ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න

ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න


ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න

(08.12.2025 – 07:26 +0530 – sinhala.adaderana.lk)

ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත.

මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට ඍජුවම බලපෑම් කළ හැකි බවත් ඒ හේතුවෙන් ජනතාව තුළ මානසික පීඩනය ඇති වීම සුලබව දැකිය හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.

එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර පසුව එම ගැටලුවට කුමක් කළ යුතු ද යන්න විසඳුම හඳුනා ගත යුතු බවද එහිදී ඔහු පැවසීය.

එමෙන්ම යම් කෙනෙකු මෙම තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍යය උපදෙස් ලබා ගන්නා ලෙසද වෛද්‍යවරයා දැනුම් දී සිටී.

වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම ව්‍යසනය හේතුවෙන් දරුවන් පීඩන‍යට පත්ව ඇත්නම් ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බවය.

උදාහරණයක් ලෙස, හැකි ලෙසකින් ඔවුන්ට සෙල්ලම් කිරීමට වටපිටාවක් නිර්මාණය කරදීම, යාලුවෝ මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීම වැනි දේ කළ හැකි බව ද වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඔබ පීඩාවට පත්ව ඇත්නම් තරහා යෑම, නින්ද නොයෑම, ආහාර රුචියක් නොමැති වීම, තෙහෙට්ටුවක් දැනීම ආදී ලක්ෂණ ඇති විය හැකි බවද වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය.

එමෙන්ම අපේ රට විවිධ අවස්ථාවල ස්වභාවික ව්‍යසන සහ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති අතර ජනතාවගේ එකමුතු බව, ධෛර්යවන්තකම සහ නොපසුබට උත්සාහය හේතුවෙන් එවැනි තත්ත්වයන් හමුවේ රට ගොඩනැගීමට හැකි වූ බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා :
“මෙවර ගංවතුර තත්ත්වය සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විශාල ව්‍යසනයක් සිදු වුණා. එවැනි ආපදා තත්ත්වයකින් පසුව මනසට මුලින්ම දැනෙන දේ තමයි අපිට ලොකු කරදරයක් වුණා කියලා දැඩිව ඇතිවන දුක් සහිත තත්ත්වය. එමෙන්ම හිස් බව, අදහගන්න බැරි තරම් ෂොක් එකක් කිසිම දෙයක් කරන්න උනන්දුවක් නැති තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. මේ ආපදා තත්ත්වය නිසා ඔබ හිංසනයට කරදරයට පත්වෙලා තිබෙනවා නම් ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හැමෝම උදව් කරන්න පෙනී සිටිනවා. එම නිසා ඔබේ උත්සාහය, අනාගතය ගැන තියෙන බලාපොරොත්තු අත්හැර ගන්න එපා. නිවස නැති වුණා නම් පවුලේ කෙනෙක් නැතිවුණා නම්.. ඔබේ හිතේ තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා” ෴


වැඩි මිලට වතුර බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට රු. මිලියනය බැගින් දඩ

(08.12.2025 – 08:01 +0530 – sinhala.adaderana.lk)

වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක (10,00,000) දඩ මුදලක් පැනවීමට අධිකරණය නියෝග කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරු මත අදාළ වැටලීම් සිදුකර මේ සම්බන්ධව නඩු පැවරීමට පියවර ගෙන ඇත.

මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකටය.

බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100 ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලක් රුපියල් 400 ක මිලට අලෙවි කිරීමේ චෝදනාව මත අදාළ ආයතනට එරෙහිව බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.

එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ නිවාඩු නිකේතනයට රුපියල් මිලියනයක (10,00,000) දඩ මුදලක් පැනවීමට නියෝග කර ඇත.

එමෙන්ම රුපියල් 70 කට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් එම මිල ඉක්මවා රුපියල් 230 කට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති අතර එහිදී ද අදාළ සමාගම වෙත රුපියල් මිලියනයක (10,00,000) දඩ මුදලක් පැනවීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ ෴


ඉතාලියේ ලංකික සමාජ ක්‍රියාකරුවකු ආධාරත් කොල්ල කාලාලු

(07.12.2025 – lankadeepa.lk)

(ෂමින් පණ්ඩිතරත්න – ඉතාලියේ සිට)

ශ්‍රී ලංකාවේ අවතැන් වූවන්ට සහන සැලීමට යැයි පවසා ඉතාලියේ සිටින සමාජ ක්‍රියාකරුවකු රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් (යුරෝ 6500) වංචා කර ඇතැයි ඉතාලියේ එම පරිත්‍යාග ශීලිහු චෝදනා කරති.

අවතැන් වූවන්ට සහන සැලසුවැයි භාණ්ඩ ලබාගත් බවට එම සමාජ ක්‍රියාකරු විසින් ඉදිරිපත් කළ බිල්පත් පරීක්ෂා කිරිමේදී එහි සඳහන් නම් වලින් එවැනි ආපනශාලා සහ වෙළඳසල් නොමැති බවද ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය කෑම බීම, බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍ය සහන සැලසීමට ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල ජීවත්වන විශාල පිරිස් මෙන්ම ලෝකයේ විවිධ රටවල ජීවත්වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ද ඉමහත් උත්සාහයක යෙදෙමින් ව්‍යසනයට ගොදුරුවු තම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ඒකරාශී වූහ.

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ අවතැන්වූවන්ට සහන් සැලසීම සඳහා තමන්ගේ ගිණුමට මුදල් බර කරන ලෙස දැන්වීම් පළකර තිබුණි.

එසේ ලබාදුන් යූරෝ 6500 ට එනම් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු විසින් කූට ලිපි ලේඛන හා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් එම මුදල් වංචා කර ඇති බවට ඊට ගොදුරු පරිත්‍යාගශීලීන් චෝදනා කරති.

මෙවැනි සමාජ ක්‍රියාකාරීන් හෝ සමාජ සංවිධාන වෙස්ගත් කූඨ ජාවාරම් කාරයන්ට හසු නොවෙන ලෙසත් තමන් විසින් ලබා දෙන ආධාර නිසි කලමනාකාරිත්වයෙන් යුතුව අවතැන් වූ ජනතාවට සහන සැලැස්වීමට විශ්වාස තැබිය හැකි රජයක් වර්තමානයේ ඇති බවත් රජය විසින් නම් කරන ලද ගිණුම්වලට මුදල් බැර කරන ලෙසත් ඉතාලියේ ශ්‍රී ලාංකික සංවිධාන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කරයි ෴


කවදාවත් හිතුවේ නැති රටවල් 10 ක් ලංකාවට දුන්නු අතිවිශාල ආධාර! (08.12.2025)

+


ජවිපෙ සාපය රටට වැදුනාද? මහරිශි අනාවැකිය. ඉන්දියාව හැම පැය තුනකට වරක් අනතුරු අගවලා (05.12.2025)

+


මිනිස් ජීවිතයක වටිනාකම තහඩුවකට සමාන බව අනුරගේ වන්දි ගෙවීම දෙස් දෙයි! (06.12.2025)

+

වන්දිය ගන්න බෙල්ල වැටේ බලකා සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍යයි! (08.12.2025)

+


මාලිමා මන්ත්‍රීවරියක් කළ කැත වැඩේ (07.12.2025) (පුදුම විය යුතු නැත ! ඒ උන්ගෙ හැටි !)

+


SLPP PRSS 2025.12.08 | කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

+


පොතකින් අපරාධමය වරදක් සිදුව ඇති බවට අධිකරණයේදී සාක්ෂියක්

(08.12.2025 – hirunews.lk)

බුදු දහමට, ගෞතම බුදුන් වහන්සේට නිග්‍රහයක් වන අන්දමින් ලියා ප්‍රසිද්ධ කර ඇති ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතිය මගින් අපහාසයෙන් ඔබ්බට ගිය අපරාධමය වරදක් අනාවරණය වන බව හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂ විතාන හමුවේ සාක්ෂි දෙමින් (08) අද පැවසුවා.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව කම්පාවට හා චිත්ත පීඩාවට පත්ව ඇති බව ද හිටපු අමාත්‍යවරයා එහිදී සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් කරුණු දැක්වුවා.

හිටපු අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ සිද්ධියට අදාළ නඩුව අද (08) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබාදෙමිනි.

එහිදී ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදෙමින් විජයදාස රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදෙමන් කියා සිටියේ කතුවරයා බුදුරජාණන් වහන්සේට මෙන්ම බුදු දහමට අගෞරව කිරීමේ අරමුණින් එම කෘතිය එළිදක්වා ඇතිි බවය.

බහුතර බෞද්ධ ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව වැනි රටක පුද්ගලයකු මෙවැනි ආකාරයට කෘතියක් එළිදැක්වීම කම්පා විය යුතු කරුණක් බවද ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එම පොත එළිදැකීම සඳහා කටයුතු කළ කතුවරයා, හා මුද්‍රණය කළ අයවලුන් ඇතුළු ඊට සම්බන්ධ⁣ සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස එවකට සංස්කෘතික අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ 2018 වසරේ කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාග කෙරේ ෴


මියන්මාරයෙන් ශ්‍රීලංකාවට ඩොලර් ලක්ෂයක සහනාධාර

(08.12.2025 – hirunews.lk)

හදිසි සහනාධාර වශයෙන් විපතට පත්ව සිටින ජනතාව සඳහා මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක සහනාධාර ලැබී තිබෙනවා .

මෙම සහනාධාර ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනය විසින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෙත භාරදී තිබෙනවා.

මෙම අවස්ථාවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන් වෙනවා.

“මියන්මාර තානාපති Marlar than htaik මහත්මිය විසින් මියන්මාර සංගම් ජනරජයෙන් හදිසි සහනාධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක පරිත්‍යාගයක් භාර ගැනීමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙමි.

ඊයේ(07) දිනයේදී ලබා දුන් මානුෂීය ආධාර තොගය සහ මියන්මාරයේ අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස පැමිණීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 500 ක් පිළිබඳව ශ්‍රී ලංකාව තවදුරටත් කෘතඥතාව පළ කරයි.

මෙම අභියෝගාත්මක කාලය තුළ කාලෝචිත ආධාර සහ සහයෝගීතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වන මියන්මාර රජයට සහ ජනතාවට මගේ අවංක කෘතඥතාව පළ කරමි” ෴


ආපදාවෙන් පේරාදෙණිය මල්වත්තට රු. ලක්ෂ 1300 ක හානියක්

(08.12.2025 – hirunews.lk)

අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගලා පේරාදෙණිය උද්භිද උද්‍යානය තුන් පැත්තකින් ජලයෙන් යටවීම නිසා සිදුව තිබෙන හානිය රුපියල් ලක්ෂ 1300 ක පමණ වන බවට දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇතැයි උද්භිද උද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුවිනි ගෝමස් පවසනවා.

ගසක් කඩා වැටීමෙන් බරපතළ හානි සිදුව තිබෙන සංගිලි පාලම යළි ස්ථාපිත කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 800 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ද ඇය කියාසිටියා.

ආපදා තත්ත්වය හේතුවෙන් උද්භිද උද්‍යානයේ මහවැලි නදිය ආසන්නයේ ස්ථාන කිහිපයකට හානි සිදුව තිබුණද දෙස් විදෙස් සංචාරකයින් සඳහා උද්‍යානය සුපුරුදු පරිදි විවෘත කර තැබීමට හැකිවූ බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවා.

පසුගිය කාලයේදී ද සංගිලි පාලමේ ගමන් කිරීමට අවසර ලබාදී තිබුණේ සීමිත පිරිසකට බවත් හානි වීමෙන් පසු රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුව පෙරේදා (07) පැමිණ එහි තත්ත්වය පරීක්ෂා කර බැලූ බවත් ඇය ප්‍රකාශ කළා.

උද්භිද උද්‍යානයේ උඩවැඩියා ප්‍රදර්ශන අංශයට හා අලෙවි අංශයට පැළ සපයන උඩවැඩියා පැල තවාන ජලයෙන් යටවීමෙන් එහි තිබූ පැල 12,500 ක් පමණ විනාශ වීමේ අවදානමකට ලක්ව තිබෙන බවත් මහවැලි ගඟ ආසන්නයේ තිබූ ඕකිඩ් පැල තවානට පැල සපයන පටක රෝපණ විද්‍යාගාරයට හානි සිදුව තිබෙන බවත් සහකාර අධ්‍යක්ෂිකා රුමාලි බණ්ඩාර කියාසිටියා.

ආසාදිත පැල යථාවත් කිරීම, නව අත්හදා බැලීම් ඇතුළු විශේෂ ව්‍යාපෘති මෙම විද්‍යාගාරයේදී සිදු කරන බව ද එයට සිදුව තිබෙන හානිය මෙතෙක් ගණනය කළ නොහැකි බවද කී ඇය ජලයෙන් යටවූ උපකරණ යළි ප්‍රයෝජනයට ගත හැකිද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර යමක් ප්‍රකාශ කළ නොහැකි බව ද අවධාරණය කළා.

මහවැලි ගඟ ආසන්නයෙන් ඇති උද්භිද උද්‍යානයේ සියලු මාර්ග ජලයෙන් යටවීම නිසා අඩි තුන – හතරක් (3-4) උසට රොන්මඩ තැන්පත්ව තිබෙන බවත් ඒවා ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු කරමින් තිබෙන බවත් සති දෙකක (2) පමණ කාලයක් තුළ උද්භිද උද්‍යානය යළි පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයිද ඇය අවධාරණය කරනවා.

උද්‍යානය තුළ ගමන් කිරීම සඳහා යොදවා තිබෙන විදුලි මෝටර් රථවලට ද හානි සිදුව තිබෙන බවත් ඒවා අලුත්වැඩියා කිරිමේ කටයුතු සිදු කරමින් තිබෙන බවත් ඇය පැවසුවා ෴


විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්

(08.12.2025 – 16:34 +0530 – sinhala.adaderana.lk)

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිරාවරණයවී ඇති විදුලි සංදේශ රැහැන්වලට හානි කිරීම හා කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන බව පොලීසිය පවසයි.

මෙම තත්ත්වය සන්නිවේදන පහසුකම් කඩිනමින් යථාවත් කිරීමේ කාර්යයට දැඩි ලෙස බලපා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මේ හේතුවෙන් අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම ඒවා කපා ඉවත් කිරීම, ළඟ තබා ගැනීම හෝ පද්ධතිවලට හානි සිදුකිරීම නොකරන ලෙසත් එවැනි ක්‍රියා සිදුකිරීම දඩුවම් ලැබිය හැකි බවත් පොලීසිය පෙන්වා දෙයි.

මෙවැනි ක්‍රියා සිදුකිරීම සම්බන්ධව තොරතුරු වාර්තා වන්නේ නම් ඒ පිළිබදව ළඟම ඇති පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පොලිසිය පැවසීය.

එමෙන්ම යම් ආපදාවලට ලක්වු මාර්ගයක් නැවත සකස් කරන අවස්ථාවකදී මෙවැනි භූගත විදුලි සංදේශ රැහැන් නිරීක්ෂණය වන්නේ නම් අදාළ ආයතන වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස ද පොලීසිය පවසයි ෴


ගංවතුර අස්සේ බයික් උස්සපු හොරු වැලිකඩ පොලිසියේ අතටම මාට්ටු වෙයි (08.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *