නා උයන ආරණ්‍ය සෙනසුනේ අනතුර ගැන විධිමත් විමර්ශනයක් කරන්න – අධිකරණයෙන් නියෝග
නා උයන ආරණ්‍ය සෙනසුනේ අනතුර ගැන විධිමත් විමර්ශනයක් කරන්න – අධිකරණයෙන් නියෝග
(25.09.2025 – 20:09 +0530 – sinhala.adaderana.lk)
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් (7) අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරිය පන්සියගම පොලීසියට නියෝග කර තිබේ.
සිද්ධියට අදාළ විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහාය ලබාගන්නා ලෙසටද මහව මහෙස්ත්‍රාත් කංචනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලීසියට නියෝග කර ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.
මෙම අනතුරින් අපවත් වූ භික්‍ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඊට අදාළ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ද නියෝග කර තිබේ.
ඩක්කුවක් කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වන්නේ නම්, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද පන්සියගම පොලීසියට මහව මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳහන්ය.
මහව මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කරනු ලැබුවේ නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් හදිසියේ කඩා වැටීමෙන් ආරණ්‍ය සේනාසනවාසීව සිටි භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්සියයගම පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්ය.
මේ අතර මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවු අනතුරින් අපවත් වී වදාළ විදේශීය ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සව කටයුතු මෙරටදී සිදුකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.
අද (25) පාර්ලිමේන්තුවේ දී ඔහු පැවසුවේ අනතුරින් අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සව කටයුතු අද (25) පැවැත්වෙන කමිටු රැස්වීමකින් අනතුරුව තීරණය කරන බවය.
+++
අනතුරට ලක්වූ හිමිවරුන්ට තිබුණු තුවාල කියන්නත් බැරි තරම් – මුලින්ම එතැනට ගිය අසල්වැසියාගේ හෙළිදරව්ව
(26.09.2025 – hirunews.lk)
“ස්වාමීන් වහන්සේලා වැටිලා හිටිය තැන් කැලෑව ඇතුළේ අපි හොයා ගත්තෙත් හරිම අමාරුවෙන්. කළුවර නිසා වෙලා තියෙන හානියවත් හරියට තේරුම් ගන්න බැරි වුණා. කීප දෙනෙක්ම වැටිලා හිටිය තැන්වලම අපවත් වෙලා ඉන්නවා දැක්කා. ඒ අයට වෙලා තිබුණු තුවාල කියන්නත් බැරි තරම්. ඩක්කුව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා කෑලි හැම තැනම විසිරිලා වගේ තිබුණේ. හරිම කණගාටුදායකයි භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා පිරිසකට මේ වෙච්චි විපත ගැන” යැයි මැල්සිරිපුර නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් පෙරළීමෙන් සිදුව තිබූ මාරක අනතුර සියැසින් දුටු නාඋයන ආරණ්‍ය සේනාසනය ආසන්නයේම පදිංචි අසංක සිරිවර්ධන පැවසුවා.
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පන්සියගම, නාඋයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ පිරිසක් ගමන් ගත් විදුලි ඩක්කුව කඩා වැටී සිදු වූ බිහිසුණු අනතුර පිළිබඳ අසංක සිරිවර්ධන මෙසේද සඳහන් කළා.
“රාත්‍රීයේ අධික කළුවරේ වුණත් විශාල අනතුරක් වෙලා කියලා මම දැක්කා. ස්වාමීන් වහන්සේලා පිරිසක් ලේ ගලන තුවාල සහිතව වැටිලා හිටියා. ඒ සමඟම මට පණිවිඩයක් ආවා සේනාසනයේ ඩක්කුව පෙරළිලා ලොකු අනතුරක් වෙලා කියලා. මම ගමේ කීප දෙනෙකුම එක්ක ඉක්මනින්ම ඒ ස්ථානයට ගියා. හාමුදුරුවරුන් ආපු ඩක්කුව කෑලි පහ හයකට කැඩිලා විසිවෙලා තියෙනවා දැක්කා. ඒකේ වහලය ගැලවිලා අඩි පනහක් විතර ඈතට විසිවෙලා තිබුණා. හෙළට බැස්සට පස්සේ අපට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වුණා.”
“හැම තැනම සිවුරු කෑලි තුවාල වුණු හාමුදුරුවරු, ඒත් අපි පැය භාගයක් යන්න ඉස්සර වෙලා හාමුදුරුවරුන් හෙළෙන් උඩට ගත්තා. එම අවස්ථාවේ එහි සිටි අපි කීප දෙනා එකතු වෙලා ටෝච් එළියෙන් සහ ඩක්කුව ක්‍රියාත්මක කරන ස්ථානයේ තිබූ පහන් කණුවේ එළියෙන් පහළ කැලයට වැටිලා තුවාල ලබා සිටි භික්ෂූන් වහන්සේලා පිරිස මාර්ගයට ගෙනැල්ලා රෝහල්වලට යැවීමට පියවර ගත්තා.”
එම ස්ථානයේ සිටි තවත් අසල්වැසියෙක් මෙසේ පැවසුවා :
“අපේ ගෙදර තියෙන්නේ ආරණ්‍යයේ ඉදලා මීටර් සීයක් විතර දුරින්. ඒ වෙලාවේ අපි රැට කෑම කාලා රූපවාහිනිය බලමින් හිටියා. ඒක පාරටම ආරණ්‍යයේ ගෙඩිය එක දිගටම ගහනවා ඇහුණා. සාමාන්‍යයෙන් දාන වෙලාවට ඇර වෙනත් වෙලාවට ගෙඩිය ගහන්නේ කරදරයක් සිදුවුණු වෙලාවට කියලා අපි දන්නවා. ඒ නිසා මම ඉක්මනට ටෝච් එකත් අරන් ආරණ්‍යයට දුවගෙන ගියා. ඒතකොට ගමේ අයත් ටික දෙනෙක් දුවගෙන ආවා. හාමුදුරුවරුත් කලබලෙන් දුවනවා දැක්කා. රෑ කළුවර හින්දා හරියට කිසි දෙයක් හොයා ගන්න අමාරුයි. එක හිමිනමක් මට කිව්වා කරදරයක් වෙලා ඉක්මනට ඩක්කුව තියෙන තැනට යන්න කියලා. මම එතැනට දුවගෙන ගියා. හාමුදුරුවරුන් කීප දෙනෙක් වැටිලා හිටියා දැක්කා. තව හාමුදුරුවරුන් හෙළට වැටිලා ඉන්නවා කියලා කවුදෝ කීවා. ඉතිං ගස් අස්සේ මොකුත් හරියට පේන්නේ නෑ. අනික හෙළ අඩි සීයක් එකසිය පනහක් විතර යටයි. ඒත් අපි කීප දෙනෙක් බැස්සා. හැම තැනම සිවුරු කෑලි විසි වෙලා තියෙනවා දැක්කා. ගස්වල අතු වලත් සිවුරු රැඳීලා තිබුණා. අපි යද්දි හත් දෙනෙක් (7) විතර හාමුදුරුවරුන් වැටිලා ඉන්නවා දැක්කා. ඒ අයගේ අතපය කැඩිලා. තුවාල වෙලා. අපි අමාරුවෙන් හාමුදුරුවරුන් උඩට ගන්න කටයුතු කළා. මම දැක්ක විදිහට නම් හාමුදුරුවරුන් දෙනමක් (2) විතරයි අතපය හරි හෙළෙව්ව්වේ. ඇත්තටම හෙළ නිසා උඩට ගන්න හරිම අමාරු වුණා. අපි පස් හය දෙනෙක් එකතු වෙලා තමයි එක්කෙනෙක් උඩට ගත්තේ. ඒත් මගට යද්දී ආයෙත් නගින්න බැරි තැන් වලින් උඩ ඉන්න අයට ලෙඩු දුන්නා. ඒ අය ඉක්මනින් අරන් ගිහිල්ලා වාහනවල දාලා රෝහල් වලට යැව්වා.”
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ මැල්සිරිපුර පිහිටා ඇති නා උයන ආරණ්‍යය සේනාසනය තුළ පෙරේදා (24) රාත්‍රියේ සිදුවූ හදිසි අනතුරකින් එහි විසූ භික්ෂූන්වහන්සේලා සත්නමක් (7) අපවත්ව හයනමක් (6) බරපතළ තුවාල ලබා සිටියා. විදේශීය රටවලින් පැමිණ භාවනානුයෝගීව විසූ භික්ෂූන් වහන්සේලා තුන්නමක් (3) සහ ලාංකිය භික්ෂූන්වහන්සේලා සිවුනමක් (4) අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා. පෙරේදා රාත්‍රී 09:30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පන්සියගම පොලීසිය සඳහන් කළා.
ආරණ්‍යයේ ඉහළ කඳු පෙදෙසට ගමන් කිරීම සඳහා සවිකර තිබූ යකඩ ඩක්කුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි භික්ෂූන් වහන්සේලා 13 දෙනකුගෙන් හත් දෙනෙකු (7) මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් බරපතළ තුවාල ලද භික්ෂූන්වහන්සේලා හය දෙනකු (6) මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉන් දෙදෙනකුගේ (2) තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම අවාසනාවන්ත අනතුරින් අපවත්වූයේ රුසියානු ජාතික ධම්මරක්ඛිත (Bepkawahcknn Werkashansky), රුමේනියානු ජාතික ධම්මරංසි (Gavrila Laurentiu Gheorghe), ඉන්දීය ජාතික ධම්මගවේෂී (Waghdhare Pradeep) යන විදේශීය හිමිවරුන් සමඟ ශ්‍රී ලාංකිය උඩවලවේ සත්තසුමන (41), නාවලපිටියේ උත්තරානන්ද (41), නුගේගොඩ විපස්සී (27), මල්වානේගම සමිද්ධි (31) හිමිවරුන්.
ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන පාදුක්කේ සද්ධාසිරි හිමියන් මෙසේ පැවසූහ :
“මේ ඩක්කුව අපේ සේනාසනයේ ස්වාමීන් වහන්සේලාට ඉතාම පුරුදු දෙයක්. ඉහළ කොටසේ භාවනානුයෝගීව සිටින ස්වාමීන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙකු ඉහළට පහළට ඒම සඳහා පහසුවක් විදිහට මේක පාවිච්චි කරනවා. මේ වෙලාවෙත් උන්වහන්සේලා පිරිසක් ඒකට නැඟලා උඩට ගිහින් තිබෙනවා. උඩටම ගියාට පස්සේ අවසාන හරියේදී නවත්වන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී පිරිස බහින්නත් කලින් ඩක්කුව ආපහු පල්ලෙහාට එන්න පටන් අරන් තියෙනවා. මුලින් හෙමින් ආව ඩක්කුව ඊට පස්සේ වේගයෙන් පහළට ඇවිත් නැවතුම් ස්ථානයත් කඩාගෙන පහළටම වැටිලා තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. මේ ඩක්කුව ක්‍රියාත්මක කරන්නම කියලා කවුරුවත් හිටියේ නැහැ. ඒකේ යන අයමයි ඒක ක්‍රියා කරගෙන යන්නේ.”
වනවාසීව වැඩ වසමින් භාවනායෝගිව වෙසෙන භික්ෂූන් වහන්සේලා සෑම දිනකම සවස් වරුවේ තම භාවනා කුටිවලින් නික්ම පහළින් ඇති ආරණ්‍ය සේනාසනයේ නාහිමියන් වෙසෙන කුටියට පැමිණ උන්වහන්සේ සමඟ ධර්ම සාකච්ඡා ආදියෙහි යෙදෙමින් සිට රාත්‍රී 09:00 ට පමණ ආපසු තම කුටි කරා යාම සුපුරුදු චරියාවක් බව පැවසෙනවා.
ඒ අනුව පෙරේදා (24) පස්වරුවේද පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසෙන් 13 දෙනකු පමණක් ඉහළ කඳු මුදුනේ පිහිටි තම කුටිවලට යාම සඳහා පහළ කොටසේ සවිකර ඇති ඩක්කුවෙන් ගමන් කර තිබුණා.
මෙය විදුලියෙන් ක්‍රියාත්මක කරන හය දෙනෙකුට (6) පමණ ගමන් කිරීමට සුදුසු ලෙස සකසා තිබූවක් බව සදහන්. නමුත් එදින එම ඩක්කුවෙහි භික්ෂූන් වහන්සේලා 13 නමක් ගමන් කර ඇති බවද දැරිය නොහැකි බර හේතුවෙන් ඉහළටම නැග ගිය ඩක්කුව ආපසු වේගයෙන් පහළට ගමන් කිරීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව පොල්පිතිගම පොලිසිය සඳහන් කළා. ඩක්කුවට සවිකර ඇති යකඩ කේබල් කැඩී යාමෙන් අනතුර සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබුණා. එසේම ගල් වැලි ඇදීමෙනුත් මෙය අබලන් තත්ත්වයකින් පවතින්නට ඇතැයි යන සැකය ද පවතිනවා.
අධික ආනතියක් සහිත ඉතාම දරුණු බෑවුමක් ඔස්සේ යකඩ පීලි මත සකසා ඇති එම ඩක්කුව එය ගමන් ආරම්භ කරන ස්ථානයෙනුත් පහළට මීටර් 100 ක් පමණ දුරකට විසිවී ගොස් නැවතී තිබෙන ආකාරය දැකගත හැකිය. අනතුරෙන් ඩක්කුව සම්පූර්ණයෙන්ම විනාශයට ලක්ව තිබෙනවා. අනතුරට ලක්වූ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඇඳුම් කොටස්, පාවහන්, වතුර බෝතල්, ගමන්මළු කැලයේ සීසීකඩ විසිරී තිබෙන ආකාරය දැකගත හැකි වුණා.
කැලයේ ගස්වැල්වල වැදීමෙන් බරපතළ තුවාල ලද භික්ෂූන් වහන්සේලා දෙනමක් (2) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව කියනවා. මෙම අනතුර දැනගත් එහි සිටි අනෙකුත් වනවාසී භික්ෂූන්වහන්සේලා සහ ප්‍රදේශයේ ජනතාව එක්ව තුවාලකරුවන් පොල්ගොල්ල දිසා රෝහලට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත්, එහිදී අනෙක් භික්ෂූන් වහන්සේලා පිරිස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වර්ෂ 1920 දී පමණ ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මෙම ආරණ්‍ය සේනාසනය ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම නිකායට අනුබද්ධ ආරණ්‍යය සේනාසනයක්. එය භික්ෂූන්වහන්සේලා 300 කටත් වඩා වැඩි පිරිසකට වාසස්ථානය සපයමින් කරනම්පොත කඳු යායේ අක්කර 5000 ක පමණ විශාල බිම් ප්‍රදේශයක පැතිර පවතින ශ්‍රී ලංකාවේ පැරැණිතම සහ විශාලතම ආරණ්‍යය සේනාසනය ලෙස සැලකේ.
එගොඩ බෝධිරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක ලෙස පැවිදි දිවියට පත් ඒ ආසන්නයේම පිහිටි ඉමිහාමිනේගම උපන් නාඋයනේ අරියධම්ම හිමියන් මෙම ආරණ්‍ය සේනාසනය වැඩිදියුණු කළ හිමියන් ලෙස සැලකේ.
ඉතාම සිල්වත් භික්ෂුවක වන උන්වහන්සේ යම් ඵලයක් ලැබූ හිමිනමක ලෙසද ප්‍රකටව සිටි හිමිනමකි. නාඋයන ආරණ්‍ය සේනාසනය මෙරට මෙන්ම විදෙස් රටවලද ඉතා ප්‍රසිද්ධ වූයේ අරියධම්ම නාහිමියන් නිසා බව පැවසේ. මීට වසර 10 කට පමණ ඉහතදී අපවත් වන විට උන්වහන්සේ වයස අවුරුදු 78 ක්.
අඟුල්ගමුවේ අරියන්නන්ද නාහිමියන් මෙම සේනාසනයේ වත්මන් නායකත්වය දරති. නාඋයන ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ මෙහෙණින් වහන්සේලා වෙසෙන ධම්මිකා ආශ්‍රමය ඒ ආසන්නයේ තවත් සුන්දර පරිසරයක පිහිටා තිබේ. මඩහපොල ධර්මායතනය නම් භික්ෂු පුහුණු මධ්‍යස්ථානයද මීට අයත් වූවකි.
පන්සියගම ප්‍රදේශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වියළි කලාපීය දේශගුණයකට උරුමකම් කීවද මෙම ආරණ්‍ය සේනාසනයේ ඉහළට යනවිට ඇත්තේ නුවරඑළියේ ශිතල දේශගුණයට සමාන අපූරු පරිසර පද්ධතියකි. මේවනවිට මෙහි දේශීයව මෙන්ම චීනය, තායිලන්තය, මියැන්මාරය, ලාඕසය, කාම්බෝජය, ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම වැනි විදෙස් රටවලින් පවා පැමිණි 150 කට ආසන්න විදේශීය භික්ෂූන් වහන්සේලාද භාවනානුයෝගීව සිටිති. මේවනවිට නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වෙසෙන සමස්ථ භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව 350 කට ආසන්න බව පැවසේ. දෙස් විදෙස් දානපතියන් මෙහි සියළුම කටයුතු පවත්වාගෙන යාම සඳහා ආධාර උපකාර කරන බවද පැවසේ.
මෙහි ඉහළ කඳු මුදුනේද භාවනා කුටි රැසක් තිබෙන අතර එම ස්ථානයට ගමන් කිරීමට තිබෙන දුෂ්කරතාවය මත ගමන් පහසුව සඳහා යකඩ කේබල් යොදා සකසන ලද ඩක්කුවක් ක්‍රියාත්මක කර තිබී ඇත. ඉහළ කඳු කොටසේ ඉදි කෙරෙන භාවනා කුටි ඉදිකිරීමට අවශ්‍ය ගල්වැලි ප්‍රවාහනය මෙන්ම ඉහළ කොටසේ භාවනානුයෝගීව වෙසෙන භික්ෂූන්වහන්සේලා ප්‍රවාහනය සඳහාද මෙම ඩක්කුව භාවිතා කර තිබෙනවා.
මීට වසර දහයකට (10) පමණ ඉහතදී මෙම ඩක්කුව ඉදිකර තිබෙන අතර මෙතෙක් එය ක්‍රියාකාරිත්වයේදී කිසිදු අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක්ව නැති බවද පැවසේ. නමුත් මෙය නිසි නඩත්තුවකට ලක් නොවීමෙන් සහ දැරිය නොමැකි බරක් ප්‍රවාහනය කිරීමට සිදු වීමෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය වන්නට ඇති බවට පොලීසිය සැක කරයි. එසේම මෙය ඉහළ ඉදිකිරීම් කටයුතු සඳහා ගල් වැලි රැගෙන යාම හේතුවෙන්ද එහි ඇති යකඩ කේබල්වලට හානි සිදුව තිබෙන්නට ඇති බවටද සැක කරනවා.
මහව මහේස්ත්‍රාත් එස්.එම්.ඒ.ජී. සෙනෙවිරත්න සිද්ධිය වූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කොට මරණ පරීක්ෂණය පැවැත්වූවා. ඉන් අනතුරුව රෝහල්වල තබා ඇති මෘතදේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමටද මහේස්ත්‍රාත්වරිය නියම කළා.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අනතුර සිදුව තිබූ ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සඳහා නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාල්ලගේ සහ පන්සියගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේසුන්දර යන අයට උපදෙස් ලබා දුන්නා. වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අනතුරෙන් තුවාල ලැබූ භික්ෂූන්වහන්සේලා දැක ගැනීමට ගොස් සුවදුක් විමසා අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගත්තේය ෴
+++
හැමෝම කතාවුන නා උයන ආරණ්‍යයේ ඇත්තම කතාව මෙන්න – අනතුරෙන් බේරුන හිමිනමට කලින්ම යමක් දැනිලා! (26.09.2025)
+++
අපවත් වූ භික්ෂූන් වහන්සේ සිව් නමකගේ දේහයන් රිය පෙරහරින් නා උයන ආරණ්‍ය සේනාසනයට (26.09.2025)
+++
නා උයන ආරණ්‍ය හිමිවරු ඩක්කුවේ වඩින හැටි (25.09.2025)
+++
+
ටෙක්නිකල් හන්දිය අසළදී බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි
(26.09.2025 – hirunews.lk)
පිටකොටුව ඕල්කට් මාවතේ ටෙක්නිකල් හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.
ටෙක්නිකල් හන්දියේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය භූමියේ තිබූ ගසක් මෙසේ ඇදවැටී ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ වන විට කොළඹ නගර සභාවේ සේවකයන් පැමිණ ගස කපා ඉවත්කරමින් පවතින බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන්කර සිටියේ ෴
+++
+
දියුණු ආරක්ෂක උපාංග සහිත නව වාහන අංක තහඩු නොවැම්බර් 15 දා සිට
(26.09.2025 – hirunews.lk)
නොවැම්බර් 15 වන විට වඩාත් දියුණු ආරක්ෂක අංගෝපාංග සහිත නව අංක තහඩු නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පවසා සිටියේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එමෙන්ම මේ සඳහා ටෙන්ඩර් කැඳවීම් සියල්ල අවසන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව පෙර පැවති වාහන අංක තහඩුවලට වඩා තාක්ෂණයෙන් ඉහළ ලෙස නිමකර ඇති මෙම නව අංක තහඩු නොවැම්බර් මසදී මෙසේ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
+
රේගුව අල්ලස හා දූෂණයට වඩාත්ම නැඹුරු ආයතනය බව අල්ලස් කොමිසම කියයි
(25.09.2025 – 22:17 +0530 – sinhala.adaderana.lk)
අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසයි.
කොළඹ දී අද (25) පැවති දේශනයකදී ඔහු මේ අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙම දේශනය සංවිධාන කර තිබූ අතර, ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනිවිදභාවය සහ සුපිරිපාලනය යන මාතෘකාව ඔස්සේ මෙය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් ඉද්දවල මහතා :
“2024 වර්ෂයේදී අපි ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුවා. ඒකෙදි මහජන මතය අනුව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන කියලා මහජනතාව තෝරපු ආයතන 10 ක් විතර මම කියන්නම්.
නොම්බර එක (1) පොලීසිය, දෙක (2) දේශපාලනය, තුන (3) රේගුව. ඒ වගේම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව, පාසල් හා අමාත්‍යාංශ.
ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාල යනාදිය මහජනතාවගේ මතය.
කෙසේ වෙතත් ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5 ක් අපි හඳුනාගෙන තිබුණා. එක (1) රේගුව, දෙවැනි (2) ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආයතන දෙපාර්තමේන්තුව. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව. ආගමන හ විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාල.
ඒ වගේම තවත් ආයතන තියෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය. මේ වගේ ආයතන තුළින් දූෂණය සිදුකරන පුද්ගලයින්ට තෝතැන්නක් හදලා දෙනවා, මුදල් විශුද්ධිකරණය සඳහා ඉඩහස ලබාදෙනවා.
එතකොට මම අර කියපු සමීක්ෂණයේදී දූෂිත සංස්කෘතියක් සඳහා ඉවහල්වන කරුණු ලෙස මහජනතාව දැක්වූයේ මෙන්න මේ කාරණා.
ඒක තමයි නීතිය හා සාමය නිසි පරිදි රටේ ක්‍රියාත්මක නොවීම. දූෂිත සංස්කෘතියක් රට තුළ ජනිත වීම. ඒ වගේම අල්ලස හා දූෂණය පිළිබඳ මහජනතාව පියවර නොගැනීම.
එතනදී අපට කියන්න බැහැ එයා කැමැත්තෙන් ඉල්ලුවා, මම කැමැත්තෙන් දුන්නා. ඒක හින්දා මේක, අල්ලසක් හෝ දූෂණයක් නෙවෙයි කියලා”
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴