේ 5,900 ට වඩා. නමුත් ඒ නැව් තුනේම (3) තිබෙන්නේ 4,805 සහ 5,420 අතර. නම් මේ ටෙන්ඩරය දැන් අවලංගු නොකරන්නේ ඇයි?
මී ළඟ සැපයුම්කරු ටොන් එකකට (1) ඉල්ලන්නේ ඩොලර් 1.50 ක් වැඩියෙන්. නමුත් ඒ සමාගම මීට පෙර අපට ප්‍රමිතියට ගල්අඟුරු සපයපු සමාගමක්. අඩුම ගණනේ අප්‍රේල් මාසයේ ගෙන එන නැව් හතර (4) හරි ඒ සමාගමට දෙන්න ආණ්ඩුවට තවමත් අවස්ථාව තිබෙනවා.
ඇත්තෙන්ම මේ ගිවිසුම අවලංගු කිරීමේ හැකියාව උදා වුණේ දෙසැම්බර් 31 දා. මොකද ගිවිසුමේ 3.8 වගන්තිය අනුව දෙවරක් (2) සතියකට (1) වඩා නැව් පැමිණීම ප්‍රමාද වුණොත් ලංකාණ්ඩුවට ගිවිසුම අවලංගු කරන්න පුළුවන්. පළමු (1) නැව එන්න නියමිත වුණේ දෙසැම්බර් 15 දා. ඒත් ඒක එන්නේ දෙසැම්බර් 30 දා. දෙවන (2) නැව එන්න නියමිතව තිබුණේ දෙසැම්බර් 23 දා. නමුත් ඒක එන්නේ ජනවාරි 04 දා. ඒ කියන්නේ දෙසැම්බර් 31 වන විට නැව් දෙකක් (2) සතියකට වඩා ප්‍රමාද වී ඉවරයි. එදාම ගිවිසුම අවලංගු කළා නම් ප්‍රමාදය සහ ප්‍රමිතිය බාල වීම කියන චෝදනා දෙකෙන්ම (2) ආණ්ඩුවට මිදෙන්න තිබුණා. එහෙම නොකළේ ඇයි? ගිවිසුම අනුව කටයුතු නොකළේ කාගේ සාක්කුවට කොමිස් කුට්ටියක් වැටුණු නිසා ද?
ගල්අඟුරු ප්‍රමිතියෙන් අඩුවීම නිසා ඩීසල්වලින් වැඩි පිරිවැයකට විදුලිය නිෂ්පාදනය කරන්න වෙනවා. ආණ්ඩුව කියන්නේ ඒ පාඩුව ගල්අඟුරු සැපයුම්කරුගෙන් අය කරනවා මිස පාරිභෝගිකයා පිට පටවන්නේ නෑ කියලා. පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් අධීක්ෂණ කාරක සභාවට ඊයේ (13) විදුලි බල මණ්ඩලයෙන් බාර දුන්නු සංඛ්‍යාලේඛන මා ගාව තිබෙනවා. ඒ අනුව පළමු (1) නැව් හතරේ (4) අලාභය රුපියල් මිලියන 2,756 ක්. නමුත් සැපයුම්කරුගෙන් අය කර ගන්න පුළුවන් රුපියල් මිලියන 1,037 යි. දැන් අර ඉතිරි රුපියල් මිලියන 1,719 ඇමති මණ්ඩලය ‘ක්‍රිප්ටෝ කරන්සි’ විකුණලා විදුලි බල මණ්ඩලයට දෙනවා ද කියලා අපි ප්‍රශ්න කරන්න කැමතියි.
ඩීසල් වලින් විදුලි නිෂ්පාදනයේ පාඩුව ගල්අඟුරු සැපයුම්කරුගෙන් අය කළා කියමුකෝ. මේ ගල්අඟුරුවල අළු වැඩිවීම නිසා බොයිලර් වල ටියුබ් ඇතුලේ අළු හිර වෙනවා. ඒවා දැඩිව පිරිසිදු කිරීමේ දී මේ උපකරණ ඉක්මනින් විනාශ වෙනවා. දැඩි රස්නය නිසා ‘සුපර් හීටර් පැනල්’ විනාශ වෙනවා. මේවා අළුත්වැඩියා වියදම් එක පැත්තකින්. ඒවා සැපයුම් කරුවාගෙන් අය කරගන්න වගන්ති ගිවිසුමේ නෑ. ඊට වඩා ප්‍රශ්නය වෙන්නේ අළුත්වැඩියා සඳහා බලාගාරය වසා දැම්මාම ගල්අඟුරු වෙනුවට ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුවීමයි. ඒ පාඩුවත් සැපයුම්කරු දරනවාද? නැතිනම් බාල අඟුරු ගෙන්නවූ බාල දේශපාලකයින්ගෙන් ඒවා අය කර ගන්නවා ද? එහෙමත් නැතිනම්යි පාරිභෝගික අපි මත පටවනවා ද? මේවාට ආණ්ඩුව වහාම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි.
+++
+
අධිකරණ ඇමතිටත් මරණ දඬුවම, ඉන්දු – පකිස්තානු තරගය අනුර නිසා ද? (14.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴