මාලිමා නගරාධිපතිට නිල රථයක් හා නිල නිවසකට රු. මිලියන 135 ක් අනුමත කරගනී

මාලිමා නගරාධිපතිට නිල රථයක් හා නිල නිවසකට රු. මිලියන 135 ක් අනුමත කරගනී


මාලිමා නගරාධිපතිට නිල රථයක් හා නිල නිවසකට රු. මිලියන 135 ක් අනුමත කරගනී

(23.11.2025 – lankacnews.com)

2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ නගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි.

නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී පූජ්‍ය මාකඳුරේ රතන වංශ හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ඉල්ලද්දි වාහන එපා කියලා ඇවිල්ලා දැන් ‘රථ ගාය’ හැදිලා වගේ නිල නිවාස එපා කියලා ඇවිත් දැන් නිල නිවාස ඉල්ලනවා වගේ නුවරඑළිය නගරාධිපතිවරයාට ‘රථ ගාය’ සහ ‘නිල නිවාස මේනියාව’ ඇති වී මහජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීමට සූදානම් වන බවයි.

ඔවුන් මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියේ පපසුගිය මාසික සභා වාර වලදී නගරාධිපතිවරයා දැනට භාවිතා කරන නිල රථය වෙනුවට සැප පහසු නිල රථයක් නගරාධිපතිවරයාට ලබා ගැනීම සදහා ජාතික ජනබල වේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ආර්. වසීහරන්ගේ යෝජනාව සහ නගරාධිපතිවරයාට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් නගරාධිපතිවරයා කළ ඉල්ලීම පසුගිය 2025.11.14 දින පැවැති මාසික මහ සභාවේදී සභා අනුමැතිය ලැබීමත් සමගය.

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ ස්වාධින කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී මාකදුරේ රතන වංශ හිමියන් මෙසේ අදහස් දැක්විය :

“2025.11.14 දින නුවරඑළිය මහ නගර සභාවේ මාසික මහ සභාවේදී නගරාධිපතිවරයාට අලුත් නිල රථයක් සහ නගරාධිපති නිවසක් ඉදිකිරීමේ මෙම යෝජනාවන් දෙක ඉදිරිපත් කරන අවස්ථාවේදී ද අපගේ විරෝධය අපි ප්‍රකාශ කළා.

මේ පත්වෙලා ඉන්න නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා නුවරඑළිය මහ නගර සභාවේ 19 වෙනි නගරාධිපතිවරයා.

මෙතෙක් කල් හිටපු නගරාධිපතිවරුන් කිසිම කෙනෙක් තමන්ගේ සුඛ විහරණය සඳහා මෙතරම් මුදල් කන්දරාවක් යට කරන යෝජනා ඉදිරිපත් කරලා නැහැ.

මේ වන තෙක් එක් නගරාධිපතිවරයෙකු වත් නිල නිවසක් අවශ්‍යයි කියල ඉල්ලලා නෑ. මොකද මේකේ නගරාධිපතිකම් කරන්න ආවෙ පිට මිනිස්සු නෙවෙයි නුවරඑළියෙම පයින් එන දුරක පදිංචි වෙලා ඉන්න අය.

වර්තමාන නගරාධිපතිවරයාටත් පයින් එන දුරක තමයි නිවස පිහිටලා තියෙන්නේ.

තවද මෙම නිල නිවස ඉදිකිරීමට යෝජනා කරන්නේ නුවරඑළියේ වාණිජ වටිනාකම් වලින් වැඩි පර්චසයක් රුපියල් කෝටියටත් වැඩි මුදලකට ඉල්ලුම තියෙන ස්ථානයක.

නගරාධිපතිවරයාට සිය සුඛ විහරණය සඳහා නිල නිවසක් ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය හා ආණ්ඩු පක්ෂයට සහය දෙන කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් වශයෙන් සිදු කරන්නේ නගරාධිපතිවරයා හමුවීමට පැමිණෙන අමුත්තන්ට සැලකීම සඳහා නිල නිවසක් අත්‍යවශ්‍ය බවයි.

ඒ හැම දේකටම සරිලන පරිදි තමයි හිටපු නගරාධිපතිවරුන් වන චන්දන ලාල් කරුණාරත්න මහතාගේ සහ මහින්ද දොඩම්පේ ගමගේ මහතාගේ කාලය තුළදී සියලු පහසුකම් සහිත නව නගරසභා ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ. ඒකෙ ඔය කියන හැම සැලකිල්ලක්ම සත්කාරයක්ම කරන්න පුළුවන් නීතියට පටහැනි නොවන ලෙස.

ජනාධිපති නිල නිවස ද පොදු කටයුතු සඳහා වෙන් කිරීමේදී නුවරඑළිය ජනාධිපති නිල නිවසත් පොදු කටයුත්තකට වෙන් වෙයි කියලා අපි විශ්වාස කරනවා, වත්මන් ජනාධිපතිවරයා දුන්න මැතිවරණ පොරොන්දුවල විදිහට.

එවන් පසුබිමක නුවරඑළිය වැනි සංචාරක නගරයක අධි වටිනාකමකින් යුතු තැනක නගරාධිපතිවරයාට නිල නිවාසයක් කිසිසේත් අවශ්‍ය නොවන කාරණාවක් හැටියටයි අපි දකින්නේ.

ඒත් එක්කම නිල රථය ගැන සඳහන් කරනවා නම් වර්තමාන නගරාධිපතිවරයාගේ නිල රථය එතරම් පරණ එකක් නෙමෙයි. එය සාමාන්‍ය රාජකාරී වලට භාවිතා කිරීම සඳහා ඇති නිල රථය යි.

එයට අමතරව විශේෂ අවස්ථා සඳහා භාවිතා කිරීමට සුඛෝපභෝගී කැබ් රථයක් සහ අධි සුඛෝපභෝගී වෑන් රථයක් ද නුවරඑළිය මහ නගර සභාව සතුව තිබෙන විට මහජනතාවගේ බදු මුදලින් රුපියල් මිලියන 25 ක් කැබ්රථයක් මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කිරීම මහජන මුදල් අවභාවිතාවක් හැටියටයි අප දකින්නේ.

හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා ගැන විශේෂයෙන් සඳහන් කරන විට ඔහු නගරාධිපති නිල රථය කිසිම හේතුවක් මත භාවිතා කරලා නැහැ. ඔහු රාජකාරී කටයුතුවලදීත් භාවිතා කළේ ඔහුගේ පෞද්ගලික රථය පමණයි.

අඩුම තරමේ පෞද්ගලික රථයට ඉන්ධනවත් ලබා ගත්තේ නැහැ. ඔහු ඉන්ධන සඳහා වැය කරපු මුදල සහ ඔහුගේ සම්පූර්ණ මාසික දීමනාව ද පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාර සඳහා වියදම් කරා.

එවන් අගය කළ යුතු ක්‍රියාවන් සිදුකළ නගරාධිපතිවරු පාලනය කල නුවරඑළිය මහ නගර සභාවේ නව නගරාධිපති උපාලි වනිගසේකර මහතාට මේ හැදිලා තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැදිලා තියෙන ‘රථ ගාය’ සහ ‘නිල නිවාස මේනියාව’ කියලයි අපි දකින්නේ.

අපිට මතකයි බලයට එන්න කලින් වත්මන් ජනාධිපතිවරයා කියනවා, පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ට කලින් හිටපු මන්ත්‍රී කෙනෙකු පස්ස තිබ්බ වාහන භාවිතා කරන්න බැරි මානසික ලෙඩක් තියෙනවා කියලා. ‘අපි බස් එකේ හරි කෝච්චියේ හරි ගිහිල්ලා මහජන සේවය කරනවා; මහජනතාවට නොලැබෙන වරප්‍රසාද කිසිවක් අපිට එපා’ කියලා. අපිට ටිකක් කල්පනා කරලා බලන්න කියලත් ඒ කාලේ කිව්වා. ඒ ජනාධිපතිවරයාගේම පාලන සමයේ පත්වෙච්ච, ඔහු යටතේම දේශපාලනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් අළුත් වාහන ගේන්න අයවැයේදී පාර්ලිමේන්තුවට යෝජනා කරනවා.

ඒ වගේම තමයි, ‘නිල නිවාස අපි ගන්නේ නෑ; ඒවා පොදු කටයුතු වලට වෙන් කරනවා’ කිව්වා. ඒත් දැන් නිල නිවාස වලට පොර කනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන ඒ ලෙඩේම නුවරඑළිය නගරාධිපතිවරයාටත් බෝවෙලා මහජන බදු මුදලින් අති විශාල මුදලක් තනි පුද්ගලයෙකු ලෙස තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වෙන් කරවා ගැනීමට එරෙහිව විපක්ෂයක් හැටියට අපි විරුද්ධ වෙනවා වගේම එම ක්‍රියාව තරය හෙලා දකිනවා.

නගරාධිපතිවරයාගේ මේ ඉල්ලීම් දෙකට යන වියදම ගැන සලකා බලන විට නිල රථයට රු. මිලියන 25 ක් වියදම් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.

ඒත් එක්කම නිල නිවාසය හදන්න යෝජනා කරන බිම් කොටස් කීපයේ වාණිජ වටිනාකම රුපියල් කෝටියක් (මිලියන 10 ක්) බැගින් ගත්තත් පර්චස් දහයක (10) ඉඩම් කොටසක නිල නිවස හදනවානම් එයින් මහ නගර සභාවට ඇතිවන පාඩුව කෝටි දහයක් (මිලියන 100 ක්). ඔය කියන විදිහේ සැප පහසුකම් එක්ක නිවස හදන්න අඩුම රුපියල් කෝටියක් (රුපියල් මිලියන 10 ක්) වැය උනා කියන්නේ සමස්ත වශයෙන් රු. කෝටි 11 ක් (මිලියන 110 ක්) නිල නිවසට විතරක් වියදම් වෙනවා.

එවිට ඔය යෝජනා දෙක ක්‍රියාත්මක කරන්න රුපියල් කෝටි 13.5 ක් එහෙමත් නැත්නම් රු. මිලියන 135 ක් වියදම් කරන්න වෙනවා.

මොන පිස්සුවකටද තනි පුද්ගලයෙකුගේ සුඛ විහරණයට මෙච්චර වියදම් මහ ජනතාවගේ බදුල් මුදල්වලින් කරන්න යන්නේ.

නුවරඑළිය නගරයේ සංවර්ධන කටයුතු රැසක් ඉතිරිව තිබෙනවා කරන්න.

කසල කළමනාකරණ ගැටලුව නාගරික සංවර්ධන කටයුතු හා සතිපොළ සංවර්ධන කටයුතු ජල ගැටලු විසඳීම වැනි මහජනතාවට ප්‍රයෝජනවත් දේවල් සියල්ල පසෙක තබා මහජන බදු මුදලින් නගරාධිපති සැප විඳින්න යන එකට අපි තරයේ විරුද්ධයි එයට විරුද්ධව පාරට බසින්න වුනත් අපි ලෑස්තියි.

අපේ විරෝධතාවය අපි මෙලෙස ප්‍රකාශ කලත් මෙම යෝජනා ඇතුළත් 2026 නව අයවැය සභා සම්මත කර ගනී කියලත් අපි සිතනවා.

ඒකට හේතුව ‘නියෝජ්‍ය නගරාධිපතිකම’ කියන ‘කේජු කෑල්ල’ට පෙරේත වෙලා ‘කුකුලා සලකුණ’ කරගත් එකසත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා මහ ලේකම් කම හෙබවන ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ (2) පිහිටෙන් අයවැය දිනන්න පුළුවන්.

බහුතරයට විපක්ෂය තිබ්බ නුවරඑළිය මහනගර සභාවේ බලය අත්පත් කරගත්ත විදිහටම ඒකත් කර ගනිවි කියල අපිට පේනවා.”

මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී නුවන් පෝරුතොට මහතාගෙන් අප විමසීමක් සිදු කල ද ඔහු ඇතුළු සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයාට නිල රථයක් සහ නිල නිවසක් ලබාදීමේ යෝජනාවට කිසිදු අදහසක් දැක්වීම ප්‍රතික්ෂේප කර නිහඬ වීමත් දක්නට ලැබිණ.

ඒ පිළිබඳව අප තවත් විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සිදුකළ විමසුමකට ඔවුන් කියා සිටියේ හිටපු නියෝජ්‍ය නගරාධිපති යදර්ශනා පුත්‍ර සිගාමනි මහත්මියට ජාතික ජන බලවේගය පාලනය සතු නුවරඑළිය මහ නගර සභාවේ ක්‍රීඩා හා අධ්‍යාපන ස්ථාවර කාරක සභා සභාපතිකමක් හිමිව ඇති පසු බිමක එම සභාපතිකම රැක ගැනීම වෙනුවෙන් ඇය ආණ්ඩු පක්ෂයේ යෝජනා වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මුනිවත රකින බවයි.

විපක්ෂයෙන් නගරාධිපතිවරයාට එල්ල වන මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව පිළිබඳව පිළිතුරක් ලබා ගැනීමට දුරකථන මාර්ගයෙන් කිහිප වතාවක් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දීම ප්‍රතික්ෂේප කළේය.

මීට පෙර සිදුවීම් කිහිපයකදී අප ඔහුගෙන් ප්‍රතිචාර ලබා ගැනීමට උත්සාහ කරන විට නගරාධිපතිවරයා අප හට කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිය පක්ෂයෙන් ඔහුට තහන්චි දමා ඇති බවය.

ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය

+++

+


කුමන්ත‍්‍රණකරුවන් මඩකලපුවේ පුරා විද්‍යා පුවරු ගලවනවා.. අපි පොලිසි ගියා.. – ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

(23.11.2025 – lankacnews.com)

මඩකලපු දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා පුවරැ ගලවා දමා රැගෙන යාම පිළිබඳව ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.

නීත්‍යානුකූලව ස්ථාපිත කර තිබූ පුරාවිද්‍යාත්මක සලකුණු පුවරු (දිශාපුවරැ සහ සංඥාපුවරැ) සංවිධානාත්මක පිරිසක් විසින් ගලවා දමා රැගෙන යාම සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවස්තු පිහිටි ස්ථාන සලකුණු කිරීම සඳහා දිශා පුවරැ සහ සංඥා පුවරැ ඉදි කිරීම දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආ ව්‍යාපෘතියකි. මඩකලපු දිස්ත්‍රික්කයේ මෙම සලකුණු පුවරු ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ තුන්වනදා (03) සිටය.

කෙසේ වෙතත්, නීත්‍යනුකූලව පිහිටුවා තිබූ මෙම රජයේ දේපළ, සංවිධානගත පිරිසක් විසින් ගලවා දමා රැගෙන යාම සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. මෙම ආකාරයේ සිදුවීම් ස්ථාන හතරකදී (4) වාර්තා වී ඇත. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙම පුවරු ඉදි කිරීම සඳහා පළාත් පාලන ආයතනවල කිසිදු අවසරයක් අවශ්‍ය නොවන බවත්, එය දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන කටයුත්තක් බවත්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වහාම ක්‍රියාමාර්ග ගෙන ඇත. අම්පාර සහ මඩකලපුව භාර සහකාර අධ්‍යක්ෂවරයා සිද්ධියට මැදිහත් වී ඇත. දෙපාර්තමේන්තුව විසින් වලච්චේන පොලීසියට එක් පැමිණිල්ලක් ද, කොක්කඩිච්චෝලේ පොලීසියට තවත් පැමිණිල්ලක් ද ගොනු කර ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කර ඇති අතර, ඇය ක්‍රියාමාර්ග ගෙන වාර්තා කැඳවා තිබේ. පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ද දැනුවත් කර ඇත.

පොලිස් අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විසින් වහාම නිසි විමර්ශනයක් කර, වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට පමුණුවන ලෙසට පොලීසියට උපදෙස් දී ඇත.

මෙම නීති විරෝධී ක්‍රියාවන් පිටුපස පැහැදිලිවම දේශපාලන උවමනාවක් තිබෙන බව රජය තේරුම් ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙය අහිංසක ප්‍රදේශවාසීන්ගේ උවමනාවක් නොවන බවත්, රජය මෙවැනි කටයුතු ඉතා පැහැදිලිව හඳුනාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර, එම වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරී තිබේ. බුදු සසුන සහ පුරාවිද්‍යාව ඇතුළු ස්ථාන රැකගැනීම සඳහා රජයක් පත්ව සිටින බව අමාත්‍යවරයා පැහැදිලි කරයි.

මෙම නීති විරෝධී කටයුතුවලින් වැළකී සිටින ලෙසට අමාත්‍යවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. රජය මේ වෙනුවෙන් ඉතාම නිසි පරිදි, විධිමත්ව සහ වේගයෙන් කටයුතු කරන බව සහතික කළේය.

කිසිදු කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, රජය මේවා බලා ගන්නා බවත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉතා කෙටි කාලයක් ඇතුළත පොලිස් ක්‍රියාමාර්ග මගින් මෙම නීති විරෝධී කටයුතු කළ අය නීතිය හමුවට පමුණුවන බවට විශ්වාසය පළ කරයි.

මඩකලපුවේ සිදුවීම දැනටමත් පොලීසිය සහ නීතිය ඉදිරියේ ඇති බවත්, හෙට දවසේදී වගඋත්තරකරුවන් කවුරුන්දැයි රටට හෙළි කිරීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය ෴

+++

+++

+++

+


රහස් පොලිසිය සරෝජා සිරිසේනගෙන් ප්‍රශ්න කරයි!

(23.11.2025 – divaina.lk)

එංගලන්තයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ එංගලන්තයට පැමිණි ගමනේදී රුපියල් මිලියන 16.6 ක් වැය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පරීකෂණ ආරම්භ කොට තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනයට පැමිණි ශ්‍රී ලංකා රහස් පොලිස් නිලධාරීන් ලන්ඩනයේ හිටපු මහා කොමසාරිස් සරෝජා සිරිසේන පසුගිය 17 වැනි සඳුදා මහ කොමසාරිස් කාර්යාලයට කැඳවා පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කරමින් කට උත්තරයක් ලබාගත්තේය.

එයට හේතුව වූයේ වික්‍රමසිංහ මහතා 2023 වසරේ සැප්තැම්බර් මාසයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උත්සවයට පැමිණෙනවිට ලන්ඩනයේ මහ කොමසාරිස්වරිය වශයෙන් කටයුතු කළේ සරෝජා සිරිසේන වීමය. සරෝජා සිරිසේන 2023 වසරේ නොවැම්බර් මාසයේ මහ කොමසාරිස් තනතුරෙන් ඉවත් කළද පුද්ගලික හේතුවක් මත තවමත් ලන්ඩනයේ ජීවත්වන්නීය.

රහස් පොලිසියේ නිලධාරීන් හිටපු මහ කොමසාරිස්වරියගෙන් ප්‍රශ්න කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාට ආරාධනා පත්‍රය නිකුත් කර තිබුණේ කවුද? එය නිල වශයෙන් අනුමත කර තිබුණාද? මහ කොමසාරිස් කාර්යාලය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සරිලන ලෙස භාවිත කළාද? ආරාධනාවේ සත්‍ය අසත්‍ය බව මහ කොමසාරිස් කාර්යාලය සොයා බැලුවාද? හිටපු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය නිල සංචාරයක් බව හඟවා ආ පුද්ගලික ගමනක්ද? ජනාධිපතිවරයා එංගලන්තයට ගොඩ බැසීමේ සිට පිටත්ව යෑම දක්වා මහ කොමසාරිස් කාර්යාලය ඔහුට දුන් සේවාවන් මොනවාද? ආදී අනෙකුත් කරුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු මහ කොමසාරිස්වරියට අමතරව කලින් සතියේ මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි රහස් පොලිස් නිලධාරීන් එවකට හිටපු නියෝජ්‍ය මහා කොමසාරිස්වරිය වන මනෝරි මල්ලිකාරච්චි සහ සංචාරයට සම්බන්ධව වැඩ කටයුතු කළ අනෙක් නිලධාරීන් ගෙන් ද ප්‍රශ්න කර තිබුණි. තවමත් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන්නේ මනෝරි මල්ලිකාරච්චිය.

මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර තම සේවා කාලය අවසන්වූ පසු නැවත ශ්‍රී ලංකාවට නොගොස් එංගලන්තයේම රැඳී සිටින තවත් නිලධාරීන් දෙදෙනකුට ද මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ කට උත්තර ලබාදෙන ලෙස දන්වා තිබුණි. ඒ අරුණ ප්‍රනාන්දු සහ ක්‍රිෂාන්ත සුබසිංහ යන දෙදෙනාටය. ඔවුන් දෙදෙනා ද පැමිණ කට උත්තර ලබා දී ඇත. ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම රහස් පොලිස් නිලධාරීන් වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයට ගොස් මේ සංචාරය පිළිබඳව විමසීමට අදහස් කර නොමැති බවයි.

සුජීව නිවුන්හැල්ල

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *