හටගත් දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර – විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා (16) සිට
(12.02.2026 – hirunews.lk)
පරිගණක පද්ධතියේ හටගත් දෝෂය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවත්, යළි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන්නේ ලබන සඳුදා (16) සිට බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක් පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වුණා.
එවන් පසුබිමක මහනුවර ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට අද (12) පෙරවරුවේ උණුසුම් තත්වයක් හටගත්තේ එම කාර්යාලයේ ප්‍රධාන පිවිසුම වසා තැබීම හේතුවෙන්.
ජනතාව චෝදනා කළේ කිසිදු දැනුම්දීමකින් තොරව කාර්යාල ගේට්ටුව වසා දමා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්වූ බවයි.
පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද (12) දින කිසිදු කාර්යාල කටයුත්තක් සිදු නොවන බවට ආරක්ෂක නිලධාරින් විසින් දැනුම්දීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.
පසුව පොලිසිය මැදිහත්වී කරුණු පැහැදිලි කිරීමත් සමග ජනතාව ඉන් ඉවත්ව ගිය බවයි ප්‍රදේශයේ හිරු වාර්තකරු සදහන් කළේ ෴
මෙය ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ අවසානයයි – යෝජිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන ජී.එල්. ගෙන් අනතුරු ඇඟවීමක්
(12.02.2026 – hirunews.lk)
පසුගිය දශක කිහිපය තුළ ඉදිරිපත් කළ පනත් අතුරින් විශාල වශයෙන්ම විපාකවලට මුහුණ දීමට සිදුවන පනත වන්නේ යෝජිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙය ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ අවසානය සනිටුහන් කරන ‘රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතක්’ මිස ජනතාව ආරක්ෂා කරන්නක් නොවන බවයි.
+
කොළඹ පදිංචිකරුවන්, ආදාහන සහ භූමිදාන ගාස්තුවලින් නිදහස්
(12.02.2026 – hirunews.lk)
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සුසාන භූමිවල ආදාහන සහ භූමදාන කටයුතු සදහා මින් ඉදිරියට මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙනවා.
මින් පෙර මෘතදේහයක් ආදාහනය සදහා රුපියල් දස දහසක (10,000) මුදලක් ද, භූමදානයේදී රුපියල් 300 ක් ද මිලක් අයකළ අතර, ඉදිරියේදී එම මුදල් අයනොකිරීමට පියවර ගෙන ඇති බවයි කොළඹ නගරාධිපතිනි ව‍්‍රායි කැලී බල්තසාර් කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන සෝහාරා බුහාරිට එරෙහිව එම පක්ෂය ගත් විනය ක්‍රියා මාර්ගය නිසා කොළඹ මහ නගර සභාවේ ඇයට හිමි මන්ත්‍රී ධුරය අහිමි වී ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, මහව විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර නිලවරණයට පොදු විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ චානක උදයකුමාර නැමැත්තාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
ජාතික ජන බලවේගයට බලය හිමි මහව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය පසුගිය ජනවාරි 31 වැනිදා පැවැත්වුණු අතර චානක උදයකුමාර එම නිලවරණයට පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදුණා.
එම නිලවරණය අතරතුර නාගොල්ලාගම ඡන්ද මධ්‍යස්ථානයකදී මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් සහ ඔහු අතර බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදීමක්ද මීට පෙර සිදුව තිබෙනවා.
එම අවස්ථාවේදී විපක්ෂයේ පොදු අපේක්ෂක චානක උදයකුමාර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.
කෙසේ වෙතත්, අද (12) උදෑසන ඔහුට කිසියම් පාර්ශවයක් විසින් පහරදී ඇති අතර, මේ වන විට මහව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ මහව පොලිසියෙන් විමසීමක් සිදුකළ අතර එහිදී උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියට අදාළව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවයි ෴
ඇඹිලිපිටිය කළඹන ‘නින්ජා’ හොරෙක් : නිවෙස්වලට පැන ජනතාව භීතියට පත් කරලා
(11.02.2026 – hirunews.lk)
ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ගොඩකවෙල, ඇඹිලිපිටිය සහ උඩවලව යන පොලිස් බල ප්‍රදේශයන්හි නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් මධ්‍යම රාත්‍රියේ සිදුවන අභිරහස් සොරකම් මාලාවක් හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි භීතියට පත්ව සිටින බවට වාර්තා වෙනවා.
‘නින්ජා සොරෙකු’ ලෙස හඳුන්වනු ලබන මෙම පුද්ගලයා හෝ පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් ජනතාව පවසන්නේ තමන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවයි.
මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳ මුහුණ ආවරණය කරගෙන පැමිණෙන මෙම සොරා, ඉතා සූක්ෂ්ම ලෙස නිවාසවල ආරක්ෂිත වැටවල් මතින් ඇතුළු වන අයුරු සීසී ටීවී (CCTV) කැමරාවල සටහන් වී තිබෙනවා.
අත් ආවරණ පැළඳ, පිටේ බැඳි බෑගයකින් විවිධ උපකරණ ගෙන ජනේල ගලවා නිවාස තුළට ඇතුළු වන මොහු, කිසිදු බියකින් තොරව මෙම ක්‍රියාවල නිරත වන බව ප්‍රදේශවාසීන් පවසනවා.
එකම ආකාරයේ ඇඳුම් කට්ටලයක් පැළඳ සිටීම හේතුවෙන් මෙය එක් අයෙකුගේ ක්‍රියාවක්ද නැතහොත් කණ්ඩායමක් විසින් සිදු කරන්නක්ද යන්න සැකයක් පවතින බවද ඔවුහු පවසනවා.
වඩාත් බියජනක තත්ත්වය වන්නේ, දරුණු සුනඛයන් සිටින නිවෙස්වලට පවා මෙම සොරා කිසිදු බාධාවකින් තොරව ඇතුළු වීම බවත්, බොහෝ නිවැසියන් පවසන්නේ සොරා පැමිණි බව දැනගන්නේ පසුදා උදෑසන බවත් යන්නයි.
නිවැසියන්ට සහ සුනඛයන්ට යම් විෂ සහිත ද්‍රාවණයක් හෝ මත්ද්‍රව්‍යයක් මුදා හැර මොහු නිවාස තුළට ඇතුළු වන බවට ප්‍රදේශවාසීන් සැක පළ කරනවා.
මේ වන විටත් ව්‍යාපාරිකයන්, නීතිඥයන් සහ වෛද්‍යවරුන්ගේ නිවාස රැසකට මොහු ඇතුළු වී ඇති අතර, ඉදිරියේදී මෙවැනි සිදුවීම් නිසා ජීවිත හානි පවා සිදුවිය හැකි බවට එම ජනතාව බිය පළ කරනවා.
පවතින තත්ත්වය පිළිබඳව අදාළ පොලිස් ස්ථානවලින් කළ විමසීමකදී අනාවරණය වූයේ මේ සොරා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඇඹිලිපිටිය සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ රැසක පොලිස් නිලධාරීන්ගේ දැඩි හිඟයක් පවතින බැවින් විමර්ශන ප්‍රමාද වන බවයි.
නිලධාරීන් අඩු වුවද පවතින පහසුකම් යටතේ දිවා රාත්‍රී සේවයේ යෙදෙමින් මෙම සොරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම නිලධාරී හිඟය හේතුවෙන් අපරාධ මර්දන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත්, එමගින් පොලිසිය මෙන්ම මහජනතාව ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් වාර්තා වේ ෴
ගුරු වෙසින් ආ රන් හොරා
(12.02.2026 – hirunews.lk)
දරුවන්ට උපකාරක පංති පැවැත්වීමට පැමිණ මසකින් ආපසු ගෙනැවිත් දෙන බවට පොරොන්දු වී කාන්තාවන් දෙදෙනෙකු (2) සතු රුපියල් ලක්ෂ 59 ක් වටිනා ස්වර්ණාභරන රැගෙන ගොස් ආපසු ලබා නොදී වංචා කළ බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශණ ඒකකය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අළුත්ගම, ගනේගම පදිංචි 31 හැවිරිදි අයෙක්.
අළුත්ගම, කළුවාමෝදර පදිංචි 36 හැවිරිදි පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම සොහොයුරාගේ දරුවාට උපකාරක පංති පැවැත්වීමට පැමිණි මොහු මුදල් හදිසියකට යැයි කියා ඉකුත් 2025 මාර්තු මාසයේදී තමන් සතුව තිබූ පවුම් 12½ ක් බරැති රුපියල් ලක්ෂ 41 ක් පමණ වටිනා ස්වර්ණාභරණ ගෙන ගොස් ආපසු ලබා නොදුන් බවයි.
අනෙක් පැමිණිලිකාරිය වන්නේ අළුත්ගම, කළුවාමෝදර පදිංචි 38 හැවිරිදි කාන්තාවක්. ඇය සිය පැමිණිල්ලෙන් පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ තම සහෝදරයාගේ දරුවාට පංති පැවැත්වීමට ආ මොහු ඉකුත් 2024 නොවැම්බර් මාසයේදී ආපසු මසකින් ගෙනැවිත් දෙන බවට පොරොන්දුවී තමා සතුව තිබූ පවුම් 6½ ක් බරැති රුපියල් ලක්ෂ 19 ක් වටිනා ස්වර්ණාභරන ගෙන ගොස් ආපසු ගෙනැවිත් නොදුන් බවයි.
සැකකරු අද (12) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා ෴
කාසල් වීදියේ කාන්තා රෝහලේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ වෛද්‍ය ප්‍රදර්ශනයක්
(12.02.2026 – hirunews.lk)
බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ 75 වන සංවත්සරය වෙනුවෙන් මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වෛද්‍ය ප්‍රදර්ශනයක් අද (12) සිට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම ප්‍රදර්ශනය හෙට (13) සහ (14) යන දෙදින පුරා පෙරවරු 09:00 සිට පස්වරු 04:00 දක්වා රෝහල් පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
කාන්තා හා ප්‍රසව වෛද්‍ය විද්‍යාවේ නවීන තාක්ෂණය සහ ක්‍රියාවලීන් පිළිබඳව මහජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ බව කාසල් විදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසනවා.
මෙම ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන්ම දරු උපතේ කලාව, නළ දරු උපත් ක්‍රියාවලිය (IVF), වඳභාවයට ප්‍රතිකාර ලෙස සිදුකරන නවීන විද්‍යාත්මක ක්‍රමවේද, කැමරා ඇසින් ශල්‍යකර්ම (Laparoscopic Surgery), නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුකරන ශල්‍යකර්ම ආදී මාතෘකා යටතේ පැවැත්වෙන බවත්, මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ මහජනතාව වෙනුවෙන් විවෘත බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා ෴
නිවසක් ලබා ගන්නවැයි පවසා රු. ලක්ෂ පහක් (5) වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග
(12.02.2026 – hirunews.lk)
අන්තර්ජාලය ඔස්සේ නිවසක් විකිණිමට දමා තිබු දැන්වීමකට අනුව එම නිවස ලබා ගන්නා බව පවසා රුපියල් ලක්ෂ පහක (5) මුදලක් වංචා කළ බව කියන සැකකරුවන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා සඳහන් කළ සිටියේ, අන්තර්ජාලය මඟින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ ඉඩමක් ලබා ගන්නවැයි පවසා ඉඩම් හිමිකරුගේ බැංකු ගිණුම් අංකය එක ලබාගෙන මෙලෙස මුදල් වංචා කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දැන්වුවා ෴
ජිප් රථයක් අනීතික ආකාරයට ලියාපදිංචි කළැයි ආර්.එම්.වී. හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියට ඇප
(12.02.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයක් යටතේ ජිප් රථයක් අනීතික ආකාරයට ලියාපදිංචි කිරීමට අදාලව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළා.
සැකකාරියට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) නියම කළ අතර විදෙස් ගමන් තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ‘විශාඛා විජේරත්න ඇලපාත’ එසේ ඇප මත මුදා හරිනු ලැබුවා.
මෙම සැකකාරිය අද (12) දින අල්ලස් කොමිසන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන චෝදනාවන් කිහිපයක් යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණා.
අදාළ වාහනය නීත්‍යනුකූල නොවන පැවරීමක් සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදීම, අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදු කිරීම සහ අදාළ වාහනය අනීතිකව පැවරීමක් සිදු කිරීම සඳහා නිර්දේශ ලබා දීම එම චෝදනාවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ අල්ලස් කොමිෂන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කර සිටියේ මෙම සැකකාරිය විසින් එම රථයට අදාළව අනිතික ලෙස දත්ත ඇතුලත් කර රජයට ලැබිය යුතු බදු මුදල් මඟහැරවා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් කරුණු දක්වමින් සහකාර අධ්‍යක්ෂකවරිය සඳහන් කර සිටියේ වාහනය 2003 ලියාපදිංචි වු බවට සඳහන් කර ඇති නමුත් එසේ වුණානම් බදු ගෙවීම සම්බන්ධයෙන් ලේඛන තිබිය යුතු බවයි. රථයට අදාල වලංගු බලපත්‍රය ලැබී ඇත්තේ 2017/2/22 දින බවත්, 2017 වර්ෂයට පෙර වර්ෂ වල බදු මුදල් එකපාර ගෙවීම් කටයුතු සිදු කර ඇති බවයි.”
සිද්ධියට අදාළ වාහනය සම්බන්ධයෙන් අංක තහඩු ලබාදීමට අදාළ සමාගම පළමු අවස්ථාවේ ප්‍රතික්ෂේප කළ ඇති බවත් මෙම සැකකාරියගේ නිල බලය භාවිතා කර එහි ලියාපදිංචිය පෙන්වා අංක තහඩු 2017 වර්ෂයේ දී නිකුත් කරගෙන ඇති බවද අනුෂා මහත්මිය අධිකරණයට දැන්වුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය සදහන් කර සිටියේ මෙවැනි වාහනවල මුල් ලියාපදිංචිය නොමැතිව අනිතීක ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට වාහන අංක තහඩු ඇතුළත් කිරීමේ සිද්ධින් 32 කට අදාළව විමර්ශන කටයුතු සිදු කරන බවයි.
ප්‍රශ්නගත සිද්ධියට අදාළ වාහනය මගින් රු. කෝටි පහයි ලක්ෂ විසිතුනකට (5,23,00,000) ආසන්න මුදලක් රජයට අයවිය යුතු බවත් තවත් එවැනි වාහන තිස් දෙකකට (32) අදාළව විමර්ශන කටයුතු සැකකාරිය වෙනුවෙන් සිදුකරන බැවින් ඇප ලබා දුන්නද දැඩි ඇප කොන්දේසි මත ලබා දෙන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා ෴
අඩු මිලට සුදුලුනු විකුණා සතොසට පාඩු කළැයි හිටපු ඩි.ජි.එම්. ට ඇප
(12.02.2026 – hirunews.lk)
2021 වසරේ සතොස ආයතන විසින් සහන මිලට මහජනතාවට විකිණීමට වෙන්කර තිබූ සුදුලූනු කිලෝ ග්‍රෑම් 54,860 ක් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර අඩු මුදලකට පුද්ගලික ව්‍යාපාරික ආයතනයකට විකිණීම තුළින් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට (1,70,00,000) අධික පාඩුවක් සිදු කළේ යැයි එම ආයතනයේ හිටපු නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයෙකු (1) සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු (2) ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළා.
එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියම කළා.
එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙක් වන ‘සුසිරි ප්‍රියන්ත පෙරේරා’ සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු (2) බව කියන බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි ‘දීපාක් කෘෂ්ණා කුමාර්’ සහ ‘සොහාල් කුමාර්’ යන අයයි.
එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ 2021 වසරේ ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද බහාලුම් දෙකක (2) අඩංගු සුදුලූනු කිලෝග්‍රෑම් 54,860 ක් සතොස ආයතනය හරහා සහන මිල ගණන් යටතේ මහජනතාවට විකිණීම සඳහා එවක වෙළද ඇමැති වශයෙන් කටයුතු කළ බන්දුල ගුණවර්ධන සහ වරාය ඇමති වශයෙන් කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු, අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන තිබූ බවයි.
එසේ තිබියදී අදාල සුදුළුණු තොගය මහජනතාවට අලෙවි නොකොට ‘එස්.එන්. එන්ටර්ප්‍රයිසස්’ නමැති සමාගමකට අලෙවි කර ඇති බවත් අල්ලස් කොමිසම සදහන් කළා.
සතොස ආයතනය විසින් එම වකවානුවේ සුදුලූණු කිලෝවක් රුපියල් 445 කට අලෙවි කරද්දී එම සුදු ලුණු කිලෝව රුපියල් 135 ක් වැනි අඩු මුදලකට අලෙවි කිරීම තුළින් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ හයදහස් හයසිය හැටක (1,70,06,660) පාඩුවක් සිදුකර ඇති බවත් එම කොමිසමේ නිලධාරිනිය අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම සුදුලූණු තොගය අලෙවි කිරීමට තීන්දු කළේ මෙම සැකකරුවන් නොව සතොස ආයතනය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවයි.
අදාල සුදුලූණු තොගය නරක්වීමට ආසන්න තත්ත්වය තිබූ බැවින් මෙලෙස විකිණීමට කටයුතු කෙරුණු බවත් මෙම තීරණයට තම සේවා දායකයින්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් විත්තියේ නීතිඥවරු සඳහන් කළා.
එම ආයතනයේ හිටපු ජේෂ්ඨ කළමනාකරුවකු ඇතුලු සැකකරුවත් තුන්දෙනෙකු (3) මෙම සිද්ධියට අදාලව ඇප මත මුදා හැර තිබුණා.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම ඉන් අනතුරුව මෙම නඩුව ජුනි මස 09 කැඳවීමට නියම වුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴