ජාත්‍යන්තර මුහුදේදී ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක් : සිව්දෙනෙකුට (4) බරපතලයි

ජාත්‍යන්තර මුහුදේදී ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක් : සිව්දෙනෙකුට (4) බරපතලයි


ජාත්‍යන්තර මුහුදේදී ලාංකික ධීවරයින්ට ප්‍රහාරයක් : සිව්දෙනෙකුට (4) බරපතලයි

(31.01.2026 – hirunews.lk)

වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා 2 ක සිටි ධීවරයින් 12 දෙනෙකුට ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පිරිසක් පහර දුන් බවට එම ධීවරයින් පවසනවා.

පහර කෑමෙන් ධීවරයන් සිව්දෙනෙකු (4) බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 03 වනදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ‘දිනිති දුව’ ධීවර යාත්‍රාව සහ තවත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 12 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.

ධීවරයින්ගේ ඥාතීන් පවසන්නේ පසුගිය 28 වැනිදා ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සිදු කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී මෙරට වේලාවෙන් උදෑසන 6 ට පමණ ඉන්දීය නාවික හමුදා නෞකාවක් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගෙන එහි සිටි නිලධාරීන් ඔවුන්ට පහර දුන් බවයි.

ඔවුන් සන්තකයේ මත්ද්‍රව්‍ය තිබේ දැයි අසමින් පහර දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

පහර කෑමෙන් ධීවරයන් සිව්දෙනෙකු (4) බරපතල තුවාල සහ තැලුම් සහිතව නැවත පැමිණෙමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාවට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම සිව්දෙනා (4) නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අද (31) අලුයම දිවයිනට රැගෙන ආ අතර ඔවුන් කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීන් විසින් රෝහල් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස නාවික හමුදාවට සහ විදේශ කටයුතු අමාත්‍යංශයට උපදෙස් දුන් බවයි.

+


මගීන් 40 ක් සමග ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් රියැදුරු නිසා බේරයි

(01.02.2026 – hirunews.lk)

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි අද (01) අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියැදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇතැයි වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර පැවසුවා.

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ එම මාර්ගයේ අධික වංගුවක් සහිත ස්ථානයකදී බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියැදුරුගේ පාලනයෙන් මිදි අනතුරට පත් වී තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අප එම බස් රථයේ රියැදුරු වන සමන් තිලකසිරි (48) ගෙන් අප විමසා සිටියා.

“අද (01) උදේ බස් රථය නිල්දණ්ඩාහින්නේ ඉදලා තෙරිපැහැ දක්වා ධාවනය කරවන අවස්ථාවේ වන පාරේ රාසින්ගොල්ල ප්‍රදේශයේ පළමුවෙනි වංගුවේදි ඩෝං ගාලා සද්දයක් ආවා. මම ටක්ගාලා අත්තිරිංග තද කරලා බස් රථය නතර කර ගත්තා. බස් රථයට පහළින් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් රුපහ මාර්ගය පේනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරා. මම බස් එක නතර කරලා බැහැලා බලනකොට බස් එකේ ජොයින්ට් එක දෙකට කැඩිලා තිබුණා. බස් එකේ ඉන්න කට්ටිය බස්සවලා මම ඒ ගැන ඩිපෝවට දැනුම් දුන්නට පස්සේ ඩිපොවෙන් ඇවිල්ලා අලුතින් ජොයින්ට් එකක් දාලා බස් එක ගත්තා. බස් එක ගන්නකම් මාර්ගය අවහිර වෙලා තිබුණේ. මම අවුරුදු 15 ක් පමණ රියැදුරෙකු වශයෙන් වලපනේ ඩිපෝවේ සේවය කරනවා. මගේ පදිංචිය කෑගල්ලේ අවිස්සාවේල්ල පාරේ. බස් රථය අනතුරට පත් වුණ ස්ථානය දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය ස්ථානයක් මාර්ග තාම හරියට හදලා නැ. එම මාර්ගයේ බස් රථ ධෘවනය කරන්න හරි අමාරුයි.”

රියැදුරුගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවන්නට ගිය මහා ව්‍යසනයකින් බේරුණු බව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකරු වැඩිදුරටත් පැවසුවා ෴


වැඩිහිටියන්ට උදව් කරන්න ආ ඒ.ටී.එම්. කාඩ් හොරෙක් දැලේ

(01.02.2026 – hirunews.lk)

බැංකු අසල ගැවසෙමින් ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ගැනීමට එන වැඩිහිටියන්ට උදව් කරන මුවාවෙන් සූක්ෂම ලෙස ඔවුන්ගේ බැංකු කාඩ් පත් මාරු කළ බව කියන පුද්ගලයෙකු තමනට අයත් නොවන විවිධ බැංකුවල කාඩ් පත් 11 ක් සමග අත්අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙක්.

දකුණු කළුතර පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා, උප පොලිස් පරික්ෂක මධුසංඛ සහ කොස්තාපල් (66782) ශ්‍රීමාල් යන නිළධාරීන් ඉකුත් 30 වැනිදා කළුතර රජයේ බැංකු ශාඛාවකට ගොස් තිබුණේ කිසියම් කාර්යක් සඳහායි.

මෙම අවස්ථාවේදී ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවූ කාන්තාවක් හඬමින් බැංකු නිලධාරීන් වෙත පැමිණ පවසා ඇත්තේ තමා ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ නාඳුනන පුද්ගලයෙකු උදව් කරනා මුවාවෙන් තම බැංකු කාඩ්පත මාරු කර ඇති බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් කළුතර මහජන බැංකු ශාඛාව අසල ගැවසෙමින් සිටි සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු සන්තකයේ තිබී ඔහුට අයත් නොවන රජයේ බැංකු කාඩ් පත් 11 ක්ද වෙනත් අයකුගේ රියැදුරු බලපත්‍රයක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙම සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ පොළොන්නරු මහේස්ත්‍රාත් අධිකණයේ නඩු 06 ක් සහ වැල්ලවත්ත ඇතුළු තවත් පොලිස් ස්ථාන කීපයකින් පැවරූ නඩු කිහිපයක් ද ඔහුට එරෙහිව ඇති බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය හා කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවිඳු සිල්වා යන නිළධාරින්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා, උප පොලිස් පරික්ෂක මධුසංඛ හා කොස්තාපල් ශ්‍රීමාල් (66782) යන නිළධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


දෙල්ගොඩ කඳුබොඩ තෙල් ආශ්‍රිත නිෂ්පාදනය කර්මාන්ත ශාලාවක ගින්නකින් එහි දේපළවලට හානි

(01.02.2026 – hirunews.lk)

මීගහවත්ත පොලිස් වසමට අයත් දෙල්ගොඩ කඳුබොඩ පාසල් මාවතේ පිහිටි තෙල් ආශ්‍රිත නිෂ්පාදනය සහිත කර්මාන්තය ශාලාවක ඊයේ (31) රාත්‍රී දොළහට පමණ ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට බරපතල හානි සිදුව ඇති බව මීගහවත්ත පොලිසිය ප්‍රකාශ පවසනවා.

ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ මීගහවත්ත පොලිසියේ සහය ඇතිව එම ගින්න පාලනය කිරීමට හැකි වූ බව ද පොලිසිය සඳහන් කරනවා.

ගින්නෙන් කර්මාන්ත ශාලාවේ දේපළවලට විශාල හානියක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත ෴


පාසල් සංවර්ධන නිලධාරීන් 07 වැනි දිනටත් උපවාසයේ

(01.02.2026 – hirunews.lk)

මාරාන්තික උපවාසයක නිරත පාසල් සංවර්ධන නිලධාරීන් අද (01) වැනිදා වන විට හත් වැනි (7) දිනටත් සිය උපවාසයේ නිරතව සිටිනවා.

මේ අතර ජනාධිපතිවරයා සමග හෙට (02) දිනට පෙර සාකච්ඡාවක් අවශ්‍ය බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග ඊයේ (31) ප්‍රකාශ කර තිබුණා.

ඔහු කියා සිටියේ අගහරුවාදා සාකච්ඡාවක් ලබාදෙන බවට ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු උපවාස භූමියට පැමිණ ප්‍රකාශ කළද ඊට පෙර මෙම සාකච්ඡාව නොදුනහොත් (02) වැනිදා දැවැත්ත විරෝධයක් කොළඹ දී සිදුකරන බවයි.

සංවර්ධන නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු‍ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගිය (30) වැනිදා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි බැහැදැක අනතුරුව එම පිරිස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක සිය ගැටලු‍ පිළිබඳව දැනුවත් කර තිබුණා ෴

+++

සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය – හයවෙනියත් රෝහලට

(01.02.2026 – 18:57 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරතව සිටින අවසන් පාසල් සංවර්ධන නිලධාරියා ද මීට සුළු මොහොතකට පෙර රෝහල්ගත කර තිබේ.

ඒ අනුව, මාරාන්තික උපවාසේ යෙදී සිටි හයදෙනකු (6) රෝහල්ගත කර ඇත අතර උපවාසය අද ක්‍රියාත්මක වුයේ 7 වැනි දිනටය.

මේ අතර ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය පැවසුවේ, සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට (02) දිනට පෙර ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබානොදුන් බැවින් කොළඹ ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හෙට දැවැන්ත විරෝධතාවකට අවතීර්ණ වන බවය.

වසර 7 ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළේය ෴

+++

+++

+++

+++

+


පෞරාණික බුදු පිළිමයක් පැහැරගත් ‘CID වෙස්ගත්’ කල්ලිය කොටුවෙයි

(01.02.2026 – hirunews.lk)

පෞරාණිකව වටිනා බුද්ධ ප්‍රතිමාවක් පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් (28) වැනිදා රාත්‍රීයේදී මාවතගම කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජමහා විහාරයේ ස්වාමින්වහන්සේලා වැඩවසන ආවාසයෙහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පැහැරගෙන ගිය බවට මාවතගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එදින ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්’ බව පවසමින් පුද්ගලයින් සිව් දෙනෙකු විහාරස්ථානයට පැමිණ එහි ආවාසය තුළ තැන්පත් කර තිබූ අඩි 1½ ක් පමණ වූ රන් පැහැති බුද්ධ ප්‍රතිමාව විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය බව පවසා ඇති බව සඳහන්.

අනතුරුව එය ලබා ගෙන පැහැරගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ.

මේ සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී සිද්ධියට අදාළ සැකකරුවන් 14 දෙනෙකු ඊයේ (31) මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් සමග පැහැරගත් බුද්ධ ප්‍රතිමාවද අපරාධය සඳහා යොදා ගත් වෑන් රථ දෙකක් (2) ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 – 56 අතර පසුවන මිනිගමුව, තෙල්දෙණිය, මොනරාගල, මතුගම, මාතලේ සහ රිදීගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් පිලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


මතුගම පොලීසියේ ගිනිඅවියක් සහ උණ්ඩ 10 ක් අස්ථානගත වෙලා

(01.02.2026 – 18:29 +0530 – sinhala.adaderana.lk)

මතුගම පොලිස් ස්ථානයේ පිස්තොල අවියක් (1) සහ උණ්ඩ 10 ක් අස්ථාන ගත වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ මතුගම පොලීසියේ උප සේවා භාරයේ තිබු පිස්තෝල ගිනි අවියක් (1) සහ උණ්ඩ 10 ක් සහිත පතරොම් ගැබක් මෙලෙස අස්ථාන ගත වී ඇති බවය.

පසුගිය ජනවාරි 26 වනදින සිට අදාළ අවිය සහ උණ්ඩ අස්ථාන ගත වී ඇති බවට ලේඛන පරීක්ෂාවේදී අනාවරණය වී තිබේ.

මතුගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය ෴


කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සහ ආහාරපාන පිළිගන්වන සේවයේ යෙදවීමට තිබූ බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්

(01.02.2026 – 17:12 +0530 – sinhala.adaderana.lk)

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිලිබද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙතෙක් අවුරුදු 18 ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිලි සේවිකාවන් වශයෙන් පස්වරු 06:00 න් පසුව සේවයේ යෙදවිය හැකි බවට අදාළ පනත මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එම පනත තවදුරටත් සංශෝධනය කරමින් කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු 18 ට වැඩි කාන්තාවන් පස්වරු 06:00 න් පසු පසුදා පෙරවරු 06:00 ට පෙර සේවයේ යෙදවිය හැකි බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත් එම කාලය තුළ සේවය ලබා ගන්නා කාන්තාවන් වෙනුවෙන් සුදුසු නවාතැනක් සැපයීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, සෞඛ්‍ය ආරක්ෂාව සහ සුභ සාධනය සම්බන්ධයෙන් සේවා යෝජකයා වගකිවයුතු බව ද කම්කරු අමාත්‍යංශය දැනුම්දී තිබේ ෴


ලබන 03 වෙනිදා ශිරන්තිට FCIDයෙන් කැඳවීමක් – නාමල් CIDයට

(01.02.2026 – 12:49 +0530 – sinhala.adaderana.lk)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 03 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ලබන 03 වන දින පෙරවරු 09:30 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

ඇය සිය නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට තමාට පැමිණීමට නොහැකි අතර ඒ සඳහා සති 02 ක කාලයක් ලබාදෙන ලෙසය.

කෙසේ වෙතත් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බැවින් පෙබරවාරි මස 03 වනදින යළි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට දැනුම් දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ද ලබන 03 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

මීට පෙර ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු දිවයිනේ රැඳීනොසිටීම හේතුවෙන් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *