සූරියකන්දේ ගෝනෙකු දඩයම් කළ හිටපු ස්ථානාධිපති සහ කොස්තාපලයෙකු අත්අඩංගුවට
සූරියකන්දේ ගෝනෙකු දඩයම් කළ හිටපු ස්ථානාධිපති සහ කොස්තාපලයෙකු අත්අඩංගුවට
(06.02.2026 – hirunews.lk)
සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සහ එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ හිටපු පොලිස් කොස්තාපලයෙකු පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ, සූරියකන්ද ලක්බේරිය ප්‍රදේශයේදී මස් පිණිස ගෝනෙකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකට අදාළවයි.
සූරියකන්ද, ලක්බේරිය ප්‍රදේශයේ දි පසුගිය ජනවාරි මස 17 වැනිදා ගෝනෙකුට වෙඩි තබා මරා දමා තිබු අතර, එම සිදුවීම දැඩි ආන්දෝලනයකට මුල් වු සිදුවීමක් වුණා .
වෙඩි හඬ ඇසී එම ස්ථානයට ප්‍රදේශවාසීන් පිරිසක්ද පැමිණ තිබූ අතර, සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් ද එම අවස්ථාවේ අදාළ ස්ථානයේ සිටින අයුරු ද දක්නට ලැබුණා.
ප්‍රදේශවාසීන් එහිදි චෝදනා කළේ, පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ගෝනා මිය ගොස් තිබු බවටයි.
එමෙන්ම, සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධි බීමතින් සිටි බවට ද එදින ප්‍රදේශවාසීන් චෝදනා කළා.
කෙසේ වෙතත් එහිදී ප්‍රදේශවාසීන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා එල්ල කරමින්.
පසුව හිටපු පොලිස් ස්ථානාධිපති රත්නපුර කොට්ඨාසය වෙත මාරුකර යවා තිබුණා.
ඒ අතරතුර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශට නියෝග කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.
ඒ අනුව එම කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ අංශායේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණසූරිය ඇතුළු පිරිසක් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
එහිදි අනාවරණ වී ඇත්තේ සූරියකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක, ලාල් පෙරේරාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපලන් දෙදෙනෙකු (2) ඇතුළු පිරිසක් විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
ඒ අනුව අදාළ හිටපු පොලිස් ස්ථානාධිපති මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අද (06) අත්අඩංගුවට ගත් අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපලයෙක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.
+
ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
(06.02.2026 – hirunews.lk)
ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව,
- රු. 4,250 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 80 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,330 ක්.
- රු. 1,710 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 32 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,742 ක්.
ලෝක වෙළඳපොළේ මිල ගණන්වල සිදුවූ වෙනස්වීම්වලට සාපේක්ෂව මෙම මිල සංශෝධනය සිදුකර ඇති බව එම සමාගම සඳහන් කළේ.
මෙම මිල ගණන් අද (06) මධ්‍යම රාත්‍රී 12:00 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴
රේස් ගිය බස් දෙකෙන් (2) එකක රියදුරෙක් ගංජාවලට ඇබ්බැහි වූවෙක්
(06.02.2026 – 20:20 +0530 – sinhala.adaderana.lk)
අධික වේගයෙන් යුතුව තරගයට ධාවනය කළ බස් රථ දෙකක් (2) කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වෙට්ටුමකඩ මංසන්දියේ දී අනතුරට ලක් වී තිබේ.
එක් බස් රථ රියදුරෙකු පිළිබඳව පොලීසියට ඇති වූ සැකයක් මත ඔහුව කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු ගංජා පානයට ඇබ්බැහි වූවකු බවය.
ඒ අනුව අදාළ රියදුරු කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු හෙට (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴
සමාගම ආරක්ෂා කිරීම සඳහා බාල ගල් අඟුරු වාර්තා හැංගුවා : පුබුදු ජයගොඩ
(07.02.2026 – hirunews.lk)
බාල ගල් අඟුරු ගෙන්වන ලද ගල් අඟුරු සමාගම ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව විසින් රසායනාගාර වාර්තා සැඟවූ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා නගනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරන්නේ ගල් අඟුරු සිද්ධිය ගැන අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සහ බලශක්ති අමාත්‍යවරයා එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ කරන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා මෙසේ ද පැවසීය.
“ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන් දැක්වූ අදහස් වල බරපතල වැරදි තිබෙනවා.
මේ සමහර අසත්‍ය කරුණු මීට සතියකට දෙකකට (2) පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා, ඒවා බොරු බව තහවුරු වූ පසුව අතහැර ඇති කරුණු.
විදුලිබල ඇමතිවරයා මේ සම්බන්ධයෙන් වන අළුත් කරුණු ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ලබාදී නැති නිසා ප්‍රධාන ලේකම්වරයා යාවත්කල් නොවීමක් පෙන්නුම් කරනවා.
ඔහු පැවසුවා මීට පෙර ටෙන්ඩර් නොකැඳවා දේශපාලඥයෙකුගේ සමාගමකින් අධික මිලට ගල් අඟුරු මිලදී අරන් තිබෙනවා කියලා. එය වැරදියි. 2008 දී ලක්විජය බලාගාරය ආරම්භ කිරීමෙන් පසුව අද දක්වා සෑම වසරකම ටෙන්ඩර් කැඳවා අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරුවාට ටෙන්ඩරය ලබාදී තිබෙනවා.
2023දී ටෙන්ඩර් නොකැඳවූ බව ප්‍රධාන ලේකම්වරයා එම සංවාදයේදී කිව්වා. විදුලි ඇමතිත් මුලින් ඔහොම කියලා, අපි ටෙන්ඩර් දැන්වීම් පෙන්වූවාට පසුව එය පැවසීම නතර කළා. දැන් ඇමති කියන්නේ තමන් ටෙන්ඩර් පිරිවිතර වෙනස් නොකළ අතර 2023 ටෙන්ඩර් පිරිවිතර එලෙසම පවත්වාගෙන ආ බව. එම කරුණත් වැරදියි. 2023 දී එවැනි පිරිවිතර වෙනස් කිරීමක් දකින්නට නැහැ. නමුත් ටිල්වින් සිල්වා කියන ආකාරයට 2023 ටෙන්ඩර් කැඳවීමක් සිදු නොවුණානම්, කුමාර ජයකොඩි කියන ආකාරයේ ටෙන්ඩර් පිරිවිතර 2023 දී ප්‍රකාශයට පත්වු ණේ කොහොමද?
මේ දෙදෙනා කියන කරුණු එකිනෙකට පරස්පරයි. 2024 දී ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශයත් වැරදියි. ටෙන්ඩර් කැඳවීමේදී අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගමට වඩා අඩු මිලක් ‘පොටෙන්ෂියා’ නම් සමාගමක් ඉදිරිපත් කර තිබුණා. ඉන් පසුව තාක්ෂණික ඇගයුම් කමිටුව ප්‍රසම්පාදන කමිටුවේත්, ප්‍රසම්පාදන කමිටුව කැබිනට් මණ්ඩලයේත්, කැබිනට් මණ්ඩලය නීතිපතිවරයාගේත් අනුමැතිය මත මිල අඩු සමාගමෙන් ගල් අඟුරු මිලදී ගෙන තිබුණා. එම ක්‍රියාවලිය ගැන යම් සැකයක් තිබේනම් විමර්ශනයක් සිදුකර, නීතිමය පියවර ගත හැකියි. ටෙන්ඩර් නොකැඳවූ බවට කළ ප්‍රකාශය සත්‍යයෙන් තොරයි.
ඇමතිවරයා අදාළ නිතිමය පිළිවෙළට ටෙන්ඩර් කැඳවා ඇති බැවින් ඔහු ඉල්ලා අස්විය යුතු නැති බව ජවිපෙ ලේකම්වරයා කියනවා. මේ ගැන ප්‍රශ්න රාශියක් අප මුල පටන් කිව්වා. ටෙන්ඩර් කැඳවීම මාස 4 ක් ප්‍රමාද කළා. ටෙන්ඩර් පිරිවිතර වෙනස් කළා. ටෙන්ඩර් කාලසීමාව අඩකින් අඩු කළා. ඒ සඳහා හේතුව ලෙස හදිසියක් ගැන කියා ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී කිසිදු හදිසියක් නැතිව සති හයක් ප්‍රමාද කළා.
බාල ගල් අඟුරු ගෙන්වූ විට සමාගම ආරක්ෂා කරන්න රසායනාගාර වාර්තා සැඟවූවා. නැව් දෙකක් (2) ප්‍රමිතියෙන් තොර වූවිට ටෙන්ඩරය අවලංගු වන බව ටෙන්ඩර් ගිවිසුමේ තිබියදීත් එම ඇණවුම පවත්වාගෙන යනවා. ඒ අතර සමාගමට වාසි සැලසෙන සේ, රජය ගිවිසුම උල්ලංඝණය කරමින් හදිසි මිලදී ගැනීම්වලට අනුමැතිය ලබාදී තිබෙනවා.
මුළු ක්‍රියාවලියම සැක සහිතයි. තමන් වංචාවක් කළ බව පිළිගන්නේ නැතිනම් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු නෑ. නමුත් එවැනි වංචාවක් සිදුව ඇත්දැයි ස්වාධීන විමර්ශනයක් කර, වරදක් සිදුව තිබේනම් ඇමතිවරයා ඉවත් කිරීමේ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට. මෙය ආණ්ඩුවේ පාරිශුද්ධභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ ලිට්මස් පරීක්ෂණයක් ෴
+++
බාල ගල් අඟුරු ගෙන්වීමට අදාල සියලුම දෙනා කෝප් කමිටුවට ගෙන්වන ලෙසට යෝජනාවක්
(07.02.2026 – hirunews.lk)
බාල ගල් අඟුරු ගෙන්වීමට සම්බන්ධ සියලුම ආයතන සහ අදාල නිලධාරීන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (COPE) ගෙන්වීමට කටයුතු කරන ලෙසට තමා කෝප් කමිටුවට යෝජනා කරන බව එම කමිටුවේ සාමාජික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කරනවා.
නොරොච්චෝලේ තාප බලාගාරය සඳහා පසුගිය දිනවල ගෙන්වන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බවට ඔප්පු වී ඇති නිසා එමගින් විදුලිය ජනනය කිරීමේදී විශාල පාඩුවක් රටට සිදුවන බවත් ඊට අමතරව මෙම ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු හේතුවෙන් නොරොච්චෝලේ තාප බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට ද හානි විය හැකි නිසා මෙම සියලුම කරුණු පිළිබඳව කෝප් කමිටුවෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා තමා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
මෙම බාල ගල් අඟුරුවලට අදාල සමාගමෙන් මුදල් අය කර ගැනීමට තීරණය කළ බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද එම මුදලට වඩා අති විශාල මුදලක් රටට පාඩු වී ඇති බවත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදීත් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුකොට වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට තමා කෝප් කමිටුවට යෝජනා කරන බවද සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 22 ක ජල කප්පාදුවක්
(07.02.2026 – hirunews.lk)
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (08) සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරනවා.
මෙම ජල කප්පාදුව හෙට (08) ඉරිදා පෙරවරු 06:00 සිට අනිද්දා (09) සඳුදා පෙරවරු 04:00 දක්වා පහත ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ඒ අනුව, අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය) වේගිරිය සහ පල්ලෙමුල්ල (නව සහ පැරණි), යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය මැදවල (පැරණි සහ නව) සේවා ජලාශයන්ට අයත් ප්‍රදේශ සහ,
කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙළඹුගහවත්ත, නුගවෙල, බලනගල, ගලගෙදර සහ මාවතගම යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති ෴
පසුගිය වසරේ (2025) කුරුඳු අපනයනයෙන් රු. කෝටි 8,000 ට ආසන්න ආදායමක්
(07.02.2026 – 14:21 +0530 – sinhala.adaderana.lk)
කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ (2025) ඩොලර් මිලියන 260 (රු. කෝටි 8,000 ට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පැවසුවේ, මේ වසරේදී (2026) ඩොලර් මිලියන 300 ඉලක්කයකට ළඟාවීමට තම ආයතනය බලාපොරෝතුවන බවය.
පසුගිය වසරේ (2025) කුරුඳු නිෂ්පාදන අතරින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ‘කුරුඳු කූරු’ වන අතර, ඉන් අ.ඩො. මිලියන 251 ආදායමක් උපයාගෙන තිබේ.
සෙසු ආදායම් ලැබී ඇත්තේ ‘කුරුඳු පොතු’, ‘කුරුඳු කොළ’ හා ‘කුරුඳු තෙල්’ වලින් ය.
මෙරට ඉතිහාසයේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදනවලින් ඉහළම ආදායමක් ලැබූ වර්ෂය ලෙස 2025 සැලකෙයි.
ශ්‍රී ලංකාව පෙර වර්ෂයන්හිදී රටවල් 70 කට පමණ කුරුඳු නිෂ්පාදන අපනයනය කළ ද, 2025 වසරේ දී රටවල් 100 කට වැඩි සංඛ්‍යාවකට අපනයය කළ බව ජනක ලින්දර මහතා පවසයි.
“ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ ‘සිලෝන් සිනමන්’ නාමයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත බව හා ඖෂධීය ගුණාංග ඊට හේතු. අපි බලාපොරොත්තුවෙනවා 2026 වසර වෙනකොට අ.ඩො. මිලියන 300 ක වගේ ඉලක්කයකට යන්න” යනුවෙන්ද ලින්දර මහතා පැවසීය ෴
‘දිට්වා’ නිසා දරුවන් 103 කට මව-පියා හෝ දෙදෙනාම අහිමි වෙලා
(07.02.2026 – 11:14 +0530 – sinhala.adaderana.lk)
‘දිට්වා’ නිසා මව-පියා හෝ දෙදෙනාම (2) අහිමි දරුවන් 103 ක් සිටින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ ඊයේ (06) පැවති වැඩසටහනක දී ඇය මෙම කරුණු අනාවරණය කළේය.
ඒ අනුව එම දරුවන් රැකබලා ගැනීමට මෙන්ම ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව උදෙසා ජනාධිපතිගේ උපදෙස් මත වෙනම වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ඇය පැවසීය.
මෙහිදී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පවසා සිටියේ, දෙමාපියන් නොමැති දරුවන් භාරගැනීමට කැමති බොහෝ දෙනෙකු ඉදිරිපත්ව සිටින බවය.
ඒ අනුව එම දරුවන් සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රමවේද අනුගමනය කර, අධිකරණ නියෝගයන්ට යටත්ව එම කටයුතු සිදුකිරීමට බලාපොරෝතුවන බවත් ඇය පැවසීය.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය තුළ අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් වැඩිවී ඇති බවත්, එවැනි තත්ත්වයන්ට මුහුණදෙන අයට රැකවරණය ලබාදීමට නිසි ස්ථානයක් නොමැති බවත් මෙහිදී අනාවරණය විය.
තවද බදුල්ලේ නව ප්‍රවණතාවය ලෙස සයිබර් හිංසනය ඉහළ ගොස් ඇති බවත් සඳහන්.
මේ අතර මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ, දෙමව්පියන් විසින් දරුවන්ට පහරදීම් වැඩිම සිදුවනනේ බදුල්ලේ බවය.
කෙසේ නමුත් ලංකාවේ වැඩිම ළමා අපරාධ සිදුවෙන්නේ පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයෙන් බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය ෴
හොඳට ඇවිත් සොරකමෙන් පසු නොණ්ඩි ගසමින් යන සොරා – රුපියල් 75,000 කට විදලා (07.02.2026)
+
ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබෙන අවස්ථාවක ඇති වූ විදුලිය කාන්දුවකින් නිවස ගිණිගනී
(07.02.2026 – 17:56 +0530 – sinhala.adaderana.lk)
ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබෙන අවස්ථාවක ඇති වූ විදුලිය කාන්දුවකින් සිදුවූ ගිනිගැනීමක් සම්බන්ධයෙන් පුවතක් සීගිරිය ගලකොටුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඉන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියකගේ කාමරය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.
ඇය පාඩම් කරමින් සිටින කාමරයේ ජංගම දුරකථනයක් විදුලි ආරෝපණයට යොදා තිබෙන අවස්ථාවේදී ඇති වූ මෙම ගින්නෙන්, පොත්පත් මෙන්ම ඇඳුම් පැළඳුම් සියල්ල සැණින් විනාශවී ඇති බව සඳහන්ය.
ගින්න ඇති වන අවස්ථාවේදී ඇය සිය මව සමඟින් ආසන්නයේ නිවසකට ගොස් සිට ඇති අතර රාත්‍රී 10 පමණ වන විට එකවරම මෙම නිවසේ ගින්නක් හට ගෙන ඇතැයි නිවැසියන් පවසයි.
කෙසේ වෙතත් රාත්‍රී කාලයේ ප්‍රදේශවාසීන්, පොලීසිය, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කළ ද පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල අළු බවට පත්ව නිවසට ද ගින්නෙන් දැඩි හානි සිදුවී තිබිණි.
පස්වරුවේ ප්‍රදේශයට විදුලි බලය නොතිබුණු හේතුවෙන් තමන්ගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය පොත් මේසය උඩින් විදුලි ආරෝපණය සඳහා සවිකොට අසල්වැසි නිවසට ගිය බව සිසුවියගේ මව ප්‍රකාශ කළාය.
පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව මෙම ගින්න හටගෙන ඇති බවත් ඉන් සියල්ල විනාශ වූ බවත් ඇය පැවසුවාය.
ජංගම දුරකථනයේ විදුලි ආරෝපණය කිරීම අවස්ථාවේදී විදුලි කාන්දුවක් ඇතිව මෙම ගින්න හටගන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
නිවසේ කිසිදු ස්ථානයකින් ගින්නක් හටගෙන නැති බව නිරීක්‍ෂණය වූ බව ද පොලීසිය කියයි.
නිවැසියන්ගේ ද එකම මතය බවට පත්ව ඇත්තේ, මෙම ජංගම දුරකථනය ආරෝපණය කරන ස්ථානයෙන් එම ගින්න හටගන්නට ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි ෴

+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴