විදෙස් රැකියා දෙන බව පවසන ජාවාරමකට හසුවන්න එපා – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

විදෙස් රැකියා දෙන බව පවසන ජාවාරමකට හසුවන්න එපා – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය


විදෙස් රැකියා දෙන බව පවසන ජාවාරමකට හසුවන්න එපා – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය

(05.02.2026 – hirunews.lk)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නම භාවිත කරමින් විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් එකතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව, සමාජ මාධ්‍ය ජාල සහ වට්සැප් (WhatsApp) සමූහ හරහා සංසරණය වන මෙම පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ව්‍යාජ ඒවා බවත්, ඒ පිළිබඳව මහජනතාව දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතු බවත් අමාත්‍යාංශය අවධාරණය කරනවා.

එහිදී, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් කිසිදු විදේශ රැකියා ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොකර අතර, කිසිදු අවස්ථාවක රැකියා සඳහා මුදල් එකතු කිරීමක් සිදු නොකරන බවත්, ව්‍යාජ පුවත් සමඟ සංසරණය වන බැංකු ගිණුම් අංක වෙත මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් එම නිවේදනය මගින් දැනුම් දෙනවා.

අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ ජාවාරම්කරුවන් අමාත්‍යාංශයේ නම සහ නිලධාරීන්ගේ යැයි හැඟවෙන ගිණුම් අංක අවභාවිත කරමින් ජනතාව මුලාවට පත් කරමින් සිටින බව හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව, මෙම කූඨ ව්‍යාපාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් දැනටමත් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී. එබැවින්, මෙවැනි වංචනිකයින්ට හසු වී තම මුදල් හා දේපළ හානි කර නොගන්නා ලෙසත්, සැකකටයුතු තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් අමාත්‍යාංශය විශේෂ ඉල්ලීමක් සිදුකරයි ෴


රුපියල් කෝටි 2 ක් අධික කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(06.02.2026 – 06:30 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි දෙකකට (2) අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී, මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශය වෙත රැගෙන යාම සඳහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) මීගමුව නගරයේ සුපිරි වෙළෙඳසැලක් අසළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඒ අනුව එම පුද්ගලයන් දෙදෙනා (2) ද අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගුවන් මගියා මනිපායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු නිතර නිතර විදේශ ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඔහු අද (06) අලුයම 12:35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයට ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගියා රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 116 ක් පැකට් දෙකක් (2) ලෙස සඟවා ගෙන තිබූ බව පොලීසිය පවසයි.

එම කුෂ් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් (2,11,60,000) බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා (2) මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, එක් (1) අයෙකු එම ප්‍රදේශයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන 43 හැවිරිදි පුද්ගලයෙකු බවත්, අනෙක් පුද්ගලයා 36 හැවිරිදි පුද්ගලයෙකු බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි ෴


මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් පරීක්ෂාවේදී ඇතැම් බස්රථ ආපසු හරවාගෙන ගිහින්

(05.02.2026 – 23:16 +0530 – sinhala.adaderana.lk)

මොරටුව ප්‍රදේශයේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමක් අද (05) මොරටුව බස්නැවතුම්පොළේ දී සිදු කළේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා පොලිසිය එක්ව බස් රථ රියදුරන් 250 දෙනෙකු මෙහිදී පරීක්ෂා කරනු ලැබීය.

ඉන් 8 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි තහවුරු වූ බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසීය.

මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ, අදාළ පරීක්ෂාව මගහැරගිය රියදුරන් හා කොන්දොස්තරවරුන් අදාළ පරීක්ෂාව හෙට (06) දිනය තුළ සිදුකර නොගතහොත් ඔවුන්ට පොදු මගී ප්‍රවාහනය සිදුකිරීමට අවසර ලබා නොදෙන බවය.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා,

“කොළඹට ගිය සමහර බස් රථවල කොන්දොස්තරවරු හා රියදුරු මහත්වරු මොරටුවට එන්නේ නැතුව හරවන් ගිගින්. ඒ සියලු දෙනා හෙට (06) දවස ඇතුළත ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගිහින් මෙඩිකල් ටෙස්ට් එක කරගෙන රිපෝට් එක ගෙනත් දෙන්න ඕන.

එහෙම නැතිවුණොත් කිසිම කෙනෙකුට නැවත පොදු මගී ප්‍රවාහන සේවයේ නැත්නම් බස්රථල සේවය කරන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ තීරණයේ දැඩිව ඉන්නවා” යනුවෙන් පැවසීය.

+


උසස් පෙළට සමාන විභාගයක් විදෙස් රටකදී හැදෑරූ ශිෂ්‍යයෙකු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(05.02.2026 – 21:08 +0530 – sinhala.adaderana.lk)

උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේ දී හදාරා මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අද (05) නියෝග කළේය.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණි.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව ‘අද’ දෙරණ වාර්තාකරු පැවසීය.

පෙතසම්කරු කියා සිටින්නේ තමන් කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ බවය.

තම පියාට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරක් ලැබීමෙන් අනතුරුව තමාද රුසියාව බලා පිටත් වූ බවත්, එහිදී ඉන්දියානු, පාකිස්තානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එය මෙරට අපොස උසස් පෙළ විභාගයට සමාන බවත් පෙත්සම්කරු කියා සිටියි.

ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයඳුම්පතක් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පවසයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමේදී පෙත්සම්කරු රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අදාළ නිර්ණායකයන් යටතේ සුදුසුකම් ලබා ඇති බවය.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මැදිහත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා, පෙත්සම්කරුගේ අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එම අමාත්‍යාංශය ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළේය.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම්කරු මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල කොමිසමට නියෝග කළේය ෴


‘වැල්ලේ සාරංග’ගේ ඩුබායි හඬපටය එළියට : මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයින් රැසකගේ නම් හෙළි වෙයි

(05.02.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකුද වන ‘වැල්ලේ සාරංග’ නමැත්තා ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට පත්ව නිදහස්වීමෙන් පසු තවත් ප්‍රබල ජාවාරම්කරුවන් පිරිසක් සමඟ දුරකථන සංවාදයක නිරතවන හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එම හඬපටය ඔස්සේ එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පිරිසකගේ නම් ද හෙළිදරව් වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘වැල්ලේ සාරංග’, ‘රූබන්’, ‘රසල් ස්මිත්’ සහ ‘කුඩු ලාල්’ යන අය මේ වන ඩුබායි හි සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

‘වැල්ලේ සාරංග’ නමැත්තා පසුගිය දිනක ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙනවා.

එම හඬපටය ඇතුළත් වීඩියෝව :

+


සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

(06.02.2026 – hirunews.lk)

2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පෙබරවාරි 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එසේම යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුව හොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවකු ලෙස සැලකෙනවා.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානය හෝ පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දොපර්තමේන්තුව වෙත පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකියි.

පොලිස් මූලස්ථානය : 011 242 1111
පොලිස් හදිසි ඇමතුම් අංකය : 119
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය : 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 011 278 4208, 011 278 4537


උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධව අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(06.02.2026 – 17:01 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අංක 2474/18 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව මේ වන විටත් රාජ්‍ය සේවයේ සිටින 2023.02.10 දිනට වයස අවුරුදු 45 ට නොවැඩි සහ එදිනට උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවය.

අංක 2474/19 හා 2026.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පහත සඳහන් කාණ්ඩ යටතේ උපාධි සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන්ට අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

• 2023.02.10 දිනට වයස අවුරුදු 40 ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත නොවන උපාධිධාරීන්,

• 2023.02.10 දිනට වයස අවුරුදු 40 ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කළ 2023.02.10 දිනට පසු රාජ්‍ය සේවයේ පත්වීම් ලබා මේ දක්වා සේවයේ නිරත වන නිලධාරින්,

• 2023.02.10 දිනට වයස අවුරුදු 40 ට අඩු, ගැසට් නිවේදනය අනුව උපාධි සුදුසුකම සම්පූර්ණ කර 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නිරත වුවද මේ වන විට විධිමත් අනුමැතියකින් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති නිලධාරීන්,

• 2023-02-10 දිනට වයස අවුරුදු 40 ට අඩු, ඒ වන විටත් රාජ්‍ය සේවයේ තනතුරක් දරන ගැසට් නිවේදනය අනුව 2023-02-10 දිනෙන් පසු උපාධි සුදුසුකම ලැබූ රාජ්‍ය නිලධාරින්,

අංක 2317 හා 2023.01.27 දිනැති ගැසට් නිවේදනය මඟින් දැනටමත් අයදුම්පත් යොමු කළ අය මේ වන විටත් රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම්, මෙම ගැසට් නිවේදනය පරිදි නැවත අයදුම් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හා එම පෙර අයදුම්කළ අයදුම් පත්‍රයේ සඳහන් දුරකථන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, ලිපි ලැබෙන ලිපිනය සංශෝධනය වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව වෙත අදාළ යොමු ඔස්සේ ඉල්ලීම් ඉදිරිපත් කර එම සංශෝධන සිදු කිරීමටත් අයදුම්පත්‍රය භාගත කර ගැනීමටත් අවස්ථාව සලසා දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා :

සිංහල – 011 278 4819 / 011 278 5634 / Hotline 1988 ,
දෙමළ – 011 278 5634 ,
ඉංග්‍රීසි – 011 278 5258 / 011 278 4819 / 011 278 7399 ,

වැඩකරන දිනවල පෙ.ව. 09:00 සිට ප.ව. 04:00 දක්වා ඇමතීමෙන් ලබා ගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ ෴


නව ඛනිජ ප්‍රතිපත්තිය එනතෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර අත්හිටුවයි

(06.02.2026 – hirunews.lk)

නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දී ක්‍රියාත්මක කරන තෙක් බර ඛනිජ (Heavy Minerals) සඳහා වන සියලුම ගවේෂණ සහ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (06) දින එම අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළා.

මෙම තීරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා සඳහන් කළේ, නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන එය පාර්ලිමේන්තුව හරහා සම්මත කරන තෙක් මෙම බලපත්‍ර ලබාදීම අත්හිටුවන බවයි.

ඒ අනුව විශේෂයෙන්ම ‘ඉල්මනයිට්’, ‘රූටයිල්’, ‘සර්කෝන්’ සහ ‘ගානට්’ වැනි බර ඛනිජ වර්ග සඳහා මෙම සීමාවන් බලපැවැත්වෙනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *