ආපදාවෙන් සම්පූර්ණ හානි වූ නිවාස ගණන 5,000 ඉක්මවයි

ආපදාවෙන් සම්පූර්ණ හානි වූ නිවාස ගණන 5,000 ඉක්මවයි


ආපදාවෙන් සම්පූර්ණ හානි වූ නිවාස ගණන 5,000 ඉක්මවයි

(09.12.2025 – 10:34 +0530 – sinhala.adaderana.lk)

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ සිදුවූ ආපදාවෙන් මේ වන විට නිවාස 5,325 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය.

එයින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,815 කි.

දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම හානි වූ නිවාස ගණන 767 කි.

තවද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 476 ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 415 ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 404 ක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 300 ක්ද ආපදාවෙන් සම්පූර්ණ විනාශ වි තිබේ.

මේ අතර ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස අතුරින් ද වැඩිම නිවාස ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 13,422 කි.

අර්ධ වශයෙන් හානි වූ නිවාස අතරට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,601 ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,830 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිවාස 4,809 ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නිවාස 4,135 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නිවාස 3,742 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 3,600 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නිවාස 3,526 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 2,249 ක් ලෙසද වාර්තා වී ඇත.

පැවති ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ වැඩිම පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 98,146 ක පුද්ගලයින් 349,429 ක් බලපෑමට ලක්ව ඇතැයිද සඳහන් වේ.

දෙවැනියට වැඩිම ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 85,803 ක පුද්ගලයින් 328,847 ක් ආපදා තත්තවය හේතුවෙන් අවතැන් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51,098 කට අයත් පුද්ගලයින් 161,140 ක් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 25,999 ක පුද්ගලයින් 86,376 ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 25,055 ක පුද්ගලයින් 85,891 ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ 23,641 ක පුද්ගලයින් 77,451 ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 22,918 ක පුද්ගලයින් 67,340 ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 21,948 ක පුද්ගලයින් 72,359ක් ද මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්වූවන් ලෙසද වාර්තා වී ඇත ෴


දෙහිවල සත්තුවත්තේ සිටි ‘කහ ඇනකොණ්ඩා’ පැටවා අතුරුදන්

(09.12.2025 – hirunews.lk)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ඇනකොණ්ඩා වර්ගයේ පිඹුරෙකු අතුරුදන්වී ඇති බවට දෙහිවල පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර ප්‍රකාශ කරනවා.

සත්වෝද්‍යානයේ උරග උයනේ වීදුරු ආවරණයක් සහිත කූඩුවක සිටි ඇනකොණ්ඩා පැටවා පසුගිය 07 වන ඉරිදා අතුරුදන්වී ඇති බවත් එම ඇනකොණ්ඩා සොයා මේ වන විට පොලීසිය සහ සත්වොද්‍යානයේ කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

‘කහ ඇනකොණ්ඩා’ යනුවෙන් හඳුන්වන මෙම ඇනකොණ්ඩා පැටවා කිසිවෙකු විසින් පැහැරගෙන ගියාද නොඑසේනම් වීදුරු කූඩුවේ කුඩා සිදුරකින් එළියට ගියාද කියා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද හේමන්ත සමරසේකර ප්‍රකාශ කරනවා.

සත්වෝද්‍යාන බලධාරීන් විසින් උරග උයන තුළ නිරෝධායනය සඳහා යොමුකර සිටියදී එම කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන් වී තිබෙනවා.

වාර්තා වන පරිදි, අතුරුදන් වූ මෙම පැටවා දෙහිවල සත්වෝද්‍යානය සතුව සිටි ලංකාවේ සිටි එකම කහ ඇනකොණ්ඩා පැටවා‍යි.

ඇනකොණ්ඩා විෂ රහිත පිඹුරු වර්ගයකට අයිති වන සත්වයෙකු නිසා එම සර්පයාගෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙනවා.

අතුරුදහන් වනවිට අඩි එකහමාරක් (1½) පමණ දිග එම ඇනකොණ්ඩා සර්පයා අඩි 12 ක් පමණ දිගකට විශාල වන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා.

ඔහු කියා සිටියේ එම ඇනකොණ්ඩා සර්පයා දකුණු ඇමරිකාව නිජබිම කරගත් ලොව බරින් වැඩිම සර්ප විශේෂයක් බවයි ෴


රු. ලක්ෂ 67 ක අල්ලසක් ගත් හිටපු සහකාර රස පරීක්ෂක රිමාන්ඩ්

(09.12.2025 – hirunews.lk)

අල්ලස් කොමිසම විසින් දූෂණය නැමැති චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සහකාර රස පරීක්ෂකවරයා ලබන 22 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම විමර්ශනයට අදාළව තවදුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතු බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ.

පෞද්ගලික රක්ෂණ සමාගමක රිය අනතුරුවලට ලක්වන වාහන පිළිබඳ වාර්තා ලබාදීමේදී ඒවා එම සමාගමට වාසිදායක ලෙස ලබාදීම තුළින් රුපියල් ලක්ෂ හැට හතකට (67) අධික මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් මොහු සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා ෴


ආපදාවට පත් වාහන සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා විශේෂ ජංගම සේවාවක්

(09.12.2025 – 11:48 +0530 – sinhala.adaderana.lk)

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් මේ සම්බන්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.

ඒ අනුව අදාළ තොරතුරු මත ඉදිරි කාර්යන් සිදු කිරීමට නියමිත බවත් ආපදාවට ලක්වූ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කර ධාවනයට සුදුසුද නැතිද යන්න තීරණය කරනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ රථ වාහන මෙන්ම ලියකියවිලිද විනාශ වී ඇති බවත් එම තොරතුරුද ලබා ගනිමින් අදාළ ඉදිරි කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව තමන් පදිංචි ග්‍රාම සේවා කොට්ඨාසයේ අදාළ ග්‍රාම නිලධාරීවරයාට මේ සම්බන්ධව දැනුවත් කරන ලෙසත් ඔහු හරහා පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර පොලිස් පැමිණිල්ලක් සිදු කිරීමත් අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා විවිධ අංශ මගින් නිවැරදි වාර්තා ලබා ගැනීම මෙම තත්ත්වය කළමනාකරණයට වැදගත් වන බවය.

පවතින තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කර විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව 070 718 8866 යන වට්සැප් දුරකථන අංකය මගින් අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇති බවත් සඳහන් කළ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අදාළ වාහන සහ ලියකියවිලිවල යම් සාක්ෂි තමන් සතුව ඇත්නම් එම සාක්ෂි ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් එය ඉදිරි කටයුතු සඳහා පහසුවක්ද වන බවය.

+


විදෙස් රටවල් සුළි කුණාටුවට සූදානම් වූ හැටි – ට්‍රම්ප් යුක්රේන‌යේ ප්‍රදේශ රහසේ රුසියාවට දෙයි (09.12.2025)

+


නුවර පාරේ කඩුගන්නාව අන්තිම භයානකයි! ලිස්සනවා ! – කඩුගන්නාවෙ නායයාමේ දර්ශන (09.12.2025)

+++

ගෙලිඔය පාලම උඩින් වතුර – ග්‍රාමසේවක නෝනා නැහැ – තවම බලධාරියෙක් නෑ – මාධ්‍යයෙන් පෙන්නුවෙත් නැ (08.12.2025)

+


බොරුවෙන් පරපුරක් මුලාකලාට පස්සේ, සත්‍ය ඉස්මතු කරගන්න අමාරුයි : පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි (08.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *