කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉඩමේ අයිතිය ඉල්ලා කලහ කළ බවට අත්අඩංගුවට ගත් 05 දෙනාට ඇප

කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉඩමේ අයිතිය ඉල්ලා කලහ කළ බවට අත්අඩංගුවට ගත් 05 දෙනාට ඇප


කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉඩමේ අයිතිය ඉල්ලා කලහ කළ බවට අත්අඩංගුවට ගත් 05 දෙනාට ඇප

(22.12.2025 – hirunews.lk)

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය අසල පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුළු කණ්ඩායමක් විසින් සංවිධාන කළ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, එම විරෝධතාවයට එරෙහිව පොලිසිය ලබාගෙන තිබූ අධිකරණ නියෝගය කඩ කරමින් අදාළ පිරිස ක්‍රියා කිරීම හේතුවෙන්.

මෙහිදී නීති විරෝධී රැස්වීම, අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු 5 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

+++

+


නායයෑම් ආශ්‍රිත පාසල් වෙනත් ස්ථානවලට

(22.12.2025 – hirunews.lk)

නායයාම් ආශ්‍රිත පාසල් නැවත විවෘත කිරීම අනතුරුදායක බැවින් එම පාසල් විද්‍යාත්මක පදනම මත සුදුසු ස්ථානයක ස්ථනගත කිරීම කෙරෙහි රජය අවධානය යොමුකරමින් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින් සමග පැවති හමුවකදීයි.

මේ අතර, දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි පතිත වෙමින් පවතින අතර, අද (22) උදෑසන 08:30 න් අවසන් පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 105.5 ක් වාර්තා වුණේ ගාල්ල ප්‍රදේශයෙන්.

මේ අතර, ප්‍රධාන ජලාශ 36 ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 52 ක වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම තවමත් ප්‍රදේශ රැසකින් පහව ගොස් නැහැ.

පැවැති ආපදා තත්ත්වයත් සමග අංකුඹුර එගොඩමුල්ල ප්‍රදේශයේ කන්දක කොටසක් නාය යෑමට ලක්වූ අතර ඒ හේතුවෙන් නිවාස 13 ක් සහ වතු නිවාස පේළියක් ඉරි තලා ඇති අතර, මේ හේතුවෙන් එම නිවාසවල ජනතාව තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, බදුල්ල – මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කළුගහකඳුර වැවතැන්න ගම්මානය ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ තවත් එක් ගම්මානයක්.

මීගහකිවුල නගරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඈතින් පිහිටි මෙම ඉතා දුෂ්කර ගම්මානයේ පවුල් 100 ක් පමණ ජීවත් වන අතර නිවාස කිහිපයකටම නාය යෑමෙන් දැඩි හානි සිදු වුණා.

එමෙන්ම, ගංවතුරෙන් පීඩාවට පත් වූ ගම්පොල නගරයේ ව්‍යාපාරිකයින් චෝදනා කළේ, තමන්ට තවමත් සහල ලැබී නොමැති බවයි ෴


වැඩ තහනම් වූ පොලිස් නිලධාරියෙකු රුපියල් කෝටි 10 ක මත්කුඩු සමග අත්අඩංගුවට

(22.12.2025 – hirunews.lk)

රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 09 ක් සමගින් සැකකරුවෙකු කරන්දෙණිය තුනේ කණුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුව එම ප්‍රදේශයේ නිවසක් තුළ තිබීයදී මෙම ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය සොයා ගෙන තිබුණා.

ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන්ට අදාළ මත්ද්‍රව්‍ය මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ බවටයි.

එමෙන්ම, තමන් හිටපු පොලිස් නිලධාරියෙකු බවටත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

දැනට අනාවරණය වී ඇත්තේ සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව මීට පෙර වැඩ තහනමකට ලක්වී ඇති බවටයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා ෴


තිහාරිය ප්‍රදේශයේ වෙළඳසල් සංකීර්ණයක ගින්නක්

(22.12.2025 – hirunews.lk)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ මහල් 03 කින් සමන්විත වෙළඳසල් සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගය තිහාරිය ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට සීමා කිරීමට පියවර ගත් බවයි.

විදුලි උපකරණ අලෙවිකරන වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැක පළ කරන්නේ.

+++

+


කහතුඩුවේදී මෝටර් රිය කොල්ල කෑ ප්‍රධාන සැකකරු ‘අයිස්’ සමග අල්ලයි

(22.12.2025 – hirunews.lk)

කහතුඩුව, මහවංගුව ප්‍රදේශයේදී මෝටර් රථ රියදුරෙකුට කැත්තකින් පහර දී රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රධාන සැකකරු, ඔහුට ආධාර අනුබල දුන් ඔහුගේ අනියම් බිරිඳ සහ තවත් පුද්ගලයෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.

ඉකුත් 14 වනදා අලුයම කහතුඩුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ බලා යාමට පැමිණි රියදුරෙකු, වේලාව පවතින බැවින් පොල්ගස්ඕවිට හන්දියේ මෝටර් රථය නවත්වා විවේක ගනිමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී පැමිණි පුද්ගලයෙකු, තම බිරිඳ අසනීප වී රෝහල්ගත කිරීමට උදවු වන ලෙස කළ ආයාචනයකට අනුව රියදුරා ඔහුට උදවු කිරීමට එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත්, රථය පණගන්වනවාත් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) බලහත්කාරයෙන් රථයට ගොඩවී ඇති බවත්, හොරණ දෙසට ගමන් කරන අතරතුර සැකකරුවන් රථයේ GPS පද්ධතිය පිළිබඳව විමසූ අවස්ථාවේදී රියදුරාට ඇති වූ සැකය මත රථය ආපසු හරවා පොලිසිය දෙසට ධාවනය කිරීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී සැකකරුවන් විසින් රියදුරාට කැත්තකින් පහර දී ඔහුව රථයෙන් පිටතට ඇද දමා, රථය සහ දේපළ කොල්ලකා පලා ගොස් ඇති බවත්, කොල්ල කෑ දේපල අතර, රුපියල් 45,000 ක මුදලක්, රුසියානු රූබල් 65,000 ක්, ATM කාඩ්පත් දෙකක් (2) සහ ජංගම දුරකථන දෙකක් (2) ඇතුළත් බවයි පොලිසිය සඳහන් කළේ.

පහරකෑමෙන් වැලමිට ප්‍රදේශයට බරපතල තුවාල ලැබූ රියදුරා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සහ සැකකාරිය සන්තකයේ තිබී ග්‍රෑම් 11 ක් පොලිස් භාරයට ගත් බවත්, මීට පෙරද මෙම කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා.

පොලිසිය පවසන්නේ මොවුන් සියලු දෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සැන්ඩෝ’ හෙවත් ‘කුරුවිට ආරච්චිගේ කවිඳු ධනංජය’ යන අයගේ කල්ලියේ සාමාජිකයන් බවයි ෴


බහාලුම් 8,000 ක් නිෂ්කාෂණ කටයුතු සඳහා යොමු කරයි

(22.12.2025 – hirunews.lk)

මේ වන විට බහාලු‍ම් 8,000 ක් පමණ නිෂ්කාෂණ කටයුතු සඳහා යොමු කිරීමට ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී යි.

රේගු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ නිෂ්කාශන කටයුතු වේගවත් කරලීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට මේ සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට සාකච්ඡාවේදී උපදෙස් ලබා දුන් අතර, එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට දින හතරකින් (4) තවත් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.

මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, වරාය නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, පර්යන්ත ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴


දුම්රිය ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ගන්න තැන් රැසක්

(22.12.2025 – hirunews.lk)

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පමණක් සීමා වී ඇති ‘දුම්රිය ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ගෙවීමේ (Ticket Refund) පහසුකම’ දෙසැම්බර් 25 වැනිදා සිට දිවයිනේ තවත් ප්‍රධාන දුම්රිය ස්ථාන රැසකට ව්‍යාප්ත කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීමේ සහ මගී පහසුව සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

මේ අනුව ලබන 25 වැනිදා සිට බදුල්ල, ඇල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, නානුඔය සහ හැටන් යන දුම්රිය ස්ථානවලින් මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම හිමිවනු ඇති.

මීට අමතරව අනුරාධපුරය, යාපනය සහ මඩකලපුව යන දුම්රිය ස්ථානවලද නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම සේවාව ආරම්භ කෙරෙනවා.

ලබන ජනවාරි මාසයේ සිට මහනුවර දුම්රිය ස්ථානය ද මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතව ඇත්තේ.

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අත්හිටුවීමට සිදු වූ අතර, එමගින් පීඩාවට පත් මගීන්ට තමන් වෙන්කරගත් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ආපසු ලබාගැනීමටද මෙය සහනයක් වනු ඇති ෴


උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

(22.12.2025 – hirunews.lk)

එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ‘මෙහෙයුම් මැදිරියක්’ (Operations Room) ස්ථාපිත කිරීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

උත්සව සමය නිමාවන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරිය, ශ්‍රී ලංකා යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය අතර සමීප සහයෝගීතාවක් පවත්වා ගන්නා ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

උත්සව සමය තුළ මතු විය හැකි ඕනෑම ආරක්ෂක අභියෝගයකදී හෝ හදිසි තත්ත්වයකදී කඩිනම් සහ විධිමත් ලෙස ක්‍රියාත්මක වීම, ආරක්ෂක අංශ අතර යාවත්කාලීන වන තොරතුරු කඩිනමින් හුවමාරු කර ගැනීම සහ කාලෝචිත තීරණ ගැනීම මෙන්ම, සියලුම ආරක්ෂක අංශවල මෙහෙයුම් සූදානම ඉහළ මට්ටමක පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණු වනු ඇති ෴


අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට

(22.12.2025 – 07:06 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවය.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබා දීමේදී සිදුවන වංචා සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බව නිරෝෂ් ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *