තැපැල් ගාස්තුව හෙට (09) සිට ඉහළට : අවම තැපැල් ගාස්තුව රු. 70 යි

තැපැල් ගාස්තුව හෙට (09) සිට ඉහළට : අවම තැපැල් ගාස්තුව රු. 70 යි


තැපැල් ගාස්තුව හෙට (09) සිට ඉහළට : අවම තැපැල් ගාස්තුව රු. 70 යි

(08.02.2026 – 07:24 +0530 – sinhala.adaderana.lk)

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවම තැපැල් ගාස්තුව රු. 70 ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙම නව මිල ගණන් හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

+++

Postage by poornima

+++

+


කළුතරදී සජබ අපේක්ෂකයෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ව්‍යර්ථ වෙයි

(08.02.2026 – 08:02 +0530 – sinhala.adaderana.lk)

කළුතර මහ නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ කළුතර මහ නගර සභා අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් ඊයේ (07) රාත්‍රීයේ මෙම වෙඩිතැබීමක් සිදුව ඇති අතර එය ව්‍යර්ථ වී ඇති බවය.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න මහතා වේ.

මොහු ඉලක්ක කරගනිමින් මීට මාස 9 කට පෙර ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ද ව්‍යර්ථ වී ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පිස්තෝලවලට යොදන ජීව උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් බිම වැටී තිබී හමුව ඇති බවය.

+


බුදු පිළිමවල තිබූ රන් ඌර්ණ රෝමධාතු සොරකම් කළ දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(08.02.2026 – 13:15 +0530 – sinhala.adaderana.lk)

බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු කඩා සොරා ගන්නා සැකකරුවන් දෙදෙනෙකු (2) නාවලපිටිය පොලිසිය විසින් අද (08) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45-50 ත් අතර වයස් කාණ්ඩවල පසුවන දෙදෙනෙකි (2).

ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු (2) නාවලපිටිය කැටපුලාව විහාරස්ථානයේ බුදු පිළිමයේ නළල කඩා රනින් නිමවා තිබූ උර්ණ රෝම ධාතුව රැගෙන ගොස් ඇති බවට විහාරාධිපති හිමියන් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ අනුව එම විහාරස්ථානයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ විමර්ශනයයක් සිදු කර සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් කටයුතු කළහ.

ඔවුන් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වෙත ගොස් බුදු පිළිමයේ හිසට හානි කර ඌර්ණ රෝමධාතුවලින් ලබා ගත් බවට සැක කෙරෙන උණුකර තිබූ රන් පවුම් 30 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

එලෙස ලබා ගන්නා රත්‍රං කුරුණෑගල සහ පිළිමතලාව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි කරන පෞද්ගලික ආයතනයක් වෙත ගොස් උණුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණවී තිබේ.

සැකකරුවන් මෙම හොරකම සිදු කිරීමට භාවිත කරන ලද ත්‍රී රෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලිසිය විසින් ක්‍රියාත්මක කරයි ෴


රු. බිලියන ගණනක රහස් ගිණුමක් මාට්ටු.. අයෙක් අත්අඩංගුවට..

(08.02.2026 – lankacnews.com)

රුපියල් බිලියන ගණනින් මුදල් සංසරණය වූ අභිරහස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය කොළඹ පදිංචි පුද්ගලයෙකු මධ්‍යම අපරාධ කාර්යාංශය මගින් කොටුකරගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කරන පරිදි, සැකකරුගේ එක් ගිණුමක පමණක් රුපියල් කෝටි දහසකට (1000) අධික මුදලක් තිබී ඇත.

මීට අමතරව තවත් ගිණුම් හතරක (4) පිළිවෙළින් රු. කෝටි පන්සියය (500), හයසියය (600) සහ අටසියය (800) බැගින් වූ අතිවිශාල මුදල් සම්භාරයක් තැන්පත් කර තිබූ බව අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙතරම් විශාල මූල්‍ය වංචාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බව පොලිසිය අවධාරණය කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉන්දික මිලාන් ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සැකකරු ඉතා සූක්ෂ්ම ලෙස සෑම මාස තුනකට (3) වරක්ම සිය බැංකු ගිණුම් වෙනස් කරමින් අලුත් ගිණුම් ආරම්භ කර ඇති බවයි. විදේශීය තැරැව්කරුවන් පිරිසක් සමඟ සම්බන්ධ වෙමින් මෙම කෝටි සංඛ්‍යාත මුදල් හුවමාරු කර ඇති බැවින්, මෙය ජාත්‍යන්තර ජාවාරමක කොටසක් බවට සැක කෙරේ ෴


ගලප්පත්තිට, නිපුනආරච්චි බිරිදට ජනාධිපති අරමුදලින් රෝහල් බිල් ගෙවලා…

(08.02.2026 – lankacnews.com)

ජාතික ජන බලවේගය නියෝජනය කරන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හා මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදකට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී ලබාගත් පෞද්ගලික රෝහල් ප්‍රතිකාර සඳහා වූ බිල්පත් ජනාධිපති අරමුදලින් පියවා ඇති බවට ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා අනාවරණය කරයි.

තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අදාළ මන්ත්‍රීවරුන් එක් අයකු හා අනෙක් මන්ත‍්‍රීවරයාගේ බිරිද රෝහල් ගතවූ අවස්ථාවේදී ඔවුන්ගේ බිල්පත් සඳහා රජයේ මුදල් වැය කර ඇති බවයි.

මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රසිද්ධ වනු ඇති බවත්ල පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති අරමුදලෙන් සිදුකළ ගෙවීම් පිළිබඳ ඉල්ලා ඇති වාර්තා හරහා මේ බව තහවුරු වනු ඇති බවත් කුරුකුලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

+++

+


‘අපහාස කළැයි CID යන්න බෑ’- මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට උපදෙස්

(07.02.2026 – mawbima.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ නිර්දේශ කර ඇත.

දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත් චරිත තමන් පිළිබඳව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වේදිකාවලදී ප්‍රකාශිත බවට කියන වැරදි හෝ අපහාසකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ අනෙකුත් විශේෂිත අංශයන්ට පැමිණිලි කිරීමේ ප්‍රවණතාව පදනම් කර ගෙන එම කොමිසම මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබේ.

‘අපහාසාත්මක යැයි කියන ප්‍රකාශ’ අපරාධ වරදක් ලෙස නොසැලකෙන බැවින් මෙකී නිර්දේශ කරන්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, අසත්‍ය යැයි කියන ප්‍රකාශ හෝ අපහාස, ශ්‍රී ලංකාවේ ‘සාපරාධී වරදක්’ නොවන බව සිහිපත් කරමින්, පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ සියලු ම අංශ සහ පොලිස් ස්ථාන වෙත නියමයක් නිකුත් කළ යුතු යැයි මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

එහිදී උපකල්පිත අපහාස සම්බන්ධයෙන් පමණක් පැමිණිලි වාර්තා කිරීමෙන් හෝ විමර්ශනය කිරීමෙන් හෝ වැළකිය යුතු බව අදාළ නියමයට ඇතුළත් කළයුතු යැයි ද කොමිසම සඳහන් කරයි.

නීතිය ක්‍රියාත්මක කරන ‘සිදු කළා යැයි උපකල්පිත’ අපහාසාත්මක ප්‍රකාශන පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ප්‍රකාශනයේ නිදහස සහ අන්තර්ජාල ආරක්ෂාව අවහිර කිරීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ද මානව හිමිකම් කොමිසම් නිවේදනයේ දැක්වේ.

තව ද, අදහස් හා මතවාද ප්‍රකාශ කිරීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සම්බන්ධ වීම සියලු පුරවැසියන්ට ඉතා වැදගත් මූලික අයිතියක් යැයි ද එකී අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් ද තහවුරු කර ඇතැයි ද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ප්‍රකාශන අයිතියට අත්‍යවශ්‍ය නොවන, සාපේක්ෂ නොවන සහ අසාධාරණ සීමා පැනවීම සමාජයට දැඩි අවදානමක් යැයි පවසන කොමිසම එවැනි සීමා ජනතාව අතර අප්‍රසාදය හා නොසන්සුන්තාවක් ද ඇති කළ හැකි යැයි අවධාරණය කරයි.

ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් අනුව දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් වැනි මහජන නියෝජිතයන්, තනි පුද්ගලයන්ට වඩා විවේචන සම්බන්ධව ඉවසීමකින් යුක්ත විය යුතු යැයි කොමිෂන් සභාව අවධාරණය කරයි.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගෞරව කිරීමේ විශේෂ වගකීම එවැනි තැනැත්තන්ට ඇති බැවින් අපහාසාත්මක බවට උපකල්පිත ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මත අධික ලෙස රඳා නොපැවැතිය යුතු යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

තව ද, අධිකරණ අමාත්‍යාංශය ‘මාර්ගගත ආරක්ෂණ පනත’ වෙනුවට සුදුසු නීති සම්පාදන විධිවිධාන සමග නව පනතක් ප්‍රතිස්ථාපනය කරන තෙක් එහි භාවිතය අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ නිදහස මාර්ගගත වේදිකාව ද ඇතුළු ඕනෑම මාධ්‍යයක් හරහා සිදු කරන සියලු ආකාරයේ ප්‍රකාශන අයත් යැයි ද එහි වැඩිදුරට ත් දැක්වේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය වන නිමෝදි වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු සැලකිය යුතු පිරිසක් පසුගිය කාලයේදී අපහාස සිදු වූ බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.

රවිශාන් ප්‍රනාන්දු


කොහුවල ආර්පිකෝ සුපිරි වෙළඳසලේ හදිසි ගින්නක්

(08.02.2026 – hirunews.lk)

= කොහුවල සුපිරි වෙළඳසලක හදිසි ගින්නක් =

කොහුවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලක අද (08) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් (3) එම ස්ථානයට පිටත් කර යැවීමට පියවර ගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+++

+++

https://video.gossiplankanews.net/vhost/uploads/2026-02-08/135955_11.mp4

+


බේරුවල නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

(08.02.2026 – hirunews.lk)

බේරුවල පොලිස් ස්ථානය පිටුපස කාලයක් තිස්සේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා අද (08) පස්වරුවේදී වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක බලකාය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ‘බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා’ ලෙස කලක් සේවය කළ අයෙකු බවටද අනාවරණය වී තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාරට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට මෙහි විමර්ශන කටයුතු භාර දීමෙන් පසු ස්ථානාධිපතිවරයා විසින් සකස් කරන ලද සැළසුමකට අනුව බුද්ධි අංශ නිලධාරියකු යොදවා අදාළ වෛද්‍යවරයාගෙන් ගබ්සාවක් සිදු කර ගැනීම සඳහා උපාලශීලීව දිනයක් වෙන් කර ගැනීමට කටයුතු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු ලෙස පොලිස් කොස්තාපල්වරියක යොදවා ගබ්සාවක් සිදු කර ගැනීමට කටයුතු කිරීමේදී පොලිස් පරීක්ෂක ජනිත ඇතුළු විශේෂ පොලිස්‌ කණ්ඩායමක් යොදවා බේරුවල පොලිස් ස්ථානය පිටුපස පෙරේරා මාවතේ පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානය වැටලූ බව පොලිසිය පවසනවා.

එහිදී ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ තොගයක්ද පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබ ඇති අතර වැටලීම සිදුවන අවස්ථාවේදී වෛද්‍යවරයාගේ සහායිකාව සිහිසුන්ව ඇද වැටුණු බව පොලිසිය පවසනවා.

අදාල වෛද්‍යවරයා ඉන් මිදීම සඳහා ඉල්ලන ඕනෑම මුදල් ප්‍රමාණයක් ලබාදෙන බවට වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ට ආයාචනා කර ඇතැයි ද පොලිසිය පවසනවා.

මෙම නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථානයේ ගබ්සාවක් සිදුකිරීම සඳහා රුපියල් 45,000 සිට ඉහළ මිල ගණන් අය කර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබුණා.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ජනිත, උප පෙලිස් පරීක්ෂක ජයවීර, පොලිස් සැරයන් 428 ජයලාල්, පොලිස් කොස්තාපල්වරුන් වන (61746) මදුරංග, (93425) ධනුෂ්ක, (105086) කේසුමාරන්, කාන්තා පොලිස් කොස්තාපල් (13090) රිහාරි, පොලිස් කොස්තාපල් රියැදුරු (16227) උදාර යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කළා.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *