ගෘහ භාණ්ඩ ‘ ඔන් ලයින්’ දෙන බව කියා රු. කෝටියක් වංචා කළ ගෑණු කල්ලිය මාට්ටු
ගෘහ භාණ්ඩ ‘ ඔන් ලයින්’ දෙන බව කියා රු. කෝටියක් වංචා කළ ගෑණු කල්ලිය මාට්ටු
(18.01.2026 – hirunews.lk)
වගකීමක් සහිත ගෘහ භාණ්ඩ ලබා දෙන බව පවසා අන්තර්ජාලයේ දැන්වීම් පළකර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් සංවිධානාත්මකව වංචා කළ කාන්තාවන් තිදෙනකු (3) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරනවා.
එම සැකකාරියන් අතර එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) සහ ඔවුන්ගේ නෑනා ද වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එම සැකකාරියන් සන්තකයේ තිබී මෙම අපරාධයන් සිදුකිරීම සඳහා භාවිතා කරන ලද ජංගම දුරකථනයක්, පෞද්ගලික බැංකුවල වීසා කාඩ් පත් දෙකක් (2) හා වංචා කළ මුදලින් රුපියල් 87,000/= ක් පොලිසිය මගින් සොයාගනු ලැබ තිබුණා.
බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ උපදෙස් මත ඒකක (4) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික, පොලිස් සැරයන් (70471) තෙන්නකෝන්, පොලිස් කොස්තාපල්වරුන් වන (104619) කිත්සිරි , (15079) ජයසිංහ මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා ෴
රැකියා සහ තෑගි මුවාවෙන් සිදුවන මහා පරිමාණ මුදල් වංචාවක් : පොලිසිය අනතුරු අඟවයි
(18.01.2026 – hirunews.lk)
සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන ඇමතුම් භාවිතා කරමින් සූක්ෂම ලෙස පුද්ගලයින්ගේ මුදල් වංචා කිරීමේ ජාවාරම් රැසක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනු ලබනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පෙන්වා දෙන්නේ, ජාවාරම්කරුවන් විසින් රැකියා අවස්ථා ලබා දෙන බවට හෝ ත්‍යාග දිනුම් ඇදී ඇති බවට පවසා ජනතාව මුලා කරන බවයි.
එසේම, ඇතැම් අවස්ථාවල අසත්‍ය චෝදනා ඉදිරිපත් කර, නීතිය ක්‍රියාත්මක කරන බවට බියගන්වා වංචනික ලෙස මුදල් ලබා ගැනීම් ද වාර්තා වී ඇති බවයි එම කොට්ඨාසය සඳහන් කරන්නේ.
වංචාකරුවන් භාවිතා කරන ක්‍රමවේද ලෙසින්,
බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටීමින් ගිණුම් හිමියන් අමතා, ඔවුන්ගේ ගිණුම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බැර වී ඇති බව පවසා බිය ගන්වා, මුදල් වෙනත් ගිණුම්වලට යැවීමට සැලැස්වීම,
පොලිසියෙන් බව පවසා ගිණුම් විස්තර සහ මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සහ අන්තර්ජාල සබැඳි (Links) සහ QR කේත (Scan Codes) යොදා ගනිමින් පුද්ගලික බැංකු ගිණුම් අංක, මුරපද (OTP) ආදිය සොරකම් කිරීම යන ක්‍රමවේදයන් පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය සහ පාදුක්ක පොලිස් ස්ථානය වෙත මේ වන විටත් මෙවැනි පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම, මෙවැනි වංචාවලට හසු නොවී සිටීම සඳහා පහත ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
- කිසිදු අවස්ථාවක බැංකු තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද (Passwords/PIN) හෝ OTP අංක වෙනත් අයෙකුට ලබා නොදීම.
- සැක කටයුතු සබැඳි (Links) වෙත පිවිසීමෙන් වැළකීම.
- මුදල් තැන්පත් කිරීමට පෙර අදාළ පාර්ශවයේ අනන්‍යතාව තහවුරු කර ගැනීම.
- සමාජ මාධ්‍ය පිටුවල නිල භාවය (Verified Badges) පරීක්ෂා කිරීම.
මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය: 011 285 2556 / 075 399 4214
පරිගණක අපරාධ විමර්ශන අංශය: 011 230 0638 / 011 238 1058
තවද, අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘Cyber Crime Unit’ වෙත වහාම පැමිණිලි කරන ලෙස ද පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.
- CERT|CC – National Centre for Cyber Security in Sri Lanka
( https://www.cert.gov.lk/ )
විදෙස් රැකියා පෙන්වා රු. ලක්ෂ 14 කට විද්ද ව්‍යාපාරිකයා වසර 2 කට පසු දැලේ
(18.01.2026 – hirunews.lk)
ඊශ්‍රායල් රටේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 14 මුදලක් වංචා කර වසරකට අධික කාලයක් පොලිසිය මගහැර සිටි සැකකරුවකු කඩවත ප්‍රදේශයේදී ඊයේ (17) අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා.
හොරණ, උඩුව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ඉකුත් 2024 වර්ෂයේ දී සිදු කරන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශන සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පැමිණිලිකරු විසින් 2023 වසරේදී මිතුරෙකු මාර්ගයෙන් විදේශ රැකියා ලබාදෙන ආයතනයක් පවත්වාගෙන ගිය මෙම සැකකරු හඳුනාගෙන ඇති අතර ණයට හා පොලියට මුදල් ලබා ගෙන ඔහු මෙම මුදල් සැකකරුට ලබා දී ඇති බව අනාවරණය වී තිබුණා.
එහෙත් පොරොන්දු වූ පරිදි විදෙස්ගත කිරීම පැහැර හැරීම නිසා ලබාදුන් මුදල් ආපසු ඉල්ලා ඇති අතර ඔහුගේ දුරකථනය විසන්ධි කර ආයතනය වසා දමා සැඟවී සිට ඇතැයි පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට පත්වූයේ කඩවත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න, පොලිස් පරීක්ෂක නාකන්දල, පොලිස් සැරයන් (71385) සංජීව, පොලිස් කොස්තාපල්වරුන් වන (91389) අසංක, (57653) ජයන්ත, (2015) දිලූපා යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කළා ෴
කොන්දේසි උල්ලංඝණය කළ ඔසුසැල් 03 කට අධිකරණයෙන් දඩ
(18.01.2026 – hirunews.lk)
ඖෂධ නියාමන අධිකාරියේ නියමයන් උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය පෞද්ගලික ඔසුසැල් 03 කට අධිකරණය මගින් රුපියල් 950,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ අනුව එම චෝදනාවන්ට අධිකරණය හමුවේ වරද පිළිගත් නිකවැරටිය ප්‍රදේශයේ ඔසුසැලකට රුපියල් ලක්ෂ 03 ක දඩ මුදලක් නියම කර ඇති අතර, අඹකොටේ, තල්ගස්පිටිය ප්‍රදේශයේ තවත් ඔසුසැලකට ද රුපියල් ලක්ෂ 05 ක දඩ මුදලක් නියම කිරීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව වරද පිළිගත් ගල්ගමුව ප්‍රදේශයේ තවත් ඔසුසැලකට රුපියල් 150,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අලෙවි කරමින් බලපත්‍ර නොමැතිව ඔසුසල් පවත්වාගෙන ගිය බවට හා ඖෂධවේදියෙකු සේවයේ නොයොදවා ඔසුසලක් පවත්වාගෙන ගිය බවට වෙන් වෙන් වශයෙන් අධිකරණ හමුවේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා ෴
ස්කූටරයෙන් ගිය කතකගේ මාලය කඩන්න ගිය කොල්ලකරුවන්ට වැඩ වරදී
(17.01.2026 – hirunews.lk)
රත්නපුර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බටුගෙදර ප්‍රදේශයේදී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කොල්ලකෑමට ගත් උත්සාහයක් අසාර්ථක වී තිබෙනවා.
අද (17) පෙරවරු 11:40 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් කාන්තාව ගමන් කළ යතුරුපැදිය පසුකර යනවාත් සමඟම ඇගේ ගෙල බැඳි රන් මාලය කඩා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී සිදු වූ පොරබැදීම හමුවේ කාන්තාව සිය යතුරුපැදිය සමග මාර්ගය මත ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කොල්ලකරුවන් රන් මාලය කඩා ගැනීමට සමත් වුවද, කාන්තාව බිම ඇද වැටීමත් සමඟ එය කොල්ලකරුවන් අතට පත් නොවී ගැලවී ගොස් ඇති අතර, මේ හේතුවෙන් රන් මාලය කොල්ලකෑමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා.
මෙම සම්පූර්ණ සිදුවීම අසල තිබූ CCTV කැමරාවක පැහැදිලිව සටහන් වී ඇති අතර, ඒ ඇසුරින් සැකකරුවන් හඳුනා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි රත්නපුර පොලිසිය පැවසුවේ.
+
මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික
(18.01.2026 – 14:32 +0530 – sinhala.adaderana.lk)
මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු ‘දම් පැහැති ආර්නූල් මැණික’ කොළඹදී එළිදක්වා තිබේ.
කැරට් 3,563 ක බරකින් යුතු මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි.
ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික් ගලක් ලෙස විද්‍යාත්මකව තහවුරු කර ඇති බව වාර්තා වේ.
මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300 ත් 400 ත් අතර වන බව එම මැණික එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ලංකා මැණික් පර්යේෂණාගාරයේ ප්‍රධාන රත්නවේදී අශාන් අමරසිංහ මහතා කියා සිටියේය.
+
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට යන ලකුණු
(18.01.2026 – 20:13 +0530 – sinhala.adaderana.lk)
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.
ලබන 21 වනදා පෙරවරු 08:00 සිට පැය 24 ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි.
මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය.
සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී (2) සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිත දැනුම්දීම් සිදුකළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට සිදුවන බව චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි ෴
රු. කෝටි 10 ක තෙන්දු කොළ මල්වානෙන් අල්ලයි
(18.01.2026 – hirunews.lk)
තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ආනයනය කරන ලද රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් තෙන්දු කොළ කිලෝ 10,000 ක් මල්වාන ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී සැකකරුවකු ද සමග අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ තෙන්දු කොළ ඉන්දියාවේ සිට බෝට්ටු මගින් හා කන්ටේනර් මගින් හොර රහසේ මෙරටට ගෙන එන ලද බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී.එන්. ඒ. පේමරත්නගේ අධික්ෂණය යටතේ හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (ආදායම් ) ජයන්ත සිල්වාගේ උපදෙස් මත දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය භාර සුරාබදු අධිකාරි පී.එන්. හේමන්තට ලැබුණු තොරතුරකට අනුව සුරාබදු බුද්ධි ඒකකය මගින් සිදු කළ මේ වැටලීමට කැස්බෑ ව සුරාබදු ඒකකයේ සුරාබදු පරීක්ෂකවරුන් වන වසන්ත ප්‍රේමසිරි හා මිලින්ද කහටපිටිය යන නිලධාරින් ද සහභාගි වුණා ෴
රු. මිලියන 34 ක ජංගම දුරකථන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අල්ලයි
(18.01.2026 – hirunews.lk)
රුපියල් මිලියන 34 කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථන තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අද (18) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (18) උදෑසන 07:00 ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-226 දරන ගුවන් යානයෙන් පැමිණි මෙම සැකකරු, ගුවන් තොටුපළේ ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී සැකකරු සතු වූ ගමන් මලු තුනක් (3) පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ ජංගම දුරකථන 397 ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම ජංගම දුරකථන තොගය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නිසි අනුමැතියකින් තොරව මෙරටට ගෙනවිත් ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර, ඔහු මේ වන විට රේගු භාරයේ පසුවන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴