මහා පරිමාණ දුම් කුඩු ජාවාරමෙක් බේරුවලින් අල්ලයි
(02.01.2026 – hirunews.lk)
බේරුවල නගරය හා අවට ප්‍රදේශවල උපකාරක පන්ති දරුවන් සහ බාල වයස්කාර දරුවන් ඉලක්ක කර ගනිමින් අළෙවි කරන දුම් කුඩු ඇසුරුම් පැකට් 111 ක් සහ දුම්කොළ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
බේරුවල මරදාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ස්ථානය පිළිබදව ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වැටලීමක් කර සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
බේරුවල නගරය අවට පාසල්වල පාසල් දරුවන් අධ්‍යාපන කටයුතු සිදුකරන අවස්ථාවේ අධික ලෙස මත් වී සිටින බවට ගුරුවරුන් සහ දෙමාපියන් ගෙන්ද පැමිණිලි ඉදිරිපත් වී තිබුණු බවට වාර්තා වුණා.
ඒ අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම වැටලීම සිදුකර සැකකරු සමග දුම්කුඩු නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මෙන්ම ඒව නිෂ්පාදනය යොදා ගන්නා බෙලන්ඩරයක් ඇතුළු යන්ත්‍ර කිහිපයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (02) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
හය (6) ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව විසඳීමට විකල්ප තුනක් (3)
(02.01.2026 – hirunews.lk)
ජාතික අධ්‍යාපන ආයතනය මගින් සකස් කර මුද්‍රණය කෙරුණු හයවෙනි (6) ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාල මොඩියුලයේ පොත්වල ගැටලුවක් මතුවී ඇති පිටුව සම්බන්ධයෙන් විකල්ප තුනක් (3) පිළිබඳව අවධානය යොමුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන විශේෂඥයින් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කරන්නේ අදාල ගැටලුව පවතින පිටුව ඉවත් කළ පසු මුද්‍රණය සහිතව හෝ මුද්‍රණය රහිතව මෙම පොත සම්පූර්ණ කරනවාද යන කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි.
පොතේ අන්තර්ගතයට කිසිදු හානියක් සිදු නොවන ආකාරයට වියදම අවම වන ආකාරයෙන් මෙම ගැටලුව විසඳා ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සමඟ ද සාකච්ඡා කරමින් පවතින බවද ලේකම්වරයා සඳහන් කරනවා.
මොඩියුලයේ පොතෙහි අනෙකුත් පාඩම්වලට ගැටලුවක් ඇති නොවන ආකාරයට මෙම ගැටලු සහගත පිටුව ඉවත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන විශේෂඥයින්ගෙන් ලබාගන්නා උපදෙස් අනුව ඉතා කඩ්මින්ම මීට අදාල විසඳුම ලබාදෙන බවද නාලක කළුවැව පැවසුවා.
මෙම පොත් බෙදා හැරීම සඳහා ජනවාරි 21 වැනිදාට පෙර මෙම ගැටළුව විසඳන බවත් ඒ අනුව කඩිනමින්ම අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් ලැබුණු වහාම මෙම විකල්පවලින් සුදුසුම ක්‍රියාමාර්ගය දියත් කරන බවත් නාලක කළුවැව ප්‍රකාශ කරනවා.
හයවෙනි (6) ශ්‍රේණිගේ ඉංග්‍රීසි විෂයට අදාල මොඩියුලයේ පොත් ලක්‍ෂ තුනහමාරක් (3½) මුද්‍රණය කර ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි හයකට (6) ආසන්න මුදලක් වියදම් වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.
මෙම පොත යළි මුද්‍රණය කිරීමක් කිසිදු ආකාරයකින් සිදු නොකරන බවත් සිදු කරන්නේ අදාල ගැටලු සහගත පිටුව පමණක් ඉවත් කර ඒ වෙනුවට අධ්‍යාපන විශේෂඥයින් ලබාදෙන උපදෙස් අනුව ගන්නා වඩාත් සුදුසුම විකල්ප ක්‍රියාමාර්ගය බවත් වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා ෴
රු. මිලියන 34 ක ‘කුෂ්’ සමග ඉන්දියානුවෙකු කටුනායකදී දැලේ
(02.01.2026 – hirunews.lk)
රුපියල් මිලියන 34 කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ (Kush) වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (02) පෙරවරු 11:00 ට පමණ බැංකොක් සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 403 දරන යානයෙන් මෙරටට පැමිණි 35 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ග්‍රෑම් 3,419 ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබෙනවා.
රේගු වාර්තා සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් තිස්හතර මිලියන එකසියඅනූ දහසක් (රු. 34,190,000) පමණ වනු ඇති ෴
ආපදාවෙන් මියගිය සියයට අසූවකට (80%) මරණ සහතික
(02.01.2026 – hirunews.lk)
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර නිසා මියගිය පුද්ගලයින් 519 දෙනෙකුට මරණ සහතික නිකුත් කර අවසන් බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
තවත් පුද්ගලයින් 92 දෙනකුට මරණ ලියාපදිංචි කිරීමේ සහතික ලබාදීමට නියමිතව ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති දත්තයන්ට අනුව මෙම ව්‍යවසනකාරී තත්ත්වය නිසා මේ වනවිට පුද්ගලයින් 611 දෙනකුගේ මෘත දේහයන් හඳුනාගෙන ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් ශෂී දේවි ජලදීපන් ප්‍රකාශ කළේ.
පස් කඳු කඩා වැටීම සහ නායයාම හේතුවෙන් මේ වන විට අතුරුදන් වූ පුද්ගලයින් 164 කගෙන් පුද්ගලයින් 92 කගේ නම් හඳුනාගැනීම තහවුරු කිරීම පිණිස මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ප්‍රදර්ශනය කර ඇති බවද වාර්තා වනවා.
පසුගිය 02 වැනිදා රජය විසින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා ෴
මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය සිදු කෙරේ
(02.01.2026 – 18:42 +0530 – sinhala.adaderana.lk)
මාවනැල්ල දනාගමවත්ත ප්‍රදේශයේ දී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය පරික්ෂණය මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිසේදා කුමාරි කරුණාතිලක මහත්මිය විසින් අද (02) සිදුකරනු ලැබිය.
ඝාතනයට ලක් වූ මාවනැල්ල, දනාගමවත්ත පදිංචි 58 හැවිරිදි කාන්තාව සිය නිවසේ තනිවම සිටියදී පිහියකින් ඇන ඝාතනය කර ඇති අතර, එම ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි කාන්තාව ද සිය නිවසේ තනිව සිටියදි පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට එහිදී අනාවරණය වී තිබේ.
එමෙන්ම එහි පදිංචි 51 හැවිරිදි පස් දරු පියා ද ඔහුගේ නිවසේ නිදා සිටිය දී මෙලෙස පිහියකින් ඇන ඝාතනය කර ඇති බව හෙළි වී ඇත.
මාවනැල්ල මූලික රොහලේ තැම්පත් කර තිබු මළසිරුරු පරික්ෂා කිරිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ.
+++
+
කිරිබත්ගොඩ සුපිරි හෝටලේ කෙරුවාව : නාන කාමරය, නිදන කාමරය විඩියෝකරලා (02.01.2026)
+
එයා හින්දා තාත්තා-පුතා සම්බන්දකම් එපා කිවුවා…! – ලෙලුම් රත්නායක (02.01.2026)
+
ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙට්ට ගනුදෙනුව ‘පට්ට ගැසූ’ පුහුණුකරු පොලිසි කැඳවයි
(02.01.2026 – aruna.lk)
ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙරටට ගෙන්වා ඇති උස පැනීමේ මේටට තොගයේ ප්‍රමිතිය සහ ඒවා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවා ලබාගෙන ඇතැයි විවේචනයක් ඉදිරිපත් කරමින් අදාළ ගනුදෙනුව පිළිබඳ රටෙහි අවධානය යොමුකළ ප්‍රවීණ පුහුණුකරු ප්‍රියන්ත තන්ත්‍රිගේ එකී සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් මත අද (02 වැනිදා) කුරුඳුවත්ත පොලිසිය වෙත කැඳවා ඇත.
මීටර 3000 බාධක දිවීම සහ මීටර 5000 යන ඉසව්වල හිටපු ජාතික ශූරයකු, ජාතික වාර්තා ලාභියකු, ජාත්‍යන්තර පදක්කම්ලාභියකු මෙන්ම ජාත්‍යන්තර සුදුසුකම් ලත් පුහුණකරුවකු වන ප්‍රියන්ත තන්ත්‍රිගේට විරුද්ධව එකී පැමිණිල්ල සිදුකර ඇත්තේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ එකී ක්‍රීඩා භාණ්ඩ භාරව සිටින නිලධාරියකු විසින් කළ පැමිණිල්ලකට අනුව යැයි පැවසේ.
ප්‍රියන්ත තන්ත්‍රිගේ විසින් ක්‍රීඩාංගණයට මාධ්‍ය රැගෙන ගොස් ඇතිය යන්න මෙකී පැමිණිල්ලේ චෝදනාව බව පැවසේ.
මේ අතර ඔහු විසින් මාධ්‍ය හමුවේ එම අදහස් ප්‍රකාශ කරන මොහොතේ ඒ අසල සිටි (නමුත් මාධ්‍ය වෙත කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමට කටයුතු නොකළ) පුහුණුකරුවකුද අදාළ චෝදනාව යටතේම කටඋත්තර ගැනීම සඳහා අද කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇත.
වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනයට ලක්වන සේ සහ වත්මන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිහානීය ලක්ෂණ ගෙනහැර දක්වමින් අදාළ පුහුණුකරුවා කරුණු දැක්වීමෙන් අනතුරුව, ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන් ඒ පිළිබඳ බොහෝ කලබල වී ඇති බවටද ක්‍රීඩා අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන අතර අදාළ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ සමාජ ගතවීමෙන් අනතුරුව ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ආරක්ෂක අංශය ද එකී පුහුණුකරුවාට එරෙහිව පැමිණිල්ලක් සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත යොමුකර තිබූ බවද වැඩිදුරටත් සැලවේ ෴
+
ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴