අයහපත් කාලගුණයෙන් පාසල් දහසක දරුවන් ලක්ෂයක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් පාසල් දහසක දරුවන් ලක්ෂයක් පීඩාවට


අයහපත් කාලගුණයෙන් පාසල් දහසක දරුවන් ලක්ෂයක් පීඩාවට

(07.12.2025 – 20:44 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් 9 තුළ පාසල් දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් කුමන ආකාරයකින් ආපදාවට ලක්ව ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

ඒ අනුව ආසන්න වශයෙන් පාසල් යන දරුවන් ලක්ෂයක් (100,000) පමණ මෙම ආපදාවෙන් කුමන හෝ ආකාරයක පීඩාවට පත්වී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් ආපදාවට දැඩිව ලක්වී නොමැති ප්‍රදේශයන්හි පාසල් මෙම මස 16 වනදා විවෘත කිරීමේ තීරණයක් මේ වනවිට ගෙන තිබෙන බව ඔහු පැවසීය.

“කුමන ප්‍රදේශයේ, කුමන පාසල් ද විවෘත කරන්නේ යන්න පිළිබඳ නිල නිවේදනය හෙට (08) හෝ අඟහරුවාදා (09) නිකුත්කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම පාසල් විවෘත කිරීමත් සමගම අපොස උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ප්‍රශ්නපත්‍ර 2026 ජනවාරි මාසය තුළ පවත්වන්න දැනටඋත්සාහ කර තිබෙනවා” යනුවෙන් පැවසීය.

+++

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට (08) සිට පැය 24 පුරාම විවෘතයි

(07.12.2025 – 20:05 +0530 – sinhala.adaderana.lk)

කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය හෙට (08) අලුයම 04:00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි ෴

+++

නුවරඑළියට පිවිසිය හැකි මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට

(07.12.2025 – 19:20 +0530 – sinhala.adaderana.lk)

නුවරඑළියේ පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ඒ අනුව මහියංගනය සිට නුවරඑළිය දක්වාම මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය සිට කොළඹ දක්වා ගිනිගත්හේන හරහා දිවෙන මාර්ගය සහ නුවරඑළිය සිට කොළඹ දක්වා බගවන්තලාව හරහා දිවෙන මාර්ගය ද මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරිය මෙහිදී සඳහන් කළාය.

එමෙන්ම ඇය වැඩිදුරටත් පැවසුවේ රේන්දපොල හරහා වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගය හා උඩුපුස්සැල්ලාව මාර්ගය ද මේ වන විට විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බවය.

නුවරඑළිය – නුවර ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින අතර එය විවෘත කිරිමට තව දින කිහිපයක් ගතවන බව ද දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියාය.

දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවත්, දැනට විවෘත කර ඇති මාර්ගවල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරිමට පියවර ගෙන ඇති බවත් ලේකම්වරිය පැවසීය ෴

++++

ගංවතුරෙන් විනාශ වූ සහල් වෙළඳපොලට සැපයීමේ ජාවාරමක්

(07.12.2025 – 14:52 +0530 – sinhala.adaderana.lk)

ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000 ක් අළෙවි කිරීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස නීතිය ක්‍රියාත්මක කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල තමන් මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවය.

කෙසේවෙතත් මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දෙන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට දැනුම් දී ඇත ෴

+++

ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

(07.12.2025 – 13:51 +0530 – sinhala.adaderana.lk)

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා නිවාස 4,517 ක් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ විනාශය සම්බන්දව එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්ව තිබේ.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් තවත් නිවාස 76,066 ක් අර්ධ හානි සිදුව ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව ඇත.

සම්පූර්ණ හානි වූ නිවාස අතුරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,800 කි.

දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම ගණන 573 කි.

තෙවැනියට වැඩිම නිවාස හානි ගණනක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයේ විනාශ වූ නිවාස ගණන 480 ක් බවත් එහි සඳහන් වේ.

මේ අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස වැඩිම ප්‍රමාණයක්ද වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 13,044 කි.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,575 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869 ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291 ක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,200 ක්ද අර්ධ වශයෙන් හානි වී ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ ෴

+++

ආපදා මරණ 627 ක් – 190 ක් අතුරුදන්

(07.12.2025 – 13:16 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (07) මධ්‍යාහ්න 12:00 ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 190 ක් තවමත් අතුරුදන්ව ඇත.

පවුල් 611,530 කට අයත් පුද්ගලයින් 2,179,138 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 232 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89 ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90 ක් ,කුරුණෑගලින් මරණ 61 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 32 ක්, පුත්තලමෙන් මරණ 35 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 28 ක් වාර්තා වී ඇත.

එමෙන්ම පවුල් 27,663 ක පුද්ගලයින් 89,857 ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ ෴

+++

මහනුවර සිට කොළඹට එන දුම්රිය මගීන්ට හෙට (08) සිට විශේෂ බස් රථ

(07.12.2025 – 12:55 +0530 – sinhala.adaderana.lk)

මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට (08) අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරිමේ හැකියාව පවතින බව ද එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව උදෑසන 04:00, 04:15 සහ 04:30 ට, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සහිත මගීන් සඳහා පමණක් වූ ප්‍රවාහන සේවාවක් සැපයීමට කටයුතු කර ඇති බව ඒ මහතා සඳහන් කර සිටියේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බස් රථ ප්‍රමාණවත් නොවන්නේ නම් අමතර බස් රථ ද, ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිත බවය.

මේ අතර කොළඹ සහ නුවර අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු හෙට (08) සිට ආරම්භ කිරීමට නියමිත බවද මධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව කොළඹ සහ නුවර අතර ප්‍රවාහනය සඳහා තෝරාගෙන ඇත්තේ නුවර, කටුගස්තොට, ගලගෙදර, හතරලියද්ද, රඹුක්කන, කරඬුපන, කෑගල්ල, පස්යාල හරහා කොළඹ දක්වා දිවෙන බස් රථ මාර්ගය බව ද ඒ මහතා පැවසීය.

එම මාර්ගය මගීන් සඳහා සුරක්ෂිත මාර්ගය ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව, දුරගමන් සේවා බස් වෙනුවෙන් තෝරාගෙන ඇති බව ද චන්ද්‍රපාල මහතා පැවසුවේය ෴

+++

ආපදාවෙන් පසු මතුවිය හැකි වසංගත රෝග පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඉල්ලයි

(07.12.2025 – 12:23 +0530 – sinhala.adaderana.lk)

පැවති ආපදා තත්ත්වයෙන් පසුව මතුවිය හැකි බෝවන රෝග පිළිබඳ අවධානය යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ උණු කර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් වන බවය.

එමෙන්ම ජලය පානය සඳහා භාවිත කරන ළිං ගංවතුරින් උතුරා ගොස් ඇත්නම් එය නැවත භාවිතයට පෙර එය නිසි ලෙස පිරිසිදු කර ක්ලෝණීකරණය කර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව භාවිතයට ගැනීමට කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ආහාර මගින් බෝවිය හැකි රෝග පිළිබඳ සැලකිලිමත් වීමේදී පිසූ ආහාර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ පිරිසිදුව ආහාර පිස ගැනීම මෙන්ම යම් පාචන රෝගී තත්ත්වයක් පවතින අයෙකු වේ නම් ඔහු ආහාර පිසීමේ ක්‍රියාවලියෙන්ද ඉවත්විය යුතු බවත්ය.

එමෙන්ම ආහාර පිළියෙල කරන වෙලාවන් සහ ආහාර අනුභව කිරීම් වෙලාවන් අනුව ආහාර විෂ වීම්ද සිදුවිය හැකි බවත් ඒ අනුව ආහාර පිසූ වේලාවේ සිට පැය 4 ක කාලයක් ඇතුළත ආහාර අනුභවය ඉතා සුදුසු බවත් ආහාර අනුභවයට පෙර හොඳින් දෑත් සේදීමද අත්‍යවශ්‍ය බවද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා :

“බොහෝ තැන්වල වතුර රැඳිලා තිබෙනවා, මඩ රැඳිලා තිබෙනවා. මේක මී උණ රෝගය පැතිරීමට ඉතාම සුදුසු පරිසර තත්ත්වයක්. මී උණ කිව්වාට මීයන්ගේ විතරක් නෙමේ බල්ලන්ගේ, හරකුන්ගේ සහ ඌරන්ගේ වුණත් මුත්‍රාවල තිබිලා ජලය අපවිත්‍ර කරන්න පුළුවන්. ඒ අපවිත්‍ර ජලය අපේ ශරීරයේ කැපුම්, සීරීම්, තුවාලවලින් වුණත් අපේ ශරීරයට ඇතුළත් වෙන්න පුළුවන්. සියලුම ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් සඳහා ලබා දීමට අපි බෙදා හැරලා තියෙනවා ‘ඩොක්සිසයික්ලයින්’ නැමති ඖෂධය. ඒ ඖෂධයෙන් මිලිග්‍රෑම් 200 ක් වහාම ලබා ගන්න ඕනේ. සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු හෝ ඔබගේ නිවස ජලයෙන් යටවී තිබෙනවානම් දිගටම සතියක් පාසා මෙම මාත්‍රාව ලබා ගන්න” ෴

+++

මහා ව්‍යසනය අවසන් වුණා විතරයි – මෙන්න ජනතාවට වෙන්න යන දේ (07.12.2025)

+++

රන්ටැඹේ – මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට

(07.12.2025 – 10:57 +0530 – sinhala.adaderana.lk)

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ සිට මහියංගනය දක්වා දිවෙන කිලෝවොල්ට් 132 ක විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත්කර තිබේ.

ඊයේ (06) පස්වරු 05:30 පමණ වන විට මෙම පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩලය පැවසුවේය.

ඒ අනුව මහියංගනය මෙන්ම නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශවලට යලි විදුලි සැපයුම ලබාදී ඇති බව සඳහන් වේ.

අයහපත් කාලගුණයත් සමග එම සම්ප්‍රේෂණ මාර්ගවල සහ රැහැන් පද්ධතිවලට සිදුවු හානි හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම් සිදුව තිබුණි ෴

+++

අත්‍යවශ්‍ය සේවා ගැටලුවලට ක්ෂණික ඇමතුම් අංකයක්

(07.12.2025 – hirunews.lk)

අත්‍යවශ්‍ය සේවාවන්ට පිවිසීම සම්බන්ධයෙන් පැන නගින පුරවැසි පැමිණිලි පහසු කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නව ක්ෂණික ඇමතුම් අංකයක් (කෙටි අංකයක්) හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, අත්‍යවශ්‍ය සේවාවලට අදාළ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට 1904 යන කෙටි අංකය ඔස්සේ අදාළ කාර්යාලය හා සම්බන්ධ විය හැකියි.

මෙම පියවර මඟින් රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී ඇතිවන බාධා අවම කිරීමට සහ මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ ෴

+++

සහන දෙන්න – මහ බැංකුව බැංකුවලට දන්වයි

(07.12.2025 – hirunews.lk)

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීමට අදාළ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පැවසුවේ ඒ අනුව මුල් ණය මුදල හෝ ණය පොලිය ආපසු ගෙවීම මාස 03 සිට 06 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026 ජනවාරි මස 15 වැනිදාට පෙර ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ යුතුයි ෴

+++

‘දිනේෂ් මුතුගල’ට මඩ ගහන්නේ ‘මාලිමා ඩෝබියෝ’ – කුහක ‘ජෙප්පන්’ගේ හැටි ඔහොම තමයි (07.12.2025)

+++

මළ මිනිස්සුන්ටත් තෙල බෙදන ජනාධිපති… බොරු කියලා පොළොවත් පැලුනා, තවත් කියන්නෙ බොරුමයි (07.12.2025)

+++

අපි වටගලට බයවෙලයි හිටියේ… වටගල ඔයා ‘ටිරන්ත වළලියද්ද’ගේ කතාව ඇහැව්වද ? (07.12.2025)

+++

මේ කේස් එකට ආණ්ඩුවේ කීදෙනෙක් හිරේ යයිද ? ඇයි අපි ගෝටාබයව එළෙව්වේ ? (07.12.2025)

+++

විලි ලජ්ජා නැති මිනිහෙක්! (07.12.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *