පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී

පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී


පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී

(17.12.2025 – hirunews.lk)

පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබෙන අතර මෙම පහරදීම සිදු කරන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානධිපතිවරයා බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

මේ අතර පහරදීම කළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති බවද පැවසුවා.

සැකකාර නිලධාරීයාට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා ෴


‘රංජන් ජයලාල් සිද්ධිය’ ගැන පොලිස් විමර්ශනයක්

(17.12.2025 – hirunews.lk)

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයින් පිරිසක් අතර සිදුවූ බව කියන බහින්බස් වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන බව පොලිසිය පවසනවා.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා සී.සී.ටී.වී. දර්ශන උපයෝගි කර ගන්නා බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරන බවයි අදාළ සත්ත්ව සුබසාධන සංවිධානයේ නියෝජිතයින් කියා සිටියේ.

කඩුවෙල මහ නගර සභාව විසින් කැඳවා තිබූ සාකච්ඡාවකට සහභාගී වූ තමන්ට නගරාධිපති රන්ජන් ජයලාල් තර්ජනය කළ බව සත්ත්ව සුබසාධන සංවිධානයක නියෝජිතයින් ප්‍රකාශ කළා.

මාලබේ ප්‍රදේශයේ වීථි සුනඛ ගැටලු‍වක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම පිරිස මහ නගර සභාව වෙත කැඳවා තිබුණේ පෙරේදා (15) දිනයේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ත්ව සුබසාධන සංවිධානය නියෝජනය කරමින් ඊට එක්වූ නීතිඥවරිය මේ සම්බන්ධයෙන් කඩුවෙල පොලිසියට මෙන්ම නීතිඥ සංගමයට පැමිණිලි කර තිබුණා.

එල්ල වන චෝදනාව පිළිබඳව අප කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගෙන් ද විමසීමක් කළ අතර ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන්, කාරුණික ලෙස සිය නිල කාමරයෙන් ඉවත් වන ලෙස ඇගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත්, තර්ජනය කළ බව කියන අවස්ථාවේ හඩපටයක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා ෴


‘බඳින තුවක්කුව’ පත්තුවී සැරයන් රෝහලේ

(17.12.2025 – hirunews.lk)

නිති විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් වැටලීමකට ගොස් සිටි පොලිස් සැරයන්වරයකුට බඳින ලද තුවක්කුවක් පත්තුකර තුවාල සිදුකර සැකකරුවකු සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එප්පාවල පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත්තේ එප්පාවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් 47884 ගුණසිංහ නමැති නිලධාරියායි.

‍මෙහි සැකකරු ලෙසට හඳුනාගෙන ඇත්තේ කදුරුගස්වැව, කිරලෝගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ‍ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

තුවාල ලැබූ මෙම නිලධාරියා ඇතුළු පොලිස් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් පෙරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් පරික්ෂාවට ලක් කිරීම සඳහා කිරලෝගම වැව් ඉස්මත්ත ආසන්නයේ ඇති කැළෑ ප්‍රදේශයකට ගොස් සිටියදී අදාල සැකකරු විසින් අටවනු ලැබූ මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් පත්තුවී ඇතැයි පොලිසිය පවසනවා.

මේ වන විට සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

+++

+


ගාලු කොටුවේදී කළ දුරකථන සොරකමක් සම්බන්ධයෙන් පකිස්තාන ජාතිකයින් තිදෙනක් (3) බණ්ඩාරවෙලදී අත්අඩංගුවට

(17.12.2025 – hirunews.lk)

ගාලු කොටුවේදී කළ සොරකමක් සම්බන්ධයෙන් සැකකාර පකිස්තාන ජාතිකයින් තිදෙනක් ඊයේ (16) බණ්ඩාරවෙල සංචාරක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාලු කොටුවේ පෞද්ගලික් ආයතනයක රැඳී සිටි කුවේට් ජාතික‍යෙකුට අයත් ‘ඇපල් 15’ වර්ගයේ දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සොරකම සිදුකොට මෝටර් රථයකින් පලා යමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40, 27 හා 22 යන වයස්වල පසු වන පකිස්තාන ජාතිකයින් තිදෙනෙක් (3).

මොවුන් තිදෙනා (3) ඉකුත් 13 වැනිදා ගාල්ල, ගාලු කොටුවේ පිහිටි ස්ථානයක් සිටි කුවේට් ජාතික සාරා අන්සාර් නැමැති පුද්ගලයෙකු සතු දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ බවටයි හඳුනාගෙන තිබුණේ.

සොරකම සිදු කිරීමෙන් පසුව මොවුන් ප්‍රදේශයෙන් අතුරුදහන්ව තිබෙනවා.

ගාල්ල පොලිස් සංචාරක කොට්ඨාශය විමර්ශන අරඹා බණ්ඩාරවෙල සංචාරක පොලිස් කොට්ඨාශය වෙත ලබාදුන් දුරකථන ඇමැතුමකට අනුවයි බණ්ඩාරවෙල කිණිගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටියදී පිරිස කොටුකරගෙන තිබුණේ.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් තිදෙනා ගාල්ල සංචාරක පොලීසිය වෙත භාරදී තිබෙනවා ෴


අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයා යළි රිමාන්ඩ්

(17.12.2025 – hirunews.lk)

අන්තර්ජාලය හරහා රැවටීමට ලක් කර ත්‍යාග පාර්සල් ලබා දෙන බව පවසා රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයකට (1,15,00,000) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයෙකු (1) දෙසැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම ඊයේ (16) නියෝග කළා.

මෙම සිද්ධියට අදාලව තවත් නයිජීරියානු ජාතිකයෙකු (1) සහ තවත් ලංකාවේ පුද්ගලයන් 3 න් දෙනෙකු ඇප මත මුදා හැර තිබුණා.

මෙම සැකකරු නයිජීරියානු ජාතිකයන් සමඟ එක්ව ලංකාවේ සිට මෙම ජාවාරම සිදු කරන බවත් වෙනත් නයිජීරියානු ජාතිකයෙකු විසින් මෙම ජාවාරම මෙහෙය වන බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැන්වුවා.

ලංකාව තුළ සිටින වෛද්‍යවරුන් , විධායක පන්තිවල ඉහළ තනතුරුවල සිටින පුද්ගලයන්, වයස 35-40 ත් අතර කාන්තාවන් මෙම කූට ජාවාරමට හසු වී තිබෙන බවද විමර්ශන නිලධාරීහු වැඩිදුරටත් කරුණු දැක්වුවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


ආපදා ප්‍රදේශවල ලංගමයෙන් පාසල් යාමේදී නොවැම්බර් මාසයේ සීසන් කාඩ් පත සහ නිල ඇඳුම අනිවාර්ය නෑ

(17.12.2025 – hirunews.lk)

ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් සිසුන්ට ශ්‍රී ලංගම බස්රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමේදී නොවැම්බර් මාසයේ සීසන් කාඩ් පත සහ පාසල් නිල ඇඳුම අනිවාර්ය නොවන බවත් ඔවුන් සැරසී සිටින ඇඳුමෙන් පාසල් යනවා නම් පෙර පරිදි ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙසට ආපදාවට ලක් වූ ප්‍රදේශවල සියලුම බස් ඩිපෝවලට උපදෙස් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න ප්‍රකාශ කරනවා.

එම ප්‍රදේශවල පාසල් සිසුන්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයකට නිවාස අහිමි වී තිබෙන අතර ඔවුන්ගේ නිල ඇඳුම්, සීසන් කාඩ් පත් සොයාගැනීමට නොහැකි වී තිබෙන බවට තොරතුරු වාර්තා වන නිසා මෙම තීරණය ගත් බවත් ඒ අනුව ඔවුන්ට පාසල් යාමට සහ පාසල් අවසන් වී යළි නිවෙස් කරා පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංගම බස් රථ මගින් ලබාදීමට කටයුතු කරන බවද ශ්‍රී ලංගම සභාපතිවරයා සඳහන් කරනවා.

ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය සඳහා සීසන් කාඩ් පත් නිකුත් නොකළද ආපදාවට ලක් නොවූ ප්‍රදේශවල සියලුම පාසැල් සිසුන්ට අදාල දිනයේදී දෙසැම්බර් මාසයට සඳහා සීසන් කාඩ් පත් නිකුත් කර ඇති බවද ශ්‍රී ලංගම සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


මැරුණු මිනිස්සු ගැන, බාල බෙහෙත් – ජාවාරම් හිතවත්තු ගැන වහාම හෙළි කරන්න (17.12.2025)

+++

කෙහෙලිය හිරේට ගියා වගේ නලින්දටත් අනිවාර්යයෙන් හිරේ යන්න වෙනවා (17.12.2025)

+


ජේවීපී මාලිමාව වේගයෙන් ගැරඬි ඇල්ලෙන් පහළට… ඊට වැඩි වේගයකින් නාමල් පිබිදීම (17.12.2025)

+

වරාය හිරවෙයි, ආයෙත් කන්ටේනර් පන්නයි ද ? (17.12.2025)

+


උද්ධච්ඡ ආණ්ඩුව හොම්බෙන් යවපු ආපදාව (17.12.2025)

+


පිස්සන්ට රට බාර දීල බලන් ඉන්න පිස්සුද? (17.12.2025)

+


2029 ජනාධිපති නාමල්ද? | මිලින්ද රාජපක්ෂ (17.12.2025)

+


සජිත්ව ඇතුළට දාලා, මේ ප්‍රශ්නය ඉවර කරන්න | චරිත් අබේසිංහ (17.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *