‘සිස්ටම් චේන්ජ්’ කරන්න ආව මාලිමාව හොරණ නගර සභා ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළා – හොරණ ඒකාබද්ධ විපක්ෂය

‘සිස්ටම් චේන්ජ්’ කරන්න ආව මාලිමාව හොරණ නගර සභා ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළා – හොරණ ඒකාබද්ධ විපක්ෂය


‘සිස්ටම් චේන්ජ්’ කරන්න ආව මාලිමාව හොරණ නගර සභා ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළා – හොරණ ඒකාබද්ධ විපක්ෂය

(24.12.2025 – hirunews.lk)

“සිස්ටම් චේන්ජ් එකට ආව මාලිමාවෙ කට්ටිය මේ කරපු නින්දිත අසික්කිත කැත වැඩේ ඒකාබද්ධ විපක්ෂය විදිහට අපි තරයේ හෙලා දකිනවා. මෙවැනි කළු පැල්ලමක් හොරණ නගර සභා ඉතිහාසය තුළ මම දැකලා නෑ” යැයි හොරණ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී (ස්වාධීන) ග්‍රැන්විල් රාජපක්ෂ අද (24) හොරණ දී පැවසුවා‍.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ හොරණ නගර සභාවේ 2026 සංශෝධිත අයවැය පෙරේදා (23) සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි (ජාජබ) ඇතුළු පාලක පක්ෂය විසින් විපක්ෂයේ සහභාගීත්වයකින් තොරව සම්මත කර ගැනීමේ සිද්ධිය මුල් කරගනිමින් කරුණු පැහැදිළි කිරීම සඳහා වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ග්‍රැන්විල් රාජපක්ෂ මන්ත්‍රීවරයා :

“මාලිමා රජයේ සභාපතිවරයා අයවැය විවාදය පැවැත්වූ ආකාරය ඉතාම කණගාටුදායකයි. මොකද වසර 80 ක් තුළ සභාපතිවරු 07 දෙනෙක් පාලනය කළ හොරණ නගර සභාවේ වසර 30 පමණ කාලයක් මහජන නියෝජිතයකු ලෙස මම අයවැය විවාද වලට සහභාගි වුණා. ඒ දැක්ක ඉතිහාසය තුළ නරකම වංචනිකම අයවැය තමයි මේ. 2026 පළමු වර අයවැය දෙසැම්බර් 05 දා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමෙත් සහභාගීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේ පිටු 60 ක් පමණ වන අයවැය කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමට සභාපතිවරයාට පැය 04 ක පමණ කාලයක් ගත වුණා. අවිනිශ්චිත විදිහට ඒ අයවැය පුම්බලා තිබුණා. අපි සංශෝධන ඉදිරිපත් කළා. මාලිමා සභාපති ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අපේ සංශෝධන පිළිගත්තා. අපි ඒ අයවැය පරාජය කළේ ජනතා හිතවාදි අයවැයක් නොවන නිසා.

දෙවන වර සංශෝධිත අයවැය පෙරේදා (23) පෙරවරු 10:00 ට යොදා තිබුණා. ඒ සංශෝධිත අයවැය ජනතා හිතවාදී නම් ඒ ගැන සලකා බලන්න තමයි හරියටම 10:00 ට අපි සභා ගර්භයට ගියේ. ආගම සිහි කිරීම, මියගිය රණවිරුවන්, නගර සභා සේවකයින් සිහිකිරීම, සංශෝධිත අයවැය කෙටුම්පත සම්මත කිරීම වැනි කරුණු ‍න්‍යාය පත්‍රයට ඇතුළත් වෙලා තිබුණා.

නමුත් ඒ කිසි දෙයක් නොකර විනාඩි තුනක් (3) වැනි කාලයකදී අයවැය සම්මතයි කියලා නැගිට්ටා. සෞඛ්‍ය, මුදල්, කර්මාන්ත කමිටු සියල්ලට ඉදිරි වසරට අපි ඔවුන්ට බලතල ලබා දුන්නා. අපි කකුලෙන් අදින්න ගියේ නෑ. මම ස්වාධීන මන්ත්‍රීවරයෙක්. මට දේශපාලන බලපෑමක් නැහැ. නමුත් ඒ සිදු කළ ක්‍රමවේදය පිළිබඳ දැඩි පිළිකුලක් ඇති වුණා. හිටපු නගර සභා සභාපතිවරයෙක් විදිහට මේ කරපු ක්‍රියාව මම තරයේ හෙලා දකිනවා.”

මෙහිදී අදහස් දැක්වූ (එජාප) මංත්‍රී රජීව ගුණසේකර මහතා :

“සාමූහික හැඟීමෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හත්දෙනා (7) පෙරවරු 10:00 සභාවට ඇතුළු වුණ අවස්ථාවේදී අපි දැක්කා සභාපතිවරයා සම්ප්‍රදායනුකූලව සභා ගර්භයට ඇතුළු වන ඉදිරි දොරටුව වහලා පිටුපස දොරෙන් ඔවුන්ගේ මන්ත්‍රී කණ්ඩායමත් සමග ඇතුල්වෙලා සභාගර්භය තුළ ඇති ඔරලෝසුව 09:55 ට තියෙන්න ඕන වෙලාව 10:00 දක්වා විනාඩි පහකින් (5) වැඩි කරලා 09:55 ට සභාව ආරම්භ කරලා. මං හිතන්නේ විනාඩි 05 තුළ අයවැය සම්මත කරල අවසන් කළ පලවන නගර සභාව තමයි හොරණ නගර සභාව.

ඇත්තටම අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේ සභාව තුළ න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කළාද ඡන්ද වීමසීමක් සිදු කළාද කියන එක. ජනතා නියෝජිතයො හැටියට තොරතුරු දැනගැනීමේ පනත හරහා අපි සියලුම මන්ත්‍රීවරු හත් දෙනාගේ අත්සනින් යුතුව ලේකම්තුමියට ලිපියක් ඉදිරිපත් කළා. සභාව තුළ සිදුවූ කාර්යයන්, සියලු පටිගත කිරීම්, ඒ වගේම සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. මං හිතනවා ලේකම්තුමිය දින 14 ඇතුළත ඒ වාර්තාව අප වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම කළුතර කොමසාරිස්තුමියටත් අපි ලිපියක් ඉදිරිපත් කළා. මේ පිළිබඳ ඉක්මන් විමර්ශනයක් සිදුකර අනාවරණය සිදු කරන ලෙස ඉල්ලා.

අපි විපක්ෂයක් හැටියට සභා කටයුතුවලදී සභාපතිවරයාට යම් යම් අවස්ථාවලදී අයවැයවල තිබුණු ගැටලු නිරාකරණය කරද්දී අයවැයට සහයෝගය ලබා දීලා තියෙනවා. එවැනි පසුබිමක් තුළ තමයි මේ ක්‍රියාව ඊයේ (23) සිදු වුණේ. නගර සභා ඉතිහාසය තුළ දැවැන්ත අඳුරු යුගය ඊයේ (23) දිනයේදී සනිටුහන් කළා. ඒ වගේම මට පැහැදිලිව දැනගන්න ලැබුණා හොරණ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සංයුතිය ඇතිවෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනෙක් (2) සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු හතර දෙනෙකු (4) ගෙන් බව.

සභාපතිවරයා හොඳාකාරවම දන්නවා පවතින පළාත් පාලන නීතිය අනුව පළමුවර හා දෙවනවර අයවැය පරාද වීම තුළ සභාපතිවරයාට පාලන බලය කිසිසේත්ම හිමි නොවන බව. මේ වැඩ පිළිවෙල මේ විදිහට යෙදුවේ ඒ නිසා බව මට පැහැදිලියි. සභාපතිවරයාට විශාල පීඩනයක් ඇතිවෙලා තියෙනවා ඔහුගේ කණ්ඩායම තුළින්. යම් ලෙසකින් 23 දා අයවැය පරාජය වූවා නම් ඔවුන්ගේ කණ්ඩායම නියෝජනය කරන කෙනෙක් සභාපතිවරයා ලෙස පත්තර ගැනීමේ අරමුණක් තිබුණාද යන්න මේ වෙනකොට සමාජයේ ලොකු කතා බහකට යොමු වෙලා තියෙනවා.

අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට ඒකපාර්ශවීයව සිදු කරනු ලැබූ සංශෝධිත අයවැය කෙටුම්පතට විරෝධය පළ කරනවා. ඉදිරියේදී විපක්ෂයක් විදිහට මහජනතාව ඒ සඳහා පෙළ ගැස්වීමට කටයුතු කරනවා. අපි හත් දෙනා එකටම ගියේ අපේ එක මන්ත්‍රීවරයෙකු හෝ ඩැහැ ගත්තා නම් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබුණා. ඒ වගේ අතීතයක් අපට තිබුණා. මීට පෙර තිබුණ අයවැය ප්‍රකාශ කරන අවස්ථාවේදී අපේ යම් මන්ත්‍රීවරියකට ඒ පාර්ශවය විසින් බලපෑම් කිරීමට කටයුතු කරලා තිබුණා.

සාරංග සේනානායක (එජාප) මංත්‍රී :

“මේ සභාපතිවරයා ඇතුළු පාලක මන්ත්‍රීවරු විධායක බලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳ අපි ඉතාම කණගාටු වෙනවා. මාධ්‍යට පවා ඇතුල් වීමට ඉඩ දීලා නැහැ. ඒ පිළිබඳව මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරණයක් ලැබී තිබෙනවා. ආරක්ෂක නිලධාරිනිය පැහැදිලිවම ප්‍රකාශ කරනවා සභාපතිතුමා ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා කිව්වා කියන පණිවිඩය. ඊයේ (23) වෙනකොට නගර සභාවෙ සීසීටීවී කැමරා සම්පූර්ණයෙන්ම අක්‍රීය කරලා. ‘ෆින්ගර් ප්‍රින්ට්’ යන්ත්‍ර අක්‍රීයයි. මේ සිදු කර තිබෙන්නේ වංචා සහගත කූට උපක්‍රමශීලී ක්‍රියාවක්.

නගරයේ ඡන්ද දායකයන්ගේ අයිතියයි මේ නැති කර තිබෙන්නේ. මේ අයවැයේ රු. කෝටි හතරක පහකින් (4 – 5) අවිනිශ්චිත ලෙස නොලැබෙන ආදායම් පුම්බල තිබුණා. සුභ සාධන වියදම් සඳහා පාරවල්, කාණු, බෝක්කු, මාර්ග දාලා තිබුණා. ඒවායින් ආදායම් ලැබෙන්නෙ නෑ. ජනතාවගේ ඡන්දයෙන් පත්වුන මන්ත්‍රීවරු විදිහට අපි කළේ වැරදි දේවල් සංශෝධනය කරපු එකයි. විනාඩි පහක් (5) තුළ කිසිසේත්ම සම්මත කළ නොහැකි අයවැයක් සම්මත කළා. අයවැය කියන එකේ වටිනාකමවත් සභාපතිවරයා දන්නේ නෑ.

මෙම මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන පියල් මංජුල ගමගේ (සජබ), සිදත් මහවත්ත මහතා (සජබ), රෝහිත මාතර ආරංචි මහතා (පොජපෙ), තිළිණි මහවත්ත (ස්වාධීන) යන මන්ත්‍රීවරුන්ද අදහස් දැක්වුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *