රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමියන් රෝහල් ගතකෙරේ

රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමියන් රෝහල් ගතකෙරේ


රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමියන් රෝහල් ගතකෙරේ

(24.01.2026 – hirunews.lk)

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ උන්වහන්සේ මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමාසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ.

එමෙන්ම උන්වහන්සේට රුධිර පරීක්ෂණයක් ද සිදුකර ඇති බවයි ඔහු කියා සිටියේ.

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඇතිවූ ගැටලුකාරී සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හතර නමක් (4) සහ තවත් සැකකරුවන් හය දෙනෙකු (6) එළඹෙන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

+++

+++

කස්සප හිමි ඇතුළු පිරිස හිරේ දාපු එක ගෙවාගන්න බැරි පාපයක් මහත්තයෝ – අක්මීමන දයාරත්න හිමි (24.01.2026)

+


විශේෂඥ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජන අරඹයි – මේකට වගකියන්න මේ මාලිමා ආණ්ඩුව – කිව්වා වගේ අපිට සාකච්ඡා දුන්නේ නෑ – බැරිම තැන අපි මේ වර්ජන පටන් ගත්තේ (24.01.2026)

+

සම්බන්ධිකරණ නිලධාරියා ලියලා දෙන කොළ කියවලා රාජිතත් අමාරුවේ වැටුණා | GMOA නලින්දට අනතුරු අඟවයි (24.01.2026)

+


ආණ්ඩුවට උපරිමයෙන් උදව් කළ අයගෙන් ආණ්ඩුව උපරිම මට්ටමින් පළිගන්නවා | මහාචාර්ය අර්ජුන පරාක්‍රම (24.01.2026)

+


ශිරන්ති නමට රු. කෝටි 40 ක නිවසක්.. අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරන්න යයි…

(25.01.2026 – lankacnews.com)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගත් බව කියන, කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි රුපියල් ලක්ෂ 4000 ක් (කෝටි 40 ක්) පමණ වටිනා නිවසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා කොමිසම විසින් මේ වන විටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි.

ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, අදාළ නිවස ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත ෴


කොල්ලුපිටියේ වෙඩි වරුසාවක්…

(25.01.2026 – lankacnews.com)

අද (25) අලුයම කොල්ලුපිටිය ප්‍රදේශයේ ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි සංගීතය පිළිබඳ හැදෑරීම් කරන ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබේ.

පාන්දර 02:35 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මේ වන විට විමර්ශන පවත්වයි.

මෝටර් සයිකලයකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු (2) අතරින් පසුපස අසුනේ සිටි පුද්ගලයා විසින් ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

අදාළ ගොඩනැගිල්ල සහ එහි ප්‍රධාන දොරටුව ඉලක්ක කර ප්‍රහාර 15 ක් පමණ එල්ල වී තිබුණද, වාසනාවකට මෙන් කිසිදු පුද්ගලයෙකුට ඉන් ජීවිත හානි හෝ තුවාල සිදුව නොමැත.

ආයතනය ඉදිරිපිට පතොරොම් කොපු තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ අරඹා ඇත.

සැකකරුවන් ගොඩනැගිල්ලට වෙඩි තබා පලා යන ආකාරය එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවල පැහැදිලිව සටහන්ව තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි ෴


නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාදයි..

(26.01.2026 – lankacnews.com)

Free Lawyers සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

= පුවත්පත් නිවේදනය =

නීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි

නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත අස්ථාන චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධූරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණකි.

මෙම අසත්‍ය චෝදනා හා අවලාදවලට එරෙහිව සෘජුව මැදිහත් වූ Free Lawyers සංවිධානය එම චෝදනාවල ස්වභාවය හා පසුබිම් අරමුණු අනාවරණය කළේය.

මෙම උත්සාහය පරාජය කිරීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් මෙම සමාජ මාධ්‍ය ප්‍රහාර හා විරෝධතා නීතිපති ධුරයේ ස්වාධීනත්වයට එල්ල වූ අසාධාරණ මැදිහත්වීමක් බව ප්‍රකාශ කරමින්, එය නීතියේ ආධිපත්‍යයට හා අධිකරණ ආයතනවල ස්වාධීනත්වයට එල්ල වූ බරපතල ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තීරණාත්මක විරෝධයක් පළ කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ නීපතිවතිවරයාට පමණක් නොව අප සංවිධානයට ද අපහාස කිරීමට සැලසුම් සහගත ලෙස කටයුතු කර තිබුණි. එසේ නමුත්, බහුතරයක් ජනතාව නීතිපතිවරයා ඉවත් කිරීමට දරණ ලද උත්සාහය වැලැක්වීමට එක්වීම සතුටකි.

දේශපාලන පක්ෂ හා සිවිල් කණ්ඩායම් ද Free Lawyers සංවිධානය අනාවරණයෙන් දින කිහිපයකට පසුව නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරනු ලැබීය. මේ පිළිබඳ අධිකරණ හා නීති කේෂ්ත්‍රයන් හි පාර්ශවකරුවන් රැසක් අප දැරූ ස්ථාවරයට පැමිණීම සතුටට කරුණකි. පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ සියළු දෙනාටත්, මෙම අවනීතික ක්‍රියාවට විරෝධය පළ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අනෙකුත් සියළුම සිවිල් සංවිධාන වෙතත්, පුරවැසියන්ටත් අපගේ ස්තුතිය පිරිණමමු.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ද රජයේ ස්ථාවරය පැහැදිලි කර තිබුණි. නීතියේ අධිපත්‍ය පිළිගනිමින් කටයුතු කිරීම පිළිබඳ ඔවුන්ට ද අපගේ විශේෂ ස්තුතිය පළ කරමු.

කෙසේ නමුත්, පරාජයෙන් කුපිත වූ විදේශගත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද, එයට සහාය දක්වන මෙරට පිරිසක් ද, දිගින් දිගටම නීතිපතිවරයාටත්, අධිකරණ ආමත්‍යවරයාටත්, අප සංවිධානයේ සාමාජිකයින්ටත් හිතවතුන්ටත් සුපුදුරු පරිදි අපහාස කිරීම අරඹා තිබීම කණගාටුවට කරුණකි.

රටේ ස්ථාපති ආයතන පද්ධතිය ගෞරවය හා විශ්වසනීයත්වය විනාශ කිරීමට කුඩා කණ්ඩායමට කිසිදු ඉඩක් නොතිබිය යුතු බව අපගේ විශ්වාසයයි ෴


පා. නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනමට විපක්ෂ නායකගේ දැඩි විරෝධය

(25.01.2026 – hirunews.lk)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීමට ගෙන ඇති තීරණය අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තම නිල ‘X’ (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ, මෙම අසාධාරණ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුව තුළ හඬ අවදි කරන බවයි.

ඕනෑම පුද්ගලයෙකුට දණ්ඩනයක් ලබා දීමට පෙර තමාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙහිදී උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

නියෝජ්‍ය මහ ලේකම්වරයාගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව මෙලෙස සේවය අත්හිටුවීමට පියවර ගැනීම බරපතළ ගැටලුවක් බව ඔහුගේ අදහසයි.

විධිමත් පරීක්ෂණයකින් තොරව මෙවැනි තීරණ ගැනීම හරහා මෙය පෞද්ගලික පලිගැනීමක් මත පදනම් වූවක් ද යන සැකය සාධාරණ ලෙස මතු වන බවත්, මෙවැනි පූර්වාදර්ශයන් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට භයානක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා ෴


දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට රැඳවුම් නියෝග

(25.01.2026 – hirunews.lk)

දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 285 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා දින 7 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) අවසර ලබා දී තිබෙනවා.

පසුගිය 23 වැනිදා දකුණු මුහුදු තීරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ‘දෙවිඳු 01’ සහ ‘චූටිපුතා’ නමැති බහුදින ධීවර යාත්‍රා දෙකක් (2) ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.

ඒ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින්.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙහි තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 450 කට අධික බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ ෴

+++

මුහුදෙන් විෂ මත්ද්‍රව්‍ය එන මාර්ග හඳුනා ගැනේ

(25.01.2026 – hirunews.lk)

මුහුද මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය ඇතුලුවන මාර්ග මේ වන විට හඳුනා ගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් කියා සිටියේ දැනට සිදුකරන විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු මාර්ග ඔස්සේ වැඩිවශයෙන් විෂ මත්ද්‍රව්‍ය ඇතුලුවන බවටයි.

මේ අතර, අයිස් සහ හොරොයින් කිලෝ‍ග්‍රෑම් 285 කට වැඩි ප්‍රමාණයක් සමග දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා මේ වන විට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා සිටිනවා.

මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් සඳහන් කළේ, ඔවුන්ට දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවයි.

‘දෙවිඳු 01’ සහ ‘චූටිපුතා’ නැමැති නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකෙහි (2) තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 450 කට අධික බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළා.

පෙරේදා අත්අඩංගුවට ගත් මෙම යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා අද (25) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන දෙවිඳු 01 නමින් හදුන්වන පළමු බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු ද සමග පසුගිය 23 වනදා අත්අඩංගුවට ගැණුණේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

නාවික හමුදාවේ ‘සිදුරළ’ විශේෂ නෞකාව මෙම මෙහෙයුම් සඳහා යොදාගනු ලැබුවා ෴

+++

+++

+


අධිවේගී මාර්ගයේ අතහැර ගිය සැකකටයුතු සුඛෝපභෝගී රථයක් පොලිස් භාරයට

(25.01.2026 – hirunews.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතර කිලෝමීටර් 140 කණුව ආසන්නයේ අතහැර දමා ගොස් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දොරගුළු දමා තිබූ මෙම සැකකටයුතු මෝටර් රථය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව, අපරැක්ක අධිවේගී රථවාහන පොලිසිය විසින් ඊයේ (24) රාත්‍රියේ එය සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

පොලිස් විමර්ශනවලදී මෙම රථය සම්බන්ධයෙන් ඉතා සැකකටයුතු තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවත්, රථය තුළ තිබූ ටිකට්පතට අනුව එය දොඩංගොඩ පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී මත්තල දෙසට ධාවනය වී තිබෙනවා.

එහිදී රථයේ ලියාපදිංචි අංකය පරීක්ෂා කිරීමේදී එම අංකයටම සමාන තවත් රථයක් රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු සතුව පවතින බවට පොලිසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

රත්නපුරයේ ඇති රථය සුදු පැහැති වන අතර, අධිවේගී මාර්ගයේ තිබී හමු වූ රථය ‘මෙරූන්’ පැහැති බ්වත්, රථ දෙකෙහි එන්ජින් අංක ද එකිනෙකට වෙනස් බව පොලිසිය සඳහන් කළා.

තිහගොඩ පොලිසිය විසින් රථයේ දොරගුළු විවෘත කර පරීක්ෂා කිරීමේදී, ඉදිරිපස අසුනේ තිබී කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයක සහතික පත්‍රයක් සහ දිනපොතක් හමු වී ඇති අතර, එම දිනපොතේ තිබූ හැඳුනුම්පත් ඡායා පිටපතක් ඔස්සේ සිදුකළ විමර්ශනයේදී එය පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පොතුහැර පොලිසිය එම ලිපිනයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ පුද්ගලයා අද (25) පෙරවරුවේ නිවසින් පිටව ගොස් ඇති බව තහවුරු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මෝටර් රථය අධිවේගී මාර්ගයේ දමා ගියේ කවුද සහ කුමන හේතුවක් මතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෝටර් රථ දෙකම ඉදිරියේදී රජයේ රස පරීක්ෂක වෙත යොමු කර නිවැරදි රථය කුමක්දැයි තහවුරු කර ගැනීමට නියමිතයි ෴

+++

+


හිඟන්නියකගෙන් රු. ලක්ෂයක් ගත්තා ආපහු ඉල්ලු නිසා මරාදැම්මා – ලොතරැයි අලෙවිකරු පොලිසියට එයි

(25.01.2026 – hirunews.lk)

හදිසි අවශ්‍යතාවක් සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් මහනුවර නගරයේ යාචක කාන්තාවකගෙන් ඉල්ලා ගත් 30 හැවිරිදි තරණයෙකු ණය මුදල යළි ඉල්ලීම නිසා උරණවී එම කාන්තාව ඝාතනය කර පොලීසියට පැමිණ භාරවීමේ සිද්ධියක් මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයෙන් වාර්තා වුණා.

මහනුවර නගරයේ ලොතරැයි අළෙවි කිරීමේ නිරත අදාළ තරුණයා ලොතරැයි අළෙවි නියෝජිතයෙකුට ලබාදීම සඳහා අදාළ ණය මුදල ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

යාචක කාන්තාව එම මුදල් ඉල්ලා නිතර කරදර කිරීම නිසා රුපියල් 70,000 ක මුදලක් ටික දිනකට පෙර ඇයට දුන් බව තරුණයා පොලීසියට පවසා තිබුණා.

නැවත දිගින් දිගටම ඇය මුදල් ඉල්ලා කරදර කළ බවත් මහවැලි ගඟේ දිය නෑමට පෙරේදා (24) ඇය සමඟ ගිය අවස්ථාවේ පිහියක් ගෙන කොටන බවට තර්ජනය කර ඇය මුදල් ඉල්ලූ බවත් සැකකරුගේ ප්‍රකාශයේ සඳහන්ව තිබුණා.

එම අවස්ථාවේ තමන් පිහියා උදුරා ඇගේ ගෙළ කැපූ බවත් නීතියෙන් වසන් වී ඉන්නට නොහැකි නිසා පොලීසියට පැමිණ භාර වූ බවත් ඔහු පවසා තිබුණා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර මහනුවර අරුප්පොළ ක්‍රීඩාංගණය ආසන්යේ ගං ඉවුරේ ළඳු කැලෑවක තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඝාතනයට යොදාගත් පිහිය මළ සිරුර ආසන්නයේ තිබී සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු මහනුවර සිරිමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඝාතනයට ලක්ව ඇත්තේ ගොහාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවට හඳුනාගෙන ඇතත් අගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඝාතනයට ලක්වූ කාන්තාව මහනුවර ඔරලෝසු කණුව අසළ යාචකයෙකු ලෙස රැඳී සිටිමින් මුදල් එකතු කර තිබෙන අතර ඇය ලොතරැයි අළෙවිකරු සමඟ ඉතා සමීප සම්බන්ධතාවත් පවත්වා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, පොලිස් අධිකාරි (01) දයාල් ඉලංගකෝන් යන නිලධාරීන්ගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් රාජපක්ෂ විසින් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *