අයථා වත්කම් උපයා ගත්තැයි බෙලිඅත්ත හිටපු සභාපති රිමාන්ඩ්

අයථා වත්කම් උපයා ගත්තැයි බෙලිඅත්ත හිටපු සභාපති රිමාන්ඩ්


අයථා වත්කම් උපයා ගත්තැයි බෙලිඅත්ත හිටපු සභාපති රිමාන්ඩ්

(12.12.2025 – hirunews.lk)

අයථා ලෙස රුපියල් ලක්ෂ 360 කට අධික වත්කම් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද (12) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට පවසා සිටියේ 2012 ජනවාරි 01 දින සිට 2012 දෙසැම්බර් 31 දක්වා සැකකරුට ලැබෙන ආදායමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කර ඇති බවයි.

ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටින කාලය තුළ ඔහු උපයා ගත යුතුව තිබූ මුදල රුපියල් 72,58,665.32/= ක් වුවද නමුත් ඔහු එම කාලය තුළ රුපියල් 4,32,60,010.26/= වියදම් කර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූවා.

එම විමර්ශනවලට අනුව හිටපු සභාපතිවරයා රුපියල් 3,60,01,344.00/= මුදලක් අයථා ලෙස උපයා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව සැකකරු අත්අඩංගුට ගෙන තිබුණා ෴


අල්ලස් ඉල්ලා සිටි බව කියන සුරාබදු සැරයන්වරයාට ඇප

(12.12.2025 – hirunews.lk)

දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කර නීතිවිරෝධී යන්ත්‍ර මඟින් ගංජා අඹරන බවට චෝදනා කර ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂ 20 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටී බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා.

සැකකරුට රු. ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ (2) නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් සිද්ධියට අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කර නීතිවිරෝධී යන්ත්‍ර මඟින් ගංජා අඹරන බවට චෝදනා කර ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු. ලක්ෂ 20 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීමේ චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන මෙම තැනැත්තාව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දැක්වුවා ෴


ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 26 ක් අත්අඩංගුවට

(13.12.2025 – hirunews.lk)

තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04 ක් අද (13) අළුයම් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875 ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769 ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804 ක්, මත්පෙති 13 ක් සහ නීති විරෝධී දුම්වැටි 12 ක් සමගයි.

සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 21 ත් 26 ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන්.

සැකකරුවන් හා සැකකාරියන් අද (13) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


රන්මාල කොල්ල කෑ අයියා මලෝ අත්අඩංගුවට

(12.12.2025 – hirunews.lk)

මහමග ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකුගේ (2) ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකකට (2) ආසන්න වටිනාකමකින් යුත් රන්මාල කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කිරිබේරිය, මූණවල්වත්ත පාරේ පදිංචි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 36 සහ 26 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම සැකකරුවන් දෙදෙනා (2) මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාරගතව සිටියදී, ඔවුන්ට ඇප තැබීම සඳහා ඔවුන්ගේ මව විසින් ඉඩම උගස්කර රුපියල් ලක්ෂයක මුදලක් ලබාගෙන තිබෙනවා.

එහිදී එම මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඉඩම සින්න වීමේ අවදානමක් ඇති වූ බැවින් එය බේරා ගැනීමට මෙලෙස රන්මාල කොල්ලකෑමට තීරණය කළ බවට සැකකරුවන් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා (2) විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේ කාන්තාවකගේ පවුම් කාලක් (¼) පමණ වන රන් මාලයක් සහ පානදුර ප්‍රදේශයේ කාන්තාවකගේ පවුම් තුන්කාලක් (¾) පමණ වටිනා මාලයක් හා පෙන්ඩනයක් මෙලෙස කොල්ලකා තිබෙනවා.

ඒ අනුව, කොල්ලකන ලද මෙම රන් භාණ්ඩ රුපියල් පනස් නව දහසකට (රු. 59,000) සහ රුපියල් එක් ලක්ෂ තිස් නව දහසකට (රු. 139,000) උකස්කර තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ෆේස්බුක් දැන්වීම් හරහා ලක්ෂ ගණනක් වංචා කළ ඉදිකිරීම් හිමිකරුට ඇප

(12.12.2025 – hirunews.lk)

මුහුණු පොත හරහා දැන්වීම් පළ කර නිවෙසක් ඉදිකර දෙන බවට පොරොන්දු වී රුපියල් තිස්හය ලක්ෂ පනස් දාහක (රු. 3,650,000) මුදලක් වංචාකළ ගොඩනැගිලි ඉදිකිරීමේ ආයතන හිමිකරුවෙකුට ඇප නියම කළ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය, වංචාකළ මුදල ගෙවීමට සහ විදේශ ගමන් තහනම් කිරීමට ඊයේ (11) නියෝග කරනු ලැබුවා.

සැකකරුට සෑම මසකම අවසන් ඉරු දින හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළ අතර, නඩුව 2026-01-08 දින නැවත කැඳවීමට නියමිතයි.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කඩවත, බියන්විල ලිපිනයේ පදිංචි 43 හැවිරිදි ගොඩනැගිලි ඉදි කිරීම් ආයතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙකුටයි.

සැකකරු විසින් මාස 10 ක කාලයක් තුළ රුපියල් ලක්ෂ 125 ක මුදලකට දෙමහල් නිවෙසක් ඉදිකර දෙන බව පවසා මුහුණු පොත හරහා දැන්වීම් පළ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තංගල්ල, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පැමිණිලිකරු, මොරගහහේන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන මෙම දැන්වීම අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ සැකකරුගේ ගිණුමට රුපියල් හැටදෙලක්ෂ පනස්දාහක (රු. 6,250,000) මුදලක් බැර කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 01 වන දින නිවෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, මේ වසරේ ජූලි 01 දින ඉදිකිරීම් අවසන් කර නිවෙස භාර දීමට පොරොන්දු වී ගිවිසුම් ගතව තිබෙනවා.

එහෙත් මාර්තු මාසයේදී වැඩ කටයුතු අතරමග නතර කර සැකකරුගේ දුරකථනය විසන්ධි වී තිබූ බවයි පැමිණිලිකරු සඳහන් කර ඇත්තේ.

දිගින් දිගටම කළ උත්සාහයන්ගෙන් පසු සැප්තැම්බර් මාසයේ දිනෙක සැකකරුව ඉඩමට ගෙන්වා ගැනීමට පැමිණිලිකරුට හැකි වී ඇති අතර, මෙතෙක් ඉදිකර ඇති නිවෙස් කොටසේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ විසි හයක් (රු. 2,600,000) වන අතර, ඉතිරි මුදල වන රුපියල් තිස්හය ලක්ෂ පනස් දාහක (රු. 3,650,000) මුදල එම මාසය අවසන් වීමට පෙර පැමිණිලිකරුට ගෙවන බවට සැකකරු පොරොන්දු වී ඇතත්, එය ඉටු නොවීම නිසා පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා ෴


මොරටුමුල්ලේ ලී මඩුවක දැවැන්ත ගින්නක්

(12.12.2025 – hirunews.lk)

මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි ලී මඩුවක අද (12) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව මොරටුමුල්ල පොලිසිය පවසනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි ෴


පේරාදෙණිය සරසවි බිමේ සුද්දන් හැදූ හොස්ටල් ආපදාවෙන් බේරුණු හැටි

(12.12.2025 – hirunews.lk)

ආපදාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු නේවාසිකාගාර විසි දෙකෙන් (22) දොළහකට (12) කිසිදු හානියක් සිදු නොවූ බවත් එම දොළහම (12) සාදා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කරනවා .

එම නේවාසිකාගාර දොළහම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මීට වසර 80 කට පමණ පෙර ඉදිකර ඇති බවත් ඒවා නියමිත ප්‍රමිතියට අනුව සහ ජලය බැස යන කාණු පද්ධතියක් සහිතව ඉදි කර ඇති බවත් විශේෂයෙන්ම අඩි 20 කට පමණ උසින් යුතු භූමියක එම ගොඩනැගිලි ඉදිකර ඇත්තේ කිසිදු ආකාරයෙන් මහවැලි ගඟ පිටාර ගියහොත් කිසිදු හානියක් සිදු නොවන ආකාරයට බවද උපකුලපතිවරයා පෙන්වා දෙනවා.

1957 සහ 1978 යන වර්ෂවලදී ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයන් හේතුවෙන්ද පේරාදෙණිය සරසවියේ මෙම නේවාසිගාගාර දොළහට (12) කිසිදු හානියක් සිදු නොවූ බවද උපකුලපතිවරයා සඳහන් කරනවා.

නමුත් ඉන් අනතුරුව ඉදිකරන ලද සිසු නේවාසිකාගාර 10 ටම ගංවතුරෙන් තර්ජන එල්ල වන බවත් මෙවර ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය ද එම නේවාසිකාගාර වලට බලපෑ බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කරනවා.

සරසවි මැදුර සිසුවියන්ගේ නේවාසිකාගාරයේ බිම් මහලට මෙවර ගංවතුරෙන් දැඩි අලාභ හානි සිදුවූ අතර එහි තිබූ සියලුම ගෘහ භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ විනාශ වූ බවද උපකුලපතිවරයා පෙන්වා දෙනවා.

මෙම නේවාසිකාගාරය දැනට පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත් එහි ගෘහභාණ්ඩ ලබාගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ද බලාපොරොත්තු වන බවත් ඒ සඳහා දැනටමත් පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී ඇති බවත් උපකුලපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


තහනම් කළ රුපියල් කෝටි ගණනක වත්කම් ගැන හෙළිදරව්වක්

(12.12.2025 – 20:34 +0530 – sinhala.adaderana.lk)

මෙම (2025) වසරේදී මෙන්ම පසුගිය (2024) වසරේදී මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයාගත් දේපල තහනම් කිරීමටත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා වූ මූලික පියවර මේ වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (12) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය සහ මෙම වසර දෙක (2) ඇතුළත රත්‍රං පවුම් 354 ක්, වාහන 77 ක්, මුදලින් රුපියල් තිස් පන් කෝටියක් (35,00,00,000), රුපියල් එක්කෝටි යක් වන වටිනාකමකින් යුත් දේපොළ රැසක්ද රජය සතු කර ගැනීමට මූලික ක්‍රියාමාර්ග මේ වන විට ලබා ගෙන ඇති බවය.

එහිදී 2024 වසරේදී රත්‍රං පවුම් 150 ක්, වාහන 64 ක්, මුදලින් රුපියල් කෝටි 6 ක්, සහ රුපියල් කෝටි 61 ක දේපොළ රජය සතු කර ගැනීම සඳහා තාවකාලිකව තහනම් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම වසරේදී රත්‍රං පවුම් 204 ක්, වාහන 13 ක්, රුපියල් හැට හත් කෝටි හැත්තෑ අට ලක්ෂයක (67,78,00,000) ඉඩම් සහ දේපොළ සහ නිවාස 18 ක අනීතිකව උපයා ගත් දේපොළ රජය සතු කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

+


මේ ආණ්ඩුවට ලැජ්ජාවක් නෑද්ද ? ජනතාව රැවටීම ගැන හතරවටෙන්ම චෝදනා (12.12.2025)

+

උමා ඔයේ හිල වහන්නෙ අම්මගෙ රෙද්දෙන් ද ? මේ වගේ ගොබ්බ ආණ්ඩුවක් ලංකාවට පත්වුණාමයි (12.12.2025)

+


රංවල ශාපයෙන් දිය රෙද්දට වැටුණු ෆූලිෂ් මාධ්‍ය ප්‍රකාශක (12.12.2025)

+


මේක හදන්න නම්, 80 දශකයේ ඉපදුන කෙනෙක් අතට රට යන්න ඕන – චරිත් අබේසිංහ (12.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *