‘ඔන්මැක්ස් පිරමීඩ වංචාව’ට අදාලව පැමිණිලි 20,931 ක්

‘ඔන්මැක්ස් පිරමීඩ වංචාව’ට අදාලව පැමිණිලි 20,931 ක්


‘ඔන්මැක්ස් පිරමීඩ වංචාව’ට අදාලව පැමිණිලි 20,931 ක්

(09.02.2026 – hirunews.lk)

‘ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි 20,931 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වර්ඩ් පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද (09) දන්වා සිටියා.

සියලුම පොලිස් ස්ථාන වෙත අගතියට පත් පාර්ශවයට පැමිණිලි කිරීම සඳහා නිවැරදි වූ සැලැස්මකට අනුව ලේඛනයක් ඉදිරිපත් කර තිබු බවත් ඒ අනුව ලංකාව පුරා සියලු පොලිස් ස්ථාන වෙතින් පැමිණිල්ල ලැබී ඇති බව සඳහන් කරමින් රජයේ නීතිඥවරයා ඒ බව දන්වා සිටියා.

අගතියට පත් පාර්ශවයට පැමිණිලි ලබාදීම සඳහා 2025 ජුලි මස 25 සිට 2025 දෙසැම්බර් 02 දක්වා කල් ලබා දී තිබුණ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතීඥවරයා සඳහන් කළ සිටියා.

මෙම සිද්ධියට අදාළව දිනෙන් දින පැමිණිලි ප්‍රමාණය වැඩි වී තිබීම නිසා කරන ලද මූල්‍ය වංචාව රු. බිලියන 11 ක ප්‍රමාණය දක්වා වැඩි වී ඇති බව නීතිඥවරයා අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ සැකකාර පාර්ශවය විසින් ‘පේමන්ට් ප්ලෑන්’ එකක් ඉදිරිපත් කළ ඇති බවත් එහි රු. බිලියන 2.6 ක් පමණක් අඩංගු වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා සඳහන් කර සිටියේ ලැබී තිබෙන පැමිණිලි අනුව මේ වනවිට මෙම මූල්‍ය වංචාවට අදාලව රු. බිලියන 11 ක පාඩුවක් සිදුව ඇති බවයි.

නමුත් සැකකාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන එම ‘පේමන්ට් ප්ලෑන්’ එකට අනුව රු. බිලියන අටක (8) ප්‍රමාණයක් සඳහන් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවද නීතිඥවරයා සඳහන් කළා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ මෙම මූල්‍ය වංචාවට අදාල තවමත් බොහෝ සැකකරුවන් නිදැල්ලේ සිටින බවයි.

තවද එසේ ප්‍රවර්ධන කටයුතු කරන සැකකරුවෙකුට මෝටර් රථයක්ද ලබා දී ඇති බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව විමර්ශනය කර අධිකරණයට ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා ෴


මත්ද්‍රව්‍ය චෝදනා රැසකට පක්‍ෂ නායකයෙකු අත්අඩංගුවට

(09.02.2026 – lankacnews.com)

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ටෙලෝ පක්ෂයේ නායක පී. උදයරාසා නැමැත්තා යාපනය ප්‍රදේශයේදී පොලිස් භාරයට පත්විය.

වවුනියාව පදිංචිකරුවකු වන මොහු, මීට පෙර අවස්ථා කිහිපයකදීම මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ දේශපාලන ක්‍රියාකාරිකයෙකි.

මැතිවරණවලදී පරාජයට පත්වුවද දේශපාලනයේ නිරතව සිටි මොහුගේ නම “සෙව්වන්දි නඩුව” සම්බන්ධයෙන් අනාවරණය වීම, මෙම අත්අඩංගුවට ගැනීමට සෘජුවම බලපා ඇත.

දැනට මත්ද්‍රව්‍ය නාශක අංශය භාරයේ පසුවන සැකකරුගෙන් මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් මෙහෙයවීම, ස්ත්‍රී දූෂණ චෝදනා, මහා පරිමාණ ඉඩම් කොල්ලයන් සහ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

මොහු මීට පෙර ද වවුනියාව ප්‍රදේශයේ සිදුවූ දැවැන්ත ඉඩම් වංචාවකට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඇප මත මුදාහැරුණද, එම නඩුව තවමත් විභාග වෙමින් පවතින පසුබිමක සැකකරු මෙම නව චෝදනා මාලාවට මැදිවී තිබේ ෴


දිනකට නව පිළිකා රෝගීන් 100 ක් හඳුනාගැනේ

(09.02.2026 – 17:43 +0530 – sinhala.adaderana.lk)

දෛනිකව නව පිළිකා රෝගීන් 100 ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ‘පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානය’ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙය කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැල්ලේ පළමු (1) මහලේ ස්ථාපිත කර ඇත.

මේ වනවිට දිවයිනේ ප්‍රධාන රෝහල් 6 ක් ආශ්‍රිතව එම මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වාර්තාවන පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බව පෙන්වා දෙන වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ, එම රෝගීන් පසු රෝගී අවධින් තුළ හමුවන බවය.

එමෙන්ම දිනකට රෝගීන් 40 කට පමණ ජීවිත අහිමිවීමේ තත්ත්වයකට ද පත්ව සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර මෙරට සෑම දිනකට කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් ඉන් දිනකට තිදෙනෙක් (3) මිය යන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

වයස අවුරුදු 20 න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස ද වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර තුනකට වරක් ද අවුරුදු 40 කට වැඩිනම් වසරකට වරක් ද සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙස එම වැඩසටහන වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴

+++

+


Derana 360 | වෛද්‍ය රාජිත සේනාරත්න සමග | 09.02.2026

+


සංජය මහවත්ත සහල් මාෆියාවේ හඬපට ලීක් කරයි – පරිභෝගික අධිකාරිය තොත්ත බබලා වගේ (09.02.2026)

+


ත්‍රිකුණාමලයේ බෞද්ධයන් බුදුන් වඳින්න යද්දී – බස් එකක් පුරවලා පොලිසියෙන් පන්සල ළඟට (10.02.2026)

+++

සැකකරුවන්ට පහර දුන් මේ නිළධාරියා කව්ද? භික්ෂූන් වහන්සේලා දැනට දින27 ක් රිමාන්ඩ් (10.02.2026)

+


විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි

(10.02.2026 – 07:32 +0530 – sinhala.adaderana.lk)

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කළහොත් දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24 ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉල්ලීම් 8 ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි මස 12 වන දින අදාළ වෘත්තීය සමිති විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.

කෙසේවෙතත් අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බැවින් යළිත් වරක් අදාළ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරමින් ඊයේ (09) දිනයේ අමාත්‍යවරයා වෙත විදුලි වෘත්තීය සමිති විසින් තවත් ලිපියක් යොමුකර ඇති බව සඳහන් වේ.

සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉල්ලීම් දිනා ගැනීම සදහා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හැර වෙනත් විකල්පයක් සේවකයින්ට ඉතුරුව නොමැති බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ ඉල්ලීම් ඉටුනොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේනම් නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 24ක් තීරණය කර ඇති බව ද එම ලිපිය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත ෴


සෞඛ්‍ය අමාත්‍යංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයක

(10.02.2026 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනය =

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිමෙහිලා සෞඛ්‍ය අමාත්‍යංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයක.

වෛද්‍යවරුන් 23,000 කට අධික ප්‍රමාණයකින් සමන්විත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කර ගෙන යනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සිදු කිරීමට එරෙහිව සිදු කරන බවට මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරුන් ප්‍රධාන රජයේ පාර්ශව කිහිපයක්ම මේ වන විට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනු අප දුටුවෙමු.

සෑම විටම නිශ්චිත පිළිගත් ක්‍රමවේදය තුල වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය ක්‍රමවත්ව සහ අඛණ්ඩව සිදු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරයයි.

මේ වන විටත් වෛද්‍යවරුන් 8000 කට ආසන්න ප්‍රමාණයක් තමාට හිමි ඊලඟ රාජකාරි ස්ථානයට සේවයට වාර්තා කිරීමට නොහැකි වී වසර ගණනාවක් තවමත් පෙර සේවා ස්ථාන වලම රාජකාරි කරමින් සිටියි. මෙම ගැටලුවට වගකිව යුතු ප්‍රධානම පාර්ශවය වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබා දෙන නියෝගයන්ට අනුව ස්ථානමරු ක්‍රියාත්මක කරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අසමත් වීම තුලින් මෙම ගැටලුව පැන නැගි ඇත.

සෞඛ්‍ය අමත්‍යාංශයේ අසමත්භාවය හමුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය අකර්මන්‍ය වීමේ පසුබිමක සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලීමකට අනුව ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීමට මැදිහත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ විය.

ඒ අනුව සියලු පාර්ශවයන්ගේ මැදිහත් වීමෙන් සහ එකඟතාවයෙන් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සඳහා පාරදෘශ්‍ය සහ ක්‍රමවත් ක්‍රමවේදයක් සකස් කරන ලදී.

ඒ අනුව ස්ථානමාරු ක්‍රියාත්මක කරවීමේ සතියක් ලෙස 2026 පෙබරවාරි මස 02 වැනිදා සිට 08 වෙනිදා දක්වා වූ සතිය ප්‍රකාශයට පත් කරවමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ඇතුලු ඇතැම් පාර්ශව ලබා දෙන වැරදි තොරතුරු මත පදනම් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයාද වෛද්‍යවරුන් හට වරද පටවමින් සියලුම ස්ථානමාරු ක්‍රියාත්මක කරවන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදි. පසුව ඔහු ලබා ගත් තොරතුරු වල සාවද්‍ය බව නිසාම ඉහත ප්‍රකාශය හකුලා ගනිමින් ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම එකවර සිදුනොකරන බවට නැවතත් ප්‍රකාශ කිරීමට සිදු විය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දුර්වල පරිපාලනය නිසා 8000 කට ආසන්න ස්ථානමාරු ප්‍රමාණයෙන් මේ වන විට ලිඛිතව ස්ථානමාරු සඳහා ලිපි ලබා දී ඇත්තේ 6% කට ආසන්න සුලු ප්‍රමාණයකට පමණක් වන අතර එහිනුත් ස්ථානමාරු නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ 3% කට ආසන්න වෛද්‍යවරුන් ප්‍රමාණයකගේ පමණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අසමත්භාවය නිසා වෛද්‍යවරුන් රැසක් ස්ථානමාරු යා ගත නොහැකිව අපහසුතාවයට පත්ව ඇති අතර, මෙම ස්ථානමාරු ක්‍රියාත්මක නොවීම නිසා ඇතැම් රෝහල් වල සෞඛ්‍ය සේවා සැපයිම ද අඩාල වන තත්ත්වයට පැමිණෙමින් ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයාට ද වැරදි තොරතුරු සපයමින්, ස්ථානමාරු ක්‍රියාවලිය ද අසාර්ථක කරවමින් ඒ තුලින් සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයද අපහසුතාවයට පත් වන අන්දමින් අත්තනෝමතිකව ක්‍රියාත්මක වන වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපය පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පල කිරීමට කැමැත්තෙමු.

ස්ථානමාරු නිත්‍යානුකූල සහ ක්‍රමවත් ලෙස සිදු නොකරමින් තෝරාගත් ස්ථානමාරු අතලොස්සක් සඳහා පමණක් ක්‍රියාත්මක වෙමින් කටයුතු කිරීම තුල බහුතරයක් වෛද්‍යවරුන් තම මීළග සේවා ස්ථානයට පැමිණිමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇත. මෙම ගැටලුවේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතුය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම අසාර්ථකත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද බලවත් අප්‍රසාදය පල කරන අතර ස්ථානමාරු ක්‍රියාවලිය නිශ්චිත ක්‍රමවේදයට යටත්ව සාර්ථක කර ගැනීම සඳහා වහාම මැදිහත් වීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රමුඛ වගකීම බව අවධාරණය කරමු ෴

+

+


විදුලි සේවකයින්ගේ වර්ජන සූදානමට විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ගෙන් විරෝධයක්

(10.02.2026 – 16:42 +0530 – sinhala.adaderana.lk)

සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහොත් දැනුම්දීමකින් තොරව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට නිරතවන බව විදුලි බල වෘත්තිය සමිති විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සේවක පිරිස පිරිස සඳහන් කර ඇත්තේ අදාළ වෘත්තිය සමිති නායකයින් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපිය ලංවිම සාමුහික අදහස් පිළිබිඹු නොකරන බවය.

එමෙන්ම එම වෘත්තිය සමිති විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම් හුදු හිස් ඉල්ලීම් බවත් ඒම කරුණු තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධා කිරීම හෝ එම ප්‍රතිසංස්කරණ නැවැත්වීම බවත් අදාළ සේවක පිරිස චෝදනා කර තිබේ.

විශ්‍රාම ඉල්ලුම් කළ සේවක පිරිස පෙන්වා දෙනුයේ අදාළ වෘත්තිය සමිති ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් 25% ක සාමාජිකත්වයක්වත් වාර්තා කර නොමැති බවත් විශ්‍රාම යෝජනා ඉල්ලුම් කළ බවත්ය.

එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට හෝ ප්‍රමාද කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට සිය සේවක පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් විශ්‍රාම ඉල්ලුම් කළ සේවක පිරිස සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම විදුලි සැපයුම කඩාකප්පල් කිරීමට අදහස් කරන ඕනෑම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නීති විරෝධී සහ අවසර දිය නොහැකි බවත් පෙන්වා දෙන අදාළ සේවක පිරිස සිය ලිපිය මගින් සඳහන් කර ඇත්තේ විදුලි බල පනත යටතේ සංශෝධිත බලතල ක්‍රියාත්මක කරමින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව නියමිත දිනය ගැසට් කරන ලෙසත් විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ට ඔවුන්ගේ හිමිකම්වලට හානියක් නොවන පරිදි සේවයෙන් නිදහස් වීමට අවසර ලබා දෙන ලෙසත්ය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *