දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩ බස්වයි
(00.12.2025 – hirunews.lk)
දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12:28 ට යළි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා.
එම ගුවන් යානය මීට ටික වෙලාවකට පෙර හදිසි ගොඩබෑමකට සුදානමින් සිටි බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග පැවසුවා.
ඊයේ (16) රාත්‍රී 10 ට තුර්කිය බලා පිටත්ව යාමට සුදානමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පියාසර කිරීම ආරම්භ කළ මෙම ගුවන් යානයේ ගොඩබෑමේ රෝද පද්ධතිය අක්‍රිය බවට එහි ගුවන් නියමුවාට දැනගන්නට ලැබී ඇති බවට වාර්තා වෙනවා.
ඒ අනුව, පැය දෙකකට (2) අධික කාලයක් මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට සූදානම්ව මීගමු කලපුව ආශ්‍රිත මුහුදු තීරයේ අඩි 4000 ක් උඩින් පියාසර කරමින් සිටි බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
එම ගුවන් යානයේ මගීන් 202 ක් සහ කාර්ය මණ්ඩලය 10 දෙනකු සිටින අතර, එම අවස්ථාවේ යානය නොට්ස් 160 ක වේගයෙන් ඉහළ අහසේ පියාසර කරමින් යානයේ ඉන්ධන මුහුදට හළමින් හදීසි ගොඩබෑමකට සූදානම් වෙමින් සිටි බවටයි වාර්තා වුණේ.
මෙම යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් පියාසර ගමන් ආරම්භ කර සුළු මොහොතකින් යානයේ දෝෂය එහි නියමුවා විසින් හඳුනාගනු ලැබ තිබුණා.
මෙම යානයේ හදිසි ගොඩබෑම සඳහා මීගමු කලපුව ආශ්‍රිතව සහ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් ගිලන්රථ සහ ආපදා රථ ආදිය සූදානම් කර තිබුණු බව අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළා ෴
+++
මහා රෑ හලාවත අහසේ වටගැසූ තුර්කි ගුවන්යානයේ ඇත්ත මෙන්න (17.12.2025)
+++
+
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලින් විභාග අහෝසියි.. සිසුන්ද ගුරුවරුන්ද අයාලේ… ඉතිහාසය දෙවැනි විෂයක්.. බුද්ධාගම විකෘති කරලා..
(16.12.2025 – lankacnews.com)
අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නැගීමට සූදානම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිදු හැදෑරීමකින් තොරව හිතුමතේට හඳුන්වා දී ඇති බවත් එමඟින් මෙරට ළමා පරපුර විනාශයට ඇද දමන බවත් ‘සර්වජන බලය’ උපසභාපති ආචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දෙයි.
වාර විභාග සහ ඇගයීම් අහෝසි කිරීම මගින් ළමුන් මෙන්ම ගුරුවරුන් ද අයාලේ යන තත්ත්වයට පත්වන බව ඔහු පවසයි. එමඟින් කන්නන්ගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනය විනාශ වන බවත් ඇති හැකි අය පමණක් විදේශ විෂය මාලා අන්තර්ජාතික පාසල්වල හදාරා ඉහළට යන තත්ත්වයක් උදා වන බවත් ඔහු පවසයි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට පැමිණි ජනාධිපතිවරයා අගමැතිනියට මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ඉඩදී බලා සිටීම විමතියට කරුණක් බව ද ඔහු පැවසීය.
විජාතික මෙහෙයවීම මත ඉතිහාසය අත්‍යවශ්‍ය නොවන විෂයයක් කිරීම, බුදු දහම විකෘති කොට ඉගැන්වීම මෙරට ඓතිහාසික උරුමයට නිගා කිරීමක් බවත් යෝජිත ප්‍රතිසංස්කරණ වහා නවතා ප්‍රමාණවත් සංවාදයකින් පසුව, සංශෝධනය කර පමණක් ක්‍රියාවට නංවන ලෙසත් ඔහු පවසයි.
එසේ නොමැතිව අත්තනෝමතික ලෙස මෙම යෝජනා ක්‍රියාවට නැංවීමට කටයුතු කළහොත් සර්වජන බලය දීප ව්‍යාප්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය ෴
‘නිල නොලත් මහේස්ත්‍රාත්’ නීතිඥවරියකට සැරටම අමතයි : හඬපටයක් එළියට !
(16.12.2025 – hirunews.lk)
‘කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්’ගේ යැයි කියන හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.
ඔහු විසින් නීතිඥවරියක ඇතුළු පිරිසකට අශෝභන ලෙස බැණ වදින හඬ පටයක් මෙසේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග එය දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
යම් ගැටලුවක් සම්බන්ධයෙන් කරුණු කීමට පැමිණි පිරිසක් හා නගරාධිපතිවරයා අතර වූ උණුසුම් සංවාදයක් අතර මැදයි මේ වාග් ප්‍රහාරය සිදුව ඇත්තේ.
එම හඬ පටයට අනුව, නගරාධිපතිවරයා පවසන්නේ ‘මෙතන බලධාරියා මම, මට බලතල තිබෙනවා’ යනුවෙනුයි.
අදාළ පැමිණිල්ල විභාග කරන්නේ තමන් ‘නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු’ ලෙස බවයි.
එහිදී නීතිඥවරුන්ට පැමිණ තමුන්ට බලපෑම් කිරීමට හැකියාවක් නැති බවයි ඔහු පවසන්නේ.
එසේම තමන්ගේ තීරණය අවසන් තීරණය බවද ඔහු තරයේම පවසනවා.
කෝපයෙන් කතා කරන නගරාධිපතිවරයා, අවසානයේ අදාළ නීතිඥවරිය ඇතුළු පිරිසට වහාම දොට්ට බහින්නැයිද මේක උසාවිය නොවේ යැයිද පවසනවා.
අදාළ හඬ පටය හේතුවෙන් බොහෝ පිරිස් නගරාධිපතිවරයාගේ ක්‍රියාව විවේචනය කරමින් තිබෙනවා.
මහජන නියෝජිතයෙකු නීති වෘත්තිකයෙකුට සහ සාමාන්‍ය ජනතාවට මෙසේ ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරනවා.
+++
+++

‘දිට්වා’ නිසා දරුවන් 73 කට මව, පියා හෝ දෙදෙනාම අහිමි වෙලා
(16.12.2025 – hirunews.lk)
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ ජලගැලීම් හා නායයෑම් අතුලු ආපදා හේතුවෙන් මව, පියා හෝ එම දෙදෙනාම අහිමිවූ දරුවන් 73 දෙනෙකු පිළිබඳ මේ වන විට වාර්තා වනවා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ඉන් වැඩිම පිරිස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21 ක් බවයි.
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ද 20 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ද එවැනි දරුවන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි සඳහන්.
මේ අතර ආපදා තත්ත්වය හමුවේ මව්පියන් මියගොස් අනාරක්ෂිත භාවයට පත්ව සිටින දරුවන්ගේ තොරතුරු ලබා ගැනීමේ ප්‍රවණතා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ දුරකතන අංක ප්‍රසිද්ධ කරමින් ඔවුන් අදාළ දරුවන්ගේ තොරතුරු ලබාගන්නා බවයි.
අදාළ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය කියා සිටියා.
අදාළ දරුවන් සුරක්ෂිතව පෝෂණය කිරීමේ හෝ හදාවඩා ගැනීමට යම් තැනැත්තෙකුට සද්භාවයෙන් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ දැනට බල පැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු ඉටුකරගත හැකිවනු ඇති බව ද පොලිසිය පෙන්වා දෙනවා ෴
‘ටික්-ටොක්’ මගින් විවාහක කාන්තාවක් සමූහ දූෂණයට ලක්වෙයි
(16.12.2025 – hirunews.lk)
‘ටික්-ටොක්’ මගින් හඳුනාගත් වයස අවුරුදු 24 ක විවාහක කාන්තාවක් ලංකා පටුන ප්‍රදේශයට ගෙන්වා සමූහ දූෂණයට ලක් කළැයි කියන තරුණයන් සිව් දෙනකු (4) අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා.
සැමියාගෙන් වෙන්ව තම පියා සමග තෝපූර්, වීරමහානගර්හි වයස අවුරුදු හයක (6) පිරිමි දරුවා සමග ජීවත්වෙන මෙම කාන්තාව ඊච්චලන්පත්තු පොලිස් වසමේ ඉච්චලම්පත්තු ප්‍රදේශයේ තරුණයෙකු ‘ටික්-ටොක්’ හරහා හඳුනාගෙන තිබූ බවත්, පසුව එම සැකකරු ඇය රවටා ගෙන්වාගෙන මෙම සමූහ දූෂණය සිදු කර ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
‘ටික්-ටොක්’ හරහා හඳුනාගත් මෙම කාන්තාව සමඟ පසුව ‘වට්ස්ඇප්’ හරහා මිතුරු වී ලංකා පටුන ප්‍රදේශයට එන ලෙස කළ දැනුම්දීමක් අනුව මෙම කාන්තාව බස් රථයකින් පැමිණ සිටියදී ප්‍රධාන සැකකරු යතුරුපැදියක නන්වාගෙන මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් මෙම සමූහ දූෂණයට ලක් කර ඇතැයි පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16, 17 හා 18 වයස්වල පසු වන්නන් බව පොලිසිය සඳහන් කරනවා.
මෙම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එම්. සංජීව බණ්ඩාරගේ මෙහෙයවීම මත ඊච්චලම්පත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.එම්. ඩෙනිප් ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊච්චලන්පත්තු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
RDA, ලංවිම හා ජල මණ්ඩලයට බිලියන ගණනක ආපදා හානි
(16.12.2025 – hirunews.lk)
‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආර්ථික පාඩු පිළිබඳව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා (Sectoral Oversight Committee) කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මාර්ග සහ පාලම්වලට බරපතල හානි සිදු වී ඇති අතර, එහිදී මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) ආසන්න වශයෙන් රුපියල් බිලියන 75 ක පාඩුවක් සිදුව ඇති බවයි එම නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දී ඇත්තේ.
මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හානි වූ මාර්ග ගණන 316 ක් වන අතර පාලම් සංඛ්‍යාව 40 ක්.
එබැවින් සම්පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය වන මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 190 ක් බවයි සඳහන්.
මේ සඳහා ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 2 ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) සිදුව ඇති පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 20 ක් බවයි වාර්තා වුණේ.
මෙහිදී, ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ණය වෙනුවට ප්‍රදාන ආධාර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි කමිටු සභාපතිවරයා මණ්ඩලයට දැනුම් දුන්නේ.
මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුව ඇති ඇස්තමේන්තුගත පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 5.6 ක් බවයි අනාවරණ වුණේ.
මේ වන විට හානියට පත් ජල සම්පාදන යෝජනා ක්‍රම 156 ක් නඩත්තු කටයුතුවලින් පසු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඒවා ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ප්‍රදාන අරමුදල් ලබා ගැනීමටයි පියවර ගනිමින් සිටින්නේ.
එමෙන්ම ලංකා විදුලිබල සමාගමට (LECO) සිදු වූ පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 252 ක්.
පවතින ප්‍රතිපාදන මගින් ඒවා අලුත්වැඩියා කටයුතු සිදු කළ හැකි බවයි පවසා ඇත්තේ.
මූලික යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා (Sectoral Oversight Committee) රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වුණා.
එම කමිටුවේ සභාපති එස්.එම්. මරික්කාර් අවධාරණය කළේ, මාර්ග ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ යාන්ත්‍රණයක් ඇති කිරීමට අමාත්‍යාංශය පියවර ගත යුතු බවයි ෴
කොළඹ වරායේ කාර්යක්ෂමතාව අඩු වුණොත් නැව් ඉන්දියාවට යෑමේ අවදානමක්
(16.12.2025 – hirunews.lk)
කොළඹ වරායේ කාර්යක්ෂමතාව ඉහළ නංවා, නැව් ප්‍රමාදයන් අවම කර ආකර්ෂණීය සේවාවක් සැපයීමට අසමත් වුවහොත් එම නැව් ඉන්දියාවේ ‘විෂින්ජම් වරාය’ වෙත යොමුවීමේ අවදානමක් පවතින බව ‘ලංකා භාණ්ඩ හා සේවා ප්‍රවාහන සේවක සංගමය’ පවසනවා.
එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම අභියෝගයට මුහුණ දීම සම්බන්ධයෙන් රජය වහා අවධානය යොමු කළ යුතු බවයි.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, මෑතකදී සංවර්ධනය කරන ලද විෂින්ජම් ජාත්‍යන්තර ගැඹුරු මුහුදු වරාය හේතුවෙන් ඉතිහාසයේ සිට කලාපීය නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ වරාය හිමි කරගෙන සිටි තත්ත්වයට දැඩි අභියෝගයක් එල්ල වෙමින් පවතිනවා.
විසින්ජම් වරාය පිහිටා ඇත්තේ කොළඹ වරායේ සිට කිලෝමීටර් 250 ක් වැනි ආසන්න දුරකින්.
ගෝලීය වශයෙන් කාර්යබහුලම නැව් මාර්ගයක් වන නැගෙනහිර – බටහිර ජාත්‍යන්තර නැව් මාර්ගය සැලකීමේදී කොළඹ වරායට වඩා විෂින්ජම් වරාය ඊටත් ආසන්නව පිහිටා තිබෙනවා.
කොළඹ වරායේ සමස්ත බහාලුම් මෙහෙයුම්වලින් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට අදාළ භාණ්ඩ මාරුකිරීම්වලට සම්බන්ධ වන අතර විසින්ජම් වරාය ඉදිකර තිබෙන්නේ ඉන්දියාවේ පළමු ගැඹුරු මුහුදු භාණ්ඩ මාරු කිරීමේ වරාය ලෙසයි.
එබැවින් මේ දක්වා කොළඹ වරය හරහා සිදුවූ ඉන්දියානු භාණ්ඩ මාරුකිරීම් විශාල වශයෙන් මෙම වරාය වෙත මාරුවීමේ තර්ජනයක් පවතිනවා.
එවන් පසුබිමකයි කොළඹ වරායේ බහාලුම් තදබදය විසඳීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි ‘ලංකා භාණ්ඩ හා සේවා ප්‍රවාහන සේවක සංගමය’ පවසන්නේ ෴
කුලියාපිටිය රෝහලේදී අත පය පණ නැතිව සිටි රෝගියාට කළ විස්කම් සැත්කම
(16.12.2025 – hirunews.lk)
ලංකාවේ ප්‍රථම වරට ‘සවිකළ උපාංගයක්’ ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක් සිදු කිරීමට විකලාංග ශල්‍යවෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චිට හැකිවුණා.
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දී ගෙල ප්‍රදේශයේ එවන් බරපතල සැත්කමක් කළ ප්‍රථම අවස්ථාව මෙන්ම ආහාර ගිලීමේ සංකූලතා නොවන ‘ස්ටෑන්ඩ්-එලෝන් කේජ්’ (Stand-Alone Cage) නම් උපකරණය සවිකළ මෙරට ප්‍රථම අවස්ථාව මෙය බවත් වෛද්‍ය චානක පවසුවා.
මීට පෙර අවස්ථාවේදී ද වෛද්‍ය චානක ලංකාවේ ප්‍රථම වරට සිදුකළ සැත්කම් කීපයක් සිදු කළ විශේෂඥ වෛද්‍යවරයෙක්.
මැලේසියාව ආදී රටවල් කිහිපයකම වෛද්‍ය විශ්ව විද්‍යාල කිහිපයකම පුහුණුකරුවකු මෙන්ම උපදේශකයකු වූ වෛද්‍ය චානක රටවල් රැසක ඉතා අවදානම් සැත්කම් සඳහා නිතර කැඳවීම් ලද කීර්තිමත් දක්ෂ වෛද්‍යවරයෙක්.
විශේෂයෙන්ම මෙම සැත්කමට භාජනය වූ රෝගියා දෙපයින් ඇවිදගත නොහැකිව දෑත් හරිහැටි ක්‍රියාකළ නොහැකිව සිටි, හදවත සියයට 20 ක් පමණක් ක්‍රියාත්මක වූ අයකුව සිටි බවත් සැත්කමෙන් පසු එම රෝගියා ඉතාම නිරෝගීව පසුවන බවත් පැවසූ වෛද්‍ය චානක මෙවන් ශල්‍යකර්ම සඳහා නොබියව පැමිණෙන ලෙස රෝගීන්ට ආරාධනා කළා.

මෙම සැත්කම සම්බන්ධයෙන් කටහඬ අවදිකළ වෛද්‍යවරයා මෙසේ පැවසුවා :
“මේ සැත්කමත් ඉතාම සුක්ෂම සැත්කමක්. ‘මයිලෝපති’ ආදී තත්ත්ව තියෙන රෝගීන්ගේ ගෙල ප්‍රදේශයේ මෙතෙක් සැත්කම් සිදුකර නැති නිසා මෙය ඉතා සුවිශේෂී අවස්ථාවක්. ඊටත් වඩා මේ සැත්කමට භාජනය කළ රෝගියාගේ හදවත සියයට 20 ක් පමණ වැඩ කරමින් තිබුණේ. නමුත් නිර්වින්දන වෛද්‍ය සඳමාලි හා සුමුදු යන මහත්ම මහත්මින් අපේ ඉල්ලීම අනුව ඒ අවදානම් අරගෙන කටයුතු කළා ඉතාම සාර්ථක ලෙසින් සැත්කම නිමා කරන්න ලැබුණා වගේම සේවාලාභියාගේ ස්නායු පද්ධතියත් ඉතාම ප්‍රකෘති තත්ත්වයට තියෙනවා.
මෙහි විශේෂත්වය වෙන්නෙ ‘ස්ටෑන්ඩ්-එලෝන් කේජ්’ (Stand-Alone Cage) කියන උපාංගය මෙතෙක් මෙරට භාවිත කරලා නැහැ. අපි මේ සේවාලාභියා වෙනුවෙන් එම උපාංගයක් ගෙන්වා ගත්තා. මෙම උපාංගයට හැකියාව පවතිනවා ඇණ දෙකක් (2) මගින් ආබාධයට ලක්ව ඇති සුෂුම්නා අස්ථි දෙකක් අතර නියමිත දුර පවත්වා ගන්න. එසේ නොවන පැරණි ක්‍රමයට කළා නම් අපිට උගුර පිටුපසට ප්ලේට් එකක් දාන්න වෙනවා. එහෙම වුණා නම් කිසිවක් ගිලින්නත් බැරි වෙනවා. මේ සැත්කමින් අනතුරුව සේවාලාභියා ඉතාම හොඳින් ආහාර පාන අරගත්තා. මම මේ රෝහලට ඇවිත් තවම මාස 3 යි. මාස තුනකදී (3) ඒ සියලුම සම්පත් ළඟා කරගන්න අපහසු නිසා බොහෝ උපාංග අපිටම නිර්මාණය කරගන්න වුණා. කළින් පළමු වතාවට සිදුකළ සැත්කමේදිත් අපි කළේ බොහෝ උපාංග නිර්මාණය කරගත්ත එක. මාස තුනකදී (3) හැමදේම ගන්න බැරිවුණා කියලා සැත්කම් නොකර ඉන්න බැහැනෙ. අපි සියල්ල සම්පුර්ණ කරගෙන කරන්න හිටියොත් අපේ වාර්ෂික මාරු ඇවිත් යන්න වෙන කාලේ වේවි. නිසි පරිදි නියමිත ඇඳන් ආදී බොහෝමයක් පහසුකම් නැතිවයි අපි මේ සැත්කම් කළේ. එහෙම සියල්ල තියෙනව නම් කරන සැත්කම් ප්‍රමාණය වැඩි කරලා විශාල සේවයක් සපයන්න හැකිවේවි.”
වෛද්‍ය චානක සෝලංගආරච්චි සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල් කිහිපයකම මේ වන විටත් එම සැත්කම් සඳහා නිතරම සහභාගි වන හා උපදේශන සේවාවලට සහභාගි වන වෛද්‍යවරයෙක්.
වැට් බදු ලියාපදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්
(16.12.2025 – hirunews.lk)
වැට් බදු ලියාපදිංචිකරුවන් නිකුත් කළ යුතු බදු ඉන්වොයිසිවල නව ආකෘතිය සහ පිරිවිතර ක්‍රියාත්මක වන දිනය දීර්ඝකර තිබෙනවා.
ඒ අනුව වැට් බදු ලියාපදිංචිකරුවන් නිකුත් කළ යුතු බදු ඉන්වොයිසිවල නව ආකෘතිය සහ පිරිවිතර ක්‍රියාත්මක වන දිනය අප්‍රේල් 01 දක්වා දීර්ඝකර තිබෙනවා.
එය ලබන වසරේ ජනවාරි 01 වැනිදාට නියමකර තිබුණා.
සංශෝධිත ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත්කරන බවයි සඳහන් වෙන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴