23.01.2026 දින උදෑසන 8 සිට පැය 48 ක කාලයක් දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

23.01.2026 දින උදෑසන 8 සිට පැය 48 ක කාලයක් දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්


23.01.2026 දින උදෑසන 8 සිට පැය 48 ක කාලයක් දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්

(22.01.2026 – 15:44 +0530 – sinhala.adaderana.lk)

23.01.2026 දින උදෑසන 8 සිට පැය 48 ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කළේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාව ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවය.

කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව එම සංගමය සඳහන් කළේය ෴

+++

+++

පොඩි දොස්තරලාගේ වර්ජනයට ලොකු දොස්තරලා බෑ කියයි.. ඔවුන් හෙට (23) වැඩ..

(22.01.2026 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (ජනවාරි 23) දින ආරම්භ කිරීමට නියමිත දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තම සංගමයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) නිල වශයෙන් නිවේදනය කරයි.

අද (22) දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් එම සංගමය අවධාරණය කර සිටින්නේ, වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සාමාජිකයින් සුපුරුදු පරිදි සිය සේවාවන්හි නිරත වන බවත්, මහජනතාවට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන බවත්ය.

වෛද්‍ය විශේෂඥයින් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා රජය මේ වන විට ගෙන යන වැඩපිළිවෙල ප්‍රාණ ඇපයට ගන්නා, අඩපණ කරන හෝ ආපසු හැරවීමට උත්සාහ කරන ඕනෑම ක්‍රියාවකට සංගමය දැඩි ලෙස විරුද්ධ වේ.

එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයට හා රෝගී සත්කාරක සේවාවල ගුණාත්මකභාවයට දැඩි හානි පැමිණිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳා ගැනීම සඳහා වඩාත්ම වගකීම් සහගත සහ ඵලදායී මාර්ගය වන්නේ අර්ථවත් සාකච්ඡා සහ සම්මුතීන් බව සංගමය තරයේ විශ්වාස කරයි.

රෝගී සත්කාරක සේවාව සුරක්ෂිත කිරීමටත්, වෘත්තීය ගරුත්වය රැක ගැනීමටත්, සාධාරණ මැදිහත්වීම් හරහා ගැටලු විසඳා ගැනීමටත් තමන් කැපවී සිටින බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ටී.ජී.වයි. රසික ගුණපාල සහ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴


‘මා පිළිබද තොරතුරු නොදෙනු’ කතානායකගෙන් පාර්ලිමේන්තු නිලධාරීන්ට නියෝග..?

(22.01.2026 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

2026 ජනවාරි මස 22

= මාධ්‍ය නිවේදනය =

හිතවත් ප්‍රවෘත්ති කර්තෘතුමනි / ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමනි,

“මා පිළිබද තොරතුරු නොදෙනු” – කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීන්ට නියෝග

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා විසින් සිදු කරන ලද දූෂණ ගණනාවක් අඩංගු වාර්තාවක් ‘පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව මාධ්‍යයට හෙලිදරව්වීම සම්බන්ධයෙන් සහ ගරු කතානායකවරයාගේ නිල නිවාසය පිළිබඳ රහස්‍ය තොරතුරු තෙවැනි පාර්ශවයකට හෙලිදරව් වීම සහ එම තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනයේ වාර්තාව’ යන ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුව විසින්ම සකසා තිබෙන බවට මට තොරතුරක් ලැබිණි.

ඒ අනුව,

i) කතානායකවරයා විසින් මහජන මුදල් අවභාවිතා කිරීමක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇති බැවින් ද

ii) මෙම වාර්තාව අඩංගු වන්නේ කතානායකවරයාගේ නිල නිවස සම්බන්ධ තොරතුරු වැනි පාර්ලිමේන්තුවේ පරිපාලනය පිළිබඳ තොරතුරු මිස පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට අයත් තොරතුරු නොවන බැවින් මෙම වාර්තාව ප්‍රසිද්ධ වීමෙන් 1953 අංක 21 දරණ පාර්ලිමේන්තුවේ (බලතල සහ වරප්‍රසාද) පනත උල්ලංඝණය නොවන බැවින් ද

2025 ඔක්තෝම්බර් 31 දිනැති ලිපියක් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට යවමින් එකී වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටියෙමි.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව දන්වමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ තොරතුරු නිලධාරියා වන හංස අබේරත්න මහතා විසින් 2025 නොවැම්බර් 15 දිනැති ලිපිය මගින් මට දන්වන ලදී.

එකී වාර්තාවේ පිටපතක් මට ලබා දීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් නොවන හෙයින් 5(1)(ඔ) වගන්තිය අනුව මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රශ්න සහගත බැවින් එකී තීරණයට එරෙහිව 2025 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ තොරතුරු දැන ගැනීම පිළිබඳ නම් කළ නිලධාරියා වන පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත අභියාචනාවක් ලිඛිතව ඉදිරිපත් කලෙමි. මාගේ ඉල්ලීම ගරු කතානායකතුමාගේ උපදෙස් මත ප්‍රතික්ෂේප කරන බව දැනුම් දෙමින් එතුමිය විසින් 2025 දෙසැම්බර් 19 දිනැති ලිපියෙන් මට දැනුම් දුන්නාය.

ප්‍රශ්නගත සිදුවීමේ චුදිතයා වන කතානායකවරයාගේ බලපෑම් පරිදි තොරතුරු වසන් කිරීමට, තොරතුරු ලබා නොදීමට කිසියම් තොරතුරු නිලධාරියෙකුට සිදු වේ නම් එය බරපතළ තත්වයකි. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතද උල්ලංඝණය කිරීමකි.

ඒ අනුව 2025 දෙසැම්බර් මස 30 වන දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට මම කටයුතු කලෙමි. තොරතුරු දැන ගැනීමේ කොමිසමට ඉදිරිපත් කළ එකී අභියාචනයේ පිටපතක් මේ සමග එවා ඇත.

කතානායකවරයා විසින් මහජන මුදල් අවභාවිතා කිරීමක් සිදු කර ඇත්නම් එය පිළිබදව දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරමින් අදාල වාර්තා ලබා දෙන ලෙසට නියෝගයක් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරමු !

මීට,

දේශප්‍රේමීත්වයෙන්,

පිවිතුරු හෙළ උරුමය

උදය ගම්මන්පිල

නායක


වයස්ගත පුද්ගලයන් රවටා ඒ.ටී.එම්. කාඩ්වලින් මුදල් ඇද්ද හිටපු හමුදා සෙබළා දැලේ

(23.01.2026 – hirunews.lk)

ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ගැනීමට එන වැඩිහිටියන් මුලා කොට ඔවුන්ගේ කාඩ් පත්වලින් වංචනික ලෙස මුදල් ලබා ගත්තැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසනවා.

මොහු යුද හමුදාවෙන් පළා ගොස් සිටින 39 හැවිරිදි කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට එන වැඩිහියන්ට උදව් කරනා මුවාවෙන් ඔවුන්ගේ කාඩ්පත අතට ගෙන මුරපදය අසා දැනගන්නා මෙම සැකකරු, එම කාඩ් පතට මොහු අත ඇති එවැනිම කාඩ් පතක් සූක්ෂම ලෙස මාරු කර මුදල් යන්ත්‍රයේ වරදක් ඇති බව පවසා එම වැඩිහිටියන් පිටත් කර හැර ඇති බවත් පසුව එම කාඩ්පත්වලින් මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම සැකකරු සිදු කර ඇති වංචාව පිළිබඳව දකුණු කළුතර, වාද්දුව හා බණ්ඩාරගම යන පොලිස් ස්ථානවලට පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

බැංකුවල ඇති ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කරමින් අපරාධ පරික්ෂණාගාර නිලධාරීන්ගේද සහය ඇතිව කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව පොලිසිය පවසනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය, කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රමිදු සිල්වා, කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත දකුණු කළුතර පොලිසියේ නොවිසඳුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශ්‍රී රංගා, සැරයන් (610014) කුමාර සහ පොලිස් කොස්තාපල් රියැදුරු (103672) යන නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියා ෴


හැඳුනුම්පත් කාර්යාලයේ ‘අතිකාල’ ජාවාරම ‘හිරු CIA’ හෙළිකරයි

(23.01.2026 – hirunews.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන් අතිකාල දීමනා වංචා කරන ආකාරය ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.

බත්තරමුල්ල, සුහුරුපායේ ස්ථාපිත කර ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවට අළුයම් කාලයේ සිට දිගු පෝලිම්වල රැදී සිටීමට සිදුවනවා.

එහි ගිය අපට දක්නට ලැබුනේ දැඩි අපහසුතා මධ්‍යයේ රෝගී පුද්ගලයින් ද හැඳුනුම්පත් ලබාගැනීමට මෙලෙස පෝලිමේ රැදී සිටින බවයි.

මෙලෙස ජනතාව දැඩි පීඩා මැද සිය අවශ්‍යතාවන් ඉටු කරදෙන තුරු බලා සිටියදී පවා හැදුනුම්පත් කාර්යාලයේ ඇතැම් සේවිකාවන් සේවා සැපයීමට කාර්යාලයට පැමිණි බවට ඇඟිලි සලකුණ යන්ත්‍රයේ සටහන් තබා රාජකාරිය සිදු නොකර නිවෙස් බලා යන බව ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.

සුහුරුපායේ පිටවීමේ A ගේට්ටුව හරහා අළුයම් කාලයේදී ඇතුළුවීමට අවසර හිමිවන්නේ කාර්යාල සේවක සේවිකාවන්ට පමණයි.

උදෑසන 05:30 ට පමණ මෙම ගේට්ටු අසල ඇති විදුලි පහන් නිවීයන අතර, එම කාලසීමාවේ දී අවට පවතින්නේ අඳුරු ස්වභාවයක්.

හැඳුනුම්පත් කාර්යාලයේ සේවිකාවන් එම වේලාවේදී නිවෙස්වල හැඳ සිටින ඇඳුමෙන්ම පැමිණෙන්නේ ඇඟිලි සලකුණු යන්ත්‍රය සොයා ගෙනයි.

අළුයම රාජකාරියට පැමිණි බව ඇඟිලි සලකුණු යන්ත්‍රයේ සටහන් තබන ඔවුන් සේවාවන් සිදු නොකර ඒ අවස්ථාවේම එම ගේට්ටුවෙන්ම නිවෙස් බලා හැරීයනවා.

වැඩ කරන පැය ගණනට එලෙස වංචාකරන මෙම සේවිකාවන් පසුව යළි පෙරවරු 10:00 ට පමණ රාජකාරී ඇඳුමින් කාර්යාලයට පැමිණෙන අයුරු අප හෙළි කර ගත්තා.

රාජකාරී සිදුනොකර අතිකාල ලබාගැනීමේ අරමුණින් ඇතැම් සේවිකාවන් තම ස්වාමි පුරුෂයා සමග මෝටර් රථයෙන් පැමිණ මෙම වංචාව සිදුකර පිටව යන බව ද අනාවරණය වුණා.

රාජකාරී කරන බවට දක්වමින් අතිකාල ලබාගැනීමේ මෙම කූට ක්‍රියාවලිය හරහා තවදුරටත් පීඩා විඳින්නේ මෙලෙස දිගු පෝලිම්වල රැදි සිටින ජනතාව බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පොලිස්, යුද හමුදා හා ආයතනික ආරක්ෂක අංශ මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක CCTV කැමරා පද්ධතිවලින් හෙබි මෙම කාර්යාල පරිශ්‍රයේ දිනපතා සිදුවන මෙම අනීතික රාජකාරී පැහැරහැරීම්වලට මෙම අනාවරණයෙන් පසුව හෝ නිසි විමර්ශන සිදුවේද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.

+


අහංගමදී පස් කණ්ඩියක් කඩා වැටී සිදුවූ අනතුරින් සේවකයින් තිදෙනාම (3) ජීවිතක්ෂයට

(22.01.2026 – hirunews.lk)

අහංගම පොලිස් වසමට අයත් පෑලැස්ස ප්‍රදේශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතව සිටි සේවකයින් තිදෙනෙකු (3) අද (22) පස්වරුවේ සිදුවූ පස් කණ්ඩියක් කඩා වැටීමේ අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉදිකිරීමක් සිදු කරමින් පවතින ස්ථානයක වැඩ කරමින් සිටියදී මෙම පස් කණ්ඩිය හදිසියේම කඩා වැටී ඇති අතර, එම අවස්ථාවේදී සේවකයින් තිදෙනෙකු (3) සිරවී ඇති බවට සැකකෙරුනු අතර, ඔවුන් මුදා ගැනීම සඳහා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කෙරුණා ෴

+++

+


බලංගොඩ කස්සප හිමි ඇතුළු දෙනමගේ රිමාන්ඩ් නියෝගය බල රහිත කරනවාද? නැද්ද ? නියෝගය 30 වැනිදා

(22.01.2026 – hirunews.lk)

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංශතිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල නියෝගය මේ මස 30 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කළා.

ඒ අදාල පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම්කාර හිමිවරු රිමාන්ඩ් භාරයට පත් කරමින් පසුගිය 14 වනදා සහ 19 වැනිදා නිකුත් කළ නියෝග වලට අදාළ කාර්ය සටහන්වල සහතික පිටපතක් ඊයේ (21) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත මීට පෙර නියෝග කළ තිබුණා.

එහෙත් පෙත්සම්කාර හිමිවරු රිමාන්ඩ් භාරයට පත් කළ ජනවාරි මස 14 වනදාට අදාල නියෝගයේ පිටපතක් එවා තිබුණද 19 වනදා නියෝගයේ පිටපතක් අධිකරණයට එවා නොමැති බව අද (22) පෙරවරුවේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා.

පසුව විනිසුරු මඬුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාද විවෘත අධිකරණයට කැඳවා මේ පිළිබඳව විමසීමක් කළා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා හිග එහිදී සඳහන් කළේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙන සහතික පිටපතේ එක් කොටසක් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන බවයි.

එය ඉතා සැක කටයුතු තත්ත්වයක් බව ඔහු තවදුරටත් සඳහන් කළා.

සෑම අධිකරණයකම අධිකරණ කටයුතුවලට අදාළ හඬපට පවතින බැවින් පසුගිය 19 වනදාට අදාල අධිකරණයේ නඩුව විමසීම් වලට අදාල හඬ පටය කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අපි ආචරණ අධිකරණය ඉල්ලීමක් කළා.

ඒ අනුව පසුගිය 19 වනදාට අදාල නියෝගයේ පිටපතක් සහ අදාල හඬ පටය නොපමාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළා.

පසුව අදාල නඩුකර ප.ව. 01:30 ට කැඳවන ලෙසයි විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේ.

ඒ අනුව පසුව පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සඳහන් කළේ අදාල ප්‍රදේශයේ බුදු පිළිමවහන්සේ තැන්පත් කළ අවස්ථාවේදී ප්‍රදේශයේ කිසිදු මහජන නොසන්සුන්තාවයක් නොතිබූ බවයි.

එහෙත් ආගම්වාදී සහ ජාතිවාදී ගැටුම් ඇතිවිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් පොලීසිය බුදු පිළිමවහන්සේ පොලීසිය වෙත රැගෙන ගිය අතර පොලීසිය විසින් මුතු කුඩය දෙකට කඩා භික්ෂූන් වහන්සේට පහර දී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු දහම පැවැතීම වැලැක්වීමේ අරමුණින් සහ බෞද්ධයන් බිය ගැන්වීමට පොලිසිය කටයුතු කර ඇති බවද බුදු පිළිමයක් තැන්පත් කිරීම අපරාධ ක්‍රියාවක් ලෙස දක්වා පෙත්සම්කරුවන්ට ඇප ලබා ගැනීමට නොහැකි වන පරිදි වෙරළ සංරක්ෂණ පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා එහිදී චෝදනා කළා.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කිරීමට රජය බැඳී සිටින නමුත් පොලිසියේ මෙම ක්‍රියා කලාපය ලැජ්ජා සහගත බවට ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මිනින්දෝරු වාර්තා ලබා ගැනීමකින් තොරව සහ නිසි විමර්ශනයකින් තොරව සිය සේවා දායකයින්ට එරෙහි නඩු පැවරීමට පොලීසිය ගත් ක්‍රියා මාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර ජනාධිපති නීතිඥවරයා අදාළ රිමාන්ඩ් නියෝග බල රහිත කරන ලෙස කරණයෙන් ඉල්ලා සිටියා.

වග උත්තරකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ සඳහන් කළේ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට එරෙහිව පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට පැමිණීම දෝෂ සහගත බවයි.

මෙවැනි කරුණකදී පෙත්සම්කරුවන්ට අ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරිමට සහ වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන ප්‍රකාරව මහාධිකරණය වෙත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරිමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පෙන්වා දුන්නා.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම් සම්බන්ධව නියෝගය ලබන 30 වනදා ප්‍රකාශයට කරන බව සඳහන් කළා.

පෙත්සම් වලට අදාල ලිඛිත දේශන ඇත්නම් නම් ඒවා මේ මස 27 වන දා ගොනු කරන ලෙසද අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කළා ෴

+++

කස්සප හිමිට වෛරස් උණ ඇවිදින්නේ කතා කරන්නේ අමාරුවෙන් | සුවදුක් විමසූ සිංහල සංවිධාන එකමුතුව මාධ්‍යට (22.01.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *