‘පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක්’ ඉදි කිරිමට විරුද්ධ වූ අයෙකුගේ වෙළදසැළකට ප්‍රහාරයක්

‘පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක්’ ඉදි කිරිමට විරුද්ධ වූ අයෙකුගේ වෙළදසැළකට ප්‍රහාරයක්


‘පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක්’ ඉදි කිරිමට විරුද්ධ වූ අයෙකුගේ වෙළදසැළකට ප්‍රහාරයක්

(09.11.2025 – lankacnews.com)

නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ‘පාසටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක්’ ඉදි කිරිමට විරුද්ධ වූ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් නිවසට සහ වෙළදසැළට කිසියම් පුද්ගලයෙකු විසින් (07) දින රාත්‍රියේ කිසියම් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර ගිනිතැබීමට උත්සහ කිරිම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇත.

රාත්‍රි 11:00 ට පමණ පොලු, මුගුරු සහ බෝතල් කිහිපයක්ද රැගෙන පැමිණ එම පිරිස මුලින්ම එම වෙළදසැළට සහ නිවසට ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ලට ගිනි තැබීමටද උත්සහ කර පලා ගොස් ඇත.

එම අවස්ථාවේ වෙළදසැල්හිමියා ප්‍රදේශවසීන්ගේද සහයෝගය ඇතිව පැතිර යන ගින්න පාලනය කිරිමට සමත් වී ඇති අතර, එම පැමිණි පිරිස වෙළදසැල් හිමියාගේ යතුරුපැදියටද පහර දී ඇත.

ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි පුද්ගලයා ‘පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානය’ ඉදි කිරිම භාරව කටයුතු කල පුද්ගලයා බවට වෙළදසැල් හිමියා විසින් හදුනාගෙන ඇත.

එම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගයෙකු බවත්, එම සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බවයි වෙළදසැල් හිමියා කිය සිටින්නේ.

‘පාස්ටර් ජෙරම්’ එම යාඥා මධ්‍යස්ථානය ඉදි කිරිමට එම ඉඩම මිලදි ගෙන ඇති අතර, එම ඉඩමේ ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා මේ වසරේ ජූනි මාසයේ ‘පාස්ටර් ජෙරම්’ පැමිණි අවස්ථාවේ අදාළ වෙළදසැල් හිමියා සහ ප්‍රදේශවසීන් දැඩි විරෝධය පෑම හමුවේ ‘පාස්ටර් ජෙරම්’ සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

පහර දීමට පැමිණි පුද්ගලයන් සීසීටීවි දර්ශණ ඔස්සේ හදුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනිමට නාවලපිටිය පොලිසිය විමර්ෂණ අරම්භ කර ඇත.

රංජිත් රාජපක්ෂ

+++

+


පිහිනුම් තටාකයක ගිලී දරුවෙක් මරුට

(09.11.2025 – hirunews.lk)

සීගිරිය, අවුඩංගාව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලීමෙන් අවුරුදු 05 ක දරුවෙක් මියගොස් තිබෙනවා.

මෙම දරුවා මව්පියන් සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙසේ අනතුරට පත්ව ඇති බවටයි පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ.

මේ අනතුර ඊයේ (08) සවස් කාලයේ සිදුව ඇති බවයි සඳහන්.

එම දරුවා දළුගම, කැළණිය ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

පිහිනුම් තටාකයේ ගිලුණු දරුවා දඹුල්ල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය විමර්ශන සිදු කරනවා ෴


ත්‍රීරෝද රථයක් පෙරලේ.. එක පවුලේ පස් දෙනෙකු (5) රෝහලේ..

(09.11.2025 – lankacnews.com)

තලවකැලේ සිට නුවරඑලිය උඩු පුස්සැල්ලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මර්ගය හරහා පෙරලි යාමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසීය.

08 දින පස්වරු 02:30 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙ නානුඔය හුළංවංගුව ප්‍රදේශයෙදිය.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැතිව ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා වට කිහිපයක් පෙරලී ඇති බවත්, අනතුරින් තුවාල ලැබූ පිරිස 1990 ගිලන්රථ මගින් රොහල් ගත කල බවත්, අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ


උසස් පෙළ විභාග කාලය තුළ විශේෂ ආපදා සැලැස්මක්

(09.11.2025 – hirunews.lk)

හෙට (10) සිට ආරම්භ වන උසස් පෙළ විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා අදාළ සියලු පාර්ශව එක්ව විශේෂ ආපදා සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල වුවහොත් අංක 117 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකියි.

මීට අමතරව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකයේ විශේෂ ඇමතුම් අංක 011 366 8026, 011 366 8032, 011 366 8087 සහ 011 366 8119 යන දුරකථනවලට ද දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබා ගත හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ ෴


මාලදිවයිනේදී ඇල්ලුවේ ‘බ්ලූමැන්ඩල් සංඛ’ගේ සහ ‘පරවි සුදා’ගේ මත්ද්‍රව්‍යද?

(09.11.2025 – hirunews.lk)

මාලදිවයිනේදී ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ‘බ්ලූමැන්ඩල් සංඛ’ගේ සහ ‘පරවි සුදා’ට අයත් ඒවා බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසනවා.

ආරක්ෂක අංශ අභ්‍යන්තර වාර්තාවල දැක්වෙන්නේ එම මත්ද්‍රව්‍ය තොගය පාකිස්ථානයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙරටට ඒවා ඇති බවයි.

අදාල මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් හා ධීවර යාත්‍රාව මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍යත්‍රාන්තික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකාව හා මෙරට මුහුදු කලාප කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා මේ වනවිට ආරක්ෂක අංශ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම මෙහෙයුම්වලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කරන ආවේශණය කිරීම් ද ශක්තිමත් කර ඇති අතර මත්ද්‍රව්‍ය සහිතව ජාත්‍යන්තර මුහුද සීමාවේ ශ්‍රී ලාංකික බෝට්ටුවක් යාත්‍රා කරන බවට බුද්ධි තොරතුරක් නාවික හමුදාවට ලැබි තිබෙන බවයි සඳහන් කරන්නේ.

මාලදිවයිනේ වෙරළ ආරක්ෂක බලකාය විසින් ‘හෙරොයින්’ සහ ‘අයිස්’ ප්‍රමාණයක් ද, ශ්‍රී ලාංකික ධීවරයන් හය දෙනෙක් (6) ද සහිත බහු දින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබුණේ එම බුද්ධි තොරතුරට අනුවයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක පමණ ප්‍රමාණයක් මාලදිවයින ආරක්ෂක අංශ භාරයට ගත් බව එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වෙනවා.

මත්ද්‍රව්‍ය තොගයෙහි හිමිකරු සම්බන්ධයෙන් තොරතුරු මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයක්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමඟ එක්ව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාල විමර්ශනය සඳහා මෙරටින් කණ්ඩායම් කිහිපයක් මාලදිවයිනට ද යවා තිබෙන බවද සඳහන් වෙනවා ෴


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කාදිනල්තුමන්ගෙන් රජයට චෝදනා

(09.11.2025 – hirunews.lk)

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා කුඩා දරුවන්ට ‘අනවශ්‍ය ලිංගික අධ්‍යාපනයක්’ ලබා දීමට රජය සූදානම් වන බවට මීරිගම පැවති වැඩසටහනකදී දැඩි ලෙස චෝදනා එල්ල කළහ.

උන්වහන්සේට අනුව, 6 ශ්‍රේණියේ සිට හඳුන්වා දීමට නියමිත නව පාඨමාලාවක් මගින් සමලිංගික සම්බන්ධතා සහ උපත් පාලනය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතු බව කාදිනල්තුමන් අවධාරණය කළහ.

මෙම ක්‍රියාමාර්ග පිටුපස සිටින්නේ රට විනාශ කිරීමට අරඅඳින ජාත්‍යන්තර සංවිධාන බවත්, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය (UNFPA) අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් දී මෙම විෂය නිර්දේශ මුද්‍රණය කරවන බවත් උන්වහන්සේ චෝදනා කළහ.

මෙම පාඩම් ලබන ජනවාරි 27 වැනිදා සිට පාසල්වල ඉගැන්වීමට නියමිත බවට ද වාර්තා වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

බටහිර ලෝකයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට අපේ සංස්කෘතිය සහ සභ්‍යත්වය විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බව අවධාරණය කළ කාදිනල් හිමිපාණන් වහන්සේ, මේ පිළිබඳව සොයා බලා මෙම කටයුතු වහාම නතර කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ ෴


උසස් පෙළට පීඩනයකින් තොරව මුහුණ දෙන්න හිත සන්සුන් කරන ව්‍යායාම්වල නිරතවන්න

(09.11.2025 – hirunews.lk)

හෙටින් (10) ඇරඹෙන උසස් පෙළ විභාග දිනට පෙර හිත සන්සුන් කරන ව්‍යායාම්වල නිරතවීම තුළින් විභාගයට සාර්ථකව මුහුණ දීමට හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසනවා.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මහාචාර්ය මියුරු චන්ද්‍රදාස වැඩිදුරටත් කරුණු දක්වමින් හෙටින් ඇරඹෙන විභාගය සඳහා දරුවන් පීඩනයකින් තොරව සූදානම් විය යුතු ආකාරය පහත පරිදි පෙන්වා දුන්නා :

“හෙටින් (10) ඇරඹෙන උසස් පෙළ විභාග දිනට පෙර හිත සන්සුන් කරන ව්‍යායාම්වල කරන එක වඩාත් හොඳයි. ගලා යන සංගීතයකට සවන් දීම හෝ නැත්නම් නිදහසේ හිත ඒකාග්‍රතාවයට හැකි ඕනෑම හිත සන්සුන් කිරීමේ ව්‍යායාමයක් කිරීම ගොඩක් හොඳයි. දෙමව්පියන්ට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ තරුණ දුව, පුතා හෙට (10) දින ලොකු විභාගයකට මුහුණ දෙනවා; එතකොට ඒඅය ඉන්නේ දැඩි පීඩනයෙන්; තව පීඩනය එකතු කරන්න එපා. විභාගයට කලින් දවසේ ඒඅයට බනින්න – කෑ ගහන්න යන්න හොඳ දවසක් නොවේ. ඒඅයට සහාය දෙන්න, හොඳ දවසක් ලෙස හෙට (10) දින උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න.

“ඔබ විභාගය අතරතුර හෝ විභාගයෙන් පසුව කිසිම විටෙක ලැබුණු ප්‍රශ්න හෝ ඒ සම්බන්ධයෙන් ලබා දුන් උත්තර ඔබේ සගයන් සමඟ ගුරුවරුන් සමඟ සාකච්ඡා කරන්න එපා. එයින් වෙන්නේ ඔබගේ හිත් රිදීමක් විතරයි. ඔබට ඉදිරියට යෑමට තිබෙන ජීවිතේ වැදගත් විභාගයක් වුවත් මේක එකම විභාගය නොවේ. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් හිතට එකතු කරගන්න එපා” ෴


කොටහේනේ වෙඩික්කරු 18 හැවිරිදි තරුණයෙක්

(09.11.2025 – hirunews.lk)

කොටහේන 16 වන පටුමගේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හත් දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු කොටහේන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පුද්ගලයෙකු බවටයි පොලිසිය හඳුනාගෙන ඇත්තේ.

යාපනය – මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් තුන්දෙනෙකු (3) මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

වෙඩි ප්‍රහාරය සඳහා සැකකරුවන් පැමිණි බවට සැලකෙරෙන මෝටර් රථය ද පොලිසිය සොයාගනු ලැබුවේ පිටකොටුව ආමර් වීදීයේ දමාගොස් තිබියදීයි.

එම මෝටර් රථයේ තිබී ජීව උණ්ඩයක් ද පොලිසිය සොයාගෙන තිබුණා.

අදාළ මෝටර් රථය වෙඩික්කරුවන්ට ලබාදුන් පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගියදා රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි වැදී බිම ඇද වැටුණු පුද්ගලයා යටකරගෙන වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පලායන අයුරු සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙනවා.

අදාල වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසකට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර කලක සිට පවතින ගැටුමක් නිසා සිදුවූ බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව, සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘පුෂ්පරාජා’ හෙවත් ‘පූකුඩුකන්නා’ගේ පාර්ශවය සහ ‘පලනි රිමෝෂන්’ගේ පාර්ශවය අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැකකරන බවයි ෴


දිවයින පුරා හෙට (10) ගොවි වර්ජනයක්!

(09.11.2025 – hirunews.lk)

හෙට (10) දින දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් ආරම්භ කිරීමට ‘ගොවි හඬ’ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් හෙට (10) දිනයේ ඉවත් වන බවයි.

පසුගිය සමයේ ලොකු ලූනු ගොවීන් මෙන්ම අල ගොවීන් ද මිල ගැටලුව හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර, ඔවුන් අවස්ථා රැසකදීම ඉල්ලා සිටියේ අල හා ලූනු ආනයනය සීමා කර දේශීය ගොවියා රැකගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව පවසමින් රට පුරා ගොවි වර්ජනයක් දියත් කිරීමට ‘දේශයේ ගොවි හඬ’ සංවිධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් පවසන්නේ දිවයින පුරා ගොවිබිම්වල වගා කිරීම්, ප්‍රවාහන සහ වෙළඳාම් ඇතුළු සියලු කටයුතුවලින් ඉවත් වී හෙට (10) දිනයේ වර්ජනයක නිරත වන බවයි.

මේ අතර, ආරම්භ කිරීමට නියමිත මෙම ගොවි වර්ජනය හේතුවෙන් ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල සති අන්තයේ දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර එළවලු මිල පහත වැටීමක් ද වාර්තා වුණා ෴


උඩ පන්දුවක් රැකීමට යාමේදී සිදුවූ අනතුරකින් ක්‍රීඩකයෙක් මරුට

(09.11.2025 – hirunews.lk)

මිනුවන්ගොඩ, අලුතෑපොල පොදු ක්‍රීඩාංගණයේ අද (09) දින දහවල් 03:00 ට පමණ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උඩ පන්දුවක් (Catch) රැක ගැනීමට යාමේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු (2) එකට ගැටීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ පලුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි ඉහලගේ ධනුෂ්ක දේවින්ද පෙරේරා යන අයයි.

අනතුරින් පසු ඔහු වහාම මිනුවන්ගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, පසුව ඔහු මියගොස් තිබෙනවා.

මේ වනවිට මියගිය පුද්ගලයාගේ දේහය මරණ පරීක්ෂණය සඳහා ගම්පහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අනෙක් ක්‍රීඩකයාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *