තලංගම, අකුරේගොඩ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10 ක්

තලංගම, අකුරේගොඩ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10 ක්


තලංගම, අකුරේගොඩ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10 ක්

(13.02.2026 – 22:39 +0530 – sinhala.adaderana.lk)

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් (10) යොදවා තිබේ.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබුණි.

පොලිසිය පැවසුවේ, ඔහු ‘කරන්දෙණිය සුද්දා’ නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවය.

එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ‘ලොකු පැටී’ නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් ‘කරන්දෙණියේ සුද්දා’ විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද (13) පස්වරු 5 ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණි.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10 ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

ඉන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි බුද්ධික මල්ලවආරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳය.

+++

+++

අකුරේගොඩ නීතිඥයා සහ බිරිය ඝාතනය නීතිඥ සංගමය හෙළා දකී

(13.02.2026 – hirunews.lk)

අද (13) අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශන මට්ටමේ පැවතියද, මෙවැනි ප්‍රහාරයන් රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වන බරපතල තර්ජනයක් බව නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසත්, ඒ සඳහා විධිමත් සහ කඩිනම් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙසත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ෴


අල්ලස් දූෂණ නඩු විභාගයට සඳුදා (16) සිට විශේෂ අධිකරණයක්

(13.02.2026 – hirunews.lk)

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ පවරන නඩු විභාග කිරීමට තවත් විශේෂ අධිකරණයක් ලබන සඳුදා (16) සිට ආරම්භ කෙරෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ දූෂණය හා අල්ලසට යොමුවූ වරදකරුවන්ට දඩුවම් නියම කිරීමට අදාළ නෛතික ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවයි ෴


අහංගම මුහුදු වෙරළේ විදේශිකයන් සඳහා තාවකාලිකව ඉදි කර තිබූ කුඩා කුටි කඩා ඉවත්කරයි

(13.02.2026 – hirunews.lk)

අහංගම කබලාන මුහුදු වෙරළේ විදේශිකයන් සඳහා තාවකාලිකව ඉදි කර ඇති ඇඳ සහිත කුඩා කුටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (13) ඉවත් කිරීමේදී එම තාවකාලික ඉදිකිරීම්වල අයිතිකරුවන් බලවත් විරෝධය පළ කිරීම නිසා එහි දැඩි උණුසුම් තත්වයක් ඇති වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කුටි දෙසීයක් (200) පමණ කඩා ඉවත් කරන විට එම කුටිවල අයිතිකරුවන් නිලධාරීන්ට කෑකෝ ගසමින් විරෝධය පළ කළ අතර ඔවුන්ගේ බිරින්දැවරුන් සහ දෙමාපියෝද දෙස් දෙවොල් තබමින් හඩා වැළපෙනු දක්නට ලැබුණු බවයි.

තමන්ගේ කුටි කඩා ඉවත් කරන්නේ නම් ඒ අසල අනවසරයෙන් ඉදිකර ඇති සංචාරක හෝටලය ද කඩා දමන ලෙස විරෝධතාකරුවෝ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

පොඩි මිනිහට එක නීතියකුත් ලොකු මිනිහට තව නීතියකුත් ඇයිදැයි කියමින් ඔවුහු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ට විරෝධය දැක්වුවා.

එම අවස්ථාවේ විරෝධතාකරුවෝ එම සංචාරක හෝටලය ඉදිරියට ගොස් කෑකෝ ගසමින් විරෝධය පළ කර ඇති අතර, එම අවස්ථාවේදී පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව විරෝධතාකරුවන් සන්සුන් කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම ඉදිකිරීම් කඩා ඉවත් කරන විට විදේශිකයන් කීප දෙනෙක්ද පැමිණ විරෝධය පළ කරනු දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව කඩා ඉවත් කළ කුටිවල දැව දඬු ටැක්ටරයක පටවා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වුණා. එම අවස්ථාවේ විරෝධතාකරුවන් ඊට විරුද්ධවු අතර විරෝධතාවයේ යෙදී සිටි කාන්තාවන් කීප දෙනෙක් ට්‍රැක්ටර් රථයට නැග පටවා තිබු කුටිවල දැවදඬු ඉවතට ඇද දැමූ අයුරුද දක්නට ලැබුණා.

එම ස්ථානයේ සිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකුගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ මහජනතාවට හිරිහැරවන පරිදි වෙරළ මත තනා ඇති ඉදිකිරීම් ඉවත් කරන බවයි.

පසුව පොලීසිය මැදිහත්වී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමෙන් පසු මේ පිලිබඳ සාකච්ඡා කිරීම සදහා විරෝධතාකරුවන් විසි දෙනෙකුට (20) අහංගම පොලීසියට එන ලෙස දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව විරෝධතාකරුවන් විසි දෙනෙක් (20) අහංගම පොලීසිය වෙත ගියා.

අහංගම ගාල්ල හබරාදුව රත්ගම පෝද්දල සහ වඳුරඹ යන පොලිස් ස්ථානවල නිලධාරීන් පිරිසක් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙහි ආරක්ෂාවට යොදවා තිබුණා ෴


අරගලයට මුදල් ආපු හැටි ඉදිරි ආණ්ඩුවකදී ජනාධිපති කොමිසමක් මගින් හොයනවා : නාමල් රාජපක්ෂ

(13.02.2026 – hirunews.lk)

ඉදිරි ආණ්ඩුවකදී ජනාධිපති කොමිසමක් මගින් අරගලයට මුදල් ආපු ක්‍රමය සහ එම මුදල් බෙදාගත්තු ආකාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර සියලු තොරතුරු රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (13) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ :

“පැහැදිලිවම අරගලය සම්බන්ධයෙන් සහ ඒ සඳහා විදේශ රටවලින් ආපු මුදල් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරලා ඒ කාරණය පිළිබඳව සොයනවා.

මොකද ඇමරිකානු ජනාධිපතිවරයා පවා ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක ආණ්ඩු වෙනස් කරන්න විදේශ මුදල් යොදාගත් ආකාරය පිළිබඳව UsAid ආයතනය හරහා මුදල් යෙදෙව්වා කියන කාරණය සඳහන් කරලා තියෙනවා.

පැහැදිලිවම මේ අයට විදෙස්වලින් මුදල් ආවා. ඒ හින්දනේ අර අරගලයේ හිටපු සමහර අය අද සමාජයට ඇවිල්ලා කියන්නේ අපි වාහන ගත්තා, අපි ගෙවල් ගත්තා, අපි රට ගියා. මේ එක්කම තමන්ට වාහන ගන්න තමන්ට ගෙවල් ගන්න තමන්ට රට යන්න අවස්ථාව යොදා ගැනීම සඳහා බිල්ලට ඉලක්ක වුණු දරුවන් අද එල්ලුම් ගස් ගියා.

අරගලයේම එක කොටසක් වාහන ගන්නයි, එක කොටසක් මැති ඇමතිවරු වෙන්නයි , තවත් කොටසක් ගෙවල් ගන්නයි , තවත් කොටසක් පිටරට ගිහිල්ලා පදිංචි වෙන්නයි , තවත් දොළොස් දෙනෙක් (12) එල්ලුම් ගස් යන්නයි බෑනේ.

ඒ කියන්නේ පැහැදිලිවම මේ මේ කාරණය සම්බන්ධයෙන් මෙහෙයවපු අය රජ වුණා. අනිත් අය එල්ලුම් ගස් ගියා. ඒක තමයි අවසාන සිද්ධ වුණේ.

අරගලේ මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක ජීවිතයක් නැති කරා. තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා. අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා. අර තරුණයෝ එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා.”

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ :

“පළවෙනි කාරණය තමයි ඔය චෝදනා නගන අය ගරු විනිශ්චයකාරවරුන්ගේ නඩු තීන්දුව කියවන්න ඕන. එක පැත්තකින් ආණ්ඩුව උත්සාහ කරනවා මේ රටේ අධිකරණ පද්ධතියට තමන්ගේ බලපෑම් එල්ල කරන්න. ස්වාධීනත්වයට පහර දෙන්න. අපි සතුටු වෙනවා ගරු අධිකරණය ගරු විනිශ්චකාරවරුන් ස්වාධීනව මේ කරුණු කාරණා දිහා බලලා අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ජීවිතයට සාධාරණයක් ඉෂ්ඨ කිරීම පිළිබඳව.

තව පැත්තකින් මම කණගාටු වෙනවා තවමත් මේ සමාජ මාධ්‍ය ගැන. සජීවීව කරපු ඝාතනයක් සමාජ මාධ්‍ය මගින් සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්න පිරිසකුත් ඉන්නවා.

මේ අමු අමුවේ මහ දවල් කරපු මිනිමරුමක්. ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඔය වගේම සිදුවීමක් අපිට මතකයි එක කාලෙක පකිස්ථානයේ යම් කර්මාන්ත ශාලාවක් ආශ්‍රයෙන් සිදුවුණා.

එවකට හිටපු ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍යතුමාගේ ක්‍රියා කලාපය මත සාධාරණයක් සිද්ධ වුණා, ඒ රටේ. හැබැයි ඒ වෙලාවේ ඉම්රාන් ඛාන් මහත්තයට හොඳ කියපු අය අද මේ ගරු විනිශ්චකාරවරුන්ට හොඳ කියන්නේ නෑනේ. අද පැහැදිලිවම මේ අධිකරණ පද්ධතිය තුළ මේ අතුකෝරළ මන්ත්‍රීතුමාට සාධාරණයක් වෙලා තියෙනවා. හැබැයි තවදුරටත් තමන්ගේ අයිතිය දිනාගන්න මිනිහෙක් වුණත් මරන්න, විනාශ කරන්න, දේපොළ විනාශ කරන්න, ජීවිත නැති කරන්න කියලා සාධාරණීකරණය කරන පිරිසක් ඉතුරු වෙලා ඉන්නවා.

1988-89 භීෂණ කාලය අදට ගැලපෙන්නෙ නෑ. ඕක තමයි අපි මුල ඉඳන්ම කිව්වේ. මේ දරුවෝ බිල්ලට තියලා, උසිගන්වලා මේ රටේ තරුණ පරම්පරාව පාවිච්චි කරලා ඒ තරුණ පරම්පරාවේ කරමතින් ජීවිත අහිමි කරලා, දේපළ අහිමි කරලා ආණ්ඩු බලය ලබා ගත්තු අය අද මහ දවල් මිනීමරුමක් සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා.

ආණ්ඩුවක් කළ යුත්තේ මේක සාධාරණීකරණය කිරීම නෙවෙයි. ආණ්ඩුව කළ යුත්තේ තවත් මෙවැනි දේවල්වලට තරුණයෝ පාවිච්චි නොකර ඉන්න එකයි.

තමන්ගේ දේශපාලන පක්ෂ ඉතිහාසය ගත්තත් අසූ ගණන්වල ඉඳන් මේ පක්ෂය කරලා තියෙන්නේ තරුණයන්ගේ ජීවිත පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගත්ත එක.

මේ වෙලාවේ කළේත් එහෙම දෙයක්. මේ වෙලාවේ කළේත් අරගලේ මුවාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න එක.

ජීවිතයක් නැති කළා, තරුණ පිරිසක් එල්ලුම් ගස් යැව්වා.

අවවාද උපදෙස් දීල ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා දැන් එන්න එළියට බහින්න ගහන්න අපි බලාගන්නම් කියලා කියපු අය අද රජ වෙලා ඉන්නවා.අර තරුණයින් පිරිසක් එල්ලුම් ගස් ගිහිල්ලා තියෙනවා.

මේක තමයි යථාර්ථය. මේ අය කොච්චර හිත් අමනාපෙන් කෑ ගැහුවත් මේ යථාර්ථය තමයි අද ඉෂ්ඨ වෙලා තියෙන්නේ ෴


රු. පනස්දහක (50,000) අල්ලස් ගත්තැයි කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙක් (2) රිමාන්ඩ්

(13.02.2026 – hirunews.lk)

වැඩ තහනමකට ලක් ව ඇති පුද්ගලයෙකුට සෞඛ්‍ය කාරක සහයක තනතුරට අදාල පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් ලවා නැවත සකස් කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 50,000 ක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කොළඹ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන නිලධාරියෙකු සහ එම අංශයේ කාර්ය සහායකවරයෙකු ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම අද (13) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අද (13) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන වශයෙන් කටයුතු කළ දිසානායක මුදියන්සේලාගේ රංජිත් සුමේධ සහ එම රෝහලේ සුළු සේවා පාලන අංශයේ සෞඛ්‍ය කාර්ය සහායක වශයෙන් කටයුතු කරන ලද මලින්ද බන්දුජීව නමැති අයවේ.

එසේ වැඩ තහනමට ලක්ව සිටින අජිත් සුරංග කළුආරච්චි නමැති තැනැත්තා විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුයේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ කොළඹ ජාතික රෝහලේ වැඩ තහනමට ලක්වී ඇති පුද්ගලයෙකුට එම රැකියාව නැවත ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ලවා නැවත සකස් කර දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා අල්ලස් ලෙස රුපියල් පනස්දහක (50,000) මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති බවයි.

එම සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා (2) රු. ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බවත් මින් පෙර රු. පනස්දහක (50,000) මුදලක් චෙක්පතක් මගින් ලබාදී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

දෙවැනි (2) අවස්ථාවේදී ඉතුරු රු. පනස්දහක (50,000) මුදල ලබා ගන්නා විට උපාය දූතයෙකු මගින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා (2) ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


වසර හයක් (6) ක් තමා සේවයකල වෙළඳසැලෙන් රු. ලක්ෂ 20 ක් සොරාගෙන පලාගිය සේවකයා රිමාන්ඩ්

(13.02.2026 – hirunews.lk)

තමා සේවය කළ වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක (20) මුදලක් සොරකම් කර පලාගොස් සැඟව සිටි සැකකරුවෙකු මෙම මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ අද (13) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෝපායි, උරුන්දිරායි, යෝගපුරම් පදිංචි 26 හැවිරිදි චන්ද්‍රසේකරම් රොක්ෂාන් නමැති තරුණයෙක්.

සැකකරු ගාල්ල ඕල්කට් මාවතේ පිහිටි වෙළඳසැලක වසර හයක් (6) තිස්සේ වෙළඳ සහායකයෙකු ලෙස සේවය කර ඇති බවත්, ඔහු කෙරෙහි දැඩි විශ්වාසය තැබූ වෙළඳසැල් හිමියා, පසුගිය දිනක වෙළඳසැලේ වගකීම ඔහුට පවරා ගාල්ලෙන් බැහැරට ගොස් තිබූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

එදින රාත්‍රියේ සැකකරු වෙළඳසැලේ තිබූ රුපියල් ලක්ෂ විස්සක (20) මුදල සොරකම් කර, ඉදිරිපස දොර අගුලු දමා එහි යතුර අසල තිබූ ගලක් යට සඟවා පලාගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

පසුදින වෙළඳසැල් හිමියා පැමිණි අවස්ථාවේ වෙළඳසැල වසා තිබීම හේතුවෙන් සැකකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබා දී ඇති බවත්, එහිදී යතුර ගලක් යට ඇති බවට සැකකරු පවසා තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් වුණා.

පසුව වෙළඳසැල විවෘත කර පරීක්ෂා කිරීමේදී එහි තිබූ මුදල් සොරකම් කර ඇති බව අනාවරණය වී ඇති බවත්, සැකකරු මුදල් සොරකම් කරන අයුරු වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල ද සටහන්ව තිබූ බව පොලිසිය පවසනවා.

වෙළඳසැල් හිමියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ජී. ආනන්ද, උප පොලිස් පරීක්ෂක කීර්ති සහ සැරයන් හසන්ත (58987) යන නිලධාරීන් කෝපායි ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා ෴


සාමාන්‍ය පෙළ අපේක්ෂකයින් වෙනුවෙන් හැඳුනුම්පත් කාර්යාලය හෙටත් (14) වැඩ

(13.02.2026 – hirunews.lk)

පෙබරවාරි මස 17 වන දින ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කරන ලිපි නිකුත් කිරීම සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (14) විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව හෙට (14) උදෑසන 08:30 සිට පස්වරු 12:30 දක්වා කාලය තුළ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල විවෘතව පවතිනු ඇති.

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://drp.gov.lk/ වෙත පිවිස බාගත කර ගැනීමට ද පහසුකම් සලසා දී තිබෙනවා.

එමෙන්ම, මේ දක්වා හැඳුනුම්පත් සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති පාසල් අයදුම්කරුවන් වේ නම්, ඔවුන් පහත සඳහන් ලේඛන රැගෙන පැමිණිය යුතු බවත් සඳහන් :

විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද, නිසි ලෙස සම්පූර්ණ කළ අයදුම්පත සහ අදාල ලේඛන ෴

+++

පාසල් ඉල්ලුම්කරුවන් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත නිවැරදිව පිරවිය යුතු ආකාරය (28.03.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *